
බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ඇතුළු දඹදිව බෞද්ධ සිද්ධස්ථාන නැරැඹීමට වාර්ෂිකව දඹදිව බලා යන පිරිස සංඛ්‍යාත්මක වශයෙන් ගත් විට ලක්ෂයකට අධිකය. මහත් වූ භක්තියෙන් යුතුව යන මේ ගමන් සංවිධානය කරන්නට දශක 6කට පමණ පෙර සිට වන්දනා ගමන් සංචාරකයන් බිහි වන්නට විය. තලෙයි මන්නාරම් තොටින් නැව් මඟින් රාමේෂ්වරම් දක්වා ගිය දීර්ඝ කාලීන වන්දනා සංචාරක ක්‍රමයක්ද ආරම්භක කාලයේදී වූ අතර එය වෙහෙසකර මෙන්ම මාසයක පමණ සංචාරයක් වූ හෙයින් ජනතාවට එපා වන්නට විය.
ජනතාවගේ කාලය ඉතිරි කිරීමේ අවශ්‍යතාවයද ඉන්දියාවේ දිර්ඝ කාලීන සංචාරයද අපහසු වීම නිසා පසුව දින 14ක් හෝ ඊට ආසන්න කඩිනම් සංචාරයන් බිහි වන්නට විය.
එහෙත් ඕනෑම දෙයක වර්ධනයේදී සිදුවන්නාක් මෙන් දඹදිව සංචාරයන්හිදීද විවිධ අකටයුතුකම් බිහිවන්නට විය. මුදල් ඉපැයීම පමණක් අරමුණ කරගත් වන්දනා ගමන් සංවිධායකවරුන් නිසා වන්දනාකරුවන්ගෙන් චෝදනා එල්ල වන්නට විය.
ඇතැම් වන්දනාකරුවන් අතරමං වූ අවස්ථාද විය. එයින් ඇතැමෙක් තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත. බොහෝ විට දඹදිව වන්දනාවේ යන්නේ වයෝවෘද්ධ අය නිසා ඔවුන්ට විදෙස් රටවල් ගැන දැනුමක් නැත. නිතර වැසිකිළි යාමට ඇවැසි වෙයි. මේ නිසා ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත් ඇතැම් වන්දනාගමන් සංවිධායකවරුන් ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකර කටයුතු කරන්නට විය.
වන්දනාකරුවන් සමඟ සංවිධායකවරයා පමණක් ගමන් කළ අවස්ථාද විය. එවන් අවස්ථාවලදී වන්දනා නඩයටම ආහාර පාන පිසීමේදී පවා දැඩි ගැටලු මතු විය. ඉවුම් පිහුම් පවා වන්දනාකරුවන්ට සිදු කරන්නට විය. එහෙත් සංවිධායකවරුන් පවසා තිබුණේ සුවපහසු සංචාරයක් බවයි. ආහාර පාන නවාතැන් සියල්ල ඊට අයත් බවයි. එහෙත් සංචාරයේදී විඳින්නට සිදු වන එවන් අමිහිරි අත්දැකීම් බහුල වන්නට විය.
මෙවන් අහිතකර කටයුතු නිසා වන්දනාකරුවන්ට ක්‍රමයෙන් ගමන් එපා කරවන තත්ත්වයක්ද ඇති විය. එය නිසි පරිදි වන්දනා ගමන් සංවිධානය කරන වන්දනාකරුවන්ගේ සුවපහසුව ආරක්ෂාව සලසන වන්දනා සංවිධායකවරුන්ටද මහා ගැටලුවක් විය.
ඉවුම් පිහුම් කටයුතු සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා වෙනම සේවකයන් රැගෙන යන, වන්දනාකරුවන්ගේ සියලු අවශ්‍යතා සොයා බලන මැනවින් මේ කර්මාන්තයේ නියැළුණු අයටද අකටයුතුකම් සිදු කරන අය නිසා සමස්තව දෝෂාරෝපණ එල්ල වන්නට විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය බිහි විය.
එයින් යම් පිටුබලයක් නිවැරැදි මඟ පෙන්වීමක් ලැබුණද වර්තමානයේ විදේශ රැකියා ඒජන්සි මෙන් පුවත්පත් දැන්වීම් දමා වන්දනාකරුවන්ට අඩුමිල ඉන්දීය සංචාරයන් පෙන්වා වන්දනාකරුවන් එක් රොක් කර ගැනීමේ ආයතනද ක්‍රියාත්මක විය. උදාහරණ වශයෙන් එක් ආයතනයක් වන්දනාවට රුපියල් 50,000ක් අය කරන බව දන්වා තිබුණ විට තවත් ආයතනයක් එම ස්ථානම නැරැඹීමට අය කරන්නේ රුපියල් 45,000ක් බව දැන් වූ විට වන්දනාකරුවන් සිවු දෙනකු එකම පවුලෙන් යන්නේ නම් අඩු මිල වන්දනාවෙන් රුපියල් 20,000ක ඉතිරියක් වන බවට වන්දනාකරුවන්ට හැඟී යයි. එහිදී වන්දනාකරුවන් නිරතුරුවම අඩු මිල වන්දනා සංවිධාන වටා එක් විය.
ඇතැම් එවන් ආයතන කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක සේවාවක් සැපයුවද තවත් ආයතන රැසකින් වන්දනාකරුවන්ට දැඩි ගැටලු ඇති විය.
මේ ගැන රජයේ අවධානය යොමු වූයේ එවිටය. විදෙස් බෞද්ධ වන්දනාකරුවන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු බවට දැනුම් දුන්නේ ඒ අනුවය. එහෙත් එය අනිවාර්යය නීතියක්ද නොවුණි. අමාත්‍යාංශයේ ලියාපදිංචිය සිදු කරන ආයතනවලට ලියාපදිංචි වී ඇති බවට ලැබෙන ලිපිය ඉදිරිපත් කිරීමෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නොමිලේ වීසා ලබා ගැනීමට හැකි විය. එය වන්දනා ගමන් සංවිධානය කරන්නන්ට විශාල පිටිවහලක් විය.
එමෙන්ම අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධාන ගැනවන්දනාකරුවන්ගේ විශ්වාසයක්ද ගොඩ නැංවිණි.
අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද නිර්ණායක අධීක්ෂණයෙන් පසුව එම ලියාපදිංචිය සිදු කරනු ලබයි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලහිරු හෙට්ටිආරච්චි සිළුමිණට පැවසුවේ අමාත්‍යාංශයේ ලියාපදිංචි ආයතයකින් ගමන් කිරීමේදී අමාත්‍යාංශයට ඍජු වගකීමක් නැතත් යම් ආකාරයක විමසුමක් කළ හැකි බවයි.
‘‘දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන ආයතන ලියාපදිංචිය තුළින් යම් නියාමනයක් වනවා.
මේ වන විට එවන් වන්දනා චාරිකා සංවිධාන ආයතන 286ක් අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙනවා. අපි ඒ සඳහා බරපතළ නිර්දේශ ඉදිරිපත් කර නැහැ. සංවිධායකවරයා අනිවාර්යෙන්ම වයස අවුරුදු 70ට අඩු විය යුතුයි. ඒ වයස් සීමාව ඉක්මවා ගිය විට වෙනත් අයකු සංවිධායක තනතුරට පත් කර ගත යුතු වෙනවා.
වන්දනාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි ඇත්නම් ඕනෑම අයෙකුට වන්දනාව පිණිස යා හැකියි. එමෙන්ම අපි කිසිදු ආකාරයක අය කිරීමකින් තොරවයි වීසා නොමිලේ ලබා ගැනීම පිණිස මහ කොමසාරිස් කාර්යාලයට අදාළ ලිපිය ලබා දෙන්නේ.
අපි වන්දනාකරුවන්ගේ විස්තර හෝ ගමන් වාර සංඛ්‍යාව අමාත්‍යාංශයට ලබා දීමක් ගැන සංවිධායකවරුන්ට දන්වා නැහැ. නමුත් ලියාපදිංචි සංවිධානයකින් ආයතනයකින් යනවා නම් ඔවුන් අදාළ නිදහස් වීසා ලිපිය ලබා ගැනීමට තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඒ විස්තර අපට ලැබෙනවා. එහෙත් ලියාපදිංචි නොවූ ආයතනවලින් ගමන් කරන්නේ නම් අපට කිසිදු විස්තරයක් ලැබෙන්නේ නැහැ‘‘
වර්තමානයේ කිසිදු දඹදිව වන්දනා සංචාරයක් සිදු නොවේ. එයින් පීඩාවට පත්ව ඇති පිරිස අතිමහත්ය. අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකන්ගේ සංගමයේ මහ ලේකම් රාජගිරිය, වැලිකඩවත්ත, දහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ හික්ගොඩ උදයධම්ම හිමියන්ගෙන් විමසුවෙමු.
‘‘ දඹදිව වන්දනාව පිණිස ගමන් ගන්නා වන්දනාකරුවන්ට මඟ පෙන්වීමක් තමයි මේ සංවිධාන විසින් කරන්නේ. ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළ යුතු වෙනවා. සංවිධානයක් ලෙසින් මේ අය කරන්නේ වන්දනාකරුවන්ට ආරක්ෂාකාරී, එමෙන්ම සුපපහසු හා දැනුම ලබාගත හැකි ලෙසින් සිද්ධස්ථාන නිසි පරිදි වන්දනා කරගත හැකි ලෙස අවශ්‍ය කටයුතු සලසා පහසුකම් සැලසීමයි.
අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධාන විසින් ඒ වෙනුවෙන් වගකීමක් දරනවා.
භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් හා දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන්නන්ගේ ආයතන එකමුතුවේ විධායක නිලධාරියකු ලෙසින් මම දකින්නේ මේ වන විට කඩා වැටී ඇති මේ ක්ෂේත්‍රය පණ ගැන්වීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ඒ සඳහා පහසුකම් ඇති කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම නිසා ගුවන් ගමන් ගාස්තු විශාල ලෙසින් ඉහළ ගිහින් තියෙන්නෙ. එය සංවිධායකන්ට විශාල බරක්. එවැනි ගැටලු උදෙසා යම් ආකාරයක හෝ සහනදායි ක්‍රමයක් නොමැතිව මේ ක්ෂේත්‍රය නංවන්න බැහැ.‘‘
එමෙන්ම අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රංගනාත් කරුණාදාසගෙන් කරුණු විමසුවෙමු.
‘‘ මේ කර්මාන්තය මහා ලොකු ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාරයක් නෙමෙයි. රටවල් දෙකක් අතර කෙරෙන කාර්යයක් නිසා ඩොලරයේ අගය ඉහළ යාම නිසා අපට දැඩි ගැටලු අර්බුදවලට මුහුණ පාන්නට වෙනවා. ඩොලර් එක රුපියල් 167ක් 175ක් වගේ මිලකට යද්දි තමයි චාරිකාවක් රුපියල් 95,000ක වගේ මිලකට අපට සංවිධානය කරන්න හැකි වුණේ.
ඒ දවස්වල රුපියල් 60,000කට අඩුවෙන් දිල්ලිය දක්වා ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට හැකි වුණා. එහෙත් දැන් ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල දිල්ලිය දක්වා රුපියල් 90,000ක් පමණ වනවා. මදුරාසියට ගියත් දැන් රුපියල් 65,000ක් පමණ වනවා. මේ නිසා රුපියල් ලක්ෂ 2ක් ඉක්මවා සංචාරකට අය කළ යුතු තත්ත්වයක් තිබෙන්නේ. එවන් මිලකට අපේ රටේ සාමාන්‍ය ජනතාවට දරන්න හැකියාවක් තියේවිද යන ගැටලුව අප ඉදිරියේ තියෙන්නෙ.
ඒ වගේම මේ වන විට මදුරාසිය හරහා ගොස් දුම්රියේ යාම සෞඛ්‍යාරක්ෂිත බවින් එතරම් ආරක්ෂාකාරී නැහැ. එමනිසා දිල්ලිය හරහා යා යුතුම තත්ත්වයක් තියෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේත් ගෑස් සිලින්ඩරයේ සිට වතුර බෝතලය දක්වා වූ සියල්ලේම මිල ඉහළ ගිහින්.
එමෙන්ම මේ වන විට දඹදිව සංචාර සංවිධානය කරන්න අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත්තේ එකවර 25 දෙනකු පමණක් රැගෙන යාමටයි. එයත් විශාල ගැටලුවක් වෙනවා. ඉන්දියාවේ බස් රථ මගීන් 45ක් වෙනුවෙන් වෙන් කළ යුතු වන්නේ. ඒවා මගීන් 25ක් ගියත් 45ක් ගියත් එකම ගාස්තුව ගෙවිය යුතු වෙනවා. ඒ නිසා අවම වශයෙන් මගීන් 35ක් 40ක් අතර පිරිසක් ගෙන යාමට අනුමැතිය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ගාස්තු ඉහළ යාමෙන් වන්දනාකරුවන්ගේ පැමිණීමත් බොහෝ අඩුවක් විය හැකියි. ගාස්තු වැඩිවීමට අමතරව අප අවධානය යොමු කළ යුත්තේ සංචාරයට සහභාගි වන බොහෝ අයට මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේ දු පුතුන් විසින් බවයි. ඔවුන්ගේ ව්‍යාපාර බිඳ වැටීම්, ආදායම් අහිමි වීම් වැනි දේ නිසා මේ ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන්නෙ. එම නිසා වැඩිහිටියන්ට මුදල් ලබා දෙන්නට ඔවුන්ට තියෙන හැකියාව අඩුයි.
අමාත්‍යාංශයේ වන්දනා ගමන් සඳහා ලියාපදිංචි කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර ලෙස හෝ සමාගමක් ලෙස ලියාපදිංචි ආයතන පමණයි. එම නිසා අපට ලොකු වගකීමක් මෙවන් කටයුතුවලදී තියෙනවා‘‘
රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. කේ.බී. දිසානායක අදහස් දක්වමින් පවසා සිටියේද මේ වන විට දිගින් දිගටම ඩොලරය මිල ඉහළ යාම නිසා දඹදිව සංචාරයන්ට එය විශාල පහරක් බවයි. ‘‘අපි වන්දනාකරුන්ට රුපියල් 159,000ක් ගෙවා දඹදිව වන්දනා පිණිස රැගෙන යාමට බුද්ධශාසන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන හරහා දැනුම් දුන්නා. නමුත් මේ තත්ත්වය මත රුපියල් 179,000කටත් වඩා වැඩි මුදලක් ඒ වෙනුවෙන් වැය කළ යුතු තත්ත්වයක් දැන් උද්ගතව ඇත්තේ. දිනෙන් දිනම ඉහළ යන ඩොලරයේ අගය අනුව අපිට මෙවන් සංචාරය කිරීම දැඩි ගැටලුවක්. රාජ්‍ය සේවයේ නියුතු සේවකයන්ගේ ඉල්ලීම මතයි පුණ්‍ය භූමි වන්දනා නමින් මේ වන්දනා සේවාව අප ආරම්භ කෙළේ.
එහෙත් මේ වෑයම දැඩි දුෂ්කර කාර්යයක් වනවා. මේ සඳහා රාජ්‍ය සේවකයන්ට රුපියල් ලක්ෂයක ණයක් පවා ලබාගෙන යා හැකියි.
එහෙත් දැන් එය ගැටලුවක් වෙලා තියෙන්නෙ ඩොලර් අර්බුදයත් එක්ක. කොහොම වුණත් අපි මැයි මාසයේ යළිත් දඹදිව සංචාර ආරම්භ කරනවා."
එමෙන්ම ලියාපදිංචි නොමැති සංවිධාන විසින් කුමන හෝ ආකාරයකින් ඉදිරියේදී වන්දනාකරුවන් ගෙනයාමට ක්‍රමවේද සකස් කරනු ඇත. ඒ සම්බන්ධයෙන් වෙනමම අවධානයක් යොමු කළ යුතුය. එසේ නොවුවහොත් ඉදිරියේදී වන්දනාකරුවන් විශාල ගැටලුවකට මුහුණ පානු ඇත.