
සමාජයේ පැවතුණු දැඩි නීති රීති පවා දැන් දැන් ලිහිල් වෙලා
- ලංකි ප්‍රේමරත්න (30) වැල්ලවත්ත - රංගන ශිල්පී
දැන් වසර දෙක තුනකට පෙර යුගය සමඟ සසදද්දි ලෝකයේ විතරක් නෙමෙයි ලංකාවෙත් කොරෝනා රෝගීන් අඩුවෙලා විතරක් නෙමෙයි. දවසකට මිය යන ප්‍රමාණයත් අඩුයි. කොරෝනා සම්බන්ධයෙන් සමාජයේ පැවතුණු දැඩි නීති රීති පවා දැන් දැන් ලිහිල් වෙලා. කොරෝනාත් දැන් උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් තරමට සාමාන්‍යකරණය වෙලා. රටේ වුණත් පහුගිය කාලේ කොරෝනා හේතුවෙන් බිඳ වැටුණු ජන ජීවිතය දැන් ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණෙමින් පවතිනවා. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙනුත් කොරෝනා අඩු වෙමින් පවතිනවා.
කොරෝනා වැලඳීම හා ඉන් මියයාම අඩුවුණේ එන්නත්කරණය නිසයි
- චන්ද්‍රසිරි මාගලගේ (52) මත්තේගොඩ - ව්‍යාපාරික
ක්‍රමානුකූලව මාරාන්තික කොවිඩ් අඩුවීම ගැන නම් අප කාටත් තියෙන්නේ ලොකු සතුටක්. කොරෝනා ව්‍යාප්ත වූ මුල් වකවානුවේ මුළු ලෝකයම හරියට මල ගෙයක් වගේ වුණා. හැම රටකින්ම අහන්නට දකින්නට ලැබුණේ රුදුරු කොරෝනාව ලෝ වැසියන් එකදිගටම බිලිගන්නා ආකාරයයි. ලංකාවෙත් කොච්චර මැරුණද? කොවිඩ්වලට එකම ප්රතිකර්මය ලෙස එන්නත් කීපයක් වරින්වර හඳුන්වා දුන්නා. ලොකු පොඩි භේදයකින් තොරව බහුතරයක් එන්නත ලබා ගත්තා. කොහොම කොහොම හරි දැන් කොරෝනා ලංකාවෙත් බොහොම අඩුයි.
කොවිඩ් නිසා ජනතාව පැනවූ තහංචිත් කොරෝනා අඩුවීමට හේතුවක්
ප්‍රියන්ජිත් බණ්ඩාර (56) මහනුවර - වරාය අධිකාරිය
ලංකාවේ ශීඝ්‍රයෙන් කොවිඩ් පැතිරීගන යද්දි ලබාදුන් කොවිඩ් මර්දන එන්නත නිසා බොහෝ දුරට කොවිඩ් මරණ හා රෝග ව්‍යාප්තිය සීමා කළා. රජය මඟින් විශාල වියදමක් දරමින් නිරෝධායනය මැනවින් සිදුකළා. කොවිඩ් මරණ වෙනම ආදාහනය කළා. සමාජයේ ජන ඒකරාශිවීම් අඩුවන අයුරින් සියලු ක්‍රියාවලීන් විධිමත් කළා. යම් යම් දේ සම්බන්ධයෙන් බලහත්කරයෙන් තහංචි පනවමින්, දැඩි නීති ක්‍රියාත්මක කරමින් පවා උත්සාහ කළේ මේ වසංගතයක් වගේ බෝවන රෝගය දුරස් කරන්නයි.
මුව ආවරණ, යහපත් සෞඛ්‍ය පුරුදු හා අරපරිස්සමත් කොවිඩ් අඩුවීමට හේතුවක්
- විජේසිරි මැණික්පුර (52) බැලුම්මහර - තැපැල් දෙපාර්තමේන්තුව
කොවිඩ් කියන නම ඇහෙනකොටත් මීට අවුරුදු දෙක තුනකට කලින් කවුරුත් පුදුම තරම් බයවුණා. දින, සති, මාස ගණන් එක දිගට රට වහලා දාන්න සිදුවුණා. අදහගන්න බැරි තරමට මිනිස්සු, සතුන් මැරෙන්න ගත්තා. සමස්තයක් වශයෙන් සමාජයේ ජීවත්වන හැම තරාතිරමකම ජනතාවගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. කොවිඩ් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැලඳීම, යහපත් සෞඛ්‍ය පුරුදු, ගෘහඖෂධ භාවිතය හා අරපරිස්සම ආදී විවිධ හේතු නිසා කොරෝනා අඩුවීම ලොකු දෙයක්.
මුල්කාලේ කොවිඩ්වලින් හුඟාක් මැරුණේ එන්නත් නොගත් අයයි
- නිරෝෂා හේරත් (44) අම්පාර - ස්වයං රැකියා
කොරෝනා ලංකාව ආක්‍රමණය කළ මුල් යුගයේ එක දිනකට සීය, දෙසීය මැරෙන්න ගත්තා. ලෝකයේ වගේම ලංකාවෙත් අති විශාල පිරිසක් භීතියෙන් භීතියට පත්වුණා. කොවිඩ් එන්නත මුල් යුගයේ ලංකාවට ගේන්න ප්‍රමාද වුණා. එන්නත් ගෙනාවත් සමහරු එන්නත්කරණය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා බොහොමයක් මැරුණා. එන්නත අනිවාර්ය කළාට පස්සේ තමයි හුඟාක් අය ගත්තේ. එන්නත නිසා කොරෝනා යම් තරමකට හරි පාලනය වුණා කීවොත් නිවැරදියි. එන්නත් නොගත් අය මැරෙන අතර, එන්නත් විදපු අයත් මැරුණා තමයි. ඒත් මේ තරම් ඉක්මනට කොරෝනා ලංකාවේ අඩු වුණේ එන්නත්කරණය නිසයි.
එන්නත්කරණය නිසා කොවිඩ් අඩු වෙලා
- ඩී.සී. සමරනායක (62) පානදුර - සුපරීක්ෂක
කොවිඩ් මරණ ප්‍රමාණය මෙන්ම සමාජයෙන් කොවිඩ් අඩුවීමට හේතුව නිවැරදි වෙලාවට එන්නත්කිරීම හා සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන අයගේ කැපවීමයි. පහුගිය කාලේ වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය සේවකයෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රණවිරුවෝ, හෙද හෙදියන් ප්‍රධාන සෞඛ්‍ය ක්ෂේත්රයේ කුදු මහත් සියලු දෙනාම පුදුම තරම් කැපවීමෙන් කොවිඩ් රෝගීන් වෙනුවෙන් හා කොවිඩ් පාලනයට උදව් කළා. රජය නිසි වෙලාවට ඖෂධ, එන්නත් ලබා දුන්නා. ඒ අතර පොදු සමාජ ක්‍රියාකාරීන්, සංවිධාන පවා කොවිඩ්වලින් රට ගොඩගන්න උදව් කළා. ඉදිරියට අපිට මාක්ස් නැතිව පෙර පරිදි සමාජගත වෙන්න ලැබේවි.