
ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර පාලනය කරමින්, සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඇල මාර්ග සකස් කර අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක වෙයි
මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකින් සමන්විත වේ. ඒ “මොරගොඩ ප්‍රධාන ඇල මාර්ගය සහ මොරගොඩ ඇල හරහා ඉදිකර තිබෙන මිලිද්දුව පාලම” ප්‍රතිසංස්කරණය කිරීම යන කොටස් දෙකයි.
මෙයින් ප්‍රධාන ව්‍යාපෘතිය වනුයේ මොරගොඩ ඇල ප්‍රධාන ඇළ මාර්ග ව්‍යාපෘතියයි. මොරගොඩ ඇල විශාල සහ කුඩා ඇල මාර්ග රාශියකින් සමන්විත වූ ප්‍රධාන ඇල මාර්ගයක් වේ. එය වගුරුබිම් ජාලයකින් ද සමන්විත වේ. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ජලාපවාහන පද්ධතියේ ප්‍රධාන ජලාපවාහන ඇල වනුයේ මොරගොඩ ඇලයි.
නගරයේ ජල පවාහන පද්ධතිය ඇල මාර්ග දෙකක් සහ කපන ලද දියබස්නා ඇලකින් සමන්විත වේ. ඒ මොරගොඩ ඇල, මෝඩ ඇල සහ කැපූ ඇල යන ජල බස්නාවන් තුනෙන්ය. නගරය තුළ ඉදිකර තිබෙන සියලු අතුරු කාණු පද්ධති, දියපාරවල්, අතිරික්ත අපවිත්‍ර ජලය මෙන්ම පාර දෙපස කාණුවල අපිරිසිදු ජලය යන සියල්ල එකතු වන්නේත් මොරගොඩ ඇලටයි. මෙසේ එකතු වන ජලය මොරගොඩ ඇල හරහා මුහුදට ගලා බසී
මොරගොඩ ඇල මාර්ගය රුපියල් මිලියන 590 ක සංවර්ධන ව්‍යාපෘතියක් වන අතර මෙහි කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කරයි.