හැටන් බස් නැවතුම මඩ වළක් | සිළුමිණ

හැටන් බස් නැවතුම මඩ වළක්

හැටන් නගරය මේ දිනවල ශ්‍රීපාදය කරුණා කිරීමට සපැමිණෙන බැතිමතුන්ගෙන් ගහණ නගරයකි. සාමාන්‍යයෙන් ශ්‍රීපාදය වන්දනා කිරීමට බොහෝ බැතිමතුන් තෝරාගන්නා නල්ලතන්නියට ළඟා වීමට තිබෙන ප්‍රධානම නගරය හැටන් නගරය හෙයින් හැටන් බස් නැවතුම් පොළද මේ දිනවල දැඩි සේ කාර්යබහුල ස්ථානයකි.

එසේ කාර්යබහුල හැටන් බස් නැවතුම් පොළ බොහොමයක් දිනවලදී දක්නට ලැබෙන්නෙ තනිකරම මඩ ගොහොරුවකින් යුත් ස්ථානයක් ලෙසිනි.

විශේෂයෙන්ම හැටන් නගරය වර්ෂාපතනයෙන් ගහණ ප්‍රදේශයක් හෙයින් බස් නැවතුම්පොළට යන එන මඟින් ඇතුළු රියැදුරු කොන්දොස්තර මහත්වරුන්ද දැඩි අපහසුතාවන්ට පත් වේ. එසේම ප්‍රදේශයේ පාසල් සිසුන්ද බස් නැවතුමේ නිසි නඩත්තුවක් නොමැතිකමින් ඇතිව තිබෙන දුෂ්කර තත්ත්වයන් නිසා බොහෝ පීඩාවට පත් වේ. දිනපතා හැටන් නගරයට පැමිණෙන අවට වාසින්ද බස් නැවතුමේ නිසි නඩත්තුවක් නොමැතිකමින් විඳවන පිරිසකි.

බස් නැවතුම් පොළ භූමියේ පවත්නා ඇතැම් වළවල් ඉතා විශාලත්වයෙන් යුක්තය. මීට වසර කීපයකට පෙරදී විශාල මුදල් කන්දරාවක් වැය කරමින් කාපට් අතුරා සකස් කළ හැටන් බස් නැවතුම නිසි නඩත්තුවක් නොමැතිකමින් මෙවන් තත්ත්වයක් උදාවී ඇති බව දක්නට ලැබෙන්නකි. එසේම බස් නැවතුම් පොළේ සංවර්ධන කටයුතුද නිසි ප්‍රමිතියකින් සිදු නොකිරීම නිසා මෙකී අභාග්‍ය සම්පන්න තත්ත්වය ඉතා ඉක්මනින්ම උදාවී ඇති බවත් සඳහන් කළ යුතුම කරුණකි. එම නිසා දිනපතා දහස් ගණනක් ජනයා එහා - මෙහා යනෙන හැටන් බස් නැවතුම් පොළ කඩිනමින් පිළිසකර කරන මෙන් බලධරයන්ට දන්වා සිටිමි. බස් නැවතුම නිසි ලෙස සකසා මේ දිනවල ජනතාව විඳින දුෂ්කර තත්ත්වයෙන් ගලවා ගැනීම බලධරයන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන බවද සඳහන් කරමි.

රංජිත් රත්නායක 
හැටන්

 

Comments