
හිරු මහ පොළොව මත ජිවය මැවුවේය. එය සැබෑවකි. එහෙත් පෘථිවිය ජීවයෙන් ආඪ්‍ය කිරීමට ජලයද එතරම්ම වැදගත් භූමිකාවක් ඉටු කරන්නේය. අප ජීවත්වන පෘථිවිය පිහිටා ඇති සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහලෝක සියල්ලම එකසේ සූර්යාලෝකය ලබන නමුත් පෘථිවිය මත පමණක් ජීවය පවතින්නේ එහි ඇති ජල සම්පත නිසාමය. ජලයේ ඇති වැදගත්කම වටහා ගැනීමට එය පමණක්ම ප්‍රමාණවත්ය. ලෝක ජල දිනය ලෙස සෑම වසරකම මාර්තු මස 22වැනි දිනය නම් කෙරෙන්නේ මිනිසා ජලයේ ඇති එකී වැදගත්කම වටහා ගත් නිසාවෙන්මය. 1993 වසර් පටන් සැමරෙන මේ ලෝක ජල දිනය මෙවරද ලොව පුරා සැමරීමට නියමිතය. ඒ 29වැනි වරටය. මෙවර ලෝක ජල දිනයේ තේමාව වන්නේ ‘භූගත ජලය‘ යන්නයි.
මහ පොළොව මත ජලය ද්‍රව, අයිස් සහ වලාකුළු හෙවත් වායු ලෙස පවතිනු හඳුනාගත හැකිය. ඒ කිනම් අන්දමකින් පැවතියද ජලය යනු ජීවයට අත්‍යවශ්‍ය සාධකයකි. කොතරම් වැදගත් වුවද ගොඩබිම වසන ජීවීන්ගේ පරිභෝජනයට ගත හැකි ජල සම්පත හෙවත් ගංගා සහ වර්ෂා ජලය ලෙස පවතින්නේ සියයට 0.01ක් තරම් සුළු ප්‍රමාණයකි. තවත් සියයට 1.7ක පමණ ප්‍රමාණයක් අයිස් වශයෙන් පවතින අතර පෘථිවි ගෝලයේ ගොඩබිම් හැර සියයට 70ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරමින් පවතින්නේ සාගර ජලයයි.
සාගර ජලය වුවද පෘථිවියේ ජීවයට ආශිර්වාදයක් වන්නේ සමුද්‍ර ජීවීන්ගේ පැවැත්මට උපකාරී වෙමිනි. සාගර ජලය මේ වන විට මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.
ගංගා සහ වර්ෂා ජලය සැලකුවද ඉන් සියයට 70ක් පමණ මිනිසා භාවිත කරන්නේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. කෘෂිකර්මාන්තය යනු මිනිසාගේ ආහාර සම්පාදනය වෙනුවෙන් කරන දැවැන්ත කාර්ය භාරයකි. එහි මූලික පදනම සැපයෙන්නේද ජලයෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ හුස්ම පමණක් නොව, පානීය ජලය පමණක් නොව ආහාර සම්පාදනයේද පදනම වන්නේ ජලය බවයි. ඒ අනුව ජලය මිනිසාගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම අණසක පතුරුවා ඇති බව පැහැදිලිය.
සමස්ත ලෝකයේ මානව ආර්ථිකය සලකා බැලූ විට ඒ සියල්ල ජලය හා බැඳී ඇත්තේ පුදුමාකාරයෙනි. මිනිස් නිෂ්පාදන ක්‍රියාකාරකම් කොන්ක්‍රිට්, රබර් හෝ වානේ යනාදී වශයෙන් සැලකූවද ඒ නිෂ්පාදනවල කිසියම් අවස්ථාවකදී ජලය යොදා ගන්නා බව පෙනේ.
මිනිසා හැර පෘථිවිය මත සෙසු ජීවය සැලකුවද ගහකොළ වන සතුන් සියල්ලම ජලය මත යැපෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සතුව ඇත්තේද ජලය හා අති සමීපව බැඳුණු කෘෂිකාර්මික ආර්ථික රටාවකි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන් සිරිවර්ධන පවසන්නේ මෙබඳු අදහසකි.
“ශ්‍රී ලංකාවේ ජල සම්පත් භාවිතයන් පිළිබඳව සැලකූ විට වැඩි වශයෙන් භාවිතා වන්නේ වර්ෂාපතනය ප්‍රධාන මූලාශ්‍රය කරගත් මතුපිට ජලයයි. රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20% ක පමණ ප්‍රමාණයක් වගාවෙන් වැසී ඇත. මුළු භූමියෙන් 50% ක පමණ ප්‍රමාණයක් පරිසර හිතකාමි තත්ත්වයක පවතින අතර ඉතිරි 50% ක ප්‍රමාණය තුළ මිලියන 22ක් පමණ වූ ජනතාව විවිධ ක්‍රියාකාරකම් තුළ ජීවත් වෙති. මෙහිදී ජනාවාස, දුම්රිය මාර්ග, මහා මාර්ග හා විශාල ගොඩනැගිලි සඳහා වෙන් වී ඇති භූමි ප්‍රමාණය සංකීර්ණ තත්ත්වයක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන්, මිලි මීටර් 2,000 ක පමණ සැලකිය යුතු මට්ටමේ වාර්ෂික දළ වර්ෂාපතනයක් පැවතියද ජලය ගබඩා කරගැනීම සඳහා විශාල ජලාශ ඉදිකිරීමේදී විසඳාගත යුතු අභියෝග රාශියක් පවතී.
ඉහත සමස්ත තත්ත්වය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ජල සම්පත් සැලසුම්කරණය සිදු කළ යුතුව ඇත. ඉදිරි 2030 දක්වා සහ 2040 දක්වා අවශ්‍ය ජල සම්පත් සැලසුම් මේ වනවිට කෙටුම්පත් කර තිබේ. සමස්තයක් වශයෙන් ගත්කල මුළු ජනගහනයෙන් 20% ක් ඍජුවමද තවත් 15% ක් පමණ වක්‍ර ආකාරයෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන අතර මෙයින් වැඩි පිරිසක් මහා වාරිමාර්ග ව්‍යාපාරයන්හි කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටිති.
වාරි කර්මාන්තයේ ඉහත විස්තර කරන ලද කෘෂිකාර්මික ප්‍රතිලාභවලට අමතරව ජාතික වශයෙන් වැදගත්කමක් සහිත තවත් ප්‍රතිලාභ බොහෝය. ඒ අතර පානීය ජලය සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය
ලබාදීම වාරි ජලාශ හා ආශ්‍රිත අනෙකුත් ජල මූලාශ්‍ර වලින් සපුරාලනු ලැබේ. රජයේ ‘සැමට ජලය‘වැඩසටහන යටතේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් වසර 2040 දක්වා අවශ්‍ය කරන පානීය ජල අවශ්‍යතාවය හඳුනාගෙන ඉදිරිපත් කරන ලද ජල සම්පාදන යෝජනා සියල්ලම සඳහා අවශ්‍ය ජල මූලාශ්‍ර හඳුනාගෙන අදාළ මූලික අනුමැතිය මේ වනවිට ලබා දී ඇත. මෙම වැඩසටහන එතරම් සරල ක්‍රියාවක් නොවේ. ජලය කොපමණ තිබුණද පානීය ජලය සඳහා නිසි ගුණාත්මක භාවයකින් යුතු ජල මූලාශ්‍ර සොයාගැනීම අභියෝගාත්මක කරුණකි. පසුගිය වසර 2 ක් තුළ කරන ලද විශාල ව්‍යායාමයක ප්‍රතිඵලයක් වශයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හඳුනාගෙන පානීය ජල අවශ්‍යතාවය සඳහා ජල මූලාශ්‍ර වෙන් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරන ලද විශේෂ වැඩසටහනකි.
සංචාරක කර්මාන්තයේ වැඩි පංගුවක් වාරි ජලාශ ආශ්‍රිත වනජීවී කලාප මත රඳා පවතී. ඒ අනුව ජල සම්පත් නිසි අවබෝධයකින් යුතුව භාවිතා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් වන්නේය.“
ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජලය හා බැඳුණු සංස්කෘතියකට උරුමකම් කියන අපට ජලයේ ඇති වැදගත්කම අමුතුවෙන් වටහා දිය යුතු හෝ සිහිපත් කළ යුතු නොවේ. වාසනාවකට මෙන් ජල සම්පතින් කිසිඳු අඩුවක් නොමැති භූමියක උපත ලැබූ අපි ජලයට නිසි ගෞරවය ලබා දීමට සංස්කෘතියෙන්ම කැප වූහ.
ජලය හා බැඳුණු ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක පවසන්නේ මෙවන් අදහසකි.
“ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ජලයට ගෞරවයක් හිමිවෙනවා. ගෞරවනීය ව්‍යවහාරයේදී අපි වතුරට නැත්නම් ජලයට පැන් කියලා කියනවා. මල්වලට පැන් ඉහනවා කියනවා, පැන් වඩනවා කියනවා. අපි ජලයට අපේ සංස්කෘතියේ විශේෂ වටිනාකමක්, ගෞරවයක් ලබා දෙනවා. වතුර අපට නැතුවම බැරි දෙයක්. ‘මැරෙන මොහොතේදී වතුර උගුරක් දෙන්න කෙනෙක් නෑ‘ කියලා කට වහරේ එන්නේ ඒ තරමට වතුර අපට නැතුම බැරි දෙයක් නිසා. ආහාර ගැන අපි එහෙම කියන්නේ නැහැ.
ඒ වගේම ජලය අපේ කාන්තාවන් සමඟ ඉතා සම්බන්ධයි. අපේ දැරියන් වැඩිවිය පැමිණියාම සුබ නැකතට නාවනවා. ඒකට කියනවා ඉසදිය මංගල්‍යය කියලා.
නුවර පෙරහැරේ අන්තිම දවසේදී දිය කපනවා. අපේ මතයක් තියෙනවා අහසේ එකම දිය කඳක් තියෙනවා කියලා. ඉතින් වහින්න නම් මේ දිය කඳ කපන්න ඕනේ. ඉතින් අහසේ දිය කපන්න බැරි නිසා පොළොවේ දිය කපනවා. එහෙම කළාම වැස්ස ලැබෙනවා කියලා විශ්වාස කරනවා. බෝධීන් වහන්සේ පැන්වලින් නාවනවා. තිසා වැවෙන් පැන් ගෙනත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ නෑවීමේ අවස්ථාවට පැන් පෙරහැර කිව්වා.
ජලය මූලිකව භාවිත කරන්නේ කය පිරිසිදු කර ගන්න. එතනදී කය විතරක් නෙමෙයි හිතත් පිරිසිඳු කර ගන්න අපේ සංස්කෘතියේ ජලය භාවිත කළා. ඒ තමයි භික්ෂූන් වහන්සේ නමක් නිවසට වැඩම කළ අවස්ථාවකදී ගෙහිමියා විසින් පා දෝවනය කරන අවස්ථාව. එසේ කිරීමෙන් මිනිසුන්ගේ මාන්නය, කෙලෙස් මල හේදිලා යනවා. උඬගු බව නැතිවෙනවා.
මේ අන්දමට අපේ සංස්කෘතිය සහ ජලය අතර ලොකු ගනුදෙනුවක් තිබෙනවා.“
ජලය යනු මිනිසාගේ යහපත් සෞඛ්‍ය පැවැත්ම සඳහාද අතවශ්‍ය සාධකයක් වේ. පිරිසිදු ජලය නියමිත ප්‍රමාණයක් පානය කිරීමකින් තොරව මිනිසාට ජීවය පවත්වා ගත නොහැකිය. ආහාර නොමැතිව දින දෙක තුනක් හෝ ජීවත් විය හැකි වුවද ජලය නොමැතිව මිනිසාට පැවතිය හැකි වන්නේ පැය කිහිපයක් පමණි. ජලය සහ මිනිසාගේ සෞඛ්‍ය අතර සම්බන්ධතාව අතර පවත්නා අතිශය වැදගත් සබඳතාව මත සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති, විශේෂඥ වෛද්‍ය වින්යා ආරිරත්න පවසන්නේ මෙවන් වූ අදහසකි.
“සෑම මිනිසකුටම පිරිසිඳු ජලය නිශ්චිත ප්‍රමාණයක් අත්‍යවශ්‍යය වනවා. ලංකාවේ ජනගහනයෙන් අති බහුරයත් මේ වන විට ප්‍රමාණවත් තරමින් පිරිසිදු ජලය ලබා ගැනීමට සමත්. මිනිසාගේ අවම දෛනික ජල පරිභෝජනය ලීටර දෙකකි. එමෙන්ම පිරිසිඳුකම පවත්වා ගැනීම සඳහා ද මිනිසාට ජලය අවශ්‍ය වේ. එහෙත් භාවිතයට ගන්නා ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන්ද මිනිසා සැලකිලිමත් විය යුතුයි.
අප පරිභෝජනයට ගන්නා ජලය විවිධ ක්‍රමවලින් අපවිත්‍ර වේ. මීට ටික කලකට පෙර පාචනය වැනි රෝග අපේ රටේ දරුවන් අතර පැතිර ගියේ අපවිත්‍ර ජලය හේතුවෙනි. අද වන විට ජලයට අසූචි මිශ්‍ර වීම වැනි ගැටලු වළක්වා ගැනීමට අපට හැකිවී තිබුණද ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමේ අවධානමට අප තවමත් මුහුණ දෙමින් සිටිමු. ජලයට මිශ්‍ර වන රසායනික පොහොර අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයකට වකුගඩු රෝග ඇති කර තිබේ. එබැවින්ම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමකින් තොරව පිරිසිඳු ජලය භාවිත කිරීම සම්බන්ධව අප සියලු දෙනා අවධානය යොමු කළ යුතුය.
ලෝක ජල දිනය මාර්තු 22වැනි දින සැමරෙන අතර ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 7වැනිදා සැමරේ. එහිදී අප මිහිතලය මත වෙසෙන සැමගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ජලය සහ මිනිසාගේ සෞඛ්‍ය අතර ඇති අන්තර් සම්බන්ධය එහිදී ඉතා වැදගත් වේ. කාලගුණ විපර්යාසද මිනිසුන්ගේ සෞඛ්‍යට බොහෝ බලපෑම් ඇති කරයි. උණුසුම් කාලගුණය හේතුවෙන් මිනිසා මුහුණ දෙන විජලන තත්ත්වය මෙන්ම ජලය ආශ්‍රිත ආපදා, එනම් ගං වතුර, සුනාමි වැනි තත්ත්වයන් කෙරෙහිද මිනිසාගේ අවධානය යොමු විය යුතුය. ප්‍රජාව දැනුම්වත් කළ යුතුය.
මේ සියල්ල සමඟ පිරිසිඳු ජලය ප්‍රමාණවත්ව ලැබීමෙන් නිරෝගී දිවියක් ගත කිරීමේ අයිතිය සෑම මිනිසකුටම එකසේ ලබා දිය යුතුය.
ජලයේ ඇති වැදගත්කම වටහා ගත් වසර දහස් ගණනකට පෙර ජීවත් වූ අපේ මුතුන් මිත්තෝ ජලය ආරක්ෂා කර ගැනීමට විශ්මකර්ම ඉදිකිරීම්වල නිරත වූහ. ජලය මත ගොඩනැඟුණු වාරි සංස්කෘතියක උරුමකරුවන් වන අපිට අමුතුවෙන් දින වෙන්කර ජලය කෙරෙහි අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවක් නොමැත. එහෙත් ඒ කෙසේ වුවද ජලය යනු මේ මිහිතලය මත ජිවය මවන්නාය. ජීවත පවත්වාගන්නාය. මේ මිහිතලය මත සියලු සතුන්ද, ගහකොළද මිනිසාද ඔහුගේ සියලු ක්‍රියාකාරකම්ද රඳා පවතින්නේ ජලය මතය. එබැවින්ම ජලය යනු පෘථිවියේ ජීවය පවත්වා ගන්නා අවර්ණ රුහිරු දහරාව ලෙසින් හැඳින්වීම, රුහිරු තරම්ම හෝ එයටත් වඩා වැදගත් වටිනාකමක් ලබා දීමට කටයුතු කිරීම මිනිසා විසින් අප්‍රමාදව කළ යුත්තකි. කළගුණ සැලකීමකි.