වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත... | සිළුමිණ

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...

කුළු හරකා නිර්වි­න්දන කිරීම සඳහා එන්නත් තුව­ක්කු­වක් ආධා­ර­යෙන් ලබා­දුන් අයුරු.

- පළමුවෙන් නිර්වින්දන මාත්‍රාව අඩුකරලයි ලබා දුන්නේ; අනතුරුව සිහි නැති කර ප්‍රතිකාර කළා
- සතුන්ගේ ගහනය වැඩිවීම ඇතුළු විවිධ හේතුන් පදනම් කරගනිමින් ආරක්ෂිත සත්ත්ව ලේඛනයෙන් කුළු මීමා ඉවත්කර තිබෙන බව වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි. 
- පාදයේ තුවාලය නිසා කුළු මීමාගේ ශරීරයත් අඩපණ වෙලා

මෙරට වනාන්තරවල වෙසෙන සතුන් අතරින් අති භයංකරම සත්ත්වයකු ලෙස සැලකෙන කුළු හරකා කිිට්ටුවට ගම්වැසියෝ නොයන්නේ ඌ කොයි මොහොතේ හඹාවිත් ප්‍රහාරයක් එල්ල කරාවිද යන්න සැක නිසාය. ශක්තිමත් ශරීරයත් වක් ගැසුණු දිගු අං තට්ටුවත් නිසා කුළු හරක් ප්‍රහාරයකින් දිවි ගලවා ගැනිම අසීරු බව දන්නා ගම්වැසියෝ වන වදුලේ සැරිසරත්දී හැකි තරම් මේ සත්ත්වයා මඟ හැර යන්නට පුරුදුව සිටිති. අලි මිනිස් ගැටුම මෙන් කුළු හරක් මිනිස් ගැටුමක් පිළිබඳ අප අසා නැත්තේ කුළු හරක් ගම් වැදීම කලාතුරකින් සිදුවන නිසාය. එසේවුවත් මොරගොල්ල රක්ෂිතයේ සිටි පැමිණි කුළු හරකකු හිටිහැටියේ ගම්පොළට අයත් දම්පර හන්දිය, මාවතුර, වැලිගඟ හා අලුත්ගම ආදි ප්‍රදේශ වල සැරිසරන්නට වූයේය. පිටුපස දකුණු පාදයේ කුරයද සමඟ කොටසක් කැඩී යාමෙන් ඇතිවූ තුවාලයක් හේතුවෙන් වේදනාවෙන් පසුවූ මෙම කුළු මීමා නිතර ගම්වැදීම නිසා ගම්වැසියන්ද තරමක භීතියට පත්ව සිටියේ කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වේ ද යන සැකය හේතුවෙනි. 

මාසයකට වැඩි කාලයක් මෙලෙස ගම්මාන ආශ්‍රිතව සැරිසැරූ කුළු හරකාට ඉක්මනින් ප්‍රතිකාරයක් නොකළහොත් උගේ ජීවිතය පවා නැතිවන්නට ඉඩක් තිබෙන බව වටහාගත් මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ සේවය කරන ජයරත්න බණ්ඩාර ඉලංගන්තිලක මෙම සතා පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබාදීම සඳහා ඒ පිළිබඳව මාධ්‍යවේදී සුරංග රාජනායකට දැනුම් දී තිබේ.

තුවාලය සමඟ අධික වේදනාවෙන් සිටි කුළු හරකාට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුම ආරම්භ වූයේ සුරංග ගේ මැදිහත් වීම මතය. මාධ්‍ය ඔස්සේ සිද්ධිය වාර්තා කිරීමෙන් ඔබ්බට ගොස් ඔහු මුලින් කල්පනා කළේ සතාට ප්‍රතිකාර කරන ක්‍රමයක් ගැනය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුරංග රාජනායක දැක්වූයේ මෙවන් අදහසකි.

‘පාදයක තුවාලයක් ඇතිව කුළු මීමකු ගම්වැදී සිටින බවට ඉලංගන්තිලක මහතා ලබා දුන් තොරතුර මම ගම්පොළ වනජීවි කාර්යාලයට දැනුම් දුන්නා. කුළු මීමට ප්‍රතිකාර කිරීමට නම් මුලින් ඌව සිහි නැති කළ යුතු බවත් ඒ සඳහා පහසුකම් නැති බවත් එම නිලධාරීන් පැවසුවා. පසුව මම ගම්පොළ පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ධම්මිකා මහත්මියට සතාගේ තත්ත්වය කිව්වා.එතනින් සත්ත්ව නිෂ්පාදනය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට සිද්ධිය දැනුම් දී තිබුණා. කුළු හරකා සැරිසරන ප්‍රදේශ පිළිබඳව ගම්මුන්ගෙන් තොරතුරු ලබාගෙන ඔවුන්ගේ සම්බන්ධීකරණය යටතේ සතාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට අවශ්‍ය පසුබිම සකස් කිරීම මම කළා. මෙම සතා අල්ලා ගැනීම පහසුකර ගැනීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය මඟින් අටබාගේ යුද හමුදා ආපදා පුහුණු කඳවුරට දැනුම් දීමක් කළා. ඒ අනුව එහි කැප්ටන් නලීන් ඉලේසිංහ මහතා විසින් සෙබළ කණ්ඩායමක් ලබා දුන්නා. ගම්පොළ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති වෙලගෙදර මහතා දැනුවත් කිරීම මඟින් උප පොලිස් පරීක්ෂක හේරත් මහතා ඇතුළු පිරිසකගේ සහය මේ සඳහා ලබා ගැනීමට පුළුවන් වුණා‘

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍යවරු හා නිලධාරීන් ප්‍රතිකාර කරනු ලබන්නේ ගෘහාශ්‍රිතව සිටින හීලෑ සතුන්ටය. හදිසි අවශ්‍යතාවකදී ඒ සතුන් නිර්වින්දනය කිරීම සඳහා එන්නත් ලබාදීම සතා ආසන්නයටම ගොස් කළ හැකිය. මේ නිසා ඈත සිට තුවක්කුවක් අධාරයෙන් නිර්වින්දන එන්නත් ලබාදීමේ පහසුකම් ඒ දෙපාර්තුමේන්තුව සතුව නොමැත. එසේ වුවත් කුළු හරකාගේ ජීවිතය බේරා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේද සහය ලබා ගනිමින් සැලසුම් දියත් කරන්නට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය එච්. එම්. ආර්. යූ. බී හේරත් පියවර ගත්තේය. මේ සතාට ප්‍රතිකාර කිරීමේදී අපිට ගැටලු දෙකක් ඇති වුණා. එකක් තමයි කුළු හරකා වනජීවි දෙපාර්තුමේන්තුව මඟින් ඔවුන්ගේ ආරක්ෂිත සත්ත්ව නාම ලේඛනයෙන් ඉවත් කර තිබීම. ඒ නිසා සතාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම අසීරු වුණා. අනෙක් කාරණය අප සතුව දුරසිට සිහිනැති කිරිමේ එන්නත් ලබාදීමේ තුවක්කු නොමැති වීම. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාට සිද්ධිය දැනුම් දී එතුමාගේ සහයෝගය මත වෛද්‍ය කණ්ඩායමක් මේ වැඩේට යොදා ගත්තා. ඔවුන් අවදානමක් අරගෙන ඉතා හොඳින් සතාට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය දියත් කළා‘

කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ 1979 වසරේදී කොත්මලේ ජලාශය ඉදි කිරීමට යාමේදී කොත්මලේ ආශ්‍රිත කඩදොර පිටිය, නවන්ගම, මාවෙල පහළ කොටස, ලියන්ගන්දොර, කළපිටිය පහළ කොටස ආදි ගම්මානවල ජනතාව ඉඩම් ලැබ වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය විය. ගොවිතැනින් ජීවත් වූ ඒ පිරිස් ගම්මාන හැරයාමේදී තමන් සතු මී ගවයින් වනයට අත්හැර ගිය අතර වසර ගණනාවකට පසු ඒ සතුන්ද සමඟ දැන් ප්‍රදේශයේ කුළු හරක් ගහනය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. 

වනජීවි හා වන සත්ත්ව ආරක්ෂණ පනත අනුව ක්ෂීරපායි වන සතුන් කොටස් තුනකට වෙන්කර තිබේ. පළමු කණ්ඩායම දැඩි ආරක්ෂිත සතුන්ය. දෙවන කණ්ඩායම ආරක්ෂිත සතුන් වන අතර තෙවැන්න වන්නේ ආරක්ෂිත නොවන ක්ෂීරපායි සතුන්ය. කුළු හරකා අයත් වන්නේ එම කණ්ඩායමටය. සතුන්ගේ ගහනය වැඩිවීම ඇතුළු විවිධ හේතුන් පදනම් කරගනිමින් ආරක්ෂිත සත්තුව ලේඛනයෙන් කුළු මීමා ඉවත්කර තිබෙන බව වනජීවි දෙපාර්තුමේන්තුව පවසයි.

මේ ආකාර ගැටලු මධ්‍යයේ කුළු මීමාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උගේ පාදයට ප්‍රතිකාර කිරීමේ වගකීම බාරගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,වෛද්‍ය කලෙයිචෙල්වම් නිශානන්ද, කථිකාචාර්ය,වෛද්‍ය සඳමාලි පෙරේරා, වෛද්‍ය ශසික මදුෂාන් සහ ලසිත පෙරේරා යන අයයි. මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය කලෙයිචෙල්වම් මහතා මෙසේ පැවසුවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සිසුන්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා මේ ආකාර සතුන්ට ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් තිබෙනවා. නිල වශයෙන් දැනුම් දීමක් කළොත් තමයි අපි ඒකට යොමු වෙන්නේ. මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වන සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්නත් මේ කණ්ඩායම වාර්ෂිකව සම්බන්ධ වෙනවා. මේ සතාගේ පසුපස දකුණු පාදය මන්දකට අසුවී තිබෙනවා. එයා මේක කඩාගෙන යත්දී පාදයේ කුරයේ කොටසක් කැඩීමෙන් ඇතිවූ තුවාලය ක්‍රමයෙන් විශාල වූ බවක් දකින්න ලැබුණා. කුළු මීමා ඉන්නේ ඝන කැලෑවේ. ආබාධයක් එක්ක ඉද්දී එයාගේ ජීවිතයට වන සතුන්ගෙන් තර්ජන එල්ල වෙනවා. ඒවායින් මිදෙන්න නම් එයා ප්‍රහාර එල්ල කරන වන සතුන් නොමැති මිනිස් වාසයට ආසන්න ප්‍රදේශවලට පැමිණිය යුතුයි. ඕනෑම දරුණු සතෙක් තුවාලයක් වුණාම මිනිස් වාසය තිබෙන පැත්තට ක්‍රමයෙන් සංක්‍රමණය වෙන්නේ මේ නිසයි. මේ කුළු මීමත් එලෙස ගම්වැදී තිබෙනවා. සතා සොයා ගැනීම සඳහා ගම්වාසීන් ලබාදුන් තොරතුරු ඔස්සේ කිලෝමීටර කිහිපයක් වතුර පාරවල් දිගේ යන්න අපට සිදුවුණා. වතුර වලක බැහැලා ඉද්දී අපිට සතාව දැක ගන්න ලැබුණා. ප්‍රතිකාර කිරීමට පෙර මෙයාව සිහිනැති කරන්න දිය යුතු මාත්‍රාව පිළිබඳ ප්‍රශ්නයක් ආවා. මොකද තුවාළය නිසා ආහාර ගැනීමට නොහැකිව සතා තරමක් දුර්වලව සිටියා.අනෙක් පැත්තෙන් තුවාලය ඔස්සේ විෂබීජ ශරීරගත වෙලාද කියන ප්‍රශ්නයත් ආවා. ශක්තිමත් සතෙකු නිර්වින්දනය කිරීමට දෙන සම්පූර්ණ මාත්‍රාව දුන්නොත් සතා මැරිලම වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි මාත්‍රාව අඩුකර එන්නතක් ලබාදී සතා අඩපණ කළා. ඉන්පසු අනෙක් මාත්‍රාව ලබාදී සිහිනැති කළා. පසුව සතාට අවශ්‍යය ප්‍රතිකාර ලබා දුන්නා. මෙයාගේ කුරයත් සමඟ කොටසක් කැඩීගොස් තිබෙන නිසා කකුල තරමක් කොටයි. ඒ නිසා එයා නොණ්ඩි ගසමින් තමයි ඇවිදින්නේ.

පාදයේ ආබාධයක් සහිතව අධික වේදනාවෙන් මරණය පෙනී පෙනී සිටි කුළු මීමාට ජීවය දෙන්නට ගම්පොළ අටබාගේ පිහිටි යුද හමුදාවේ ආපදා පුහුණු ඒකකයේ සහ ගම්පොළ පොලීසියේ නිලධාරීන් සහ ගම්වාසීන්ගෙන් වෛද්‍ය කණ්ඩායමට ලැබී ඇත්තේ නොමද සහයකි. මෙම කුළු හරකාගේ පාදයක් අසුවී තිබුණේ මුවන් හා ගෝනුන්ට ඇටවූ උගුලකටය. වන සතුන්ට උගුල් අටවා උන් අල්ලා මරා මස්කර මුදල් හොයන පාපතරයන් අතර උතුම් මිනිස් ගුණයෙන් පොහොසත් පිරිස්ද සිටින බව පසක් කිරීමට මෙම සිදුවීම හොඳටම ප්‍රමාණවත්ය.

ඡායාරූප - ගම්පොළ සමූහ

Comments