ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අද තත්ත්වයට පසුබෑවේ ඇයි? | සිළුමිණ

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අද තත්ත්වයට පසුබෑවේ ඇයි?

 

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ටයි කෝට් ගලවා ගුටි කෑවේ ය. රෝහිත් ෂර්මාගේ කණ්ඩායමෙන් දණ නොව තුන් තැනම බිම වදින්නට ගුටි කෑවේ ය. අවසානයේ පසඟ පිහිටුවා වැඳ වැටීවත් ගොඩ එන්නට හැකියාවක් ලැබුණේ නැත. ශ්‍රී ලංකාව මෙතරම් අසරණ තත්ත්වයකට ඇදවැටුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් තැබෙන සංක්ෂිප්ත සටහනකි මේ.’

ඉන්දු - ලංකා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3/0 කින් ශ්‍රී ලංකාව අන්ත පරාජයකට පත් වූ අතර, අනතුරුව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ඉනිමක දැවැන්ත ජයක් හිමි කර ගනිද්දී නායක දිමුත් කරුණාරත්න පැවැසුවේ එකි ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වේයැයි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බවයි. ක්‍රීඩාවෙන් දියුණු ලොව ඕනෑ ම රටක එකී සාර්ථකත්වය ජයග්‍රහණය ම නොවන නමුත්, අන්තර්ජාතික තරගවල දී ඕනෑම මොහොතක ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු විය හැකී මට්ටමේ දස්කම්වලින් පිරිපුන් දේශීය ක්‍රීඩකයන්ගේ යාන්ත්‍රණයක් ගොඩනැඟී නැත්නම්, දේශීය වශයෙන් ක්‍රීඩකයන්ගේ හිඟයක් ඇත්නම් එරට ක්‍රීඩාව පමණක් නොව පරිපාලනය මෙන් ම සමස්ත ක්‍රීඩාවම අසාර්ථක ය.

ඒ අනූව දශකයේ ආරම්භය යි. ඊට දශකයකට දෙකකට පෙර දැරූ උත්සා-හයන්ගේ ප්‍රතිඵලයන් ලෙස ශ්‍රී ලංකවේ ක්‍රිකට් පමණක් නොව විශේෂයෙන් මලල ක්‍රීඩාවේ, වොලිබෝල්, පාපන්දු ක්‍රීඩාවේ ශීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කළේ අනූව දශකයේ ය. එකී දශකය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය දශකය ලෙස හැඳින්වුව ද වරදක් නැත. අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා එම යුගයේ ගොඩනැඟුණු බල කණු ද්විත්වය ය.

96 ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකා දිනා ගන්නා ගමන් මඟෙහි මහා අත්තිවාරම වූ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යුගලය වටා මහා පවුරක් සේ ගොඩනැඟුණු බලවේගයන් වූයේ රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, අසංක ගුරුසිංහ සහ සනත් ජයසූරිය යි.

මෙකී හය දෙනා මෙහි විශේෂයෙන් සඳහන් කළේ, වෙනකක් නිසා නොව, ඔවුහු අනූව දශකය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ 11 දෙනාගෙන් නිත්‍ය ලෙස කණ්ඩායම නියෝජනය කළ හයදෙනා වන හෙයිනි. 1995 දී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ මෙකී 06 දෙනාට අමතරව කණ්ඩායමට එක් වූයේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ සහ කුමාර් ධර්මසේනයි.

මොවුන් 11දෙනාම 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ජයක් හිමිකර දීමට ද සමත් වූ හ. ඉන් අනතුරුව සනත් සහ මාවන් යුගය ඇරැඹි අතර ඉන්පසු ආවේ සංගා - මහේල යුගය යි. කනගාටුකදායක තත්ත්වය වනුයේ ඉන්පසු එවන් යුගයක් බිහිනොවීම ය.

ඒ අතර වාරයේ ඇන්ජලෝ මැතිව්ස් මතු වූ නමුත් ඇන්ජිගේ ආබාධයන්ට නිසි උත්තර නොලැබුණු නිසා දැනට ඔහු සම්බන්ධයෙන් ඇත්තේ වරින්වර නිකිණි කොටන්නා සේ ඇතිවී නැතිවී යන මතකයන් පමණි. දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න යුගයක පෙර නිමිති බොහෝ දෙනාගේ සිත් තුළ ඇති වුව ද, විවිධාකාර හේතූන් මත ඒවා ද මහ පොළොවට ම සමතලා විය.

මේ සියල්ලට ම හේතුව ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් දියාරු වී යෑමයි. කොටින් ම ක්‍රිකට් ගැන නොදන්නා පාලකයන් මහා පුටුව බාර ගත්තායින් පසුව නිසි ප්‍රමිතියේ ක්‍රීඩකයන්ගේ සිට, පුහුණු කාර්ය මණ්ඩල, ක්‍රීඩාංගණ, තණතිලි, තරගකාරීත්වයක් සහිත තරගාවලි, ක්‍රීඩා සංගම් ලංකේය ක්‍රිකට් ක්‍රීඩාවෙන් දුරස් වූ විට ඉතිරි වූයේ අතිශය කනගාටුදායක වර්තමානයකි. එහෙයින් ඉන්දු -ලංකා ප්‍රථම ටෙස්ට් තරගයේ රවීන්ද්‍ර ජඩේජා මුල් ඉනිමේ නොදැවී ලබා ගන්නා ලකුණු 175 වත් රැස්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.

අනූව දශකය වන විට මෙරට සෑම තරගාවලියක දී ම දැකිය හැකිව තිබූ සුවිශේෂී කරුණක් වන්නේ අන්තර්ජාතික අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සෑම විටම එම තරගවලට ක්‍රීඩා කිරීමයි. ඉන් සිදුවූයේ අන්තර්ජාතික අත්දැකීම් දේශීය ක්‍රීඩකයන් හා බෙදාහදා ගැනීමට අවස්ථාව උදා වීමය.

උදාහරණයක් ලෙස චමින්ද වාස් දේශීය තරගවල පන්දු යවද්දී ඉනිම ආරම්භ කරන පිතිකරුවකුට අන්තර්ජාතික තරගවලදී අසරණ වන්නට ඉඩකඩ සීමිත ය. ඒ ඔහු දේශීය පිටියේ දී ඉනිම ආරම්භ කරන්නේ ම ලෝක පූජිත චමින්ද වාස්ට එරෙහිව නිසා ය. ඔහුට ඉනිම මැද දී හමු වන්නේ මුත්තයියා මුරලිදරන් වැනි දඟ පන්දු යවන්නකු නම්, ඉනිම අවසන් කරන්නට සිදු වන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රුවන් කල්පගේ, රවින්ද්‍ර පුෂ්පකුමාර, රංගන හේරත්ට එරෙහිව නම් ලැබෙන අත්දැකීම් ප්‍රමාණය සුවිශාල ය.

පිතිකරුවකුගේ පැත්තෙන් පමණක් නොව, පන්දු යවන්නෙකුට වුව ලැබෙන එකී අත්දැකීම්වල ප්‍රමාණය මොන මිම්මකින්වත් ගණනය කළ නොහැකි තරම්ය. සනත් - කළු වැනි ප්‍රහාරකයන්ගෙන් මිදී පන්දු යවන්නට හුරු වන වේග සහ දඟ පන්දු යවන්නකුට ලොව ඕනෑම ප්‍රහාරක පිතිකරුවකු ඉදිරියේ හිස කෙළින් තබාගෙන පන්දු යැවිය හැකි ය.

අරවින්ද ද සිල්වාට පන්දු යවන පන්දු යවන්නකුට ලොව ඕනෑම මට්ටමේ පිතිකරුවකු ඉදිරියේ පන්දු යැවිය යුතු ආකාරය ගැන අමුතුවෙන් උපදෙස් දීමට කිසිවෙකුත් ළඟපාතක සිටිය යුතු නොවේ. නැතිනම් සිදු වන්නේ ඔස්ට්‍රේලියාවේ දී මෙන් ලසිත් මාලිංගට ක්‍රීඩාංගණය වටා දුවමින් පන්දු වාරයෙන් පන්දු වාරයට උපදෙස් දෙන්නට ය.

තිලාන් සමරවීර, චාමර සිල්වා, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් සොයිසා, ඩිල්රුවන් පෙරේරා වැනි ක්‍රීඩකයන් බිහි වූයේ එලෙසිනි.

සනත් ජයසූරිය, මහේල, සංගා, ඩිල්ෂාන්, මුරලිදරන්, රංගන, නුවන් කුලසේකර වැනි ක්‍රීඩකයන් මේ ගෙවෙන මොහොතේ කණ්ඩායමේ නැත. එය අවාසනාවක් ද, කරුමයක් ද යන්න දන්නේ මෙරට ක්‍රිකට් කරවන පාලකයන් ම ය.

 

Comments