යුක්රේනය රුසියාව සාම සාකච්ඡාවලට කල් බලති | Page 2 | සිළුමිණ

යුක්රේනය රුසියාව සාම සාකච්ඡාවලට කල් බලති

රුසියාව සතු හමුදා බලය යෙදීමෙන් යුක්රේනයේ කීව් අගනුවර අල්ලා ගැනීමට හොඳටම හැකියාව පැවතියද රුසියානු හමුදා මේ දක්වා කිව් නගරය අත්පත් කර ගැනීමට කටයුතු කර නැත. පසුගිය සතියේදී සිවු දෙසකින් කීව් නගරය වට කළ රුසියානු හමුදාව නගරය අත්පත් කර ගත් බවට සාවද්‍ය තොරතුරුද පැතිර ගියේය. එහෙත් රුසියානු හමුදා නගරය අත්පත් කර ගැනීමෙන් වැළකී සිටියේය. ඒ වෙනුවට දැන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සාම සාකච්ඡා පිළිබඳව දැඩි ධනාත්මක අදහස් දක්වමින් සිටී. ඔහු පසුගියදා පවසා සිටියේ සාම සාකච්ඡා පිළිබඳ සුබවාදී අදහස් ඇතිවන නමුත් තමන්ට තව කල්වේලා අවශ්‍ය බවයි.

කෙසේ වුවද පසුගිය පෙබරවාරි 24 වැනිදා ආරම්භ කරන ලද 1945න් පසු යුරෝපයේ සිදු කරන ලද විශාලතම හමුදා මෙහෙයුම මෙය වුවද මේ දක්වා රුසියානු හමුදාවට යුක්රේනයේ ප්‍රධාන නගර 10න් එකක් හෝ අත්පත් කර ගැනීමට නොහැකි වී ඇති බවද විචාරකයන් විශේෂ කරුණක් ලෙස පෙන්වා දේ. එමෙන්ම ඇතැම් විචාරකයන් පවසන්නේ මේ අන්දමින් පවතින යුද්ධය බලාපොරොත්තු වූවාට වඩා කලින් අවසන් වීමේ ඉඩක් පෙන්නුම් කරන බවයි. බොහෝ විට ලබන මැයි මාසය යන විට යුක්රේන - රුසියා යුද්ධය අවසන් වීමට වැඩි ඉඩක් පවතින බව ඇතැම් යුද විචාරකයන් පවසා තිබේ.

කෙසේ වුවද මේ දක්වා යුක්රේනය සහ රුසියාව අතර පැවැත්වූ සාම සාකච්ඡාවලින් කිසිදු ප්‍රගතියක් වාර්තා වී නැත. මොස්කව් හි ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍ය හමුවේ පවසා සිටියේ කාර්යභාරය අසීරු නමුත් සාම සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මේ අතර ධවල මන්දිරය වාර්තා කර සිටියේ එළඹෙන සතියේදී ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ස්වකීය ප්‍රථම යුරෝපා සංචාරයේ නිතර වනු ඇති බවයි. එහිදී ජනාධිපතිවරයා මාර්තු 24 වැනිදා බ්‍රසල්ස් නුවරදී නේටෝ සංවිධානයේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මේ අතර බයිඩ්න් ජනාධිපතිවරයා තවත් ඩොලර් මිලියන 800ක අතිරේක මුදලක් යුද ආධාර වශයෙන් යුක්රේනට ලබා දීම කෙරෙහි ද අනුමැතිය පළ කර තිබේ.

යුද බිම අවට දේශපාලන තත්ත්වය එසේ වුවද යුක්රේනය තුළ තවමත් යුද ගිනි දැල් ඇවිළෙමින් තිබේ. පසුගියදා කිව් අගනුවරට රුසියා ගුවන් හමුදා ප්‍රහාරක යානා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර සාමාන්‍ය වැසියන් පස් දෙනෙක් මිය ගිය බවට යුක්රේනය ප්‍රකාශ කර ඇත. නගරයේ ගොඩනැඟිලිවලට බර අවි ප්‍රහාර එල්ල වන අතර වරින්වර දෙපාර්ශ්වය අතර ගැටුම් සිදු වන බව ද වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව මේ වන විට යුක්රේනයෙන් අසල්වැසි රටවල් කරා පළා ගොස් ඇති සරණාගතයන් සංඛ්‍යාව ලක්ෂ 30කි. තවත් සැලකිය යුතු පිරිසක් කිව් අගනුවරින් බැහැරව සෙසු ප්‍රාදේශීය නගරවල දුම්රිය ස්ථාන වැනි පොදු ස්ථානවලට වී සිටින බවට වාර්තා වේ. මාර්පොල් නගරයේ සිට යුක්රේනයෙන් බැහැරට දිවෙන මාර්ග අසල පමණක් මෝටර් රථ 2000ක් පමණ අත්හැර දමාගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වන විටත් රුසියානු හමුදා නගර වටකර සිටින අතර සාමාන්‍ය ජන ජීවිතය තවමත් අසරණ යුක්රේන ජනතාවට සිහිනයක්ම පමණක් වී තිබේ.

Comments