නින්දෙන් ගොරවනවා කියන්නෙ පරීක්ෂා කරගත යුතු ලෙඩක් | Page 5 | සිළුමිණ

නින්දෙන් ගොරවනවා කියන්නෙ පරීක්ෂා කරගත යුතු ලෙඩක්

පි හැමෝගෙම ලොකු අවශ්‍යතාවයක් තමයි සුව බර නින්ද. දවසේ විඩාව මගහරවා ගන්නට අපට නින්ද එතරම්ම වැදගත්. සුවපහසු නින්දක් කියන්නෙත් අනෙකුත් අත්‍යවශ්‍ය දේ වගේම අවශ්‍ය දෙයක් කියලා බොහෝ දෙනා දන්න කරුණක්. නින්ද අපට එතරම් දැනෙන්නේ එය සිරුරට නැතිව ම බැරි ස්වාභාවික ක්‍රියාවලියක් නිසා. දවසක් හෝ සුව නින්දක් නොලැබුණු විට දැනෙන විඩාව කෙතරම්ද? රාත්‍රී නින්දේදී ද අප සිරුරේ අප නොදැනුවත්ව සිදුවන නීරෝගිකම වඩන ක්‍රියාවලි රැසකි. සුවදායක නින්ද හොඳම ඖෂධයයි කියනු ලබන්නේ ඒ නිසා. සුව නින්ද කෑමබීම තරමටම වැදගත්. සුව නින්දක් නොලැබීමද පහුකාලීනව මානසික, ශාරීරිකව විශාල ගැටලු රැසකට මුහුණ දෙන්නට වන කාරණාවක්. සුවපහසු නින්ද කියන්නේ ගොරව ගොරවා නිදා ගන්න එකට නම් නෙමෙයි. ගෙරවිල්ල බාධාවක් වෙන්නෙ ගොරවන පුද්ගලයට පමණක් නෙමෙයි. වටේ නිදාගෙන ඉන්න අනිත් අයටත් ගැටලුවක්. ගෙරවීම සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකුගේ චර්යාවක් නොවන බවයි වෛද්‍යවරු පවසන්නේ. ඔවුන් මේ වන විට ගෙරවීම ගැන අනතුරු අඟවලා තියෙන්නේ මෙය රෝග ගණනාවක ලක්ෂණයක් බවට.

සෑම වසරකම මාර්තු 18 වැනිදා ලෝක නිදන දිනය ලෙස නම් කර තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “සුව නින්දක් සපිරි මනසක් - සතුටු ලොවක්“ යන්නයි. පසුගියදා ඒ පිළිබඳව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්විණි. එය Technomedics Healthcare Solutions ආයතනය විසින් සංවිධානය කර තිබුණි. එයට එක් වෙමින් ශ්‍රී ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය චන්දිමානි උදුගොඩගේ පවසා සිටියේ සුව නින්දක් නොලැබීම රෝග රැසකට හේතු විය හැකි බවයි.

ඇය පවසන පරිදි දින කිහිපයක් නිදි වැරුවොත් සිත එකඟ කරගෙන තීරණයක් ගැනීම අසීරු වීමත්, වෙහෙසක් දැනීමත් ඉක්මනින් කෝපයට පත් වීමත් රිය අනතුරු සිදු වීමටත් හේතු විය හැකිය‍. එයින් ස්ථුලතාව, හෘද රෝග, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ද ඇති වෙන බවයි ඇය සඳහන් කළේ. නින්ද අහිමි කරන කාරණා ගණනාවක් ඇති බවත් නින්දට බාධාකරන එවන් එක් හේතුවක් වන්නේ නින්දේදී වරින්වර හුස්ම ගැනීම නතර වීම බවත් එය (Obstructive sleep apnea ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා) ලෙස හඳුන්වන බවත් වෛද්‍යවරිය පැවසුවාය.

මෙය රෝගී තත්ත්වයක් බවත් කී ඇය වරින් වර නින්දේදී හුස්ම ගැනීම නතර වීම / Obstructive sleep apnea සිදු වන්නේ ඇයි යන්න තවදුරටත් විග්‍රහ කළාය.

‘මෙය වැඩි වශයෙන් ම දකින්න ලැබෙන්නේ නින්දෙන් ගොරවන පුද්ගලයන් අතරයි. විශේෂයෙන් ස්ථුල පුද්ගලයන් අතර වරින් වර නින්දේදී හුස්ම ගැනීම නතර වීම සුලබ දෙයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගයන්ට මෙම රෝගය වැඩිපුර දක්නට ලැබෙනවා‘

ආශ්වාසයෙන් ඔක්සිජන් රැගෙන ප්‍රශ්වාසයෙන් කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම ස්වසන පද්ධතියේ කාර්යය භාරයයි. ස්ථුල අයගේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදු නො වෙයි. එයට හේතුව ඔවුන් ගේ උගුරේ මේදය තැන්පත් වී පටුවී තිබීමය. රාත්‍රී කාලයේදී උගුරේ මාංස පේශි සැහැල්ලු වී උගුර පෙදෙස තවදුරටත් පටු වෙයි. එහි ප්‍රතිඵලය ඔක්සිජන් සැපයුම අඩාළ වීමය. එවිට මොළයෙන් අවදිවන ලෙසට සංඥාව ලබා දෙයි. ඔක්සිජන් සැපයුම අඩාළ වන සැම විට ම මොළයෙන් අවදි කරවන සංඥාව ලබා දීම නිසා රාත්‍රී කාලය පුරාම වරින්වර අවදි වීමට සිදු වෙයි.

එමෙන්ම මෙම රෝග තත්ත්වය ඇති පුද්ගලයන් දහවල් කාලයේදීද නිදිමත ගතියෙන් පෙ‍ෙළනවා. මේ අය සඳහා කාර්යක්ෂමව වැඩ කරගැනිමට නොහැකියි. ඒ අනුව ගෙරවීමත් රෑ විටින් විට නින්දේදී හුස්ම හිරවීමත් හා දහවල් කාලයේදී නිදිමත ගතියත් යන කාරණා නිසා මෙම Obstructive sleep apnea රෝගයෙන් පෙළෙන්නේ යැයි හඳුනාගත හැකියි.

මේ තත්ත්වය සෞඛ්‍ය ගැටලු රැසකට ම මුලපුරයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය, අමතක වීම, හෘදයාබාධ ඒ අතරින් ප්‍රධානයි. කලාතුරකින් හෝ මරණයට පත් වීමට ද එය හේතුවක් වීමට පුළුවන. ඊට අමතරව දෛනිකව නිසි නින්දක් නොලැබීමෙන් ඇතිවන ගැටලු බොහෝය. නිදිමත හේතුවෙන් දිවා කාලයේ රාජකාරි කටයුතු නිසි පරිදි කළ නො හැකි වෙයි. නිදිමත නිසා රිය අනතුරු සිදුවීමේ ඉඩකඩ වැඩි වෙයි. වරින්වර නින්දේදී හුස්ම ගැනීම නතර වන බව දැන ගන්නේ කෙසේද ? යන්න පැහැදිලි කළ ඇය නින්දෙන් ගොරවනවා නම් තමන්ට Obstructive sleep apnea තත්ත්වය ඇත්දැයි පරීක්ෂා කර බැලීමට ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවිය යුතු බවද කීවාය. 

නූතන වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා රෝගීන්ට සහනයක් ලබා දෙන පිළියම් තිබෙන බව වෛද්‍ය චන්දිමානි උදුගොඩගේ පවසයි. යන්ත්‍රයක් මඟින් (CPAP) වාත ධාරාවක් යැවීම එක් ක්‍රමයක් වන අතර එහිදී වාත ධාරාවක් යවා උගුර පටු වීම වළක්වයි. එවිට නින්දට බාධා සිදු නො වන නිසා ප්‍රබෝධවත්ව අවදි වීමට හැකිය. මෙය සෑම දිනක ම භාවිත කළ යුතුයි. එමෙන්ම සැත්කමක් මඟින් ද රෝගී තත්ත්වය නිවැරැදි කළ හැකියි. ඒ සඳහා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු කරා යොමු විය යුතු යැයිද කීවාය.

මෙම රෝගී තත්ත්වය කුඩා ළමුන්ට ඇති විය හැකිද යන්න පිළිබඳවද අදහස් දැක්වූ වෛද්‍යවරිය සඳහන් කළේ මෙවන් අදහසක්. ඔවුන්ගේ සෙම් ගෙඩි තත්ත්වයන් උත්සන්න වීම නිසා උගුර කන නාසය වෛද්‍යවරුන්ට පෙන්විය යුතුයි. නමුත් ඇතැම් කුඩා දරුවන් තම වයසට උචිත නොවන අයුරින් තරබාරුයි. මේ තරබාරුකම නිසා ඔවුන්ට රෝගී තත්ත්වය ඇති වන්නට පුළුවන්. සමහර දරුවන්ගේ උත්පත්තියෙන්මත් මේ තත්ත්වය ඇති විය හැකියි.

තවදුරටක් අදහස් දැක්වූ ඇය පැවසුවේ අප රටේ ජනගහනයෙන් 16 % ක් ම Obstructive sleep apnea තත්ත්වය සෑදීමේ අවදානම ඇති අය බවයි. Obstructive sleep apnea තත්ත්වයෙන් මිදීම සඳහා ඇගේ බර වැඩි නම් බර අඩුකර ගැනීමත්,

දිනපතා ව්‍යායාම කිරීමත්,මත් පැන් හා දුම්වැටි පානයෙන් වැළකීමත් උඩු අතට නිදා නොගැනීමත් විශේෂයෙන් සදහන් කළ යුතු බවද කීවාය.

මේ පිළිබඳව වැඩිවිස්තර ජනතාවට දැනගැනීම සඳහා අප ශ්වසන රෝග පිළිබද විශේෂ වෛද්‍ය සංසදය විසින් sleepbetter.lk නමින් වෙබ් අඩවියක්ද එළි දක්වා තිබෙනවා

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments