දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය | සිළුමිණ

දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය

 

සචිනි පමණක් ජාතික වාර්තා කඩුල්ල රිටෙන් පනී

මේධානි මීටර් 200 කිරුළ දිනයි

 

දින දෙකක් පුරා දියගම ක්‍රීඩාංගනයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සුදුස්සන් සොයා යන තේරීම් තරග මාලාවේ වාර්තා වූ එකම ජාතික වාර්තාවේ හිමිකාරිය වුයේ යුධ හමුදාව නියෝජනය කරමින් තරග කරනා රිටි පැනිමේ ශූරී සචිනි පෙරේරායි. ඇය මෙවර දැක්වූ දක්ෂතාව මීටර් 3.70 කි.

මෙයට පෙර පැවති තේරීම් තරගාවලියේ දී මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 3.65 කින් පිහිටුවා තිබූ අතර, ඈ එම වාර්තාව යළිත් බිඳ දැමුවා ය. සචිනි මෙම ශ්‍රී ලංකා වාර්තාව තෙවැනි වතාවට බිද දැමීම විශේෂත්වයක් වූ අතර, කලින් මීටර් 3.60ක දක්ෂතාවක් දක්වා තිබිණි.

තරුෂි ගෙන් විශිෂ්ට දස්කම්

මෙකි තේරිම් තරගාවලිය උණුසුම් කරමින් පැවති කාන්තා මීටර් 400 ඉසව්ව හා මීටර් 800 ඉසව්ව ජයගැනීමට සමත් වූයේ තරුෂි කරුණාරත්න යි.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට මිනිත්තු 1.00.15කින් ඉසව්ව අවසන් කළ ඊ. කේ. මදුෂානි සමත් වූ අතර මිනිත්තු 1.00.49කින් ඉසව්ව අවසන් කළ අමේෂා හෙට්ටිආරච්චි දෙවැනි ස්ථානය දිනා ගත්තා ය.මේ අනුව මධුෂානි සහ අමේෂා වාර්තා කළ කාලයන් සමඟින් කනිෂ්ඨ ලෝක ශූරතාව සඳහා සුදුසුකම් සපුරා ගන්නට ද ඇයත් සමත් වූ හ.

ඒ අනුව මෙකි තේරීම් තරගාවලිය අවසන් වන විට සිතුම් ජයසුන්දර (මීටර් 400), තරුෂි කරුණාරත්න (මීටර් 400) සහ ජයේෂි උත්තරා (මීටර් 400) ද කනිෂ්ඨ ලෝක ශූරතාවට සුදුස්සන් වූ සෙසු තරගකරුවන් වූ හ.

කලකට පසු රුමේෂිකා අමාෂාව පසුපසට ඇද දමයි

කෙටිදුර ධාවන තරග ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර මීටර් 100 ජාතික ශූරිය වන අමාෂා ද සිල්වා තත්ත්පර දශම ගණනකින් පසුපසට ඇද දමමින් මීටර් 100 ප්‍රථම ස්ථානය දිනා ගන්නට රුමේෂිකා රත්නායක සමත් විණි. ඔවුන් දෙදෙනාගේ ම තරග නිමි කාලය සටහන් වූයේ තත්පර 11.84 ක් ලෙසය. තත්ත්පර 11.95 කින් තරගය අවසන් කළ මේධානි ජයමාන්නට තෙවැනි ස්ථානය හිමි විය.

මීටර් 100 පිරිමි ඉසව්ව ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන චමෝද් යෝධසිංහ තත්පර 10.65 ක කාලයක් වාර්තා කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්විය. දෙවැනි ස්ථානය චානුක ධර්මකීර්ති (10.87) විසින් දිනා ගනිද්දී මීටර් 100 ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන මොහොමඩ් සෆාන්ට (10.94) හිමි වුයේ තෙවැනි ස්ථානයයි.

අරුණ තව මදි

අරුණ දර්ශන කලක් ලාංකේය මලල ක්‍රීඩා පිටියේ හොඳින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වු නමුත් පසුගිය කාලයේ විවිධ ආබාධ සමඟින් මඳක් පසුබෑමට ලක්වුව ද,මේ තේරීම් තරගයේ නැවතත් සිය සුපුරුදු රිද්මය ලබා ගනිමින් මීටර් 400 ඉසව්ව තත්පර 46.37 කින් අවසන් කළේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්ය. අරුණගේ හොඳම කාලය තත්ත්පර 45.78 කි.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ එන්. ඩී. කේ. විදුරංගයි. දක්ෂතාව තත්පර 52.26 කි.

මීටර් 800 පිරිමි ඉසව්වේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන හිමි වුයේ බුළුගහපිටිය සහෝදරයන්ටය. බී. එන්. ඩී. බුලුගහපිටිය විනාඩි 1:53.04 කින් තරගය අවසන් කරද්දී ඔහුගේ සොහොයුරා වන බී. එස්. ආර්. ටී. බුලුගහපිටිය එය නිම කළේ විනාඩි 1:53.16කිනි.

අවසන් දිනයේ වේගවත්ම ඉසව්ව වූ මීටර් 200 කාන්තා සහ පිරිමි ඉසව් ජයග්‍රහණය කරන්නට මේධානි ජයමාන්න (24.26) සහ මොහොමඩ් සෆාන් (21.19) සමත් වූහ. මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරන්නට ලක්ෂිකා සුගන්ධි සමත් වුණේ තත්පර 13.71 ක කාලයක් වාර්තා කරමින්ය. මිටර් 110 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ කේ. ඩී. ඩී. ආරියරත්නයි. ඔහු සටටහන් කළ කාලය තත්පර 14.79 ක් ලෙසය.

තරගාවලිය ආරම්භ කරමින් පැවති මීටර් 10,000 පිරිමි දිගුදුර ඉසව්වේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට විනාඩි 31:39.04 ක කාලයක් වාර්තා කළ යුද හමුදා ක්‍රීඩක ඩබ්. වී. එම්. යූ. කුමාර සමත් වූ අතර ,මීටර් 5000 කාන්තා ඉසව්ව නියෝජනය කළ චාමිනි මධුෂානි හේරත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් වූයේ විනාඩි 17:44.83 ක දක්ෂතාවයක් සටහන් කරමින්ය. චාමිනි 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජාතික කිරුළ දිනා ගත්ත ද මෙවර හිමි වුයේ දෙවැනි ( විනාඩි 36.56.06) ස්ථානයයි.

මීටර් 1500 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ කේ. ජී. එන්. එම්. ඒ. කුමාරි ය. ඒ විනාඩි 4:42.72ක කාලයක් සමඟිනි. මීටර් 1500 පිරිමි ඉසව්ව විනාඩි 3:58.5 කින් ඉසව්ව අවසන් කළ යුද හමුදාවේ සංජීව ලක්මාල් එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තා ය.

කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ දී මීටර් 13.49ක දක්ෂතාවයක් වාර්තා කළ ගුවන් හමුදාවේ ඩබ්. ටී. කේ. ප්‍රනාන්දු ට ප්‍රථම ස්ථානය හිමිවිය.

හෙල්ල විසිකිරීම පිරිමි අවසන් ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා යුද හමුදාවේ සුමේධ රණසිංහ සමත් වූයේ මීටර් 81.79 ක දක්ෂතාවයක් වාර්තා කරමිනි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

Comments