
රටේ සිව්දෙස ගමින් ගම,දොරින් දොර නම රැන්දූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) මේ වන විට මෙරට ජනතාවගේ සමීපතම ඉතුරුම් සහකරුවෙකි.එම බැංකුවේ අභිමානවත් 50 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇති අතර වර්තමානයේ එහි සභාපතිනිය ලෙස කටයුතු කරමින් සිටින කේශිලා ජයවර්ධන මහත්මියගේ නායකත්වය තුළින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ පිරිවරා ඉදිරියට ඒමට එම බැංකුවට මේ වන විටත් හැකියාව ලැබී තිබේ.
සබරගමුව පළාතේ යටියන්තොට ගමේ ඉපිද යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස්පෙළ අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් කේෂිලා ජයවර්ධන 1987 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්වා එම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළ අතර දේශපාලන විද්‍යාව,එහි ප්‍රායෝගික ප්‍රවේශ සහ මෙරට සමාජ ආර්ථික පරිසරය කෙරෙහි එහි බලපෑම පිළිබඳව බොහෝ ප්‍රකාශන එම කාලය තුළදී ඇය විසින් එළිදක්වා තිබේ.
කේෂිලා ජයවර්ධනට 2004 වසරේ සිට 2008 වසර දක්වා කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද හිමි වූවාය.රටට හා ජනතාවට තවදුරටත් සේවය කිරීමේ අරමුණ පෙරදැරිව 2009 වසරේ දී දේශපාලන ක්ෂේත්‍රය වෙතද ඈ ප්‍රවේශ වූ අතර මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වීමටද ඇයට හැකි වූවාය.2011 වසර තෙක් එම ධූරයේ කටයුතු කළ ඕ ඉන් පසු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී 2011 වසරේ සිට 2015 වසර දක්වා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ධූරය හෙබවූවාය.
කදුරට සංවර්ධන බැංකුව,ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙන්ම වර්තමානයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේත්,ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේත් සභාපතිනිය ලෙස කටයුතු කරන කේශිලා ජයවර්ධන වෙත 2021 වසරේ විශිෂ්ටතම කාන්තා භූමිකා 50 අතරින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතම වෘත්තීය කාන්තාව ලෙස ජාත්‍යන්තර සම්මානයක්ද හිමි වී ඇති අතර මෙරට ග්‍රාමීය කාන්තාවන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සිදු කරන ලද මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය විසින් ‘දිළිඳුකම පිටුදැකීම සඳහා පුරෝගාමීවූ කාන්තාව’ යන ගෞරව නාමයද ඇයට පිරිනමා ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 50 වසරක ගමන් මඟ දෙස ආපසු හැරී බලන අවස්ථාවේ එහි වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරන කේශිලා ජයවර්ධන සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම විශේෂාංගය සකස් වී තිබේ.
මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින් ජාතියට තිළිණ වූ රාජ්‍ය බැංකුවක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව හඳුන්වා දීමට පුළුවන.1972 වසරේ මාර්තු මස 16 වැනි දින ආරම්භ වූ අප බැංකුව සිය අභිමානවත් 50 වැනි සැමරුම මේ වසරේදී සමරන අතර පසුගිය 2021 වසරේදී ලබා ගත් රුපියල් බිලියන 22 ක වාර්තාගත ශුද්ධ ලාභයද සමඟින් එම සැමරුම තවත් වර්ණවත් වී තිබීම කැපී පෙනෙන කාරණාවකි
ජාතික ඉතිරි කිරීමේ බැංකුව 1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනත මගින් ස්ථාපිත වී තිබේ.1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙසද නම් කර ඇත.
මෙරට තුළ ක්‍රියාත්මක අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතරින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනස් මඟක් ගත් ඉතාම සුවිශේෂී බැංකුවක් ලෙස හැදින්වීම නිවැරැදිය. එම සුවිශේෂත්වයට බල පා ඇති ප්‍රධානතම හේතුව සෑම විටකදීම ඉතුරුම් වලට හා සකසුරුවම් වලට ජනතාව උනන්දු කරවන බැංකුවක් නිසා බවට සැකයක් නැත.එපමණක් නොව 1971 අංක 30 දරණ පාර්ලිමේන්තු පනතට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව ස්ථාපිත කර ඇත්තේ වාණිජ බැංකුවක් ලෙස නොව විශේෂ බලපත්‍රලාභී බැංකුවක් ලෙස වන අතර සාම්ප්‍රදායික බැංකු ගනුදෙනු වලින් මිදී සෑම අවස්ථාවකදීම මුදල් ඉතිරි කිරීම් සඳහා ජනතාව හුරු පුරුදු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම බැංකුවට මෙලෙස විශේෂ බලපත්‍රලාභී බැංකුවක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව 100% කම රාජ්‍ය ආරක්ෂාව තහවුරු වූ එකම බැංකුව වන අතර ජනතාව බැංකුවේ තැන්පත් කරන සෑම රුපියලකටම විශ්වාසයෙන් යුතුව වගකීමට අප බැංකුව බැදී සිටී.සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා මහ බැංකුවේ විධිමත් අධීක්ෂණය යටතේ බැංකුවේ සියලුම මූල්‍ය කටයුතු සිදු වන අතර එය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා හේතු වී ඇත. රටේ සිදු කෙරෙන විවිධ සංවර්ධන කාර්යයන් සඳහා උර දෙමින් ලාභය ලෙස උපයන සෑම රුපියලකින්ම 60% ක් මහා භාණ්ඩාගාරයෙහි ආයෝජනය කිරීමයි.මේ නිසා ගනුදෙනුකරුවන් උපයන මුදලට,ඔවුන් බැංකුවේ තැන්පත් කරන මුදලට පමණක් නොව එම තැන්පතු වෙනුවෙන් ලබා දෙනු ලබන පොලියටද 100% කම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අපට හැකි වී තිබේ.
මේ වන විට ජාතික ඉතිරි කිරීමේ ශාඛා ජාලය දිවයින පුරාම විහිදී පැතිරුණු ශාඛා 261කින් සමන්විතයි.එහි 262 වැනි ශාඛාව ද ඉදිරියේදී පොල්පිතිගමදී විවෘත වන අතර උතුරු නැඟෙනහිරද ඇතුළුව දිවයින පුරා තවත් ශාඛා රැසක් විවෘත කිරීම සඳහා ඉදිරි කාලය තුළ කටයුතු යෙදෙනු ඇත.මීට අමතරව බැංකුව සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතු තවත් පහසු කරමින් ස්වයංක්‍රීය බැංකු ගනුදෙනු සිදු කෙරෙන ATM යන්ත්‍ර 300 කට අධික ප්‍රමාණයක්ද දිවයින පුරා ස්ථාපිත කිරීමට අපට හැකි වී තිබේ. මුදල් තැන්පත් කිරීම සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කිරීම සෑම අවස්ථාවකදීම අප විසින් සිදු කරන අතර එම තැන්පතු ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ඔවුන් ළඟටම ගොස් ලබා ගැනීම සඳහා ජංගම බැංකු ලෙස ක්‍රියාත්මක වාහන පවා අප විසින් යොදවා තිබේ.
සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරමින් ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් ගිණුම් තර කරන ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ මේ වන විටත් මිලියන 17 ක් පමණ ගනුදෙනුකරුවන් පිරිස අතර මෙරටට විදේශ විනිමය රැගෙන එන විදෙස් රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ද වේ. ඉන්දියාව, මැදපෙරදිග, ඉතාලිය, ජපානය, කොරියාව වැනි රටවල සිට ඔවුන් මෙරටට සිය මුදල් එවනු ලබයි.රට තුළ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී ඇති මෙම අවස්ථාවේ අප ගනුදෙනුකරුවන් මෙරටට එවනු ලබන විදේශ මුදල් නිසි ලෙස මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඉතා වැදහත් පියවර රාශියක් ගෙන ඇත.එම පියවරයන් අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන රටවල් සඳහා අපගේ නියෝජිතයින් පත් කර කාර්යක්ෂම ලෙස එකී විදේශ මුදල් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමත් බොහෝ දෙනෙකුගේ පැසසුම් දිනා ගැනීමට පවා හේතු වී තිබේ.එසේම වෙස්ටන් යුනියන් සේවාවේ සහයද ඉතා සක්‍රීය ලෙස අප විසින් ලබා ගන්නා අතර විදේශ රටවල අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික දරු දැරියන් සඳහා අවශ්‍ය වන මුදල් මෙරට සිට යැවීමටද අප බැංකුව විසින් කටයුතු කරයි.
ඉතුරුම් ගිණුම් වලට අමතරව අප ගනුදෙනුකරුවන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව ඉතාම සහනදායී හා ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ ණය මුදල් ලබා දීමද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ඉටු කරනු ලබයි.මෙම ණය වැඩසටහන් අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය,පුද්ගලික ණය,නිවාස ණය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක,සේවිකාවන්ට ලබා දෙන ණය පහසුකම්ද කැපී පෙනේ.එහිදී එම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක,සේවිකාවන්ට මිලියන 5ක් දක්වා 8.5% ආකර්ෂණීය පොලී අනුපාතයක් යටතේ ණය මුදල් ලබා ගත හැකිය.එසේම විශ්‍රාමික පුරවැසියන් වෙනුවෙන්ද මිලියන 5ක් දක්වා ණය මුදල් ලබා ගත හැකි විශ්‍රාමික ණය පහසුකම් ද හඳුන්වා දී ඇත.විදේශ රටවලට ගොස් එම රට වල විශ්වවිද්‍යාලයන්හී අධ්‍යාපනය හදාරන දරු දැරියන් වෙනුවෙන්ද ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මුදල් හදිස්සියක් ඇති වන ඕනෑම අවස්ථාවකදී අඩුම අඩු පොලියකට ණය ලබා ගත හැකි උකස් ණය සේවාවද ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජනතාව අතර ජනාදරය දිනා ගැනීම සඳහා බල පෑ ප්‍රධාන හේතුවක් වී තිබේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලෙස අප අපගෙන් ණය මුදල් ඉල්ලුම් කරනු ලබන ඕනෑම කෙනෙකුට එම ණය මුදල් ලබා දෙන්නේ නැත.ණය ලබා දීමේදී ණය ලබා ගන්නාගේ නැවත ගෙවීමේ හැකියාව පිළිබඳව අප බැංකුව දැඩි ලෙස සැලකිලිමත් වන අතර ණය වාරික ගෙවීමට අතපසු වූ අය වෙනුවෙන් බැංකුවේ නියෝජිතයින් ඔවුන් ළඟටම ගොස් එම මුදල් අය කර ගැනීමේ ක්‍රම වේද පවා හඳුන්වා දී තිබේ. යම් හෙයකින් ලබාගත් ණය මුදල් නැවත නොගෙවා පැහැර හැරියහොත් පිළිගත් නීති රාමුව තුළ එම ණය මුදල් නැවත අය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යෙදේ.
50 වසරක් පුරා රටට හා ජනතාවට විශිෂ්ට බැංකු සේවා ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවූ "ජාතියේ ඉතිරි කිරීමේ බැංකුව" ලෙස විරුදාවලියද දිනා ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වන විට ඉතිරි කිරීමේ යහ පුරුද්ද ජනතාව අතරේ තවදුරටත් ප්‍රචලිත කරමින් සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු වැඩසටහන් රැසක්ම ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් සිටියි.ඒ අතර පාසල් දරු දැරියන් වෙත ඉතුරුම් කැට ලබා දී එම පාසැල් දරු දැරියන් ඉතිරි කිරීම සඳහා හුරු කරවීම එක් ප්‍රධාන වැඩසටහනකි.මෙම වැඩසටහන මෙරට පෙර පාසැල් දරු දැරියන් වෙනුවෙන් බැංකු ගිණුමක් විවෘත කර දී එම ගිණුමට ආරම්භක මුදල ලෙස රු.500/- ක්ද බැර කර ඔවුන්ට ලබා දෙන කැටය මඟින් එම ගිණුම සක්‍රීය ලෙස පවත්වා ගෙන යාමටද කටයුතු යොදා තිබේ.මීට අමතරව පරිසර වැඩසටහනක් ලෙස වන වගා වැඩසටහනක්ද ආරම්භ කර ඇති අතර පාසැල් හා ගෙවතු මුල්කරගෙන ගස් වැවීමට පුරුදු පුහුණු කර එමගින් දරු දැරියන් අතර හික්මීම මෙන්ම විනය ගොඩනැඟීමටද කටයුතු යොදා ඇත.
සෑම අවස්ථාවකදීම අවස්ථානෝචිතව කටයුතු කිරීම හා කාලයට අනුව අලුත් වීම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබූ සාර්ථකත්වයේ ප්‍රධාන රහසකි.ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ වන විට ඩිජිටල්කරණයටද ලක්ව ඇති අතර ඉදිරියේදී නව්‍ය ඩිජිටල් පහසුකම් රැසක් අප ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දීමට නියමිතයි.මේ වන විට NSB APP එක හා QR කෝඩ් එක හඳුන්වා දී ඇති අතර එළැඹෙන අප්‍රේල් මස 02 වැනි දින සිට යාපනය හා ආශ්‍රිත ගනුදෙනුකරුවන් ද ඉලක්ක කර ගනිමින් QR කෝඩ් එක ප්‍රචලිත කිරීම අපගේ වෑයමයි.මේ නව ඩිජිටල් පහසුකම් ප්‍රයෝජනයට ගැනීමෙන් නිවසේ සිටම ඔන්ලයින් මගින් සිය ගනුදෙනු සිදු කිරීමට ජනතාවට අවස්ථාව උදා වේ.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව මෙන්ම ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව යන බැංකු දෙකෙහිම සභාපතිනිය ලෙස මේ වන විට මා කටයුතු කරන අතර එවන් අවස්ථාවක් ලැබීම නිසැකවම මා ලැබූ භාග්‍යයකි.මේ බැංකු දෙක අතරින් ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ප්‍රධාන වශයෙන්ම කුඩා ව්‍යවසායකයින් සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම සිදු කරන අතර එම ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් අභියෝග අතරින් ඉදිරියට එන ව්‍යවසායකයින් වෙත මහත් වූ ශක්තියක් හා පන්නරයක් ලබා දී තිබේ.කොරෝනා සමයේදී මෙම බැංකු දෙකේම එකමුතුවෙන් හලාවත හා මීගමුව ප්‍රදේශයේ ඉස්සො වගා ව්‍යාපෘතියක් සඳහා විශාල ණය මුදලක් ලබා දුන් අතර කුරක්කන් හා කහ වගාකරුවන්ටත් මූල්‍ය සහන රැසක්ම ලබා දෙන ලදී.එපමණක් නොව විවිධ ක්ෂේත්‍රයන් හී නියුතු ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ණය වැඩසටහන් රාශියක්ම හඳුන්වා දී ඇත. එමෙන්ම ඉතාලිය, ජර්මනිය, ජපානය වැනි රටවල පදිංචි ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් ද අපගේ බැංකුව ණය පහසුකම් හඳුන්වා දී තිබේ. එවැනි ණය වැඩසටහනක් හඳුන්වා දුන් එකම බැංකුවද ජාතික ඉතිරි කිරීමේ බැංකුව වන අතර එම රටවලට පත් කර ඇති අපගේ නියෝජිතයන් මාර්ගයෙන් එම ණය ලබා දීමේ කටයුතු සිදු කෙරේ.
විවිධ අවස්ථාවලදී දෙස්,විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීමටද ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත්කම් දක්වා ඇත.ඒ අතරින් 2020 වසරේදී බැංකුව ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවට "හොඳම වාර්ෂික වාර්තාවට" හිමි රිදී සම්මානයද හිමි වුණු අතර ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර හා සේවා කටයුතු පවත්වා ගෙන යන "Most Admired Company" 10 අතරට තේරී පත් වීමටද, Women Friendly Workplace Awards (WFWP Awards) 2021 සම්මාන උළෙලේදී :Women-Friendly Workplace 10" අතරට තේරී පත් වීමටද අප බැංකුව හැකි විය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වැනි සංවත්සරයට සමගාමීව අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් වෙත අගනා ප්‍රතිලාභ පිරිනැමීම සඳහාද අපි බලාපොරොත්තුවෙන් සිටිමු.ඒ සඳහා වෙනස් මඟක් ගත් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර අප බැංකුව හරහා මෙරටට විදේශ මුදල් එවනු ලබන විදේශ ශ්‍රමිකයන් ඇගයීම වෙනුවෙන් “සල්ලි එහෙන්-තෑගි මෙහෙන් “ප්‍රවර්ධන තෑගි තරගය ක්‍රියාත්මක වේ.මෙහිදී පළමු ජයග්‍රාහකයා සඳහා රන් පවුම් 50 ක ඉතාම සුවිශේෂී,වටිනා ත්‍යාගයක් පිරිනැමීමටද අනෙකුත් ජයග්‍රාහකයින් සඳහා තවත් වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමටද ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු යොදා ඇත.
ඡායාරූප - හිරන්ත ගුණතිලක