
- තාත්තා තම සහෝදරියට පහර දෙන හැටි බලන් ඉන්නට බැරි තැන පුතා තාත්තාව මරලා
- ගැටුමට මුල කෑමට දුන් ඌරු මස්වල තෙල් කෑලි වැඩියි කීමයි
දිනපතාම පාහේ බීමතින් සිය බිරියට දරුවන්ට අමානුෂික ලෙස පහර දෙමින් දස වද දීමට තරම් කැළුම් නරුමයෙක් වී සිටියේය. ඇතැම් අවස්ථාවලදී කැළුම්ගේ පදම වැඩිවූ විට පවුලේ උදවියට පමණක් නොව අසල්වාසීන්ටත් ඔහුගෙන් නොසෑහෙන වදයකි. කැළුම්ගේ පවුලේ අයවලුන් ඔහුගේ බීමත් හැසිරීම නිසා දස වද වින්දේ අද ඊයෙක සිට නොවේ.
තම ලෙයින් උපන් 19 හැවිරිදි දියණියට බිම පෙරළාගෙන පහර දෙමින් ගෙළ සිඳලන්නට තැත් කළ කැළුම්ගේ ජීවිතය අවසන් කිරීමට තරම් 21 හැවිරිදි ඔහුගේම පුත්‍රයා කුරිරු වී තිබුණේ බීමත්කමේ ආදීනව නිසා මුළු පවුලක්ම අගාධයට ඇද වැටෙමිනි.
එම ඛේදවාචකය සිදු වූයේ ඉකුත් 13 වැනිදා කොච්චිකඩේ පොලිස් වසම තුළයි. 280/බී10 අංක දරන නිවෙස බටහිර කටාන, ගැමුණු මාවතේ පිහිටියේය. එහි විසුවේ 44 හැවිරිදි ජයසූරිය ආරච්චිගේ තරංග ප්‍රීති කැළුම් සහ ඔහුගේ බිරිය ඩෙස්මි මයාවි සහ දරුවන් වන 21 හැවිරිදි පුතු ජයසූරිය ආරච්චිගේ නිරෝෂ අකලංක, 19 හැවිරිදි සනුරි කෝෂිලා සහ එම දරුවන් දෙදෙනාට බොහෝ සේ ළාබාල 4 හැවිරිදි කුඩා දියණියක වන සෙනෝලි සහස් යන තිදෙනායි.
වැඩිමහල් පුත්‍රයා නිරෝෂ අකලංක තම පියා කැළුම්ට හාත්පසින්ම වෙනස් චරිතයකි. ඔහු ගමේ කාගෙත් හිත් දිනාගත් අහිංසක තරුණයෙකි. මීගමුව ප්‍රදේශයේම ඇඟලුම් කර්මාන්ත ශාලාවක පරිගණක දත්ත ක්‍රියාකරුවෙක් ලෙස රැකියාව කළේය. ඔහු කිසිවකුටත් හිරිහැරයක් නොවී ජීවත් වූ අයෙකි. කැළුම්ගේ දෙවැනි දියණිය සනුරිද අවට ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව කළාය.
හැඩිදැඩි පුද්ගලයකු වූ කැළුම් ස්ථිර රැකියාවක් නොකළ අතර ඔහු බොහෝ අවස්ථාවල නළ ළිං හැරීමේ ශිල්පියකු ලෙස කටයුතු කළේය. අතට ගතමනාවක් ලැබුණු සැණින් කැළුම් කළේ පදමට සූර් වීමයි. එය දරුවන් කුඩා කාලයේ සිටම ඔහුගේ පුරුද්දකි. බීමතින් නිවෙසට පැමිණෙන කැළුම් සෑම දිනෙකම පාහේ කුමක් හෝ ‘කොණක්‘ අල්ලාගෙන අඩදබරයක් ඇතිකරගන්නේ දරුවන් හෝ බිරිය නැතිනම් සියලු දෙනාම සමඟිනි.
කැළුම් සමඟ විසීම එම පවුලේ උදවියට කරුමයක්ම වී තිබුණේය. කොතරම් කරදඬු උසමහත් වූ දරුදැරියන් සිටියද ඔහුගේ කල්ක්‍රියාව වෙනස් වූයේ නැත. කැළුම්ගේ අඩදබර එම නිවෙස තුළ සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණේය.
දිනය ඉකුත් 13 වැනි ඉරිදායි. එදින නිවාඩු දිනයක් වූ හෙයින් කැළුම්ගේ දරුවන්ද නිවෙසේ විසූහ. කැළුම් පෙරවරු යාමයේම නිවෙසෙන් පිටව ගියේය. ඔහුගේ බිරිය සහ පුත්‍රයා නිවෙසට අවැසි කළමනා රැගෙන ඒම සඳහා එදින පැවැති පොළට ගියේය. පොළෙන් දෙදෙනා දහවල් බතට ඌරු මස්ද ගත්තේ නිවාඩු දින කටට රහට කෑම වේලක් කෑමේ අටියෙනි. නිවෙසට පැමිණි පසු මව ඉක්මනින්ම කෑම පිළියෙල කළේ නිවාඩු දින නිවෙසේ වෙසෙන දරුවන්ට ඉක්මනින් රසවත් ආහාර වේලක් භුක්ති විඳීම සඳහායි.
දහවල් 11.30 පමණ විය. සුපුරුදු පරිදි කැළුම් නිවෙසට පැමිණියේ බමන මතිනි. ඔහු නිවෙසට ගොඩ වූයේම විලාප තියමිනි.
“කෝ මේ ගේ ඇතුළේ මොකෙක්වත් නැද්ද? මට යකෙක් කන්න බඩගිනියි. කවුරුහරි එකෙක් මට ඉක්මනට බත් පිඟානක් බෙදලා දියන්.“
ඔහුගේ විධානයන්ට මව මෙන්ම දරුවන්ද සැමවිටම බය බිරාන්තයෙන් සලිත වේ. ඒ වන විට කැළුම්ගේ බිරිය කුඩා දියණිය නාවමින් නිවෙස පිටුපස සිටියාය. පියාගේ විධානයට සැණින් ක්‍රියාත්මක වූ ලොකු දියණිය දහවල් ආහාරයට පිළියෙල කර තිබූ කෑම පිඟානකට බෙදා පියාට දුන්නාය. ඇය ඌරු මස්ද කැළුම්ගේ කෑම පිඟානට එක්කිරීමට අමතක නොකළාය. දියණිය දුන් බත් පිඟාන අතට ගත් කැළුම් කඩා පැන්නේ,
“යකෝ මේවා මස්ද... මේකේ තියෙන්නෙ ඔක්කොම තෙල් කෑලිනේ. මම මස් කන්නේ නැද්ද? උඹලා හිතුවද මම තෙල් කෑලි විතරක් කන එකෙක් කියලා“
මත් ගතියෙන් අඩසිහියෙන් විලාප දුන් කැළුම් කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොකළේය. අතේ වූ බත් පිඟාන රැගෙන ගොස් මුළුතැන්ගෙයි වූ මස් ඇතිළියටම හලා දැමුවේ මන්දබුද්ධිකයකු ලෙස හැසිරෙමිනි.
ඉන් නොනැවතුණු ඔහු පැමිණියේ තම දියණිය අසලටයි. ඇය සිටියේ බියෙන් සලිතව කාමරයක් තුළයි. ඔහු දියණියගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ඇදගෙන ආවේ නිවෙසේ සාලයටයි. සාලයට ඇදගෙන ආ දියණියට තඩි බාන්නට වූයේ අමනුස්සයකු ලෙස හැසිරෙමිනි. බිම දාගෙන ගෙල ප්‍රදේශයෙන් අල්ලාගෙන ඇයගේ සිරුර පාගමින් පහර දුන් පියා දියණියගේ ගෙල මිරිකාගෙන සිටියේ ක්ෂණයකින් ඇයගේ ගෙල සිඳ දමන්නට තැත් කරන්නාක් මෙනි.
ඒ වන විට කැළුම්ගේ පුත්‍රයා අකලංක සිටියේ මුළුතැන්ගෙයි බංකුවක වාඩිගෙනයි. ඔහු තම පියාගේ නොමනා හැසිරීම ආරම්භයේ සිටම දැක්කා නොදැක්කා සේ කරබාගෙන සිටියේ කුමක් කරන්නටදැයි සිතමිනි. අකලංක පියාගේ මෙවැනි හැසිරීම් නිසා කලෙක සිටම මහත් පීඩාවකින් පසුවූ තරුණයෙකි.
එහෙත් එදින අකලංකට ඉවසුම් නැතිව ගියේ සිය සහෝදරියට පහර දෙන ආකාරය දුටු විටයි. දත්මිටිකමින් ඉවසාගෙන සිටි අකලංකගේ ‘රතු කට්ට‘ පැන්නෙ නොසිතූ විලසිනි. ඔහු දැඩි සේ වෙරවීර්යය යොදමින් තම පියාගෙන් නැඟණිය ගලවා ගැනීමට තැත් කළේය. කැළුම්ගේ හැඩිදැඩිභාවය නිසා එය එතරම් පහසු වූයේ නැත. ඒ නිසාවෙන් පුත්‍රයාාට නැඟණිය පියාගෙන් ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් විය.
කෝපයෙන් මුසපත් වී සිටි අකලංක දෙවරක් නොසිතා දිව ගියේ මුළුතැන‍්ෙගය දෙසටයි. එහි රාක්කයක උදේ ආහාරයට පාන් කැපීමට යොදාගත් පිහිය විය. අකලංකගේ අතට හසු වූයේ එම පිහියයි. එය අතට ගත් අකලංක දිව ආවේ නැඟණියගේ ගෙල මිරිකාගෙන සිටින පියා අසලටයි. කිසිවක් නොසිතූ අකලංක එම පිහියෙන් තම පියාගේ පිටුපස දෙසින් පසාරු කරගෙන යන්නට පිහි පහරක් එල්ල කළේ මහත් වූ පාපකර්මයක් සිදුකර ගනිමිනි.
අකලංකගේ පිහි පහරින් කැළුම් කපාහෙළු කෙසෙල් කඳක් සේ නිවෙසෙහි ඉදිරිපස දොර අසල ඇද වැටිණි. එම පිහි පහරින් ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටියේ අවට ලේ විලක් මවමිනි.
නිවැසියන් විසින්ම ඒ බව 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේ කොච්චිකඩේ පොලිසියද දැනුවත් කළේ සවස 1ට පමණය. ඒ අතරේ 1990 ගිලන් රථ සේවාව අමතා තිබුණේ පිහි පහරට ලක්ව සිටි කැළුම් රෝහල්ගත කිරීමේ අරමුණෙනි. කොච්චිකඩේ පොලිසියට සැලවීමත් සමඟ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩි සහ එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දක්ෂිණ ප්‍රමුඛ කණ්ඩායමක් ඒ අපරාධය වූ නිවෙස සොයා පැමිණියේ ක්ෂණයෙනි.
පොලිස් කණ්ඩායම පැමිණෙන විටත් මරණයට පත් කැළුම්ගේ සිරුර එම ස්ථානයේම විය. කැළුම්ට පිහි පහර එල්ල කළ ඔහුගේ පුත්‍රයා ඒ වන විට කොච්චිකඩේ පොලිසියට බාරවීමට යැයි පවසා නිවෙසෙන් පිටව ගොස් සිටියේය. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම ඝාතනය පිළිබඳව ක්ෂණිකවම ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් දැනුවත් කිරීමත් සමඟ මීගමුව ‘සොකො‘ නිලධාරින්ද පැමිණ පරීක්ෂණ සිදු කළහ.
එම ඝාතනය පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භයත් සමඟ පොලිසිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමත් සමඟ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක එම නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කළේය. එසේම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත රැගෙන යාමටද නියෝග කළේය.
ඒ අතරේ කොච්චිකඩේ පොලිසියට පැමිණ බාර වූ කැළුම්ගේ ඝාතනයේ සැකකාර ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට පත්වීමත් සමඟ පොලිස් නිලධාරින් ඉදිරියේ පාපොච්චාරණය කරන්නට වූයේ,
“අපිට තාත්තගෙන් මේ හිරිහැර හැමදාම වගේ තිබුණා සර්. පොඩි කාලේ ඉඳන්ම අපි ඔහුගේ බීමත්කමින් බොහෝ දුක් වින්දා. තාත්තට බීම අඩුකරලා ඒ විදිහට හැසිරෙන ලෙස අපි කොච්චර කිව්වත් ඇහුවේ නෑ. තාත්තා බීලා ආපුවාම හරියට තිරිසන් සතෙක් වගේ හැසිරෙන්නේ. අම්මට ගහනවා; නංගිට විතරක් නෙවේ මටත් ගහනවා. මං සිය දහස් වාරයක් ඉවසගෙන හිටියා. ඒත් මේක ඉවරයක් නැති බවයි මට පෙනුණේ. තාත්තා බීලා ආවම මං හැම දෙයක්ම අමතක කරලා ඉවසාගෙන පැත්තකට වෙලා ඉන්නවා. ඒත් නංගිට බිම දාගෙන බෙල්ල මිරිකගෙන ගහන ආකාරය දැක්කම බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා සර්. අන්තිමට මට මාවම පාලනය කරගන්න බැරිවුණා“
පසුගියදා කැළුම්ගේ මළසිරුර පිළිබඳව මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී මරණයට පත් කැළුම් කොරෝනා ආසාදිතයකු බවටද හෙළි විණි. අධිකරණ වෛද්‍යවරයා සිදුකළ මරණ පරීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළි වී තිබුණේ කැළුම්ගේ සිරුරේ පිටුපස ප්‍රදේශයෙන් ඇතුළු වූ පිහි පහර පෙනහැල්ල දක්වා යාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ මරණය සිදුව ඇති බවයි.
කැළුම් අධික බීමත්කමෙන් අමනුස්සයෙන් ලෙස හැසිරීමේ ආදීනව නිසාවෙන් අවසානයේ සුළු සිදුවීමකින් ජීවිතයක් අහිමිව යද්දී තරුණ ජීවිතයක අනාගතය විනාශ වූයේ පෙර කළ කරුමයක් විලසිනි.
මෙකී ඝාතනය පිළිබඳ විමර්ශන මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත මීගමුව පොලිස් අධිකාරි නාලක සේනානායකගේ අධීක්ෂණයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රිනික ජයකොඩිගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. එන්. දක්ෂිණ ඇතුළු උපපොලිස් පරීක්ෂක ජේ. එම්. පී. පත්මසිරි, පොලිස් සැරයන්වරුන් වන 40290 රුවන්, 35867 බණ්ඩාර, 34048 පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 65060 සුමිත්, 72405 ප්‍රියදර්ශන සහ 74620 රාජකරුණා යන නිලධාරිහු එක්ව සිදු කළහ.
ඡායාරූප - ඩී. මිහිඳුකුල (කොච්චිකඩේ)