එදා රටක් වසඟ කළ බයිලා කලාවේ අද දවස | Page 5 | සිළුමිණ

එදා රටක් වසඟ කළ බයිලා කලාවේ අද දවස

වමේ සිට, වොලී බැස්ටි­යන් සහ බයිලා චක්‍රවර්ති එම්. ඒස්. ප්‍රනාන්දු

සමස්ත ලංකා සරල බයිලා සංගමයේ 54 වැනි සංවත්සරය මාර්තු මස 26 වැනිදාට යෙදී තිබේ. එය පැවැත්වෙන්නේ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පස්වරු දෙකටය.

යිලා කිවු සැණින් අපේ මතකය දිවයන්නේ ‘වාද බයිලා’ නමින් 60 දශකයේ සිට 80 ව දශකය අවසානය දක්වා මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ ගායන කලාවක් වෙතය. මෙය හිටිවන කවිය ආශ්‍රය කොටගෙන විවාදමය ස්වරූපයෙන් වෙනස් රිද්මයකට අනුව ගැයුණු ගායනා විශේෂයකි. ආවේගශීලී විවාදමය ස්වරූපය මෙන්ම තරගකාරී බව නිසාම මෙම ගායන විශේෂය තුළින් අමුතුම ආකාරයේ ප්‍රාසාංගික අත්දැකීමක් ලබා දුණි.

එසේ වූවත් ටෙලිවිෂන් හා සමාජ මාධ්‍ය ව්‍යාප්තවීමත් සමඟ මේ ගායනා විශේෂය වර්තමානය වනවිට අභාවයට යමින් තිබේ. 90 දශකය තුළ මීට කිසියම් මාධ්‍ය අනුග්‍රහයක් හිමි වුවද වර්තමානය වනවිට ඉඩක් නොලැබෙන තරම්ය. ඒ වෙනුවට වෙනත් සංගීත වැඩසටහන්, රියැලිටි ෂෝ, ස්ටාර් වැඩසටහන් ජනප්‍රියව තිබේ. එසේ වුව මෙලෙස අභාවයට යමින් තිබෙන ‘බයිලා’කලාව රැක ගැනීමට උත්සාහ ගන්නා පිරිසක් ද නැතුවාම නොවේ. සමස්ත ලංකා සරල බයිලා සංගමය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී. ඔවුන් වර්ෂයක් පාසා සිය සංවත්සරය සමරන්නේ මේ වියැකී යන ‘බයිලා’ කලාව රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ පරමාර්ථයෙනි.

එකල කොළඹ කොටුවේ ආරක්ෂාවේ නිරතව සිටි පෘතුගීසි හේවායන් තම සේවා මුරය අවසන කොටුවේ එක් පසෙකට වී තම සංස්කෘතික අංගයක්වන ‘බයිලේ’ නටමින් බැංජො, රබන්, වියෝලය, ඉංග්ලිෂ් මැන්ඩලින්, යූක් ටැමරින්, ටෑන්ගල් සහ ගිටාරය වැනි සංගීත භාණ්ඩ වාදනය කළේය. මෙම නර්තනමය සංඟීතය තුළ අපූර්ව රිද්මයක් විය. එකල මෙරට වැසියන් කොළඹ කොටුවට අවශ්‍ය දර දිය මස් ආදිය සැපයූ අතර, ඒවා ලබා දී ඔවුන්ගෙන් මුදල් උපයාගත්තේය. මෙලෙස සේවා සැපයීම සඳහා කොටුවට යන වැසියන්ට මේ නුහුරු නුපුරුදු සංගීත නාදයත් නැටුමත් දක්නට ලැබුණු අතර ඔවුන් එහි රැඳී සිට ඒවා නරඹන්නට විය.

මෙලෙස වටවී තම නර්තනයන් බලා සිටින මෙරට වැසියන් සමඟ මිතුරු වූ පරංගි හේවායන් ඔවුන්ට තමන් පානය කරන සැර මත්පැන් බොන්නට දුන්නේය. ඒවා පානය කළ වැසියන් නිර්මාංශී වුවද ඔවුන් විසින් පුළුස්සන ලද මස් අනුභව කරන්නට විය. සවසට තෙලිජ්ජ රා බී පුරුදු මේ උදවිය සැර මත්පැන් නිසා වෙනදාට වඩා යම් උත්තේජනයකින් පසුවීම ඊට හේතුවය. සමහරු සූර්වී සබේ මැදට පැන තමනට හුරු තොවිල් නැටුම් නටන්නට විය. තවත් සමහරෙක් ‘බයිලේ’ සංගීත රිද්මයට අනුව යමින් ජනකවි උරුමයක් වූ හිටිවන කවි ගායනා කළේය. පසුව මෙම බයිලේ තාලයට ගැයුණු හිටිවන කවි ගායනා ‘බයිලා’ ලෙස ජනගත විය. එතැන් පටන් මුඛ පරම්පරාගතව පැවත ආ ‘බයිලා’ කලාව මොරටුව, අඟුලාන, රත්මලාන, ගල්කිස්ස. දෙහිවල ආදී මුහුදුබඩ පළාත් ආශ්‍රය කරගෙන මෙරට තුළ ප්‍රචලිත විය. ඒ අනුව මෙය අපේම ගායනා විශේෂයක් බව පෙන්වා දිය හැකිය.

මෙලෙස ජනගත වූ බයිලා කලාව කෙතරම් ජනප්‍රිය වීදයත් ඒ පිළිබඳ උනන්දු නොවූ අයකු සොයා ගැනීම පවා දුෂ්කර කටයුත්තක් විය. ගත සිත පිනවන විශ්මිත රසයක් මේ තුළින් මතුවීම ඊට හේතුවයි. එනමුත් මෙම කලාව නොයෙක් අපවාද හා පරිභවයන්ට ලක්වූවා පමණක් නොව ඒවා ගායනා කරන්නන්ටද ලැබුණේ අඩු සැලකිල්ලකි. එසේවුව මේ කලාව මෙරටට අාවේණික වූ අපේ රටේ පමණක් ඇති එකම ගායන කලාව බවද නොකියාම බැරිය. පෘතුගීසි නර්තන සංගීතයට අනුව යමින් මෙය නිර්මාණය කර ගත්තේ අපය. පසුව එය ස්වාධීනව වෙනස් අනන්‍යතාවක් සහිතව වර්ධනය විය. ඇතැම් විද්වතුන් පවා ‘බයිලා’ කලාව පෘතුගීසි විසින් මෙරට තුළ ප්‍රචලිත කළ කලාවක් යැයි වැරදිව අර්ථකථනය කරති.

බයිලා වංශකතාව ලියන සමස්ත ලංකා සරල බයිලා සංගමයේ සභාපති ආර්. සුමතිපාල පෙරේරා පෙන්වා දෙන්නේ “බයිලා ගායන කලාව ලංකාවේ මිස පෘතුගාලයේ හෝ ලෝකයේ වෙනත් කිසිදු රටක නැති බවයි. මෙරටට හිමි එකී පිවිතුරු අයිතිය අද වැරදිව අර්ථකථනය කර පහතට ඇද දමා ඇති බව”යි. සමහරු බයිලා කපිරිඤ්ඤා යයි කියා ගනිමින් ගායනය සහ නැටුම් සම්ප්‍රදායන් සමාජගත කරමින් ඇති බවත්, මේ සියල්ලම වැරදි බවත් හෙතෙම පවසන්නේ ඒ සඳහා ඕනෑම අයකු සමඟ විවාද කිරීමේ අභියෝගයද බාර ගනිමිනි.

බයිලා ගායනය යනු ලබාදෙන ඕනෑම මාතෘකාවට වාදනය කරන තාලය අනුව එළිසමය, එළිවැට රකිමින් අරුතක් සහිතව මනා පද සම්බන්ධතාවකින් යුතුව සංගීත ස්වර පද්ධතිය තුළ පිහිටා කරන සුගායනයකි. මෙහි හය අට(6/8) හතර හතර(4/4) තුනයි එකයි හතර (3/1/4) යන රිද්මයට තාල ඇත. මෙය අසීරු ගායන කලාවකි. එවන් වූ ගායන කලාවක් පහත් කොට සැලකීම විමසා බැලිය යුතු වේ. මේ පිළිබඳව අධ්‍යයනය කරන්නකුට ‘බයිලා කලාව වංශකතාව’ ග්‍රන්ථය තුළින් මේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ලැබිය හැකිය.

අපේ කලාව සමඟ මුසුවී මේ දක්වා නොනැසී පැවත එන බයිලා ගායනය හා වේග රිද්ම සංගීතය ගැන වරක් පණ්ඩිත් අමරදේවයන් කියා සිටියේ “කිසිම සංගීතයක් අපට හොඳ නෑ කියලා පහළට දාලා කතා කරන්න බෑ. බයිලා ගත්තත් වේග රිද්මය ගත්තත් ඒවා සංගීතාංග” බවයි. බයිලා කලාවට ප්‍රසිද්ධ මොරටුවේ කොරලවැල්ල උපන් පණ්ඩිත් අමරදේව මුල් කාලයේදී බයිලා ගයනා කර ඇත. එමෙන්ම මයික් ජේ. විල්සන් අධ්‍යක්ෂණය කළ ‘රන්මුතු දූව’ චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ ‘පිපී රේණු නටන’ ගීතයත් ‘ගැටවරයෝ’ චිත්‍රපටය සඳහා මහගම සේකරයන් ලියූ ‘හාරිච්චි බෝරිච්චි’ ගීතයත්, සිරි ගුණසිංහයන් අධ්‍යක්ෂණය කළ ‘රන් වන් කරල් ’ චිත්‍රපටයට ඔහුම ලියූ ‘ආලේ බැන්ද මාගේ පනේ සෝමාවතී’ ආදී ගීතවල තනු නිර්මාණයේදී පණ්ඩිත් අමරදේවයන් බයිලා ශෛලිය යොදාගෙන ඇත.

නවසිය හතළිහෙන් පසු මෙරට බයිලා කලාව ජනකාන්ත කලාවක් බවට පත් කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ‘වොලී බැස්ටියන්’ අපට අමතක කළ නොහැකිය. හෙතෙම ගී පද රචනය, සංගීත නිර්මාණය හා ගායනය යන ත්‍රිවිධ අංශයෙන්ම දස්කම් පෑවෙකි. ඔහුගේ මුල් නම වූයේ ‘ඔලින්ටන් මර්වින් බැස්ටියන්ස්’ ය. ඔහුගේ නමේ මුල් කොටස වූ ‘ඔලින්ටන් ’ යන්න බොහෝදෙනා උච්චාරණය කළේ ‘ඔලී’ යනුවෙනි.

හෙතෙම සංගීත ලෝකයට පා තැබූ විට මෙම කෙටි නම කටේ හුරුවට‘වොලී’ වූ අතර පසුව ඔහු ‘වොලී බැස්ටියන්’ නමින් පෙනී සිටියේය. රථවාහන පොලිස් අංශයේ සේවය කළ හෙතෙම අති දක්ෂ වයලින් වාදකයකු මෙන්ම ගිටාර් හා බැංජෝ වාදකයකු විය. ඩෙස්මන්ද සිල්වා ගායනා කළ ගීයක “ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්” ලෙස සඳහන් වුවද එය එසේ නොවන බව යට කී කරුණු අනුව පැහැදිලි වේ.

නමුත් තම වෘත්තිය කාර්යයේ නිරතව සිටි විවේකයක් ලද සැණින් පසකට වී ගිටාරය වයමින් බයිලා රිද්මයට ඔහු ගී ගයා ඇත. එලෙස සංගීතය මුසු කරමින් කෝරස් බයිලා ගායනා කළ මුල්ම පුද්ගලයා ඔහු ය. ඔහුම පද රචනා කර, තනු නිර්මාණය වාදනය කරමින් ගායනා කිරීම ඔහුගේ ඇති සුවිශේෂත්වයයි. පිලිප්ස් සහ සූරිය ලේබල් යටතේ ඔහු ගැයූ ගී තැටිගත විය. හැට හැත්තෑව දශක වන විට අනෙකුත් කලාවන් මෙන්ම කෝරස් බයිලා කලාව බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අය අතරින් එම්.එස්. ප්‍රනාන්දු, මැක්සවල් මෙන්ඩිස්, ඇන්ටන් ජොන්, ජොන්ද්‍රිගු, ක්‍රිස්ටි ලෙනාඩ් වැනි ශිල්පීන් ප්‍රමුඛය.

“මගේ අම්මගේ තාත්තා තමයි වොලී බැස්ටියන්. ආමර්ස්ට්‍රීට් තට්ටු නිවාසයේ අපිත් එක්කම තමයි සීයා හිටියේ. සුමතිපාල පෙරේරා, සුනිල් පෙරේරා, ඇන්ටන් ජෝන්, ඉරිදට අපේ ගෙදර එනවා. ඒ අය මධුවිත පානය කරමින් රසවත් දේවල් කතා කරනවා; බයිලා ලියනවා ඊට පස්සේ සීයා ගිටාර් එක වයමින් ඒවා කියනවා. පොඩි කාලේ ඉඳල සීයා කරන කියන මේ දේවල් මං දැක්කා. ඒවත් එක්ක තමයි බයිලා කලාවට ආශාවක් ඇති වුණේ. ඒ විදියට සරල බයිලා සංගමයට එකතු වෙලා බයිලා කලාව වැඩිදුර ඉගෙන ගත්තා. මෙවර සංවත්සරයෙදි වාද බයිලා, කෝරස් බයිලා සහ කපිරිඤ්ඤා බයිලා එකතු කරමින් අලුත් වැඩක් කරන්නයි හිතන් ඉන්නේ” යැයි පැවසුවේ වොලී බැස්ටියන් පදනමේ සභාපති චාමන් රංජක බැස්ටියන් (43යි) ය. සමස්ත ලංකා සරල බයිලා සංගමයේ ලේකම් කඳානේ ඩිස්නි ද සිල්වා(වයස 58 යි) පවසා සිටියේ මෙවැන්නකි.“ මං බයිලා කියන්න එද්දි මට අවුරුදු විසි හතරක් විසිපහක් විතර ඇති. සරල බයිලා සංගමය විසින් ‘සරසි’ පත්තරේ දැන්වීමක් පළ කර තිබුණා; බයිලා පුහුණුව සඳහා තරුණයින් බඳවා ගන්නව කියලා. සුමතිපාල පෙරේරා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. මට ලොකු ආසාවක් ඇති වුණා.

මං දෙහිවල පිහිටි ඔහුගේ නිවසට ගිහින් ඔහු මුණ ගැසුණා. මාත් හැරිසන් සිල්වා සහ සිරිල් සිල්වා තුන්දෙනාම එකම දවසෙ තමයි සංගමයට බැඳුණේ. සිරිල් මඟදි නතර වුණා. හැරිසනුයි මායි දිගටම ගියා. හැරිසනුත් සෑහෙන දුරක් ඇවිත් නතර වුණා. මිල්ටන් සිල්වගෙ බයිලා අහල කියල මට ලොකු ආසාවක් තිබුණා. බුදුගුණ බයිලයක් තමයි මුලින්ම කිව්වේ. ඒක බොරැල්ලේ සොදෝ සිරිවර්ධන මාස්ටර් ලියූ ගීයක් ඒක අහල සුමතිපාල මාස්ටර් ගොඩක් සතුටුවෙලා මාව අගේ කළා. ඔහුගේ ගුරුහරුකම් යටතේ තමයි මං මේ තත්ත්වයට ආවේ.අපි පුදුම කට්ටක් කාල ඉගෙන ගත්තේ” කියාය.

සමස්ත ලංකා සරල බයිලා සංගමයේ භාණ්ඩාගාරික කොලොන්නාවේ එස්.එච් පද්මකුමාර(අවුරුදු 73කි) සිළුමිණට පවසා සිටියේ, “ඉස්සර මඟුල් ගෙවල්වල බයිලා කියන සිරිතක් තිබුණා. එම්.එස් ප්‍රනාන්දු, මරදානේ රූබන් පෙරේරා, තොටළඟ කුසුම්පාල වගේ කට්ටිය ඒ කාලේ හරිම ජනප්‍රියයි. ඒ කාලේ බයිලා තරග තියෙනවා. මොරටුව, අඟුලාන, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස වගේ ප්‍රදේශවල මුහුදු මාර්ගයේ ජනතාව අතර බයිලා කලාව ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා. මං බයිලා කියන්න පටන්ගත්තේ 1973 දි බයිලා වේදිකාවට නැග්ගේ 1975දී. බොහොම දුක් කම්කටොලුවලින් තමයි මේ ගමන ආවේ. දෙහිවල සුමතිපාලයි මමයි තමයි දැන් ඉන්න පැරණිම දෙන්නා.” සෑම වසරෙම සමස්ත ලංකා බයිලා සංවත්සරය සමරණ අතර මෙහිදී සෑම කලා ශිල්පියෙක්ම කිසිදු මුදලක් අය නොකර ස්වෙච්ඡාවෙන් සහභාගි වේ. කිසිදු අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම උත්සවයට 26 වැනිදා සවස 02ට ඔබත් ඇවිත් යන්න එන්න.

Comments