යකඩ යකාට බිලිවූ ජීවිත | සිළුමිණ

යකඩ යකාට බිලිවූ ජීවිත

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. කාලයක් බොහෝ දුම්රිය මැදිරි පාපුවරුව අසල තිබූ නිවේදනයකි මේ. එහෙත් මේ නියමයට, අවවාදයට, මඟීන් කොපමණ අවධානයක් යොමු කෙළේදැයි යන්න නම් ගැටලුවකි. දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් සිදු වන අනතුරුවලින් ජීවිතය බේරාගත හැකි වන්නේ කලාතුරකිනි. එසේ දිවි බේරුණද බොහෝ විට සදාකාලික අාබාධිතයන් බවට පත්වේ.

පාපුවරුවේ ගොස් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා බේරුණු ප්‍රංශ ජාතික තරුණියක් ගැන අපට පසුගිය දිනවල අසන්නට ලැබුණි. ඇය උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කිරීමේදී ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරදී බිම්ගෙයක වැදී දුම්රියෙන් ඇද වැටුණාය. ඒ සැණින් ඇයගේ පෙම්වතා ද ධාවනය වන දුම්රියෙන් පැන්නේය. ඔහු තුවාල ලැබූවද තරුණිය වැටුණු ස්ථානය තෙක් ආපසු දිව ගොස් ඇය ඔසවාගෙන ආවාය. අනතුරු වූ සැණින් දුම්රිය මඟීන් දුම්රියේ හදිසි අනතුරු දම්වැල ඇදීම නිසා දුම්රිය නැවැත්වූ අතර, දුම්රිය යළි මඳ දුරක් පසුපසට ගැනීමෙන් පසුව අනතුරට පත් තරුණිය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් රැගෙන ගිය අතර පසුව එතැන් සිට දියතලාව රෝහල වෙත ගිලන් රියකින් රැගෙන යන ලදී. 

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමට බලපවත්නා ප්‍රධාන හේතූන් දෙකකි. එයින් පළමුවැන්න දුම්රියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. දෙවැන්න ඉඳහිට යන මඟීන් වැඩිපුර වින්දයක් ලබා ගැනීම පිණිස අවදානම් ගමනක යෙදීමයි. මේ කොයි ආකාරයෙන් පාපුවරුවේ ගියද එය අවදානම් ගමනකි.

දුම්රිය හා සම්බන්ධ අනතුරුවලින් 100%ක්ම මෙන් සිදුවන්නේ දුම්රියේ වරදින් නොව මඟියාගේ හෝ ඒ හා සම්බන්ධ වන අනෙක් පාර්ශ්වයේ වරදිනි.

මෑත කාලයේදී දුම්රියෙන් ඇද වැටී මියගිය හා තුවාල ලැබූවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. දුම්රිය ආඥා පනතේ මෙන්ම, මෝටර් රථ ආඥා පනතේ ද දුම්රිය මාර්ගයක් හරහා පදිකයකු මෙන්ම වාහන ගමන් කළ යුතු ආකාරය දක්වා ඇතත් බොහෝ දෙනා දුම්රිය රේල් ගේට්ටු නොමැති හරස් මාර්ගයන්හි රතු පැහැති අවදානම් සංඥා එලි දැල් වී තිබියදී ගමන් නොකරන්නැයි යනුවෙන් දක්වා තිබුණද දුම්රිය පෙනි පෙනී ගමන් කරන අයුරු දක්නට ඇත.

අපේ ජන වහරේ “ඉක්මන් කොටයි” යනුවෙන් ඇති වහරට අනුව පසුගිය දිනවල එවන් අනතුරු රැසක්ම සිදු විය. හික්කඩුව අසලදී ත්‍රිරෝද රථයක ගමන් කළ එකම පවුලේ සිවු දෙනකු වවුනියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ‘රජරට රැජිණි’ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී මිය ගියේ එවැනි ‘ඉක්මනක’ ප්‍රතිඵලයක් ලෙසිනි.

එමෙන්ම වනවාසලදී, කන්කසන්තුරයේ සිට පැමිණි උත්තර දේවි ශීඝ්‍රගාමී දුම්රියයේ වැදුණු මෝටර් රථයක් කුඩුපටටම් වී ගියේ එහි හිමිකරු එතැනම ජීවිතක්ෂයට පත්කරමිනි. ඒ දුම්රිය මාර්ගය හරහා නොසැලකිලිමත්ව ගමන් කිරීමේදී වූ අනතුරු දෙකකි.

අපි යළිත් දුම්රිය පාපුරුවට බසිමු.

උඩරට මාර්ගයේ මේ වන විට ධාවනයට යොදා ඇත්තේ උඩරට ධාවනය වෙනුවෙන්ම විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති චීනයේ නිෂ්පාදිත එස් 12 හා එස් 14 බලවේග කට්ටල දුම්රියයන් ය. එම දුම්රියයන්ගේ පාපුවරුව ඇත්තේ දුම්රිය බඳට සමාන්තරවය. අනෙක් දුම්රියයන්ගේ පාපුවරුවට පිවිසීමට හැකි පරිදි දුම්රිය බඳ පාපුවරුවේදී මඳක් ඇතුළට වන්නට විවරයක් ඇති නිසා පය තැබීම පහසුය. එහෙත් උඩරට දුම්රියයන්ගේ පාපුවරුව බඳට සමාන්තරව ඇතුළට වන්නට නිපදවා ඇති නිසා දුම්රියට ගොඩවීම හා එයින් බැසීම පවා තරමක් අපහසුය. මෙවන් පාපුවරුවක් ඇති දුම්රියක පාපුවරුවේ ගමන් කිරීම ඉතාම අවදානම්ය.

යම් අයකු පාපුවරුවේ ගමන් කළයුතු වන්නේ දුම්රිය පාපුවරුව අසල සිට එළියෙන් ඇති අත්වැට අල්ලාගෙනය. එවිට අත් දෙක එළියේ ඇති නිසා පොඩි ගැස්සීමකදී වුවත් වැඩි බරක් එළියට යෙදවේ. මේ නිසා දුම්රියෙන් එළියට විසිවීමට ඇති අවදානම ඉතා ඉහළය. නොසිතන ලෙසින් පාපුවරුවෙන් මඟියා එළියට වැටෙන්නේ එලෙසිනි. එසේ නොවන්නට ඇතැම් මඟීන් පහතින් ඇති පාපුවරුවේ එල්ලී ගමන් කරති. එවිට සිදුවන්නේ දුම්රිය ස්ථානයක වේදිකාවේ ගැටී හෝ දුම්රිය මාර්ගයේ දෙපසින් ඇති සංඥා කුලුනු හෝ බිම්ගෙවල් හෝ පාලම් හි ගැටී අනතුරට පත්වීමයි. පසුගිය සතියේ මහව සන්ධියේ සිට පෙරවරු 4.45ට කොළඹ බලා පැමිණි දුම්රියේ ආ තරුණයකුගේ පාදයක් එලෙසින් දුම්රිය වේදිකාවේ ගැටී පාදය වෙන්වී ගියේ මීරිගම දුම්රිය ස්ථානයට ආසන්නයේදීය. ඔහුගේ දිවි බේරුණද තරුණයාගේ අනාගතය අඳුරේය.

කාර්යාල දුම්රිය භාවිත කරන මඟීන් වුවද පාපුවරුවේ ගමන් කරන්නේ ඉඩකඩ නොමැතිකම නිසාම ද යන්න ගැන තවදුරටත් විමසා බැලිය යුතුය. මහව හන්දියේ සිට බෙලිඅත්තේ සිට එසේ නැත්නම් කුරුණෑගල සිට පැමිණෙන දුම්රියන්ගේ මඟීන් පාපුවරුවේ එල්ලී ගමන් කරන්නේ මීරිගම හෝ මුහුදුබඩ මාර්ගයේ නම් අලුත්ගම හෝ දකුණු කළුතරින් පසුවය. අලුත්ගම හෝ මීරිගමින් පසු කොළඹට පැමිණීමට සැලකිය යුතු දුම්රිය සංඛ්‍යාවක් ඇත. නමුත් සිදුවන්නේ අන්තිම තත්ත්පරයේදී දුම්රියට පැමිණීමට මඟීන් පුරුදුව සිටීම හෝ ශීඝ්‍රගාමී දුම්රියේම කෙසේ හෝ එල්ලී යාමට උත්සාහ දැරීමය. ඒ සඳහා මඟියාට ද පැහැදිලි සාධාරණ හේතූන් රැසක්ම තිබිය හැකිය. එහෙත් සියලු දෙනාම ශීඝ්‍රගාමී දුම්රියේ යාමට හෝ එකම වේලාවට පැමිණීම නිසා අධික තදබදයක් හට ගනී. කාර්යාල දුම්රිය සේවාව ද හිටිවනම මඟීන් නන්නත්තාර කිරීම නිසා මේ තත්ත්වය තවත් වැඩි වේ. දුම්රිය කාල සටහනේ සංශෝධනය කළ හැකි ස්ථාන වෙත දුම්රිය බලධාරීන්ගේ ඇස එතරම් යොමුව නැත. ඒ එක් පැත්තක් පමණි. අනෙක් පැත්ත වනුයේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගැනීමයි.

විදේශ රටවල නම් දුම්රිය ගමනාරම්භයට පෙර දුම්රියේ දොර වැසෙන ක්‍රමයක් තිබුණද අපේ රටේ එවන් ක්‍රමවේද තවත් කාලාන්තරයකට ක්‍රියාත්මක කළ නොහැකිය.

දැනටත් ස්වයංක්‍රීයව විවෘත වන හා වැසෙන දොරවල් ඇති, කන්කසන්තුරේ නගරාන්තර දුම්රියේ දොරවල් හා සෙල්ලම් කරන මඟීහු වෙති. මේවා වෙනස් වන්නට නම් අපගේ ආකල්ප වෙනස් කළ යුතුය. තත්ත්පර ගණනක් නොඉවසා දුම්රිය පෙනි පෙනී හරස් මාර්ගයට වාහන දමන්නේ එනිසාය.

2016 වසරේ සිට වසර 4ක් තුළදී දුම්රිය අනතුරුවලින් තුවාල ලද සමස්ත සංඛ්‍යාව 1,540 කි. මේ අනුව බලන විට, වසර 4කට මේ සංඛ්‍යාව අනුව එක් දිනකට අනිවාර්යෙන්ම එක් අයකු හෝ වැඩි පිරිසක් අනතුරුවලට ලක් වන බව පෙනී යයි.

එවන් තත්ත්වයක් දැක දැන මාධ්‍ය මඟින් පවා මේ සම්බන්ධයෙන් පෙන්නුම් කර තිබියදී අවධානය යොමු නොකිරීම සැබැවින්ම කනගාටුදායකය.

දුම්රිය මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නඩු පැවරිය හැකි වුවත් එවන් නඩු පැවරුමක් ගැන අප අසා නැත. කෙසේවුවත් දුම්රිය අනතුරු පිළිබඳ සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ අපට සිතාගත නොහැකි තරම් විශාල අනතුරු සංඛ්‍යාවක් සිදුවී ඇති බවයි. මේ සිදුවීම් මාලාව හරහා කියාපාන කරුණු දෙකෙන් පළමු වැන්න එම අනතුරුවලින් සිදු වන ජීවිත හානියයි. දෙවැන්න අනතුරු නිසා සිදුවන දේපළ හානියයි. එමෙන්ම අනතුරු නිසා අතරමඟ දුම්රිය ප්‍රමාද වීමෙන් මෙන්ම ඊට පසුපසින් පැමිණෙන දුම්රියයන් ප්‍රමාදය හරහා රටේ සංවර්ධනයට වැය කෙරෙන මිනිස් ශ්‍රමය නිකරුණේ විනාශ වී යයි.

මේ සම්බන්ධයෙන් සිළුමිණ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දරගෙන් විමසූ විට ඔහු පැවසුවේ දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම ඉතාම අවදානම් බවත් අවට සිරි නැරැඹීමට මෙන්ම විනෝදකාමීත්වයට පාපුවරුවේ අසුන් ගෙන ගමන් කිරීමට පවා ඇතැමුන් පෙලඹ ඇති බවයි.

‘‘මෙය ඉතාම අවදානම් වැඩක්. හුඟක් මඟීන් මෙන්ම සංචාරකයන් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. බොහෝ විදේශ රටවල එලෙසින් දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමට හැකියාවක් නැහැ. පාපුවරුවේ ගොස් උඩරට සිරි නරඹන්න ඇතැම් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් උත්සාහ කරනවා. නමුත් අවදානම දන්නා අය කිසිවිටක එවැනි දෙයක් කරන්නේ නැහැ.

ඉදිරියේදී ආරක්ෂක අංශයේ නිලධාරීන් යොදවා පාපුවරුවේ ගමන් කරන මඟීන්ට එලෙසින් ගමන් නොකරන ලෙස අවවාද කිරීමට පියවර ගන්නවා. ඒ වගේම පාපුවරුවේ සිට සෙල්ෆි සේයාරූ ගැනීම හෝ පාපුවරුවේ එල්ලී ගමන් කිරීම වැළැක්වීමටත් පියවර ගැනීමට කටයුතු යොදනවා. විදේශිකයන් එලෙසින් ඇද වැටුණහොත් එය අපේ රටේ සංචාරක ව්‍යාපාරයට බලපානවා. දුම්රිය සේවාවටත් එය කැළලක්. අපේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා.”

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්ත පැවසුවේ දුම්රිය මාර්ගය, දුම්රියට සීමා කර දුම්රියේ ගමන් කිරීමේදී තම ආරක්ෂාව උපරිමව සලසා ගන්නා ලෙසයි.

‘‘වාර්ෂිකව සිදුවන අනතුරු හා මියයෑම් සලකා බැලීමේදී අපට පෙනී යන්නේ මහජනතාවගේ මෙන්ම මඟීන්ගේ අවධානයේ අඩුවක් තිබෙන බවයි. දුම්රියේ ආසන හිස්ව ඇත්නම් අසුන් ගෙන හෝ ආසනවල මඟින් අසුන්ගෙන ඇත්නම් අනිවාර්යෙන්ම ආරක්ෂාව සලසා පාපුවරුවෙන් දුරස්ව ගමන් කිරීමයි. පාපුවරුව භාවිත කළ යුත්තේ නැඟීමට හා බැසීමට පමණයි.

ඒ වගේම විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගයේ මුහුදු සුළං නිසා තනි බලවේග දුම්රියන්ගේ ශබ්දය හොඳින් ඇසෙන්නේ නැහැ. එම නිසා දුමරිය මාර්ගය හරහා ගමන් කරන්නන් අනිවාර්යෙන්ම සැලකිය යුතු වේලාවක් හොඳින් දෙපස බලා දුම්රිය මඟ හරහා යා යුතුයි. එමෙන්ම ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමද ඉතාම භයානකයි.”

මඟීන් පළමුව තම ජීවිතය ගැන අවධානය යොමු කළ යුතුමය. වින්දනය, ආශ්වාදය ගැන දෙවනුව අවධානය යොමු කළ යුතුය. දුම්රියේ ගැටී ජීවිතය බේරුණද ජීවිත කාලය පුරාවටම විඳවිය යුතුය. ඒ බව තේරුම් ගන්නේ නම් මේ අවදානම දුරු කිරීම අපහසු නොවනු ඇත.


Comments