පාසල් විවෘත කිරීම ගැන මවුපියන් කියන කතා | සිළුමිණ

පාසල් විවෘත කිරීම ගැන මවුපියන් කියන කතා

පාසල් විවෘත කිරීම හොඳයි 
- විෂ්මිත ලියනගේ (30) මහනුවර - බැංකු නිලධාරී

මොනතරම් බාධක කම්කටොලු මැද වුණත් පාසල් නැවත විවෘත කරලා ඉගෙනුම් ඉගැන්වීම් කටයුතුවල යෙදීම නම් අගය කළ යුත්තක්. මොකද, දරුවාට පාසල් අධ්‍යාපනයේ නිසිඵල නෙළාගත හැකි වන්නේ ඍජුවම පන්ති කාමරයක් තුළ ගුරු - ගෝල සබඳතා සමඟ සිදුවන අධ්‍යාපනයකදී පමණයි. අපි පාසල් යන කාලේ ඔන්ලයින් ගැන අහලවත් නෑ. ඔන්ලයින් ක්‍රමය මඟින් නිවසේ සිටින සිසුවාට ඉගැන්වීමේ ක්‍රමය අසාර්ථකයි. ඔන්ලයින් පන්තිවලට සහභාගි වෙන ගමන් සිසුන් වෙන වෙන දේ කරනවා. එවිට පාඩමට අවධානය අඩු වෙනවා. නිසි විනයක් පවත්වාගෙන යන්නත් බෑ. පහුගිය වසර දෙකක් පුරාවට දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදෙන්න නොහැකි වුණා.

බිඳ වැටුණු පාසල් අධ්‍යාපනය නැංවීමට දැන් හැකිවේවි 
- ගයාත්‍රි අනුරාධා (25) මහරගම - හෝටල් සේවිකා

කොරෝනා වසංගතය හේතුවෙන් අනිත් හැමදේටම වගේම පාසල්, පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයටත් මරු පහරක් වැදුණා. එක ශ්‍රේණියක ඉඳලා ඉගැන්වීම්, විභාග කිසිම දෙයක් නොමැතිව ඊළඟ වසරට යන්න සිදුවුණා. ඒ රික්තය පුරවන්න හරිම අමාරුයි. පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස, සා.පෙළ හා උසස් පෙළ විභාග කල්දමන්න සිදු වුණේ හරි ඉගැන්වීමක් සිදු නොවූ නිසයි. කොහොමහරි දරුවන්ට, ගුරුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීලා පාසල් නැවත පටන්ගෙන ඉගෙනීම් සිදුකිරීම අගය කළ යුත්තක්. ඒ විතරක් නෙමෙයි කෙටි නිවාඩු කාලයක් පමණක් ලබාදීලා නැවතත් ඉක්මනින් පාසල් පටන්ගෙන විෂය නිර්දේශය ආවරණ කිරීම සුභවාදී දෙයක්. බිඳවැටුණු පාසල් අධ්‍යාපනය ගොඩගැනීමට ගත් හොඳ ප්‍රයත්නයක්.

එන්නත් ලබාදී ඇති නිසා පාසල් පටන් ගැනීමට පුළුවන් 
තුෂාරි ගමගේ (48) ජාඇල - ගෘහණියක්

අපිට මතක ඇති කාලෙක මේ තරම් දිගු කාලසීමාවක් එක දිගට පාසල් විතරක් නෙමෙයි රට අක්‍රිය වෙලා තිබුණේ නෑ. කොරෝනාව මුළු රටම උඩු යටිකුරු කළා වගේම පාසල් අධ්‍යාපනයත් මුළුමනින්ම කඩා ඉහිරෙව්වා. ඒත් මොනා කරන්නද? හැමදාම කොරෝනා කිය කියා පාසල් වහගෙන ඉඳලා හරි යන්නෙ නෑනේ. කොරෝනාවට අවශ්‍ය පිළියම් යොදලානේ තියෙන්නේ. පාසලට විවිධ ප්‍රදේශවලින් විවිධ ජනවර්ග අතරින් විවිධ සංස්කෘතීන්වල සිසුන් එනවා තමයි. කොරෝනා ආසාදිත වූ අයගෙන් අනිත් සිසුන්ට, ගුරුවරුන්ට පැතිරිලා පාසල් නැවත වසා දමන්න වූ අවස්ථා නැතුවා නොවෙයි. ඒත් හැමදාම පාසල් වහගෙන ඉඳලා බෑනේ.

රට සාමාන්‍යකරණය වී ඇති නිසා විවෘත කළත් කමක් නෑ
- ශෙහානි රේචල් පෙරේරා (22) බොරලැස්ගමුව - ගිණුම් සහකාර

පහුගිය අවුරුද්දේ පාසල් විවෘත කිරීම පොඩි අවදානමක් තිබුණා. පාසල් විවෘත කළත් තම දරුවන්ව පාසල් වලට එවන්න සමහර දෙමවුපියන් බිය වුණා. කොරෝනාවලින් කාටවත් අනුකම්පාවක් සමාවක් නැති තත්ත්වයකට අපි පහුගිය කාලේ මුහුණ දුන්නා. එකක් ඉවර වෙද්දි එකක් විදිහට විවිධ කොවිඩ් ප්‍රභේද ආවනේ. ඒ නිසා පාසල් විවෘත කළත් සමහර දරුවෝ පාසල් ආවේ නෑ. කොවිඩ් වුණත් දැන් සාමාන්‍යකරණය වෙලා. රට සාමාන්‍යකරණය වීමත් සමඟ පාසල් අධ්‍යාපනයත් සාමාන්‍ය තත්වයට පත්වෙලා. ඒ නිසා කෙටි නිවාඩුවක් දීලා පාසල් නැවත විවෘත කර දරුවන්ට අධ්‍යාපනය ලබාදීම හොඳ දෙයක්. ඒකට හේතුව අපේ අනාගතය තියෙන්නේ අපේ දරුවන් නිසයි.

පාසලෙන් සිසුවා පරිපූර්ණ වන නිසා විවෘත කිරීම වටිනවා 
- උදය කුමාර හේවාබටගොඩ (38) ගම්පහ - කාර්යාල සේවා

පාසල් නැවත විවෘත කරපු එක කොච්චර හොඳ දෙයක්ද? පාසලට ගිහින් පන්ති කාමරය තුළ උගන්වද්දි දරුවන්ට පාඩම් හොඳින් මතක හිටිනවා. අපහසු තැන්, විමසා ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක නෑ. කරන්න දෙයක් නැතුවට තාවකාලික පිළියමක් වුණාට, පාසලක් තුළින් බලාපොරොත්තු වන්නේ ඉගෙනීම විතරක්මත් නෙමෙයිනේ. කණ්ඩායම් හැඟීමෙන් සාමුහිකත්වයෙන්, විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමත් තවත් අංශයක ඉගැන්වීමක්. සිසුවා දැනුමින් ද, ගුණ නුවණින්, සාරධර්මවලින් සපිරි ක්‍රියාශීලී පූර්ණ යෞවනත්වයට පත්වීම දක්වා යන ගමනට පාසල් අධ්‍යාපනය ඉමහත් පිටුබලයක් ලබාදෙනවා.

දිගු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹීම සුබ පෙර නිමිත්තක්
- චමති යසාරා පෙරේරා (23) කොළඹ

පාසල් අධ්‍යාපන ක්‍රමය හරිම තරගකාරී වුණා. කොරෝනා හින්දා හරි පාසල් දිගු කාලයක් වසා තැබීමෙන් ඒ තරගකාරිත්වයෙන් යම් තරමකට හරි දෙමාපියන් හා දරුවන් මිදුනා කියන්න පුළුවන්. තරගකාරීත්වය සීමාව ඉක්මවා යෑම හොඳ නැති නිසා පහුගිය කාලේ පාසල් දරුවන්ගෙන් සමහරෙක් මේ පීඩනයෙන් මිදුනා වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් බලද්දි පාසල් දරුවන් කාටත් යම් විවේකයක් ලැබුණු එක නම් හොඳයි. ඒත් එක දිගටම පාසල් වසා තැබීමෙන් හා ගුරු උද්ඝෝෂණ නිසා දරුවන්ට එකදිගටම මඟහැරුණු පාසල් විෂය නිර්දේශය ආවරණය කරන්න කෙටි නිවාඩුවක් පමණක් ලබාදීලා පාසල් නැවත විවෘත කිරීම පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොඳ පෙර ගමනක්, සුබ නිමිත්තක් ලෙස හඳුන්වාදිය හැකියි.

Comments