![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/11/15-3.jpg?itok=IwWM0Pjk)
දේශපාලන ක්ෂේත්‍රය තව දුරටත් පසුගිය සතියේ උණුසුම් වූයේ විවිධ මාතෘකා සමඟිනි. ඩොලර් අර්බුදයට සහ කොවිඩ් සමඟ පැන නැඟුනු අනෙකුත් කාරණාවලට ආණ්ඩු පක්ෂය පිළියම් සොයමින් පිළියම් යොදද්දී විරුද්ධ පක්ෂ දිගින් දිගට ම චෝදනා කළේ එම පිළියම් සාර්ථක නොවන බවයි. පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස්වීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ උණුසුම් කතා බස් ද සිදු කෙරිණ.
විමල් හා ගම්මන්පිල ගැන බැසිල් කීවේ මොනවාද?
අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර හමුවක් පසුගිය දා පැවැත්වුණි. බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගාමිණි ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.
එහිදී මුලින්ම සාකච්ඡාව ආරම්භ කළේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. "සර්ව මුණගැහෙන්න අපි වෙලාවක් ඉල්ලලා තිබ්බේ. ඒකට හේතුව තමයි සර්, මන්ත්‍රීවරුන් මේ දවස්වල මුහුණ දීලා තියෙන මේ විවිධ පීඩාකාරී තත්ත්වයන්, විවිධ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට." යනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.
ඒ අනුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සාකච්ඡාව ආරම්භ කළේය. ඔහුගේ කතාවට මුලික ප්‍රධාන අංග දෙකක් අන්තර්ගත විය. විමල් සහ ගම්මන්පිල අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කිරීම යන කාරණය සහ රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් වන කාරණා අන්තර්ගත විය. එහිදී විමල් සහ ගම්මන්පිල අමාත්‍යවරුන් පහුගිය සතියේ මාතෘකාව වුණ නිසා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ ගැන මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගත්තේය. "විමල්, ගම්මන්පිල ඔය අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්න නෙමෙයි හිටියේ. හැබැයි ඔවුන්ගේ සාමූහිකත්වය තිබ්බේ නැහැ. කණ්ඩායමක් වුණාම කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න ඕන. ඔවුන්ගේ ඒක තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඔවුන්ව ඉවත් කරන්න සිද්ධ වුණේ." යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික අභියෝගය ජය ගන්නා හැටි
ඉන්පසුව රටේ ආර්ථිකය ගැන සාකච්ඡා විය. "විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රවේශන පහුගිය අවුරුදු 2 ක තුළ නොලැබීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ක් විතර අහිමි වුණා. මේ නිසා ඇතිවුණ රික්තකය පුරෝගන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඉතාමත්ම අමාරුයි. හැබැයි මේ වර්තමාන තත්ත්වය කළමනාකරණය කරගෙන කොහොමහරි ඉදිරියට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විදුලි අර්බුදයත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි බලන්න ඕනේ කොහොමහරි විදුලිය ඉතිරි කරගන්න. අපිට පුළුවන් නම් එක ලයිට් එකකින් අපේ ගෙදර කටයුතු කර ගන්න. අන්න ඒක වටිනවා. ඒ වගේම තමයි වීදී ලාම්පුත් නිවන්න ඕනේ. මේ වගේ තීරණ ගත්තොත් අපිට පුළුවන් ලොකු මෙගා වොට් ප්‍රමාණයක් ඉතිරි කරගන්න." යනුවෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගට ම මේ කරුණු දැක්වීම විනාඩි 45 ක් පමණ සිදු කෙරිණ.
පාර්ලිමේන්තුවේ සතර කන් මන්ත්‍රණය
මේ අතර 10 වැනි බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට මහජන නියෝජිතවරුන් ඇතුළුවන ප්‍රධාන දොරටුව ආසන්නයේ සතර කන් මන්ත්‍රණයක් සිදුවිය. මෙම සතර කන් මන්ත්‍රණය ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු හා විරුද්ධ පක්ෂයේ ප්‍රබලයෙකු අතර ඇතිවීම මේ ස්ථානයෙන් ගිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. මෙම සතර කන් මන්ත්‍රණය සිදුවූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අතරය. පාර්ලිමේන්තු සංකීර්ණයට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු වන විට ඒ සමඟ හර්ෂ ද සිල්වා ඇතුළු විය.
"ඉතින් කොහොම ද හර්ෂ" ජොනී කතාව ආරම්භ කළ අතර "ජොනී හම්බ වුණ එක හොඳයි. මං කතා කරන්න හිටියේ." යනුවෙන් හර්ෂ කතාව පටන් ගත්තේය.
මාතෘකාව බවට පත්වූයේ රටේ පවතින තෙල්, විදුලි සහ ගෑස් අර්බුද පිළිබඳවය. කතාව පටන් ගත් හර්ෂ එම අර්බුද ගැන දීර්ඝ වශයෙන් අදහස් දැක්වීය.
කොවිඩ් ලෝක වසංගතය සමඟ ලෝකයේ ඇති වී ඇති ආර්ථික අවපාතයට රටක් විදිහට මුහුණ දී ඇති ආකාරය සහ එම ගැටලුවලට කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව ආණ්ඩුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජොනී පියවර ගත්තේය.
"මචං ජොනියා මට මාර වැඩක් වුණේ." හර්ෂ තම අත්දැකීමක් විස්තර කළේය."
"මොකක්ද, මොකක්ද?" මහත් උනන්දුවෙන් විමසූවේ ජොනීය.
"මචං පැය ගාණක් පෝලීමේ ඉඳලා ඉඳලා මගේ වාහනයට තෙල් ගහගන්න මම ෂෙඩ් එකට ගියා. තෙල් පොම්පය ළඟට යනකොටම මචං තෙල් ඉවර වෙලානේ. මට මාර පරිප්පුවක් තමයි කන්න වුණේ." යනුවෙන් මඳක් සිනහවෙමින් හර්ෂ තම අත්දැකීම විස්තර කළේය.
"මේ අර්බුදය ගැන අපි හොඳට ම දන්නවා. අර්බුදය විසඳන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ආණ්ඩුව ඉතාමත්ම ඉක්මනින් සිදුකරනවා. අපේ විතරක් නෙමෙයි ලෝකයේම මේ තත්ත්වය මෙහෙමයි. කොහොමහරි ඉතාම ඉක්මනින් මේ තෙල්, විදුලි සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉතාම ඉක්මනින් ලබා දෙනවා." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
විනාඩි 10 ක් පමණ මෙම සතරකන් මන්ත්‍රණය සිදුවිය.
මෙම සතර කන්මන්ත්‍රණය දෙස ඕනෑකමින් බලමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් ඒ අසලින් යන්නට වූහ.
"ආ ඇමතිතුමා හර්ෂ මන්ත්‍රීතුමා සමඟ බර කතාවක් වගේ." කියමින් පැවසුවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාලයි.
"ආ මේ මුදල් රාජ්‍ය ඇමතිකම දෙන්න කතාකළේ." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසූ කතාවට සියල්ලෝම මහ හඬින් සිනහසූහ.
සිමෙන්ති කම්හලේ වැඩ ආරම්භ කිරීමට පෙර ජනපති කළ දේ
අපේ රටේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වූ නන්දන ජයදේව ලොකුවිතාන විසින් ආරම්භ කරන ලද දකුණු ආසියාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදනාගාරය ලෙසින් විරුදාවලි ලැබූ "ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන්" (private limited) ආයතනය එදින උදෑසන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා පැමිණියේ අග්‍රාමාත්‍යවරයා පැමිණ ටික වෙලාවකට පසුවය. ඒ වන විට චමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ඩී.වී. චානක, අජිත් රාජපක්ෂ, තිස්ස කුට්ටිආරච්චි සමඟ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද පැමිණ සිටියහ.
ජනාධිපතිවරයා පැමිණි පසුව මේ පිරිස මුලින්ම ගියේ ඊට යාබද ඉඩමේ වූ ''යෝජිත වානේ කම්හල'' සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවටය.
"මේක ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ආයෝජනයක්. අපට 2024 වෙනකොට මෙහි වැඩ ඉවර කරන්න පුළුවන් වේවි." නන්දන ජයදේව ලොකුවිතාන කීවේ ය.
"අපි දැනට පිටරටින් වානේ ගෙන්වන්න විශාල මුදලක් වියදම් කරනවා. පුළුවන් ඉක්මනට ඒ මුදල රටට ඉතුරු කරල දෙන ව්‍යාපෘතියක් තමයි මේ වෙලාවේ අපිට ඕන." ජනාධිපති කීවේය.
අගමැති සිමෙන්ති කම්හල පුරා ඇවිදියි
එම සරල කතාබහත් සමඟම මුල්ගල තැබීමේ වැඩකටයුතු අවසන් විය. ඉන්පසුව සියල්ලෝම පැමිණියේ සිමෙන්ති කම්හලේ වැඩ කටයුතු දැකබලා ගැනීම සඳහාය. එහිදී අග්‍රාමාත්‍යවරයාට සිමෙන්ති නිෂ්පාදනාගාරය පුරා ඇවිදිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කරන්නට අවශ්‍ය විය. ජනාධිපතිවරයා උඩු මහලේ පිහිටි මෙහෙයුම් කාමරය වෙත ගියේ නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන අවබෝධයක් ඇති කරගැනීමට ය. එහි සිටි ඉන්දියානු හා ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කළහ.
අවශ්‍ය අමුද්‍රව්‍ය වරායේ සිටම යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් නිෂ්පාදනාගාරය වෙත ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.
"මිනිස් ශ්‍රමය අවමයි. යන්ත්‍ර සූත්‍ර තමයි ඔක්කොම කරන්නේ. අපි තාක්ෂණය මෙහි දී උපරිමයෙන් භාවිතයට ගත්තා. පරිසරිය දූෂණය අවම වීම ගැන තමයි මේ වගේ කර්මාන්තවල දී අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕන." ජනාධිපතිවරයා කීවේය.
"ආවරණය කරපු බෙල්ට් එකක තමයි වරායෙ ඉඳලා අමුද්‍රව්‍ය ගේන්නේ. දූවිලි පොදක්වත් පරිසරයට එකතු වෙන්නේ නෑ." ඉංජිනේරුවරු සහතික වූහ. නිරීක්ෂණ චාරිකාව නිමවා අගමැතිවරයා ද ඉහළ මාලයට පැමිණි පසු වැඩ ආරම්භ කිරීමේ බොත්තම එබීමේ කටයුත්ත ජනාධිපතිවරයා වෙත පැවරිණි.
ජනාධිපතිවරයා බොත්තම එබීමට ඇඟිල්ල දිගු කරමින් නැවත හැරී මෙසේ ඇසුවේය. "ඔය යන්ත්‍ර සූත්‍ර ඇතුළේ එහෙම කවුරුවත් ඉන්නවද දන්නෑ. හොඳටම විශ්වාසයි නේද කවුරුවත් නෑ කියලා?"
"සේවකයෝ අවශ්‍ය නැහැ සර් ඒ තැන්වලට. ඔක්කොම ස්වයංක්‍රීයව යන්ත්‍රානුසාරයෙන් සිදුවෙනවා." ඉංජිනේරුවරු එම සහතිකය දුන් පසු ජනාධිපතිවරයා බොත්තම ඔබා නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ සියලු දෙනාගේම අත්පොළසන් නාදය මධ්‍යයේය.
මුලින්ම නන්දන ජයදේව ලොකු ලොකුවිතාන පිළිගැනීමේ කතාව කරමින් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ රටේ සෞඛ්‍ය අංශවලටත් ප්‍රමුඛ ස්තූතිය පළ කළේ 2020 දී වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කොවිඩ් ව්‍යසනය තදින් තිබුණ යුගයේ දී පවා අතරමග නතර කිරීමකින් තොරව පවත්වාගෙන යන්නට අවසර දීම සම්බන්ධවයි.
දිනේෂ්ට දයාසිරිගෙන් ආරාධනාවක්
ආණ්ඩුවේ හවුල්කාර අනෙකුත් පක්ෂවලට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් පසුගිය කාලයේ ලැබුණේ නැතැයි කියා චෝදනාවක් ද විය. පසුගිය දිනවල මේ පිළිබඳ සමාජයෙන් නොයෙකුත් කතා ඇති වුවත් ජනාධිපතිවරයා එය පිළිගත්තේ නැත. මන්ද ආණ්ඩු පක්ෂයේ වැඩ කටයුතුවලදීත් රටේ තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩලය වැනි තැන්වලදීත් එම පක්ෂ නියෝජිතයන්ට කතා කරන්නට හා යෝජනා ඉදිරිපත් කරන්නට සමාන අවස්ථා ලැබී තිබූ නිසාය.
"කැබිනට් එකේදී කතා කරන්න ඕන දේවල් කතා නොකර සද්ද නැතුව ඉන්නවා. ඊට පස්සේ එළියට ගිහිල්ලා මයික් හා කැමරා ඉස්සරහ වීරයෝ වගේ කෑගහනවා. ඕකද කරන්න ඕන." යන මතය ද ප්‍රබලව මතුවිය.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් ප්‍රධාන පක්ෂවලට කතා කරන්නට වෙනමම අවස්ථාවක් ලබා දෙන්නට ජනාධිපතිවරයා පසුව කල්පනා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති සමඟ සාකච්ඡා කරන්නට වෙනම අවස්ථාවක් උදා වූයේ ඒ අයුරිනි.
පසුගිය 08 වෙනිදා හවස ජනාධිපති කාර්යාලයේදී එම හමුවීම සිදුවිය.
එදා හවස නියමිත වේලාවටත් කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලයේ උඩුමහලේ අමුත්තන්ගේ කාමරයට පැමිණ සිටියහ. රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ෂාන් විජයලාල්, ලසන්ත අලගියවන්න ඇතුළු 13 දෙනෙක් මේ සඳහා පැමිණ සිටියහ. තේ පානය කර විවේකීව සිට ටික වේලාවකට පසුව සාකච්ඡාවට පැමිණ ඔවුන් ජනාධිපති අසුනට වම් පසින් වාඩි වූයේ පළමු ආසනය හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන වෙත ඉතුරු කරමිනි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණියේ රැස්වීම ආරම්භ වෙන්නට ඔන්න මෙන්න තිබියදීය. ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැමිණ සිටියහ. දිනේෂ් ආවේ මඳක් ප්‍රමාද වීය. ඔහු පැමිණ වාඩිවෙන්නට ගියේ වම් පස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන් කර තිබූ අසුන්වලය. ඉන් පසුව ආණ්ඩු පක්ෂයේ අය දකුණු පැත්තෙන් වාඩි වී සිටිනවා දුටු ඔහු ආයෙත් ඒ පැත්තට යන්නට සූදානම් වනවිට දයාසිරි කතා කළේය.
"එන්න එන්න මේ පැත්තට. ඔබතුමාත් ඉන්න ඕන අපිත් එක්ක තමයි. ඔබතුමා එන්න මේ පැත්තෙන් ඉඳගන්න." අමරවීරත් කීවේය.
"නෑ. නෑ. මේ පැත්තෙ ඉඳගන්න එක කොයිකටත් ආරක්ෂාවට හොඳයි." කියමින් දිනේෂ් අනිත් පැත්තෙන් වාඩි වූයේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණි පසුව ටික වෙලාවක් සුහද කතාබහක් පැවති අතර ජනාධිපතිවරයා නිසි වෙලාවට පැමිණ සාකච්ඡාව පටන් ගත්තේය.
දෙපාර්ශ්වය අතර තිබූ බොහෝ අනවබෝධයන් හා අවිශ්වාසයන් ගැන මෙහිදී කරුණු කාරණා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
රනිල්ට සිදු වූ අකරතැබ්බය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මේ සතියේ වැඩි අවධානයක් යොමු කළේ පක්ෂය සංවිධානය කරන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ගැන හා 25 දා පවත්වන සත්‍යග්‍රහයේ කටයුතු ගැන සොයා බැලීම වෙනුවෙනි. මෙම සතියේ සදුදා සවස ද නායක රනිල් පක්ෂ ක්‍රියාකාරීන් අමතා මේ ගැන විමසූ අතර කාන්තා දිනයේ ලක්වනිතා සංවිධානයේ උද්ඝෝෂණය ගැන ද සොයා බලමින් අවශ්‍ය උපදෙස් දුන්නේය.
අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය රනිල්ට අපූරු අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එනම් දකින දකින මන්ත්‍රීවරයා විසින් ජාතික ආණ්ඩුවක් සාදන බවට පළවන වාර්තා ගැන විමසන්නට වීම නිසාය. බැරිම තැන එ.ජා.ප. නායකයා අහන අහන මන්ත්‍රීවරයාට සිනාසෙමින් කීවේ ඔහුවත් ඇමති මණ්ඩලයට ගන්නවා යනුවෙනි.
"ඇත්තටම නායකතුමා මෙහෙම කතාවක් ඇති වෙන්න හේතුව මොකක්ද?" ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් විමසා සිටියේය.
"දන්නේ නෑ. ඔයාලා තමයි කියන්න ඕනේ." නායකයා ද පිළිතුරු දුන්නේය.
"කොහොමවුණත් ඔබතුමා හොඳ ආර්ථික දැක්මක් තියෙන අගමැතිධූරය දෑරු සෑම අවස්ථාවකදීම හොඳ ආර්ථික කළමනාකරණයක් පවත්වාගෙන ගිය කෙනෙක් කියන කාරණය රටම පිළිගන්නවා. ඒකත් මේ කතාව මෙහෙම පැතිරෙන්න හේතුවක් වෙන්න ඇති." තවත් පසුපෙළ මන්ත්‍රීවරයෙක් කීවේය.
"ජාතික ආණ්ඩුවක් හදනවට වඩා අවුරුදු 15 ක් 20 ක් යන ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් හදන්නයි පාර්ලිමේන්තුවේ 225 ම එකතු වෙන්න ඕනේ." නායකයා කී විට සියලු දෙනා හිස සලා එය අනුමත කළහ.
අඟහරුවාදා සවස රනිල් සිරිකොතට පැමිණ පක්ෂ ක්‍රියාකාරීන් කැඳවා 12 දා 13 දා පැවැත්වෙන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ගැන විමසා සිටියේය. නියෝජ්‍ය නායක රුවන්, උපනායක අකිල, මහලේකම් රංගේ හා ජාතික සංවිධායක සාගල කැඳවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කරනා ආකාරය ගැන උපදෙස් ලබා දුන්නේය. ඔවුන්ට කොටස් බෙදා දෙමින් එම වැඩසටහන් ආරම්භ කළ යුතු ආකාරය ද පැහැදිලි කර දුන්නේය.
පාඩම් ඉගෙනගත් හැටි වජිර කියයි
"ඇත්තටම දැන් ජාතික ආණ්ඩුවක් ගැන කතා කරලා වැඩක් නෑ. එදා ජාතික ආණ්ඩු කරන්න ගිහිල්ලා අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තානේ. ආණ්ඩුව කරපු හොඳ ටික ඔක්කොම එයාලා අරගෙන වැරදි ටික ඔක්කොම එක්සත් ජාතික පක්ෂයට දැම්මා." සභාපති වජිර කීදේ සැවොම අනුමත කළේ එක හඬිනි.
"අනිත් එක ජාතික ආණ්ඩු හදලා අගමැතිකම් ගන්න වැඩක් නෑ. මොකද නායකතුමා දැන් අවස්ථා 5 ක් අගමැති වුණානේ. දැන් ඉතිරිවෙලා තියෙන්නේ නායකතුමා ජනාධිපති පුටුවේ වාඩි කරන එක විතරයි. ආයේ අගමැතිකම් වැඩක් නෑ. ආයේ ගන්නවා නම් නායකතුමාට ගන්න තියෙන්නේ ජනාධිපතිකම විතරයි." රුවන් කීවේ සැවොම හිස සලද්දීය.
"ආර්ථික අර්බුදය මතුවෙන කොට නායකතුමාගේ අගය රටටම දැනෙන්න ගන්නවා. ඒ නිසා තමයි මෙහෙම කතාවක් ගියේ. නායකතුමා අගමැතිකම් කරද්දී මිනිස්සු කාලා ඇඳලා හිටියා කියලා ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා. අපේ එක මන්ත්‍රී ධූරයට තිබෙන අගය දැන් පැහැදිලියි." රංගේ ද කතාවට එකතු වූවේය.
ඉන් අනතුරුව "රට ගොඩනැඟීමේ ශක්තිමත් රාමුවකට සියලු දෙනා එකතු කිරීමේ සත්‍යග්‍රහය" ගැන උප නායක අකිල පිරිසට කරුණු පැහැදිලි කළේය. "දැක්ම" ලෙස මෙම සත්‍යග්‍රහය නම් කර ඇති බව ද ඔහු කියා සිටියේය. සැවොම සුදු ඇඳගෙන පැමිණිය යුතු බවට පණිවුඩයක් යවා ඇතැයි අකිල සඳහන් කරද්දී නායකයා කීවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ජනතාව මෙයට සහභාගී කරගන්නා ලෙසටය.
ඩොලරය නිදහස් කිරීමට එ.ජා.ප. යේ මනාපය
"ඩොලරයේ අගය නිදහස් කරන්න දැන්වත් තීරණය කළ එක හොඳයි. නැතිනම් මහබැංකුවේ ඩොලර් සංචිත බිංදුවටම වැටෙනකම් මේ අය ඉන්නවා." සාගල රත්නායක කීවේ කනගාටුවෙනි.
"මහබැංකුව ඩොලරය නිදහස් කිරීමත් සමඟ වාණිජ බැංකු ඩොලරයේ අගය 260 ට ගෙනිච්චා. එය ඉතා හොඳ තීරණයක්. දැන් විදෙස් ශ්‍රමිකයන් වාණිජ බැංකු හරහා රටට ඩොලර් එවාවි." රුවන් ද කතාවට එකතුවිය.
රනිල්, මෛත්‍රී සමඟ සිනමා ශාලාවක
"හැම තැනම දැන් ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්. ඉස්සරහට එන්න හදන්නේ ඖෂධ පෝලිම්. දැන් ඖෂධ හිඟයකුත් ඇති වෙන්න යන්නේ." සාගල පෙන්වා දුන්නේය.
"ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්නේ නැතුව කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතුව වෙනත් විසඳුමක් ඇතැයි අපට නම් පේන්නේ නෑ. ආණ්ඩුවට තිබෙන විසඳුම ගැන කියන්නෙත් නෑ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ අහිංසක ජනතාව." රනිල් සඳහන් කෙළ්ය.
බදාදා සවස නායකයා "වන් ගෝල්ෆේස්" වෙත ගියේ සිනමා පඨයක් නැරඹීමට ලද ආරධනාවකට අනුවය. බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහත් තවත් මිතුරුන් කිහිපදෙනෙකුත් සමඟ වන් ගෝල්ෆේස් ගිය නායකයා "ඩෙත් ඔෆ් ද නයිට්" චිත්‍රපටය නැරඹුවේය. චිත්‍රපටය නරඹා පිටතට පැමිණි නායකයා එහි සිටි ජනතාව සමඟ කතා බස් කිරීමට ද අමතක නොකළේය.
පළාත් පාලන ඡන්දය ගැන ස.ජ.බ. තීරණය
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ දී රැස්වූයේ පාර්ලිමේන්තුවේදීය.
පාර්ලිමේන්තුවේ සතියේ වැඩ කටයුතු ගැන අවධානය යොමු කළ මන්ත්‍රී කණ්ඩායම රටේ පවතින දේශපාලන තත්වය ගැන ද අවධානය යොමු කළේය.
"පළාත් පාලන මැතිවරණයට මේ සංශෝධන ගේන්න හදන්නේ පොහොට්ටුවට මැතිවරණ දිනන්න බැරි බව දන්නා නිසයි. තමන්ට ඡන්ද දිනන්න අවශ්‍ය වෙන විදියට මැතිවරණ ක්‍රමයක් සංශෝධනය කරන එක තරම් තවත් කැත වැඩක් නෑ." ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේය.
"මේක යටතේ කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය පහළට වැටෙනවා. මේ ආණ්ඩුව ඉදිරියට යන වැඩ වෙනුවට රිවස් වෙන වැඩ විතරයි කරන්නේ" රෝහිණී කුමාරි කවිරත්න චෝදනා කළාය.
"මේ සංශෝධනවලට විරුද්ධව අපි සටන් කරන්න ඕන." එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දුන්හ.
දිනේෂ්ගෙන් මැදුම් පිළිවෙතක්
රට තුළ ආර්ථික අර්බුදය සහ දේශපාලන වශයෙන් ගැටලු මතුවෙද්දී, මහජන එක්සත් පෙරමුණේ නායක, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය බදාදා සවස කැඳවා තිබිණි. පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීම දීර්ඝ වේලාවක් පැවැත්විණි.
"වර්තමාන තත්ත්වය ගැන මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය බොහෝ අය විමසනවා" ම.එ.පෙ. උප සභාපති, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.
එහිදී පක්ෂ නියෝජ්‍ය ලේකම්, තරුණ සංවිධානයේ ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන කියා සිටියේ "අලුත් තත්ත්වය ගැන අපි මුලින් ම නිවැරදිව විග්‍රහ කරගත යුතුයි."
"ජනතා බලාපොරොත්තු ඉටු කිරීම වගේම ආණ්ඩුව සහ බලවේග ආරක්ෂා කිරීම ගැනත් අපි විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි."
දීර්ඝ පැහැදිලි කිරීමක් අරඹමින් දිනේෂ් සඳහන් කළේය.
රට මුහුණ දී ඇති ආර්ථික - දේශපාලන අර්බුදයේදී අන්තයකට බර නොවූ, මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ඉදිරි දේශපාලන ගමනක් සඳහා, ම.එ.පෙ. මධ්‍යම කාරක සභාවේ එකඟතාව ලැබුණේ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
වජිර රුසියා තානාපති හමුවෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත එජාප සභාපති වජිර අබේවර්ධන පසුගිය සඳුදා දහවල් රුසියානු තානාපති කාර්යාලයට ගොස් රුසියානු ශ්‍රී ලංකා තානාපති H.E. Yury Materiy මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
මෙම සාකච්ඡාවේ විශේෂ අවධානයක් යොමු වූයේ අධ්‍යාපන හා වෙනත් කටයුතු සඳහා රුසියාවට ගොස් සිටින මෙරට දරුවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධවයි.
රුසියාවේ සිටින ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බවත් ඒ පිළිබඳව පූර්ණ අවධානය යොමුකරමින් ඊට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බවත් දෙදෙනා අතර පැවැති දීර්ඝ සාකච්ඡාව අවසන් කරමින් තානාපති H.E. Yury Materiy මහතා වජිරට දැනුම් දුන්නේය.