තමන්ගේ තරම නොදැන කටයුතු කරලා අපහසුතාවට, නින්දාවට පත්වෙන මිනිස්සුන්ට අපේ ගම්වල කියන්නේ ‘ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න’ දැන ගන්න ඕනෑ කියලා. ඒ වගේම ඒ වගේ මිනිස්සු යම් වැඩක් කරලා ඒක අසාර්ථක කරගත්තාම අපි කියන්නේ ‘ඒ වැඩේ ලත් තැනම ලොප් වුණා’ කියලා. නැතිනම් නගරේ භාෂාවෙන් ‘ඇණ ගත්තා’ කියලත් කියනවා.
මේ වගේ කතා සාගරයක් මැද්දේ තවත් කතාවක් ඇහුණා. ඒ ගුණදාස කපුගේ කියන ජනප්‍රිය ගායකයාගේ තවත් අතිශය ජනප්‍රිය ගීතයක කොටසක්. ‘පාර කියන්නේ කෙලෙසද ඇය මට - ඇයට ද පාරක් ඇති නැති ගාණය’
මේ අටුවා ටීකා සේරම ඔළුවට ආවේ ‘විමල් - ගම්මන්පිල’ කියන සුළු පක්ෂ දෙකේ නායකයින් දෙන්නා පසුගියදා අල්ලපු අඩව්ව ගැන තැන තැන කියන නිමක් නැති කතා අහලා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල පසුගියදා අැල්ලු අඩව්ව අපි කවුරුත් විශ්මයට පත් නොකළට කිසියම් දේශපාලන කම්පනයක් නම් ඇති කළා. ඒ මුළු රටම කොවිඩ් වසංගතයෙන් සහ ඒ ඇසුරින් නිර්මාණය වූ ආර්ථික ගැටලුවලින් බැටකමින් සිටියදී, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ අර්බුදයට විසඳුම් සෙවීමට වෙහෙස ගනිමින් සිටියදී අනවශ්‍ය, නැතිනම් අතාත්වික දේශපාලන ප්‍රහසනයක් රඟ දැක්වීම කිසිසේත්ම ජනතාව අපේක්ෂා නොකළ දෙයක් වීම නිසයි. මේ තත්ත්වය වඩාත් සරල ආකාරයෙන් කිව්වොත් ‘බොරදියේ මාළු බෑමට සූදානමින් සිටින’ දේශපාලන අවස්ථාවාදීන් කිහිපදෙනකුට හෝ කල්ලියකට මිස මේ අවස්ථාවේ දේශපාලන අර්බුදයක් පොදු ජනතාවට කිසිසේත් අවශ්‍ය වුණේ නැහැ. ජනතාවගේ ඒ්කායන බලාපොරොත්තුව වුණේ මේ කෙටිකාලීන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒ්ම පමණයි. ඒ්ත් ‘ආරේ ගති නෑරේ ‘කිව්වා වාගේ මේ දේශපාලන අවස්ථාවාදීන්ට පොදු ජනතාව ගැන හෝ ඔවුන් පීඩාවට පත්කරන අර්බුද ගැන කිසිම ආකාරයක වගකීමක් හෝ වගවීමක් තිබුණේ නැහැ. කොටින්ම ජනතාව ගැන ‘වගේ වගක් ‘තිබුණේ නැහැ. පැහැදිලිව ඔවුන් තුළ තිබුණේ තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ඉටුකර ගැනීමේ පටු වුවමනාව පමණක් බව පැහැදිලිව දැකගත හැකි වුණා.
කැබිනට් වගකීම හරියට දැරුවාද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නායකත්වය දෙන වත්මන් ආණ්ඩුව තුළ කටයුතු කරන දේශපාලන පක්ෂ විසින් පොදු අරමුණු පසෙකලා තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර සහ වුවමනා එපාකම් මත කටයුතු කරන බවට කාලයක් පුරා චෝදනාවක් තිබුණා. ඒ වගේම කැබිනට් සාමූහික වගකීම වැනි වටිනාකම් ගැන මෙම පක්ෂවල ඇතැම් නායකයන් කිසිදු ආකාරයක අවධානයක් යොමු නොකරන බවයි දැකගත හැකි වුණේ.
මේ අතර අපි කවුරුත් දන්නා පරිදි පසුගිය 02 වැනි දා ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11’ යැයි ස්වයං නාමකරණය කරගන්නා ලද පක්ෂ 11ක් එක්ව සකස් කළ ‘මුළු රටම හරි මඟට’ නම් ප්‍රකාශනය එළිදැක්වීම කොළඹ ‘මොනාක් ඉම්පිරියල්’ හිදී සිදු වුණා.
‘කන්න දුන්න අත හපා කන’ නැතිනම් ‘ඉඳගෙන සිටින අත්ත කපා ගන්නා’ පන්නයේ රැස්වීමක් වුණ මෙයට පක්ෂ 11ට අයත් නායකයන් සහභාගී වුණත් ඊට පසු වඩාත් ආන්දෝලනයට ලක් වූ මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන සහ ජාතික කොන්ග්‍රසයේ නායක එල්. එම්. එම්. ආතාවුල්ලා සහභාගී නොවීම විශේෂත්වයක්. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගී වුණේ එහි පසුපෙළ නායකයකු වශයෙන් සැලකිය හැකි හෙක්ටර් බෙත්මගේයි. මෙය පක්ෂ 11 මහත් උනන්දුවෙන් ගත් ප්‍රයත්නය, නැතහොත් ‘ගැම්ම’ ලත් තැනම ලොප් කළ සිදුවීමක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයන් සැලකුවේ.
විපක්ෂය කර අරී
විමල් - ගම්මන්පිල අමාත්‍යධුරවලින් නෙරපා හැරීම පැහැදිලිම සමාජය තුළ, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති කළේ දැඩි උනන්දුවක්. සමාජ මාධ්‍ය නිරීක්ෂණය කළ විට පැහැදිලිව දැකගත හැකි වුණේ විමල් - උදය සම්බන්ධයෙන් ඍණාත්මක සහ හාස්‍යජනක ප්‍රතිචාර පමණයි. බොහෝ සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන නිරීක්ෂකයන් පවා පක්ෂ 11 නායක රැස්වීම සහ වැඩපිළිවෙළ දෙස බැලුවේ ඍණාත්මක ආකල්පයක් සමඟයි.
මේ අතර විමල් - උදය අඩව්ව ගැන විපක්ෂය වෙතින් ද නිසි පිළිගැනීමක් හෝ උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඔවුන් මේ හාස්‍යජනක රංගනය දෙස සැකසුමුව බැලූ අතර එය තවත් මොහාතකින් ‘නොසලකා හැරීමක්’ බවට පත් වුණා. වඩාත් සරල ආකාරයෙන් මේ ත්ත්ත්වය පැහැදිලි කළහොත් ‘විපක්ෂය විමල් - උදය තම ආණ්ඩු විරෝධයට ජවයක් හා නව ආලෝකයක් ලෙස සලකනවා වෙනුවට එය ‘නොසැලකිය යුතු ‘දෙයක් ලෙසයි සැලකුවේ.
මේ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු සමඟ අදහස් දක්වමින් සමඟි ජනබලවේගයේ නායකයෙක් සඳහන් කළේ ‘විමල් - ගම්මන්පිල කැබිනට් එකෙන් එළෙව්වට ඒකෙන් විපක්ෂයට ඇති දේශපාලන වාසියක් නැහැ. මොකද මේක ඡන්දයක් හෝ වෙනත් දේශපාලන අභියෝගයක් තිබෙන අවස්ථාවක් නෙමෙයි. ආණ්ඩුවේ, විපක්ෂයේ වගේම ජනතාවගෙත් සම්පූර්ණ ම අවධානය යොමු වෙලා තිබෙන්නේ වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගෙන ජනජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීම ගැනයි. ඒ් නිසා විමල් - උදය ඇති කළ දේශපාලන කම්පනයට වැඩි ආයුෂ නැහැ. ඒ්ක කාලයත් සමඟ සමහන් වෙලා යාවි’ යන්නයි.
මධ්‍යස්ථ දේශපාලන විචාරකයන්ගේද පොදු අදහස වන්නේ ‘විමල් - උදය රංගනය වේදිකාවේ තිරය ඇරීමටත් පෙර ප්‍රහසන නාට්‍යයක් ආරම්භ කිරීමක්’ බවයි.
ආණ්ඩුව නොසැලී
මාර්තු 02 වැනිදා දේශපාලන කරළිය තුළ දැඩි කම්පනයක් සිදුකරනු ඇතැයි ද ආණ්ඩුව බරපතළ අර්බුදයකට ලක්වනු ඇතැයි ද ඇතැමුන් උපකල්පනය කළ ද ජනපතිවරයා - අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ ක්ෂණික සිදුවීම හමුවේ කටයුතු කළ ආකාරය ප්‍රශස්තය. විමල් - උදය වහාම අමාත්‍යධුරවලින් ඉවත් කිරීම තුළින් ආණ්ඩුව බරපතළ දේශපාලන පණිවුඩයක් සහ අනතුරු ඇගයීමක් කළ අතර ඊට පසුව ජනපතිවරයා තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට සැලසුම් සහගතව පියවර ගත්තා.
මෙහිදී ජනපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන අතර පසුගිය 08 වැනිදා පැවැති සාකච්ඡාව අතිශයින් තීරණාත්මක එකක් වුණා.
මෙම හමුවේදී ජනපතිවරයා විසින් විමල් සහ ගම්මන්පිල අමාත්‍ය පදවිවලින් ඉවත් කිරීමට හේතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාට පැහැදිලි කළ අතර එහිදී හිටපු ජනපතිවරයා අදාළ සිදුවීම ගැන සිය කනස්සල්ල පළ කළ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.
ජනපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා අතර පැවැති මෙම විශේෂ සාකච්ඡාව ගැන මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළ ද ඒ සාකච්ඡා මඟින් ඇතැම් මාධ්‍ය හෝ කණ්ඩායම් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබුණු බව දැකගත හැකි වුණා.
මේ හමුවේ ගැන පසුව මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පැවසුවේ ‘ආර්ථික අර්බුද මැද දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමෙන් රට අරාජික කර ජනපතාව පීඩාවට ලත් කළ නොහැකි බවයි.
සර්ව පාක්ෂික සමුළුව
‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් නොවෙන්නේ ඇයිදැයි සමහරු ප්‍රශ්න කරනවා. එය ක්‍ෂණිකව කළ හැකියි. නමුත් වසර ගණනාවක් රටේ ආණ්ඩු කළ දේශපාලන පක්‍ෂයක් ලෙස තීන්දු ගත යුත්තේ පක්‍ෂයේ අනාගතය, ආණ්ඩු නිර්මාණය කිරීම, බලය ලබාගැනීම ගැන නොව ජනතාව පත්ව ඇති පීඩාවෙන් මුදා ගැනීම ගැන හිතලයි. ඒ් නිසා ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් ජනතා ගැටලුවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බුද්ධිමත් තීන්දුවක් ගෙන තිබෙනවා. ආර්ථික අර්බුද මැද දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමෙන් රට තවත් අරාජික කර ජනතාව පීඩාවට පත් කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි’ ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවර තව දුරටත් පැහැදිලි කරමින් අවධාරණය කළා.
මේ අතර වත්මන් දේශපාලන ව්‍යාකූලතා සමහන් කර ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවල සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ද ජනපති - මෛත්‍රී සාකච්ඡාවලදී එකඟත්වය පැමිණීම අනාගත දේශපාලන සංහිදියාව වෙනුවෙන් රජයට ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි. එයට හේතුව වන්නේ පොදුවේ රැස්ව සාකච්ඡා කර සම්මුතියෙන් රාජ්‍ය පාලනයට දායක විය හැකි නම් පටු දේශපාලන න්‍යාය පත්‍ර සහ අවස්ථාවාදී සැලසුම් පහසුවෙන් පරාජය පත් කිරීමට සියලු පාර්ශ්වලට අවස්ථාව උදා වීමයි. ඒය පැහැදිලිවම 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කර ගැනීමට මෙන්ම දුන් පොරොන්දු ඉටුකර හදිසියේ උද්ගත වූ කොවිඩි වසංගය, විදේශ සංචිත හිඟය වැනි ගැටලුවලට ශක්තිමත්ව මුහුණදීමට අවස්ථාව උදා කරනවා.
චෝදනාවලට අගමැති දුන් පිළිතුරු
විමල් - ගම්මන්පිල ප්‍රහසනය හරහා නිර්මාණය වූ දේශපාලන ආතතිය සමහන් වෙමින් පවතින මේ අවස්ථාවේ ඒම අර්බුදයෙන් ගොඩයාමට හෝ තම ව්‍යාපෘති ශක්තිමත් කරගෙන ජනතා අවධනාය දිනා ගැනීමට තැත් කළ අවස්ථාවාදී බලවේග ගැන ද මේ මොහොතේ අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් දැඩිව අවධාරණය කරන පරිදි මේ අවස්ථාවේ දේශපාලන අර්බුදයක් කිසිසේත් ජනතාවගේ සුබසිද්ධියට හේතු නොවන නිසයි. එමෙන්ම ‘දේශපාලන ළදරු වළිප්පුව’ වැලඳී ඇතිවුන් තවත් වටයකින් නව අර්බුද නිර්මාණය කිරීමට මෙය අවස්ථාවක් කරත හැකි නිසයි.
මේ සියලුම දේශපාලන අර්බුද සහ සමාජ අසහනයන් නිර්මාණය වන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් නිර්මාණය වූ පශ්චාත් ප්‍රතිඵල ලෙසයි. අපි පැහැදිලිව දන්නවා කොවිඩ් වසංගතය නිසා රටට අත්වූ ඍණාත්මක ප්‍රතිඵල මොනවාද කියා. විශේෂයෙන් සංචාරක ව්‍යපාාරයේ දැවැන්ත බිඳ වැටීම වගේම කොවිඩ් අර්බුදය නිසා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අහිමිවීම මේ අර්බුදයට ඍජු උත්තේජනයක් වුණා. අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා ඉතාලිය ප්‍රමුඛ යුරෝපීය රටවල්, මැදපෙරදිග කලාපයෙත් විශාල පිරිසක් නැවත මවු රටට පැමිණියා. ඒ් වගේම වාර්ෂිකව සිදුවන ලක්ෂ තුනකට ආසන්න විදේශ රැකියා සඳහා පිටත්ව යාම් බරපතළ ලෙස පහළ ගියා. ඉහළ වැටුප් හිමිවන දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා අහිමි වුණා. මේ සියල්ල සමඟයි වත්මන් අර්බුදය නිර්මාණය වුණේ. ඒයට ආර්ථිකමය වශයෙන් තිරසර විසඳුමක් සෙවීම මිස අවස්ථාවාදී දේශපාලන කුමන්ත්‍රණ මඟින් එයට කිසිම පිළිතුරක් ලබාදිය නොහැකියි. ඒ් නිසා ජනතාව වගේම මේ සැලසුම් සහ කුමන්ත්‍රණවලට සම්බන්ධ සහ ආවඩන සියලු දෙනා මේ යථාර්ථය වටහා ගත යුතුයි. එසේ නොවී ශ්‍රී ලංකාව මුහුණ දෙන යථාර්ථයෙන් පිට උදාහරණ ගෙනහැර පාමින් ජනමනස විකෘති කර නොමඟ යැවීමක් නොකළ යුතුයි.
අවහිරතා ඇතිවීමට හේතුව
මේ අදහස වඩාත් තහවුරු වන ප්‍රකාශයක් සහ බොරදියේ මාළු බෑමට කැසකවන කල්ලිවලට ඍජු පිළිතුරක් අගැමැති මහින්ද රාජපක්ෂයන් විසින් පසුගිය 08 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම -2022ට එක්වෙමින් කළා.
‘අපි අද බොහොම අසීරු තත්ත්වයක ඉන්න බව අපි පිළිගන්නවා. විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වෙනකොට අපේ රටේ කාන්තාවො දුක්විඳින බව අපි දන්නවා. මේ ළඟදි ජනාධිපතිතුමාගෙ ගෙදර ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවද කියලා ඇහුවා. කවුරුවත් කියන්න ඕන නෑ; ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා. මට මතකයි දෙවැනි කොරෝනා රැල්ල වෙලාවේ ඔය කට්ටිය ජනාධිපතිතුමාට බල කළා රට වහන්න කියලා. වැහුවෙ නැත්නම් ස්වයං ලොක්ඩවුන් කර ගන්නවා කිව්වා. එහෙම රටක් මාස ගණනක් වැහුවාම ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙන බව වහන්න කියපු අය දැනගෙන හිටියා. රට වහලා ගාමන්ට් ඇරල තියෙනකොට ගාමන්ට් වහන්න ගාමන්ට් පොකුරක් හැදෙයි කියලා ඒකත් වහන්න ඒ අය බලපෑම් කළා. එදා රට වැහුවාම මීට වඩා ජනතාවට විපාක විඳින්න සිද්ධ වෙන බව ජාතිය අමතලා කියලා තමයි ජනාධිපතිතුමා රට වැහුවේ. අද ඒක ඇත්ත වෙලා තියෙනවා. අද රට වහන්න කියපු අය කවුරුවත් දුක් විඳින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ඒ විතරක් නොවෙයි අපිව පරාද කරලා 2015 ගෙදර යැව්වා. ඒ වෙනකොට අපි නොරොච්චෝලෙ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් අවුරුදු අටක් තුළ ඉදි කරලයි ගෙදර ගියේ. නමුත් 2015 ඉඳන් යහපාලන ආණ්ඩුව එක මෙගාවොට් එකක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කළේ නෑ. එහෙම අය අද පන්දම් අරගෙන විදුලි කප්පාදුවට එරෙහිව පෙළපාළි යනවා. ඒ යන කාටවත් මතක නෑ එක මෙගාවොට් එකක්වත් ඒ ගොල්ලො එකතු කළේ නැති බව
ආදරණීය සොයුරියනි, මේ තිබෙන දුෂ්කරතා විතරක් නොවෙයි, ඒවා ඇති වීමට බලපෑ හේතුත් තේරුම් ගන්න. අපි පක්ෂ භේදයක් නැතිව මේ ගැන හිතමු. මේ දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් වැඩ කරමු’
දේශපාලන ළදරු වලිප්පුව
යළිත් සාකච්ඡාවේ ආරම්භයට පැමිණිය යුතුයි. ඒ විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල යන වත්මන් ආණ්ඩුව බිහිකිරීමට මුල්ගල තැබූවා යැයි කුප්‍රකට දේශපාලන චරිත දෙක ගැන විශ්වාසයකින් ජනතාව සහ දේශපාලන ව්‍යපාර ආණ්ඩුව වෙතින් පියවරක් පසු පසුට ගනීද යන්න ගැන මධ්‍යස්ථ විමසීමක අප යෙදිය යුතුයි.
මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ විමල් - ගම්මන්පිල ගැන සමාජයේ පවතින තක්සේරුවයි. හුදු දේශපාලන මඩ සහ අවලාදවලින් ඔබ්බට ගොස් මධ්‍යස්ථව කරුණු විග්‍රහ කළ විට විමල් - ගම්මන්පිල යනු මහින්ද රාජපක්ෂ යන දැවැන්ත වනස්පතියේ සෙවණ ලබමින් වැඩුණු අරටුවකින් තොර පඳුරු ලෙස සැලකිය හැකියි. ඊට හේතුව වන්නේ ඔවුන්ගේ ඊනියා ප්‍රචාරකවාදී ජාතිකත්වය අති උත්කර්ෂවත් ලෙස ඉහළට යන්නේ මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලන ප්‍රභර්ශය මතම පදනම්වීම නිසයි. ජවිපෙ කථිකයකු පමණක් වූ විමල් වීරවංශ ජාතික තලයට ඔසවා තබන්නේ මේ අනුහස් දේශපාලන පෞරුෂය මිස විමල් විසින් උපයා ගත් හෝ නිර්මාණය කරගත් දේශපාලන පෞරුෂයක් නොවෙයි. ඒ් නිසාම විමල් වීරවංශ කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ විශ්වාසනීය හෝ ගරු කටයුතු දේශපාලන පෞරුෂත්වයක් නොවෙයි. ඒ් නිසා රාජපක්ෂ පවුලේ ප්‍රභර්ෂයෙන් පිට විමල් වීරවංශට දේශපාලන අනාගතයක් තිබිය හැකි යැයි සිතිය හැකිවන්නේ දේශපාලන අඳබාලයකුට පමණයි. ඒ් බව විමල් - ගම්මන්පිල මාර්තු 02 රංගනයෙන් පසු වඩ වඩාත් තහවුරු වෙමින් තිබෙනවා.
උදය ප්‍රභාත් ගම්මන්පිල ගැන විමල්ට වඩා දෙයක් කතා කරන්න බැහැ. ගම්මන්පිලගේ දේශපාලන සුජාතභාවය ගැන මෙන්ම භාවිතය ගැන මෙරට දේශපාලන ලෝකයට බරපතළ විවේචන තිබෙන්නේ බොහෝ කාලයක සිටයි.
මෙවැනි අස්ථාවර සහ අපකීර්තිමත් තත්ත්වයක් තුළ විමල් - ගම්මන්පිල දේශපාලන ප්‍රහසනය දර්ශන වාර දෙක තුනකින් අවසන් වනු ඇති බවත් ඒම රංගනය ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනු ඇති බවත් කැට තබා පැවසිය හැකියි. ඒ් පසුවට වඩාත් පැහැදිලි ඉඟිය පසුගියදා ජනපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ලැබුණා.
‘ආර්ථික අර්බුදය මැද දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටට දුන් පණිවුඩය එයයි. මේ පණිවුඩය විමල් - ගම්මන්පිල වගේම කඩිනම් ආණ්ඩු වෙනසක් ගැන සිහින දකින සියලු අවස්ථාවාදීන් විසින් අවධානයට ගත යුතුයි.