බෝට්ටුවෙන් වැඩට යන්න දියවන්නාවට එන්න | සිළුමිණ

බෝට්ටුවෙන් වැඩට යන්න දියවන්නාවට එන්න

ප්‍රවාහන කටයුතු සඳහා අතීතයේදී අපේ රටේ ඇළ මාර්ගවලටද පුම්‍රඛතාවක් ලබා දී තිබූ බව ඉතිහාසය දෙස බැලූ විට පෙනී යයි. එක් පළාතක සිට අනෙක් පළාතට යාමේදී පවා ගංගා තරණය කිරීම හෝ ඇළ මාර්ග භාවිතය එලෙස ප්‍රයෝජනයට ගත් බව ඉතා පැහැදිලිය. එමෙන්ම යන්ත්‍ර සූත්‍ර නොතිබූ එකල රුවල් භාවිතයෙන් හා හබල් ගෑමෙන් ගිය මේ ප්‍රවාහන සේවාව වෙහෙසකාරී වුවද සුන්දර අත්දැකීමක් වන්නට ඇත.

අද වන විට මෙරට අධික රථවාහන තදබදය නිසා නාගරික ගමනාගමනයට විශාල බාධාවන් සිදුව තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන විශේෂඥ මහාචාර්ය අමල් කුමාරගේ විසින් වරෙක සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වූයේ වැල්ලවත්තේ සිට කොළඹ නගරය කරා පැමිණීමේදී වාහනයක සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10කටත් අඩු බවකි. සමුද්‍රාසන්න මාර්ගයේ වැඩ කටයුතු කඩිනම් කරන්නට හේතු වූයේ ද ඒ නිසාමය.

එහෙත් අපේ රටේ ජල මාර්ග ප්‍රවාහනයට අවධානය යොමු වූයේ නැත. වරෙක හැමිල්ටන් ඇළ මෙන්ම දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා ජල ප්‍රවාහන මාර්ග පද්ධතියක් ගැන කතාබහට ලක්වුවත් හැමිල්ටන් ඇළ ව්‍යාපෘතිය ලප් තැනම ලොප් වී ගියේය. එහෙත් දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා වන ජල මාර්ග ප්‍රවාහනය නම් යම් ආකාරයක ප්‍රගතියක් ලැබුවද එයින්ද බලාපොරොත්තු වූ තරමේ ප්‍රතිඵල අත් නොවුණේ ජනතාවට ඒ සම්බන්ධ නිසා දැනුමක් නොතිබුණු නිසාය.

දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා ජල මාර්ගය ඔස්සේ ගමන් කරන්නකුට බොහෝ රාජ්‍ය ආයතන ඇතුළු මහජන අවශ්‍යතා සපුරා ගත හැකි ආයතන රාශියකි. විවෘත විශ්වවිද්‍යාලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පෞද්ගලික රෝහල්, අමාත්‍යාංශ පාසල් ඇතුළු ආයතන රැසකි.

මේ බෝට්ටු ප්‍රවාහන සේවාව ආරක්ෂාකාරී මෙන්ම අඩු වියදම් ප්‍රවාහන මාධ්‍යයකි. වසරකදී 2600ක පමණ මාර්ග අනතුරු නිසා මිය යන ශ්‍රී ලංකාවේ ජල මාර්ග සේවාව ප්‍රවාහනයක් සේ භාවිත කරන ලක්ෂ ගණනකගෙන් වසරකට මිය යන්නේ ඉතා සුළු පිරිසකි. මහවැලි ගඟ හරහා භාවිත කළ පාලම්පාරුද මේ වන විට අභාවයට ගොසිනි. එහෙත් නාගරික ප්‍රවාහන සේවාවක් ලෙසින් මෙන්ම නාගරික සුන්දරත්වය වැඩිකිරීම පිණිස නාගරික ජල මාර්ග අනිවාර්යෙන්ම ප්‍රයෝජනයට ගත යුත්තේය. එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයටද මඟ පාදන්නකි. විශේෂයෙන්ම තායිලන්තයේ බැංකොක් නගරයේ පළල් කානු ජල මාර්ග පවා ප්‍රවාහනයට යොදා ගැනීමෙන් මේ බව මනාව තහවුරු වේ. මියන්මාරයේද අභ්‍යන්තර ගංගාවල නෞකා පවා යොදවා ඇත. ඒ සියල්ල දේශීය ප්‍රවාහන මාධ්‍ය ලෙසින් බෙහෙවින් ජනප්‍රිය වේ.

එවන් තත්ත්වයක් යටතේ මෙරට අධිකතම මාර්ග තදබදයක් ඇති බත්තරමුල්ල - කඩුවෙල මාර්ගයට ආසන්න දියවන්නාව ඔස්සේ ජල ප්‍රවාහන මාර්ග පද්ධතිය අනිවාර්යෙන්ම ප්‍රවාහනයට යොදා ගත යුතුමය. මේ වන විට එම ජල ප්‍රවාහන සේවාව ප්‍රවාහන මාධ්‍යයක් සේ යොදාගෙන ඇතත් ජනතා ආකර්ෂණය නොමැති වීම මෙන්ම ජනතාව ඒ වෙනුවෙන් ඇද ගැනීමට ප්‍රචාරක මාධ්‍යයක් නොමැති වීම කනගාටුදායකය.

එහෙත් මේ ජලමාර්ගයේ වටිනාකම අවබෝධ කරගත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ විසින් ඒ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරන ලදී. ඒ අනුව ඒ ගැන විමසා බලන්නට අපි පසුගියදා දියවන්නාවේ සිට වැල්ලවත්ත දක්වා ගමන් කෙළෙමු.

අපි දියත උයන අසල සිට වැල්ලවත්ත දක්වා ගියෙමු. වෝටර්ස් එජ් හෝටලය වම් පසින් දිස්වෙද්දී දියවන්නාවෙන් අනෙක් පස ඉවුරේ ඇත්තේ දුම්රිය ස්ථානයකි. එහි භාණ්ඩ ප්‍රවාහන මැදිරි, ජල ප්‍රවාහන ගැල්, මඟී ප්‍රවාහන දුම්රිය මැදිරි මෙන්ම වාෂ්ප දුම්රිය එන්ජිමක්ද නවතා ඇත. ‘දියත ස්ටේෂන්‘ නමින් හඳුන්වා ඇති එය වසර කිහිපයකට පෙර විවෘත කළ දුම්රිය ස්ථානයක් වුවද බොහෝ අයට අලුත් අත්දැකීමකි. දුම්රිය ස්ථානයක සිට සුපිරි ආපන ශාලාවක පහසුකම් ලබා ගැනීමට පහසුකම් එහි ඇත. එහෙත් එය සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට ලබා ගත හැකිවීම විශේෂත්වයයි.

ඒ අසලින්ම ‘සී ප්ලෙන්‘ හෙවත් ජලය මත ගොඩ බස්වන ගුවන් යානා තොටුපොළකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් රැසක් මේ සී ප්ලේන් භාවිත කරති. මෙලෙසින් දියවන්නාවේ මඳ දුරක් ගමන් කරනා විට කොළඹ නාගරික අඩවිය මඳකට අමතකව යයි. රජරට අසිරිය එහිදී සිරි ගැන්වේ. මිරිදිය මසුන් මරන්නෝ එක් තැනක වෙති. තවත් තැනක කලාවැව මැද මෙන් අලංකාර මෙන්ම වෘක්ෂ රැසකින් සමන්විත දූපතකි. වසර ගණනාවක් වල් වැදී තිබුණු එය දැන් ජනතා ආකර්ෂණයට සරිලන පරිද්දෙන් සුද්ද පවිත්‍ර කරනු පෙනේ. මහවැලි ගංගාවේ මෙන් ජලාශයේ පළල් ස්ථානයන් අසල දෙපස සිටින වන ජීවීන් ගෙන් පරිසර සුන්දරත්වයද වඩාත් ඔප් නැංවේ. එහිදී කොළඹ වැනි කලබලකාරී අධි තාක්ෂණික නාගරික සීමාවක තමන් සිටිනා බව අමතකව යයි.

පෙලිකන් පක්ෂීන් රැසක් ඉවුරු අසල සිටිමෙන් පමණක් කොළඹ නගරය අවට බව යන්තමට හැඟී යයි. දියඹේ ගැඹුර කෙසේ වෙතත් එහි කිඹුලන් රැසක් ද දැකිය හැකිය. ධීවරයන් මෙන්ම බෝට්ටු හා දිය මත පුහුණුව ලබන හමුදා සාමාජික සාමාජිකාවෝද එහි ඔබ මොබ ගමන් කරති. 

දියත උයන සිට වැල්ලවත්ත දක්වා උදෑසන 6 සිට පස්වරු 6 දක්වාම බෝට්ටු සේවාව ලබා ගත හැකිය. සෑම විනාඩි 30කට වරක්ම දියත උයන සිට වැල්ලවත්ත දක්වාත් වැල්ලවත්තේ සිට දියත උයන දක්වාත් බෝට්ටු සේවාව ක්‍රියාත්මකය. ජනතාව සිටීනම් විනාඩි 10කට හෝ 15කට වරක් හෝ බෝට්ටු සේවාව ක්‍රියාත්මකය. එහිදී එක් ගමන් වාරයක් සඳහා වැඩිහිටියකුගෙන් රුපියල් 200.00ක් හා පාසල් දරුවකුගෙන් රුපියල් 100.00ක් අය කෙරේ. උපරිම ආරක්ෂාකාරී ලෙසින් මහජන සේවාවක් ලෙසින් පවත්වාගෙන යන මේ බෝට්ටු සේවාව මෙහෙයවනු ලබන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟිනි. උදෑසන පාසල් සිසුන් රැසක් මේ වන විට බෝට්ටු සේවාව භාවිත කරන බවට එම බෝට්ටුවල සේවකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසා සිටියේ මහා මාර්ගයේ ගමන් කරනා බස් රථවලට හෝ වෙනත් වාහනවලට වඩා ආරක්ෂාකාරී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස බෝට්ටු ප්‍රවාහන සේවාව හඳුන්වා දිය හැකි බවයි.

‘‘ආරක්ෂිතම බෝට්ටු සේවාවක් විදිහට තමයි මේ ගැන දන්නා අය සලකන්නෙ. සියලු දෙනාට ආරක්ෂාකාරී කබා ලබා දීම අනිවාර්යයි. දිනපතා යන්න විතරක් නෙමෙයි පවුලේ අයත් සමඟ පරිසරය දැක බලා ගන්න හොඳම අවස්ථාවක් මේක. ජල ප්‍රවාහනය භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන එකම මන්ත්‍රීවරයා මමයි. මම එහෙම කරන්නෙ මේ සේවාව ජනප්‍රිය කළ යුතු නිසයි ‘‘

දියවන්නාවේ ධීවර කර්මාන්තය නිසා පවුල් 100ක් පමණ රැකෙති. ඔවුන්ට ධීවර කර්මාන්තය පිණිස විශේෂ බලපත්‍ර ලබා දී තිබේ. එමෙන්ම ධීවර ආම්පන්න ලබා ගැනීමට මෙන්ම ධීවර කටයුතු වෙනුවෙන් මධුර විතානගේ මන්ත්‍රීවරයා විසින් විශේෂ ප්‍රතිපාදන වෙන් කර ඇත.

ජල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ඉදිරියේදී ජල මාර්ග ප්‍රවාහන අධිකාරියක් පිහිටුවීමට අදහස් කර ඇත. දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා වන කිලෝමීටර් 7.5ක දුර විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් ගමන් කරන්නට ඇති මේ අවස්ථාව වර්ධනය කිරීමට කටයුතු කළ යුතුය.

Comments