
පිරිමින් හා හරි හරියට තනතුරු තානාන්තර දරන කාන්තාවන් සෑම ආයතනයකම බහුල නොවූවත් මෙරට අංක එකේ ව්‍යාපාර සමූහයක් වන ජෝන් කීල්ස්ට නම් ඒ අරභයා ඇත්තේ වෙනස් දැක්මකි.
සේවකයන් බඳවා ගැනීමේදී පවා සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රයන්හි රැකියාවක නියැළීමට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නම්, ඒ සඳහා සමාගම ඔවුන් දිරිමත් කරයි. අවස්ථා විවර කර දෙයි.
ඒ අතරම, අත්දැකීම් පරිණත බව සහ පුහුණුව සමඟ සංවර්ධනය වන සිය සාමාජිකාවන් භට සිය සමාගම තුළ යා හැකි ඉහළම තනතුරු වෙත යන්නට මඟ හසර විවර කරයි. වර්තමානයේ ජෝන් කීල්ස් සමූහයේ ඉහළම නායකත්ව තනතුරු දරන කාන්තාවන් වන, නදීජා තම්බයියා, ශෙරීන් කාදර්, දේවිකා වීරසිංහ, නිස්රීන් රේමන්ජි සහ නෙලීන්ද්‍රා ප්‍රනාන්දු.,. ඊට හොඳම ජීවමාන උදාහරණ වේ.
කර්මාන්ත 7ක් සහ ව්‍යාපාර 70ක් ආවරණය වන පරිදි, විහිදී පැතිරී ගිය ව්‍යාපාර සමූහ ජාලයකට තමන්ට නියමිත රාජකාරියෙන් ඔබ්බට ගිය නායකත්වයක් සහ දායකත්වයක් සපයන මේ කාන්තාවෝ, මහත් අභිමානයක් සේ ජෝන් කීල්ස් සමාගම සලකයි.
මේ සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති, නීතීමය ලේකම් සහ සමාජ සත්කාරක අංශ ප්‍රධානී, නදීජා තම්බයියා පැවසූයේ මෙවැනි අදහසකි.
" මම ජෝන් කීල්ස් සමාගමට බැඳුණේ, මීට අවුරුදු 26කට උඩදී. අපි උඩට ආවේ පියවරෙන් පියවර. වැඩ කරන්නට අවශ්‍ය නිදහස සහ බලය අපිට සමාගම විසින් ඕනෑ තරම් ලබාදී තිබෙනවා. ඒ නිදහස, නවෝත්පාදන, අවංකත්වය, විශිෂ්ටත්වය, දයාව සහ විශ්වසනීයත්වය... කියන ආයතනික වටිනාකම් මත පදනම් වී තිබෙනවා. ඒවා සුරකින්නට අපි හැමෝම වගකීමෙන් සහ බොහෝම කැමැත්තෙන් බැඳී සිටිනවා.
අපේ සමාගම තුළ, වැඩ කරන කාන්තා නියෝජනය 40% දක්වා ඉහළ නැංවීමට පියවර රාශියක් ගෙන තිබෙනවා. ඒ නිසා ආයතනික නායිකාවන් ලෙස අපිටත් අවශ්‍ය, කාන්තාවන් තව තවත් උසස්වීම් ලබා ඉහළට එනවා දකින්නයි.
ඒ වගේම උසස්වීම්වලදී අප ක්‍රියාත්මක කරන්නේ ඉතාමත් ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඒ තුළ ප්‍රධානියාගේ පුද්ගලික කැමැත්ත මත විතරක් කෙනකුට ඉහළට යන්නට බැහැ. 360° කින් අපව නිරීක්ෂණය කෙරෙනවා. ඒ කියන්නේ, කමිටු කිහිපයකින් අප ගැන ලියැවෙනවා. අවස්ථා කිහිපයක දී, කණ්ඩායම් කිහිපයක් අතින් අපගේ කාර්ය සාධනයන් ඇගයෙන නිසා කිසිවකුටත් විශේෂත්වයක් ලැබෙන්නේ නැහැ. ඒවා තනිකරම system මත ක්‍රියාත්මක වන ක්‍රමවේද.
මම දියණියන් දෙදෙනකුගේ අම්මෙක්. මම විශ්වාස කරන්නේ කාන්තාවන් ස්වාධීනව ජීවත් වන්නට නම් හොඳින් ඉගෙන රැකියාවේ ඉහළට යා යුතුයි කියලයි. මම මගේ දරුවන්ටත් උගන්වන්නේ සාර්ථකව රැකියාව කරන, ස්වාධීන කාන්තාවන් වෙන්න කියලයි."
වැඩ කරන කාන්තාවක් ලෙස සිය ආයතනික සහයෝගීතාව පිළිබඳ, ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සමූහාධිපති සහ මූල්‍යමය සේවා අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, ශෙරීන් කාදර් පැවසුවේ මෙලෙසින්.
" ඉහළ තනතුරුවලට ආ විට දිනපතා තීරණ ගැනීම්වලදී තව කවුරුවත් නිරන්තරයෙන් පිටිපස්සෙන් සිට අධීක්ෂණය කරන්නේ නැහැ. එය තමන්ගේ වගකීමක් බවට පත් වනවා. බොහෝ විට හදිසි අවශ්‍යතාවක් සඳහා යම් උපදේශයක් වැනි අවස්ථාවලදී පමණයි අප ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්නේ. මෙවැනි ආයතනයක වැඩ කරන විට ගන්නා තීන්දු තීරණ ඇතැම් විට ඉතාමත් සංකීර්ණයි.
ඒ වගේම ආයතනික වශයෙන් අමාරු තීන්දු තීරණ ගනිද්දී ඉහළ කළමනාකාරීත්වය අපගේ අදහස් විමසනවා. එවැනි අවස්ථාවන්හි දී අපගේ දැනුම සහ අත්දැකීම් ආයතනික ප්‍රගතිය අරභයා ලබා දෙන විට ලැබෙන්නේ විශාල ආත්ම තෘප්තියක්.
වැඩ කරන විට කවුරුත් එක සමානයි. අපේ වැඩ ගුණාත්මක නම් ආයතනය තුළ අප වෙනුවෙන් නිහඬ ගෞරවයක් ගොඩනැඟෙනවා. ඒකට ගැහැනු පිරිමි බව අදාළ නැහැ. ජෝන් කීල්ස් සමාගමේ මේ මගේ 24වැනි අවුරුද්ද. අපි ගොඩනැඟුණේ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරමින්.
වැඩ කරන කාන්තාවක් විදියට මගේ අතින් ගෙදර රාජකාරි අතපසු නොවෙනවා නෙවෙයි. නමුත් මගේ සැමියාගෙන් සහ මවුපියන්ගෙන් ලැබෙන සහාය නිසා දරුවෝ පුංචි කාලෙත් මට රාජකාරියට කැප වෙන්න ඉඩ ලැබුණා. වැඩ කරන විට තිබෙන ප්‍රශ්න, කොයි කාන්තාවටත් පොදුයි.
එය තේරුම් ගෙන, රැකියාවේ සාර්ථකව නියැළීමට මාර්ග සහ සැලසුම් සොයා ගැනීමයි, වැදගත්"
වැඩ කරන කාන්තාවක් ලෙස තමන්ගේ සන්තෘෂ්ටිය පිළිබඳ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සමූහාධිපති, ආයතනික මූල්‍ය, බදු සහ සමාජ ව්‍යවසායිකත්ව අංශ ප්‍රධානී, නිස්රීන් රේමන්ජි මෙනවිය පැවසුවේ මෙවැන්නකි.
" උදේ අටේ සිට පහ වෙනකල් සීට් එකේ ම වාඩි වෙලා ඉන්න කියලා අපේ ආයතනය කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. කොහේ ඉඳන් හරි රාජකාරිය නිසි වෙලාවට ඉටු කරන එකයි අවශ්‍ය.
මම ආවරණය කරන්නේ ආයතනික මූල්‍ය, බදු සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කියන අංශ ත්‍රිත්වය. විශේෂයෙන් බඳු අංශය නීතිමය පැත්තට බරයි. සමාගමේ විශාල ව්‍යාපෘතිවල දී මගේ වගකීම දායකත්වය ඉතා විශාලයි. නමුත් කලින් කලට ආයතනය විසින් මේ අංශවලට කිසිසේත් අදාළ නැති අලුත් රාජකාරි මට පවරනවා. මං ඒවා බාරගන්නේ හරිම සතුටින්. තමන්ගේ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී සියලු අංශ කෙරෙහි අත්දැකීම් ලබන්න මෙය ඉතා හොඳ අවස්ථාවක්. ඒ අවස්ථා මම අත්හැර ගන්නේ නැහැ. ඒවා වෙලාවකට අභියෝග. ඇත්තටම මම සංවර්ධනය වුණේ ඒ අභියෝග එක්ක ගැටිලාමයි.
අනික මට ඉන්නේ සොහොයුරන් දෙන්නෙක්. ඒ නිසා පුංචි කාලෙදිවත් මට ගැහැනු පිරිමි භේදයක් දැනුණේ නැහැ.
අපි තුන්දෙනාට ම අම්මා තාත්තා සැලකුවේ එකම විදියට. අපි තුන්දෙනාට ම වගකීම් පැවරුවේ එකම විදියට. ඒ නිසා 'මම ගෑනු ළමයෙක් මට මේක බැහැ, අරක බැහැ වගේ පසුගාමී සිතුවිලි පුංචි කාලේවත් මගේ හිතට ඇතුළු වුණේ නැහැ. කාන්තාවක් විදියට රැකියාවේ ඉදිරියට යන්න නම් මේ ඉදිරිගාමී සිතුවිලි අවශ්‍යයි"
ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සමූහාධිපති සහ ප්‍රවාහන, තොරතුරු තාක්ෂණය සහ වැවිලි සේවා අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී, දේවිකා වීරසිංහ සිය වැඩ කරන කාන්තාවගේ භූමිකාව පිළිබඳ පැවසුයේ මෙවැනි අදහසකි.
" අපගේ ආයතනික සංස්කෘතිය තුළ ම කාන්තාවට හොඳ පිළිගැනීමක් හදා තිබෙනවා. විධායක ශ්‍රේණියේ ගණකාධිකාරිවරියක් විදියට, මීට 28 අවුරුද්දට පෙර සේවයට බැඳුණු මම අද ඉහළම තනතුරකට පැමිණ තිබෙනවා. වැඩ කරන කාන්තාවකට පැමිණෙන ගැටලු පොදුයි.
නමුත් කරන රැකියාව පිළිබඳ ඇයට වුවමනාවක් සහ ආශාවක් තිබිය යුතුයි. රැකියාව විඳිය යුතුයි. එවිට, ඉබේම පවුලේ සහ රැකියාවේ සමබරතාව හදා ගන්න මාර්ග පෑදෙනවා. මොකද මේ දෙකම කාන්තාවකට අත්‍යවශ්‍යයයි.
මගේ ළමයි අවුරුද්දේ වයසේ ඉදිද්දි රාජකාරි සඳහා මම හැම මාසෙකම සති දෙක බැගින් පිටරට ගියා. සැමියාගෙන් ලැබුණු සහාය නිසා ඒ අභියෝගය බාර ගත්තත්, අම්මෙක් හැටියට දුක් වූ අවස්ථා නැතුවා නෙවෙයි. මම බොහෝ විට කරට කර වැඩ කළේ පිරිමි නිලධාරීන් එක්ක. රාජකාරියේ ස්වභාවය මිස ඒ කිසිම අවස්ථාවක මම ගැහැනු ඒ අය පිරිමි කියන භේදයක් මට දැනුණේ නැහැ.
කළමනාකරණය, නායකත්වය, සැපයුම් ජාලය, තරගකාරිත්වයට ගැළපෙන ව්‍යාපාර ක්‍රමවේද නැංවීම ආදී වගකීම්වලට අමතරව සමස්ත කර්මාන්තයන්හි ම දැනුම අප වෙත ලැබෙනවා. මොකද, මේ එක්කෙනෙක්වත් තමන්ගේ ක්ෂේත්‍රයට පමණක් සීමා වී නැහැ. හෝටල්, කර්මාන්ත ශාලා, බැංකු, රක්ෂණ, නාවික ප්‍රවාහනය ආදී සෑම අංශයකම දැනුම ටික ටික හරි අපි හැම කෙනෙක්ම ලබා ගෙන තිබෙනවා.
නායකත්වය දරමින් ඉදිරියට යන්න නම් කාන්තාවකට මේ අත්දැකීම් ඉතාම ප්‍රයෝජනවත්. ඒ නිසා ආයතනික වශයෙන් පැවරෙන වගකීම් කුමන හේතුවක් මත වුවත් අත් නොහළ යුතු බවයි මගේ අදහස ..."
රාජකාරිය සහ සිය භූමිකාව පිළිබඳ ජෝන් කීල්ස් සමූහයේ විධායක උප සමූහාධිපති සහ පාරිභෝගික ආහාර අංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, නෙලින්ද්‍රා ප්‍රනාන්දු පැවැසූයේ මෙවැනි අදහසකි.
" ජෝන් කීල්ස් සමාගමේ මේ මගේ 09 වැනි අවුරුද්ද. මම ආවරණය කරන්නේ, ආහාරපාන සහ කර්මාන්ත ශාලාවලට අදාළ මුල්‍යමය රාජකාරියක්. පුළුවන් මගේ දැනුම සහ අත්දැකීම් භාවිත කරලා මම නියෝජනය කරන මූල්‍ය අංශයට අගය එකතු කළ වටිනාකමක් සහිත විසඳුම් ලබා දෙන්න. ඇත්තටම, මම මේ රාජකාරිය පිළිබඳ ඉතාමත් තෘප්තිමත්. මම මේ සමාගමට සතුටින් වැඩ කරන කාන්තාවක්.
අනෙක් අතට, මම දෙදරු මවක්. රාජකාරියේ දී ආයතනය විසින් ලබා දෙන නම්‍යශීලී සහ ලිහිල් ප්‍රතිපත්ති නිසා, අපිට විශාල මානසික නිදහසකින් යුතුව වැඩ කිරීමේ අවස්ථාව සමාගම ලබා දී තිබෙනවා.
ඒ වගේම, රාජකාරිය කරන්නේ ගෙදර ඉඳන් ද, ආයතනයේ ඉඳන්ද කියන එක ආයතනයට වැදගත් නැහැ. වෙලාවට රාජකාරිය ඉටු කිරීම විතරයි වැදගත්. කාන්තාවන් සහ මවුවරුන් ලෙස ජෝන් කීල්ස් සාමාජිකාවන් ලබන මේ නිදහස ඇත්තටම අගය කළ යුතුයි. හැබැයි මේ සියල්ල සිදු විය යුත්තේ ආයතනික වටිනාකම් තුළයි.
ජෝන් කීල්ස් සමාගම, වැඩ කරන කාන්තාවන්ට ලබා දී තිබෙන මේ නිදහස, පිළිගැනීම සහ ඉහළට යෑමේ අවස්ථා, මේ රටේ සියලුම ආයතන ආදර්ශයට ගත හැකි තරම් වටිනා බවයි, වැඩ කරන කාන්තාවක් ලෙස මගේ අදහස..."
- ඡායාරූප සාලිය රූපසිංහ