ජනපති ගම සමඟ පිළිසඳරෙන් අරුණාලෝකය ලැබූ හල්දුම්මුල්ලේ ගම්වලට ගියෙමු | සිළුමිණ

ජනපති ගම සමඟ පිළිසඳරෙන් අරුණාලෝකය ලැබූ හල්දුම්මුල්ලේ ගම්වලට ගියෙමු

ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් 2021 අප්‍රේල් මාස­යේදී හල්දු­ම්මුල්ලට පැමිණි අව­ස්ථාව.

- මාර්ග - විදුලිය - ජංගම දුරකථන පහසුකම් ලැබෙයි 
- බදුල්ලේ දුෂ්කරම ගම වන කුමාරතැන්නට ඩිජිටල් ඉස්කෝලයක් 
- අඩි පාරවල් තිබූ ගම් 3 කට අලුත් බස් දෙකක්

මෙරට ප්‍රථම වරට දුෂ්කර ගම්මානවල ජනතා අදහස් අනුව ඒ ගම් සංවර්ධනය කිරීමේ ‘ජනපති ගම සමඟ පිළිසඳර‘ නව වැඩසටහනේ ප්‍රතිලාභ දැන් මෙරට දුෂ්කර ගම්මාන රැසකට ලැබෙමින් පවතී. ඒ නිසාම ගමත් නගරයත් යා වී ඇත. ගමේ ජනතාව දැන් හුදෙකලාවෙන් බැහැරවී නගරය සමඟ සම්බන්ධ වී සිය ජීවන ගැටලුවලට විසඳුම් ලබාගනිමින් ආර්ථික ලෙස දියුණුවෙමින් සිටිති. 

අපේ රටේ ග්‍රාමීය ජනතාව ප්‍රමාණාත්මකව ලක්ෂ 162 ක් පමණ වේ. නමුත් මේ ග්‍රාමීය ජනතාවට ලැබෙන පහසුකම් අඩු ය. ඔවුන්ට ඇති ප්‍රශ්න වැඩි ය.

මේ පිළිබඳව අවධානය යොමු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන් ගම්වල ජනතාව ඍජුව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඔවුන්ගෙන් ම ඇසීමේ අපූරු ජනහිතකාමී වැඩසටහනක් 2020 සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කළේ ය. ‘ජනපති ගම සමඟ පිළිසඳර‘ ලෙස නම් කළ ඒ වැඩසටහන වෙනුවෙන් ජනාධිපතිතුමා මුලින්ම ගියේ හල්දුම්මුල්ලේ වෙලන්විට, අක්කරසියය, කුමාරතැන්න යන ගම්මානවලටයි. ඒ අනුව එතුමා එදා අත්දුටු ගැටලු බොහොමයකට එවෙලේම විසඳුම් ලබාදීමටත් අනෙක් ඒවාට විසඳුම් දීමට නිලධාරීන්ට උපදෙස් දීමටත් කටයුතු කළේ ය.

මෙම ගම් තුනේ පවුල් 85 ක් පදිංචිව සිටිති. වෙලන්විට පවුල් 25 ක් ද කුමාරතැන්නේ පවුල් 45 ක් ද අක්කරසියයේ පවුල් 15 ක් ද ජීවත් වෙති. ඉන් වැඩි පිරිසක් කරන්නේ ගොවිතැනය. රාජ්‍ය සේවයේ යෙදී සිටින්නේ 9 දෙනෙක් පමණි. තවත් 8 දෙනෙක් පෞද්ගලික සේවයේ යෙදී සිටිති.

‘ජනපති ගම සමඟ පිළිසඳර‘ ආරම්භ කරමින් හල්දුම්මුල්ලට මුලින්ම ගිය ගමනේදී ජනපති දුන් උපදෙස් අනුව වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීමට යළිත් ජනාධිපතිතුමා 2021 අප්‍රේල් මස අගදී මෙම ප්‍රදේශවල සංචාරය කළේ ය.

මේ වැඩපිළිවෙළ යටතේ ජනපතිගේ උපදෙස් අනුව අමාත්‍යාංශ 19 ක් මඟින් සුවිශේෂී වැඩසටහන් 19 ක් ක්‍රියාත්මක කළේ ය. ගමේ ජීවත්වීමේ ප්‍රධානම ගැටලුවක් වූයේ අලි ගම්වැදීමයි. ඊට පිළියමක් ලෙස වෙලන්විට සිට කුමාරතැන්න දක්වා කිලෝමීටර් 17 ක් දිගට අලි වැටක් ඉදිකර ඇත. මෙම අලි වැට සුරැකීමට එක් කිලෝමීටරයකට එක් අයකු බැගින් යොදවා තිබේ. ඔවුන්ට මසකට රු. 7500 ක් බැගින් ගෙවීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳ කරුණු දක්වන බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පවසන්නේ ජනපතිගේ ප්‍රබල උනන්දුව මත හා උපදෙස් මත මෙම වැඩසටහන සඳහා හල්දුම්මුල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර හා දුප්පත්ම ගම්මානවන ඉහත ගම්මාන තෝරාගත් බවයි. ඒ යටතේ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මඟින් ගමට පමණක් හුදකලාවී සිටි ජනතාවට නගරය හා සම්බන්ධවීමට මෙන් ම ඔවුන්ගේ කෘෂි නිපැයුම් ඉහළ මිලකට විකුණා ගැනීමට ද අවස්ථාව ලැබුණු බව දිස්ත්‍රික් ලේකම්වරිය පවසන්නීය.

“මේ ගම්වල ජනතාවට යන්න එන්න හරියට පාරක් තිබුණේ නැහැ. විදුලිය, පානීය ජලය, ජංගම දුරකථන පහසුකම් ඔවුන්ට තිබුණේ නැහැ. නමුත් මෙම වැඩසටහන යටතේ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු ඔවුන්ගෙන් ම අහලා ඊට පිළියම් යෙදීමක් සිදු කළා. දැන් මේ ජනතාවට ඉහළ මට්ටමේ මාර්ග පහසුකම්, පානීය ජලය, තෙකලා විදුලිය හා ජංගම දුරකථන තරංග ලබාගැනීමට හැකි විදුලි සංදේශ කුලුනු ආදිය ලබාදී තිබෙනවා. මේ යටතේ අක්කරසියය ගමේ පාලම අසල සිට කුමාරතැන්න විදුහල දක්වා මාර්ගය අඩි 12 ක් පළල් කර කාපට් කර සංවර්ධනය කර තිබෙනවා. ඊට අමතරව කුමාරතැන්න සිට වෙලන්විට දක්වා තිබූ අඩි අටකට වඩා අඩු පළලට තිබූ මාර්ගය ද අඩි 12 දක්වා පළල් කර කාපට් කර සංවර්ධනය කර ඇති බව ද දිසාපතිවරිය පවසන්නීය. මෙම මාර්ග පහසුකම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 232 කි.

වසර ගණනාවක් තම ගම්වල තිබූ ජීවන ගැටලුවලට මෙතරම් ඉක්මනින් විසඳුම් නොලැබෙනු ඇතැයි සිතූ ජනතාවට ‘ජනපති ගම සමඟ පිළිසඳර‘ නිසා ඉක්මන් විසඳුම් ලැබුණු බව ගම්වාසීහු පවසති.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානී කේ. රණතුංග පවසන්නේ මේ වැඩපිළිවෙළ මඟින් ගම - නගරය සම්බන්ධවී මෙම ගම් තුනේ ජනතාවට ඉමහත් ආර්ථික, සාමාජික හා සංස්කෘතික ප්‍රබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි. කුමාරතැන්න විදුහලේ නව ගොඩනැගිල්ල ලෙස අඩි 80 ක් දිග අඩි 20 ක් පළල ගොඩනැගිල්ලක් යුද හමුදාවේ දායකත්වයෙන් දැන් ඉදිවී තිබේ. ඒ ගොඩනැගිල්ල සඳහා ඉදිරියේදී පරිගණක පහසුකම් ලබාදී එම සිසුන්ට ඩිජිටල් පරිගණක අධ්‍යාපනය ලබාදීමට ද යෝජිත ය. 

“අක්කරසියය, වෙලන්විට, කුමාරතැන්න හා කළුවල යන ගම්මාන ආවරණය වන පරිදි විදුලිබලය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ ගම්වල ගැටලු රැසක් විසඳීමට ජනාධිපතිගේ උපදෙස් හා නිලධාරීන්ගේ මෙහෙයවීම මත වැඩකටයුතු රැසක් දැන් ක්‍රියාත්මකයි. එම සෑම ගම්මානයකටම පානීය ජලය ලැබී ඇති අතර මාර්ග පහසුව ද ලැබී ඇති බවත් විශේෂයෙන් මාර්ග පහසුව නිසා ආසන්න ප්‍රධාන නගරවලට ගොස් තම ඕනෑ එපාකම් ඉටු කර ගැනීමට ජනතාවට හැකිවී ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරිය පවසන්නී ය. නව සංවර්ධන අරුණාලෝකය පිළිබඳ කරුණු දක්වන ගම්වැසියකු වන ජී.ජී. මෛත්‍රීපාල පවසන්නේ ගම්වාසීන්ගේ කෘෂි නිෂ්පාදන මීට පෙර මාර්ග පහසුව නැති නිසා ඉතා අඩු මිලට ලබාදීමට සිදුවූ බවයි.

“මම අක්කර 15 ක ගම්මිරිස් වගා කරනවා. ඉස්සර ඒවා විකුණා ගැනීමට තවලමක දමාගෙන කිලෝමීටර් 18 ක් 20 ක් ගෙවල බෙරගලට යන්න ඕන. දැන් මාර්ග පහසුකම් තියෙන නිසා වෙළෙන්දන් අපේ ගමටම එනවා. ඉස්සරට වඩා ඒවා වැඩි මිලට විකුණගන්නත් පුළුවන්. අනෙක් බෝගවලටත් වැඩි මිලක් ලැබෙනවා. එමෙන් ම ජංගම දුරකථන පහසුකම් ලැබීම නිසා ප්‍රයෝජන රැසක් අපට ලැබෙනවා. විශේෂයෙන් කෘෂි ද්‍රව්‍යවල මිල පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඒක ඉමහත් පිටුබලයක්. දරුවන්ගේ අධ්‍යාපනයට ද ඒක වැදගත්. මේ පිළිබඳව ගමේ ජනතාව ජනාධිපතිතුමාට ස්තුතිය පිරිනමනවා“ ඔහු කීවේය.

“තමන්ට මෙන් ම තම ප්‍රදේශයේ ගම්වාසීන්ට අවට ලෝකය හා සම්බන්ධ වීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. එමඟින් සාමාජික හා ආර්ථික ප්‍රතිලාභ රැසක් අපට ලැබී තිබෙනවා.“ යැයි ද ජී.ජී. මෛත්‍රීපාල පවසයි.

මේ පිළිබඳ කරුණු දක්වන කුමාරතැන්න විදුහල්පති රාජිත වීරකෝන් පැවැසූයේ දැන් තම විද්‍යාලයට විශාල අලුත් ගොඩනැගිල්ලක් ලැබී ඇති බවයි. එමෙන් ම ඉදිරියේදී තම විද්‍යාලයට පරිගණක පහසුකම් ලැබෙන බවත් එමඟින් ප්‍ර දේශයේ සිසු දරු දැරියන්ට පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳව දැනුම ලබාදීමට යෝජිත බවත් විදුහල්පතිවරයා පවසයි.

“මේ පැත්තේ වැඩිමහල් තරුණ අය පමණක් නොවෙයි සිසු පරපුරේ සමහරුනුත් පරිගණකයක් දැකල තිබුණේ නැහැ. නමුත් ගම සමඟ පිළිසඳර වැඩසටහන නිසා දැන් අපට ඩිජිටල් ඉස්කෝලයක් ලැබෙනවා. පාසලට අලුතෙන් ගුරුවරුත් ලැබෙනවා“ විදුහල්පතිවරයා කීය.

ජනපතිගේ උපදෙස් පරිදි දැන් හපුතලේ සිට වෙලන්විට දක්වා ලංගම බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම ද දැන් සිදුවී තිබේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 8 ක් හරහා මෙම බස් රථ ධාවනය වෙයි.

මේ පිළිබඳව ‘සිළුමිණ‘ ට කරුණු දැක්වූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පවසන්නේ මේ වැඩසටහන යටතේ කුමාරතැන්න කනිටු විදුහලට ඩිජිටල් පහසුකම් සහිත නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිවී ඇති බවයි.

පාසල් සිසුනට හා අන් අයට ජංගම දුරකථන තරංග පහසුකම් ලැබීම් වැඩි කිරීම පිණිස ටෙලිකොම් ආයතනය විසින් විදුලි සන්දේශ කුලුනක් ඉදිකර ඇත.

මේ ගම් තුනටම පානීය ජලය ලබාදීම, පවුල් 68 කට විදුලිය ලබාදීම, පාසල් 11 කට අවශ්‍ය පොත්පත් ලබාදීම දැන් සිදුකර තිබේ.

‘ගම සමඟ පිළිසඳර‘ වැඩසටහනේ ප්‍රථම අදියරේ ප්‍රගතිය පිළිබඳව අපට කරුණු දැක්වූ ප්‍රතිලාභියෙක් වූ අක්කර සියයේ පදිංචි චිත්‍රා නෙළුම් කළුආරච්චි පවසන්නේ තම ජීවිත කාලයටම තම ගමට ලැබේ යැයි නොසිතූ යටිතල පහසුකම් රැසක් දැන් තම ප්‍රදේශයට ලැබී ඇති බවයි.

“අපිට ඉස්සර යන්න එන්න හරියට පාරක් තිබුණේ නැහැ. අඩි පාරවල් වගේ පාරවල් තමයි වැඩිපුර තිබුණේ. ත්‍රීවීල් එකක් දෙකක් තිබුණා. අත් ට්‍රැක්ටර් තිබුණා. ඒවායින් තමයි බෙරගලට හපුතලේට ගියේ. ඒවාට ලොකු මුදලක් දෙන්නත් අපට සිදු වුණා. නමුත් දැන් අපේ ගම්වලට ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ලබාදීම නිසා අපේ කෘෂි නිපැයුම් ඉතාම අඩු මුදලක් වැය කර නගරයේ පොළවල් වෙත අරගෙන යන්න පුළුවන්.“ ඇය පවසන්නීය.

මේ අනුව ‘ජනපති ගම සමඟ වැඩසටහන’ ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ලේ පමණක් නොව අනෙක් ප්‍රදේශවල ජනතාවට ද ගමත් නගරයත් යා කරන පහසුකම් ලැබී තිබේ. මෙතෙක් කල් හුදකලාව සිටි තරුණ පරපුරට නගරයේ පහසුකම් මෙන් ම නව තාක්ෂණික පහසුකම් ද ලබාගැනීමට මෙමගින් අවස්ථාව ලැබී තිබේ. ඒ අනුව ‘ජනපති ගම සමඟ වැඩසටහන‘ ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ අරුණාලෝකය ලබාදෙන ජනතා හිතකාමී වැඩපිළිවෙළකි. රටේ රාජ්‍ය නායකයාම ගම්වලට ගොස් ගමේ ප්‍රශ්න ගමේ අයගෙන් අසා විසඳුම් ලබාදෙන මෙවැනි වැඩපිළිවෙළක් මෙරටදී මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත. එබැවින් මෙම කටයුතු සඳහා රාජ්‍ය ආයතන රාජ්‍ය නිලධාරීන් සමඟ ග්‍රාමීය ජනතා සංවිධාන ද පූර්ණ සහාය ලබාදීම ගම සංවර්ධනයට ජනපති දරන උත්සාහයට අතදීමක් බව කිව යුතු ය.

සේයාරූ - කැළුම් ලියනගේ

Comments