![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/03/04/16-8.jpg?itok=mnpUSaiK)
ලංකාවේ විදේශ විනිමය සංචිතයන් වර්ධනය කර ගැනීමට විදේශ මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා නොගෙන වෙනත් රාජ්‍යයන්ගෙන් ණය ලබාගැනීම ඇතුළු යෝජනා දහයකින් යුත් “මුළු රටම හරිමඟට” දසවැදෑරුම් යෝජනාවලිය ආණ්ඩුව නියෝජනයට කරන සුළු පක්ෂ 11 ක සහභාගීත්වයෙන් එළිදැක්වූයේ පසුගිය 2 වැනිදා සවස ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් ශාලාවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්රජාතන්ත්රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොන්ග්රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණි ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය යන සුළු පක්ෂ 11 එකතු වී පැවැති මෙම රැස්වීමෙන් අනතුරුව හිටපු ඇමැතිවරුන් දෙපළක් වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශට හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට සිය ඇමැති තනතුරුවලින් ඉවත් වන්නට සිදුවූයේ 3 වැනිදා සවස් වරුවේය. ඒ ‘මුළු රට හරිමඟට‘ රැස්වීමේදී රජයේ වැඩසටහන් දරුණු ලෙස විවේචනය කරමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් හේතුවෙනි.
මෙම ඉවත්කිරීම් සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ 47 වැනි වගන්තියේ 2 උපවගන්තියේ ‘අ‘ අනුව ජනාධිපතිවරයාට හිමිවන නීත්‍යානුකූල බලතල අනුවය. එම ඇමැතිවරු තනතුරුවලින් පහ කිරීමෙන් අනතුරුව එදිනම සවස් වරුවේ යළි කැබිනට් සංශෝධනයක් සිදුවූයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ ඇමැති තනතුරු මාරුවෙන්ය.
බලශක්ති අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ උදය ගම්මන්පිල ඇමැතිවරයාගේ ඇමැති තනතුර හිමි වූයේ විදුලි බල ඇමැතිව සිටි ගාමිණී ලොකුගේටය. ප්‍රවාහන ඇමැතිව සිටි ඇමැතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි දිවුරුම් දුන්නේ විදුලිබල ඇමැතිවරිය වශයෙනි. ඇමැතිනි පවිත්‍රා සිටි ප්‍රවාහන ඇමැති ධූරය හිමි වූයේ එහි රාජ්‍ය ඇමැතිව සිටි දිලුම් අමුණුගමටය. හිටපු ඇමැති විමල් වීරවංශ දැරූ කර්මාන්ත ඇමති ධුරයේ දිවුරුම් දුන්නේ ඇමැති එස්.බී. දිසානායකය.
මෙම සුළු පක්ෂ 11න් 10ක මන්ත්‍රීවරුන් 31 දෙනෙකු ඇති අතර ඔවුන් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ යටතේය.
හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්රජාතන්ත්රවාදී වාමාංහික පෙරමුණු නායක ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික කොන්ග්රස් නායක ඒ එල් එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග ඉන් කිහිප දෙනෙකි.
විජයධරණ ජාතික සභාව වෙනුවෙන් අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි වෙනමම පක්ෂයකින් තරග වැදුණි.
ජනාධිපතිවරයකු සතු බලතල අනුව ඇමැති තනතුරින් පහ කළ මෙවැනි අවස්ථා ලංකා පාර්ලිමේන්තු ඉතිහසයේ විරල සිදුවිම් නොවේ. රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රට කලඹන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ආසන්නතම ඇමැති තනතුර ඉවත් කිරිම් සිදුවූයේ හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්තය. 1977 න් පසු කාල වකවානුවේ එවැනි අවස්ථා මුලින්ම හමු වන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යුගයේදීය. ඉන්දියානු සාම හමුදාව මෙරටට එවීම වෙනුවෙන් එදා තිම්පු නුවර පැවැති සාකච්ඡාවල සම්මුතිය අනුව රැඩිකල් ආකල්ප දැරූ සිරිල් මැතිව් වැනි දේශපාලනඥයන්ට ආණ්ඩුවෙන් ඉවත් වන තැනට කරුණු සැලසුණි.
1977 වසරේ ජේ. ආර්. රජයේ පළමු අයවැය විවාදයේදී එම්. ඩී. එච්. ජයවර්ධන විසින් අයවැයේ අඩුපාඩු විවේචනය කරන්නට විය. ඒ හේතුවෙන් ජයවර්ධන අමාත්‍ය ධුරයෙන් නෙරපන්නට එදා ජේ.ආර්. ආණ්ඩුව තීරණය කළේය.
ඉන් අනතුරුව හිටපු ජනපති ජේ. ආර්. සමයේ ඇමැතිවරයෙකු වූ ගාමිණි ජයසූරිය අස් කළාට වඩා සිදුවූයේ ඉල්ලා අස් වීමකි. 1987 ජුලි 27 දා සභා සම්මත වූ ඉන්දු - ලංකා පනතට විරෝධය දක්වා ඔහු අස් කරන්නට පෙර ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූයේය. දීර්ඝ කාලයක් මුදල් ඇමැති තනතුරේ කටයුතු කළ මුදල් ඇමැතිවරයෙකු වූ රොනී ද මැල් සිය අවසන් අයවැයේදි එය විවේචනය කළ නිසාවෙන් ඇමැති තනතුරින් නෙරපූයේද සිය වගකීම් පැහැර හළ නිසාෙවනි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යුගයේ හිටපු ඇමැතිවරුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක හා ජි. එම්. ප්‍රේමචන්ද්‍ර 1992-93 අතර කාලයේදි එවකට රජයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම නිසා ඔවුන්ව නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කළේය. ඉන් අනතුරුව ඒ තීරණයට විරුද්ධව ඔවුහු අධිකරණයේ පිහිට පැතීය. කෙසේ වුවත් අධිකරණයෙන්ද තීන්දු වූයේ ඔවුන් ඉවත් කළ යුතු බවකි.
ඉන් අනතුරුව එළඹෙන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරණතුංග යුගයයි. ඒ වන විට පැවැති රජයේ හිටපු වරාය ඇමැතිවරයකු වූ රවුෆ් හකීම් ඇමැති තනතුරින් නෙරපා හැරිමට තීන්දු වන්නේ ඔහු ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කළ නිසාවෙනි. 2007 පෙබරවාරි මස මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිව සිටි සමයේ අයවැය යෝජනාවට විරුද්ධව ගෙන ගිය වැඩ පිළිවෙළ නිසා එවකට වරාය ගුවන් සේවා ඇමැතිව සිටි මංගල සමරවීර, ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිව සිටි අනුර බණ්ඩාරනායක, වරාය සංවර්ධන ඇමැතිව සිටි ශ්‍රීපති සූරියආරච්චි යන තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළේය.
2015 යහපාලන රජය සමයේදීද මෙවැනි ඉවත් කිරිම් සිදුවී ඇත. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මඟින් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ 2017 අගෝස්තු මාසයේ දී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඔහු දැරූ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති පදවියෙන් ඉවත් කරනු ලැබුණි. ඒ හම්බන්තොට වරාය අනූනව අවුරුද්දක් සඳහා චීනයට බදු දීමට ආණ්ඩුව ගත් තීන්දුව ඔහු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මඟින්ද දැඩි විවේචනයට ලක් කර තිබීමය. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ හිටපු ඇමැතිවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුව ඇමැති තනතුරින් නෙරපූයේය.
හිටපු ඇමැති විමල්, ගම්මන්පිල ඇතුළු කැරලිකාර කණ්ඩායම ගසන දේශපාලන ගේම් හේතුවෙන් ඔවුහු ආණ්ඩුවෙන් නෙරපන ලෙස බොහෝ දෙනෙක් පසුගියදා ජනාධිපතිවරයාට ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව කැබිනට් සාකච්ඡාවලදීද සාකච්ඡාවට බඳුන් කර ඇත. තෙල් හිඟය ඇති වීමටද යම් කඩා කප්පල්කාරී ක්‍රියාවන් සිදුවී ඇති බවත්, එය වහාම හෙළිදරවු කරන ලෙසත් මන්ත්‍රිවරු ඉල්ලීම් කර ඇත. එසේම ඉදිරියේදී තවත් කිහිප දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණ සිදු කිරීමටද අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.