විමල්, උදය නෙරපීමේ සුලමුල | සිළුමිණ

විමල්, උදය නෙරපීමේ සුලමුල

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේදී වැඩිපුරම කතා බහට ලක් වූ දින දෙක වූයේ පසුගිය මාර්තු 2 සහ මාර්තු 3 වැනිදා ය. 02 වැනිදා “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදක්වමින් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, බලශක්ති අමාත්‍ය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට දරුණු විවේචන එල්ල කළ අතර පසුගිය 03 වැනිදා සවස් වන විට කැබිනට් සාමූහිකත්වය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මෙම අමාත්‍යවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉවත් කර තිබුණි.

විමල් හා ගම්මන්පිලගෙන් දරුණු විවේචන

"මුළු රටම හරි මඟට" ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 11 ක ජාතික ප්‍රකාශනය පසුගිය 2 වැනිදා සවස එළිදැක්වූයේ තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමියන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයෝ මීට සහභාගි වී සිටියහ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ද මෙම අවස්ථාවට පැමිණ සිටීම ද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

මෙම රැස්වීමේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ විමල් වීරවංශ සිදුකරන ලද ප්‍රහාරාත්මක ප්‍රකාශයයි.

"උද්ධච්ච මානසිකත්වයට මේ අභියෝග ජය ගන්න බැහැ. මගේ මොළයයි තව මොළ හතකටයි සියල්ල තේරෙන්නේ නැහැ." කියමින් විමල් වීරවංශ දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් විමල් ආණ්ඩුවේ ප්‍රබලයින්ට චෝදනා කළේය.

විමල් හා ගම්මන්පිලගේ කතාව ඒ වනවිටත් විශේෂ ප්‍රවෘත්ති වශයෙන් ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම සැර ප්‍රකාශය ප්‍රචාරය විය.

විමල්ගේ සැර ප්‍රකාශය ඒ වන විටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන්ට මෙන්ම විරුද්ධ පක්ෂය ප්‍රබලයින්ට ද ආරංචි වී තිබුණි.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු එක්වෙති

විමල් හා උදයගේ ආණ්ඩු විරෝධී ප්‍රකාශ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ද ආරංචි වී තිබුණි. ඒ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් එක්වී කතාබස් කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල අමාත්‍යවරුන් දිගින් දිගටම ආණ්ඩුවට පහර දෙමින් ආණ්ඩුවේ සිටීම විහිළුවක් බවයි.

මෙය තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපති කැඳවූ විශේෂ රැස්වීම

මේ අතර ඇතිවී තිබෙන තත්ත්වය සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විශේෂ රැස්වීමක් තුන් වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අභයවර්ධන, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සැලකිය යුතු පිරිසක් එම හදිසි රැස්වීමට පැමිණ සිටියහ.

සාගර කතාව පටන් ගනී

මෙහිදී මුලින්ම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ය.

"ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් දෙදෙනාම කැබිනට් සාමූහිකත්වය කඩලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න ඕන කරුණු එතනදී කතා කරන්නේ නැතිව එළියට ගිහිල්ලා කතා කරනවා.

රටේ තෙල් නැහැ කියලා තෙල් භාරව සිටින බලශක්ති ඇමැති කිව්වම රටේ මිනිස්සු කලබල වෙනවා." යනුවෙන් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.

කැටගොඩත් කට අරියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ද අදහස් දැක්වීය.

කැබිනට් මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගිය අමාත්‍යවරුන් තවමත් කැබිනට් මණ්ඩලයේ තියාගෙන ඉන්න ලෝකයේ පළමු රට අපේ රටයි." යනුවෙන් ජයන්ත කැටගොඩ කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට අමතක නොකළේය.

"ජනාධිපතිතුමනි, මාත් ඔය කැබිනට් මණ්ඩලයේ ඉඳලා තියෙනවා. ඔය දැන් එළියට ගිහිල්ලා කෑගහන මහත්වරුන් කවුරුත් කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔය කතා කියලා නැහැ." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද ඉතිහාසය ගැන සිද්ධියක් විස්තර කළේය.

"එදා ජනාධිපතිත් වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරන කොට මේ වගේ සිදුවීම් වගයක් ඇතිවෙලා මංගල සමරවීර, ශ්‍රීපති සූරියාරච්චි යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කළා. එතකොට සමහරුන් කිව්වා ඒක වැරදියි කියලා. නමුත් ඒ තත්ත්වය අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය නිවැරැදියි කියලා පසු කාලීනව බොහෝ දෙනෙකු කිව්වා. ඒක නිසා මේ අවස්ථාවේදී පවත්නා තත්ත්වය අනුව දේශපාලන තීන්දුවක් ගන්න වෙනවා. එවැනි තීරණයක් ගන්න අවශ්‍ය නම් එම තීරණය ගන්න එකට අපි විරුද්ධ වෙන්නේ නැහැ." යනුවෙන් සනත් නිශාන්ත විසින් පෙන්වා දෙන ලදී.

මේ අතර සනත් නිශාන්ත තවත් ඉතිහාසගත සිදුවීමක් ද මෙහිදී හෙළි කළේය. මීට කාලයකට පෙර විමල් වීරවංශ ඇමතිතුමා ළඟ වාඩිවෙලා හිටපු උදය ගම්මන්පිලට කියලා තියෙනවා රාජපක්ෂවරුන්ට විතරද මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් ඇයි අපිට වෙන්න බැරිද කියලා. ඒ වෙලාවේ ගම්මන්පිල, විමල්ගේ කකුල පාගලා ඒ කතාව නවත්තන්න කියලා සංඥා කළත් ඒ කිට්ටුව හිටපු රෝහිත රාජපක්ෂට මේ කතාව ඇහිලා තියෙනවා." යනුවෙන් සනත් නිශාන්ත ප්‍රකාශ කර තිබේ.

බැසිල් ගම්මන්පිල ගැන කීවේ මොනවාද?

මෙම රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැක් වූ අදහස් ගැනද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබුණි. මේ කට්ටියගේ දූෂණ වංචා ගැන මං දන්නවා. මගේ මනුස්සකමයි, ප්‍රතිපත්ති නිසා මං ඒවා හෙළි කරන්නේ නැහැ. ඔය තෙල් ගෙන්වන්න ඉන්වොයිස් ටික උදය ගම්මන්පිල ඇමතිතුමා හරි වෙලාවට එවන්නේ නැහැ. ඔවුන් හිතා මතාම ඒවා ප්‍රමාද කරනවා. එතකොට තෙල් නැති වෙනවා. මේකෙන් වෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙන එකයි. ඒක නිසා තෙල් ගෙන්වන එක ඒගොල්ලොත් හරියට සැලසුම් කළේ නැහැ." යනුවෙන් ප්‍රකාශ කරමින් බැසිල් රාජපක්ෂ විසින් බරපතළ චෝදනාවක් එල්ල කරන ලදී.

ජනාධිපතිත් උදය ගැන කතා කරයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද මෙහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පිළිබඳව යම් අත්දැකීමක් ප්‍රකාශ කළේය. තෙල් අර්බුදය ගැන සාකච්ඡාවක් ළඟදී දවසක මං කැඳවලා තිබුණා. මේ සාකච්ඡාවට සියලුම අංශ නියෝජනය කරමින් අදාළ නිලධාරීන් සහභාගි වෙලා හිටියත් මේ සාකච්ඡාව යන වෙලාවේ උදය ගම්මන්පිල ඇමතිතුමා මගේ ළඟට ඇවිල්ලා කියනවා, අර රට හරිමඟට ද පෙරමඟට ද කියලා රැස්වීමකට යන්න ඕන කියලා. එහෙම කියලා උදය ගම්මන්පිල ඇමතිතුමා රැස්වීමෙන් පිටවෙලා ගියා.

මේ තෙල් අර්බුදය ගැන සාකච්ඡා කරන්න තමයි තෙල් විෂයභාර ඇමතිතුමා එක්ක මේ සාකච්ඡාව යොදාගෙන තිබුණේ.

ඊට පස්සේ තෙල් විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහත්තයා නැතිව රැස්වීම කරගෙන ගියා. ඒක හරියට මනාලයා නැති මඟුල් ගෙදර වගේ." යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයෙක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දුරකතනයෙන් කතා කරමින් කියා සිටියේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු මෙන්ම අගමැතිතුමාගේ සමකාලිනයෙකු ද වන බවයි. වාසුදේව ඇමතිතුමා රජයට සිටිය යුතුම අමාත්‍යවරයෙකු බවද එම රාජ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.

බන්දුලගෙන් වෙනස් මතයක්

මේ රැස්වීමේදී සාකච්ඡාවට ගත්තු එක කාරණයක් වූයේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රජය විවේචනය කිරීම. මෙන්න මෙතැනදි මේ මැති ඇමතිවරුන් එවැනි අය වහාම ඉවත් කළ යුතුයි යන්න යෝජනා විය.

මේ වෙලාවෙදි ඇමති බන්දුල ඉදිරිපත් කළේ ටිකක් වෙනස් මතයකි.

"මම ඔබ සියලු දෙනාටම මතක් කරන්න කැමතියි 1990 දශකයේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ගෙන ආ දෝෂාභියෝගය. ඔබට මතක ඇති ඒ දෝෂාභියෝගයට අනුව, එවකට එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන් විදියට හිටපු ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක වගේ ඇමතිවරුන්ව ධූරයෙන් ඉවත් කෙරුණා. එතනින් පස්සෙ අද මේ වනතුරුත් එක්සත් ජාතික පක්ෂයට වුණ හානියවත්, ඒ දෙදරීමවටවත් පිළියමක් යොදන්න ඔවුන්ට බැරිවුණා. ඒ ඛේදවාචකයෙන් ගොඩයන්න එක්සත් ජාතික පක්ෂයට නොහැකි වෙලා තිබෙනවා." යනුවෙන් බන්දුල විසින් පෙන්වා දෙන ලදි.

ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතිහාසය මතක් කරපු ඇමති බන්දුල කියා සිටියේ ආණ්ඩුවක් වශයෙන් සාමුහිකව ගන්නා තීරණවලට තමන් එකඟ නමුත්, මේ අවස්ථාවේ දී කල්පනාකාරීව තීන්දු තීරණවලට එළඹිය යුතු බවයි.

සජිත් මහ රෑ පාඩම් කරයි

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සති කිහිපයේදී සිය දේශපාලන වැඩ කටයුතු අතරේදී තවත් වැඩ කටයුත්තක් වෙනුවෙන් කාර්යබහුල වී සිටියේය. ඒ විවෘත විශ්වවිද්‍යාලයේ හදාරන ශාස්ත්‍රපති උපාධියේ අවසන් විභාගයට සූදානම්වීමට නියමිතව තිබූ නිසාය. දේශපාලන වැඩ කටයුතු අතරේ අධ්‍යාපන කටයුතු සදහා වේලාවක් වෙන් කරගැනීමට ඔහු අමතක කර තිබුණේ නැත.

දිවා කාලයේදී දේශපාලන වැඩ කටයුතු කරන ඔහු රාත්‍රියේදී නිවසට පැමිණ මධ්‍යම රාත්‍රිය අවසන් වන තෙක් අධ්‍යාපන වැඩ කටයුතුවල යෙදෙන්නේය.

පසුගිය සතියේදී දින දෙකකදීම විභාගය පැවැත්වුණේ විවෘත විශ්වවිද්‍යාලයේදීමය. විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසලට වාහනයෙන් ගිය ඔහු එතැනින් බැස විශ්ව විද්‍යාලය තුළට යන්න විය. ආරක්ෂක අංශයේ නිලධාරීහු ඔහු සමඟ විශ්වවිද්‍යාලය තුළට යාමට සුදානම් වූහ.

පෑන් අටක් රැගෙන සජිත් විවෘත විශ්වවිද්‍යාලයට

‘‘ඔයාලා මොකටද එන්නේ. ඔයාලා ඉන්න’’සජිත් ආරක්ෂක අංශ නිලධාරීන්ව නැවැත්වූවේය.

‘‘සර්ගේ ආරක්ෂාවට’’ආරක්ෂක නිලධාරීන් කියන විට සජිත් ඔවුන්ට පෙරළා කීවේ තමන් යන්නේ විභාගයකට පෙනී සිටිම සදහා බවය.

‘‘මම යන්නේ විභාගයකට. අනික් ළමයින්ට වගේ මටත් එකම අවස්ථාව තියෙන්න ඕන. මට විශේෂ ආරක්ෂාවක් හරි, විශේෂ වරප්‍රසාදයක් හරි අවශ්‍ය නෑ’’ආරක්ෂක අංශ නිලධාරීන් නැවත ඔහු හරවා යැව්වේය.

විභාගයට පෙනී සිටීම සඳහා තනිවම විභාග ශාලාවට ගිය ඔහුගේ අතේ තිබුණේ පෑන් අටක් පමණි. තමන්ගේ විභාග අංකයට නියමිත ශාලාව සොයා ගෙන ගිය ඔහු විභාගය ආරම්භවීමට විනාඩි විස්සකට පමණ පෙර ශාලාවට ඇතුළු විය.

කිසිදු විශේෂත්වයක් නොමැතිව විභාගයට පෙනී සිටි ඔහු විභාගය අවසන්වී එළියට පැමිණියේ විභාගයට පෙනී සිටි අනෙක් විද්‍යාර්ථීන් සමඟය.

‘‘දේශපාලනය කරන්න එන අයගේ අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නෑ තමයි. හැබැයි ඉගෙන ගන්න එක නතර කළොත් සාම්ප්‍රදායික රාමුවෙන් පිට ගිහින් හිතන්න බෑ. ඒ නිසා අපි ඉගෙන ගැනිම නතර කරන්න ඕන නෑ’’සජිත් කීවේය.

‘‘අපි හිතුවේ සර්ට වෙනම කාමරයක විභාගයට ඉන්න දේවි කියලා’’සජිත් සමඟ විභාගයට පෙනී සිටි අයෙක් කීවේය.

විභාගයට පෙනී සිටි සජිත් පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයට. ඒ වන විට හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරයා එහි පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනා සමඟ සමගි ජන බලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධනද විය.

ඔවුන් සමඟ සජිත් සාකච්ඡා කළේ පසු දිනයේදී හරින් සහ මනුෂ ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව තිබූ නිසාය. සිරගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාට නිදහස ලබාදෙන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම සඳහා ඔවුන් දෙදෙනා ජිනීවා බලා පිටත්ව ගියහ. එහි යාමට පෙර ඔවුන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ සජිත්ය.

හරින් - මනුෂ ජිනීවා වලදී කරපු වැඩේ

හරින් සහ මනුෂ ජිනීවා බලා පිටත්ව ගියේ එකටමය. මන්ත්‍රීවරුන් විදේශ ගතවීමේදී විශේෂ අමුත්තන්ගේ පර්යන්තය භාවිතා කරන නමුත් ඔවුන් දෙදෙනා සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඩුබායි හරහා ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගියහ.

‘‘අපි ජිනීවා යන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කරන්න. අධිකරණයට අපහාස කිරීම සඳහා ලබාදෙන නිශ්චිත දඬුවමක් නීතියේ නෑ. ඒ වගේම තමයි ඔහුට නිදහස ලබාදෙන්න කියලා විපක්ෂ නායකතුමා අවස්ථා ගණනාවකදී ජනාධිපතිතුමාගෙන් ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කළා. එයට ප්‍රතිචාර නොදැක්වීම නිසා තමයි අපි ජීනීවා බලා පිටත්ව යන්නේ’ ’මනුෂ පැවසුවේය.

ජිනීවා බලා පිටත්ව ගිය හරින් සහ මනුෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගීවීමට පැමිණ සිටි ජාත්‍යන්තර නියෝජිතයින් සමඟ සාකච්ඡා කළහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිවරයා හමුවූ ඔවුන් රංජන් නිදහස් කරන ලෙසට වන ලිඛිත ඉල්ලීමක්ද භාරදුන්හ.

සල්ගාදු පිටිය පුරවන්න සජබ සූදානම් වෙයි

බ්‍රහස්පතින්දා රාත්‍රීයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ආණ්ඩුවේ ඇමැති මාරුවත් සමඟ ඇතිවූ දේශපාලන තත්වය ගැන සාකච්ඡා කිරීමටය.

‘‘ආණ්ඩුව ඇතුළේ අර්බුදය දවසෙන් දවස වර්ධනය වෙනවා. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විවේචනය කරන අයට වෙන දේ තමයි මේ’’ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සාකච්ඡා ආරම්භ කළේය.

‘‘ජනාධිපතිවරයා විදුලිය කපන්නේ නෑ කියලා කියනවා. ඒත් දවසට පැය හතහමාරක් විදුලිය කපනකම් මොකක්ද ජනාධිපතිවරයා කළේ. කිසිම විසඳුමක් නැති ආණ්ඩුව දැන් තෙල් නිපදවන රටවලින් ණයට තෙල් ඉල්ලමින් හිගා කනවා’’ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේ මාධ්‍ය වාර්තා කිහිපයක් උපුටා දක්වමිනි.

‘‘හැට නම ලක්ෂයක් පෝලිමේ ගිහින් ඡන්දය දුන්න නිසා රටේ හැමෝටම පෝලිම්වල ඉන්න ආණ්ඩුව වැඩ කටුයතු සැලසුවා කියලා තමයි සමාජ මාධ්‍යවල යන්නේ’’ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා කීය.

‘‘අනුරාධපුර සල්ගාදු පිටියේ රැස්වීමටත් අපි සූදානම් වෙන්න ඕන. පොහොට්ටු රැස්වීමට ආපු සෙනග වගේ තුන් හතර ගුණයක සෙනග ගෙනවිත් ජන මතය පෙන්නලා, ආණ්ඩු විරෝධී රැල්ල දිගටම අරගෙන යන්න ඕන’’ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා කී කතාවට සියල්ලන්ගෙන්ම ලැබුණේ හොඳ ප්‍රතිචාරයකි.

එජාප සංවිධායකවරුන් සිරිකොතට

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ සිවු දෙසින්ම ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සැවොම සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවූවේ ඉකුත් බදාදාය. ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු සංවිධායකයන් කිහිපදෙනෙකුට පැමිණිය නොහැකි බව දැනුම් දී තිබුණත් බහුතරයක් නායකයාගේ කැඳවුමට අනුව එහි පැමිණ සිටියහ.

ජාතික සංවිධායක සාගල රත්නායක මෙම හමුව කැඳවා තිබූ අතර සිරිකොත ප්‍රධාන ශාලාවේ එය පැවැත්වුණේ කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමිනි. ලබන 12 දා හා 13 දා යන දෙදින පුරා කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වෙන සාමාජික ප්‍රවර්ධන වැඩසහන ගැන සාකච්ඡා කිරීම පිරිස කැඳවීමේ මුලික අරමුණ විය.

"ජනතාව මේ වන විට දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා. ඔවුන් දැන් විකල්පයක් හොයනවා. ඒ වෙනුවෙන් තිබෙන හොඳම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි." නායක රනිල් කීවේය.

"අද රටේ තියෙන්නේ ඩොලර් අර්බුදයක්. එම අර්බුදය අවසන් කළ හැක්කේ නායකතුමාට පමණයි කියන පණිවුඩය ජනතාව අතරට ගෙනියන්න ඕනේ. 2001 සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත් කළේ අපේ නායකතුමා කියන එක ජනතාවට මතක් කර දෙන්න." සාගල රත්නායක ද කරුණු පැහැදිලි කළේය.

12,13 එජාපය කොළඹ දී කරන්න හදන දේ

රනිල් ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසීම වෙනුවෙනි. නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් රංගේ හා සභාපති වජිර ඇතුළු ක්‍රියාකාරීන් ඒ වන විටත් සිරිකොතට පැමිණ සිටියහ. රුසියානු යුක්රේන යුද ගැටුමෙන් මෙරට ආර්ථිකයට වන හානිය සම්බන්ධයෙන් මුලින්ම පිරිස සාකච්ඡා කළහ.

"රුසියාවට, ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් සම්බාධක පැනවීම අපටත් දැඩිව බලපානවා. අපේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැණුම්කරුවෙකු ලෙස රුසියාව සැලකෙනවා. අනෙක් කාරණය එක්සත් ජාතික පක්ෂයටත් යුක්රේනයට වඩා රුසියාව සමඟ සමීප සම්බන්ධතා තියෙනවා." රුවන් කතාව ආරම්භ කළේය.

"මෙතනදි යුක්රේනයට තිබුණේ කල්පනාකාරීව වැඩ කරන්න. එදා 1987 දී ඉන්දියාව අපට බලපෑම් කරන අවස්ථාවේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවත් සමඟ ගිවිසුමකට ගිහිල්ලා එල්.ටි.ටී.ඊ ය සමඟ යුද්ධයට ඉන්දියානු සාම හමුදාව ගෙන්වූවා. එවැනි සැලසුමකට යුක්රේනයට යන්න තිබුණා." වජිර කීවේ ඉතිහාසය මතක් කරමිනි.

"තුන්වන ලෝක යුද්ධය දක්වා මෙය ඇදීයාම වැළැක්වීමට නම් ආසියාවට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න සිදුවේවි. යුක්රේනය දැන් චීනය සමඟත් සාකච්ඡා කරන බවට වාර්තා වෙනවා." නායකයා ඉදිරිපත් කළේ අලුත් අදහසකි.

ලබන 12 හා 13 දා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් එහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එහිදි ගත් තීන්දුවක් ප්‍රකාරව බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයට සියලු ආසන සංවිධායකයන් හා පක්ෂ ක්‍රියාකාරීන් කැඳවීනි. ඊට අමතරව ජනතාව මුහුණ දෙන පීඩාවන්ට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක් පැවැත්වීමට සාකච්ඡා කෙරිණි. එය ලබන 25 දා කොළඹ හයිඩ් පිටියේදි පැවැත්වීමට සාකච්ඡා වුවද දිනය හා ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත්තේ නැත.

ප්‍රේමදාසට වැරදුණු තැන් වජිර පෙන්වයි

රටේ සියලු පළාත් පාලන ආයතනවල එජාප මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. 

වැඩමුළුවේ ආරම්භක දේශනය පැවරී තිබුණේ වජිර අබේවර්ධනටය. “එක්සත් ජාතික පක්ෂයටද වැරදුනු තැන් තිබෙනවා. එය අවබෝධ කරගෙන අප ඉදිරියට යා යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රාදේශීය සභාවක නියෝජනය ගන්න නම් එම පක්ෂය 12.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත යුතුයි. ඒ 12.5 ක්‍රමවේදය වෙනස් කරාට පසු නුසුදුසු අයට පවා ඇතුළට එන්න අවස්ථාව හිමිවුණා.”

1988 දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති සමුළුවේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඉල්ලා සිටියා මේ ක්‍රමය වෙනස්කර එය 5% ප්‍රතිශතයකට ගෙන එන ලෙස. මේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති අය අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඇඟිල්ල දිගු කරනවා. නමුත් එතුමට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් නැහැ.

2015 ජනවාරි 8 වෙනිදා බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ව්‍යවස්ථාවෙන් අපට සිදුව තිබූ වැරැද්ද නිවැරදි කරගැනීමට ක්‍රියාකළා. දින්නත්, පැරදුනත් ආණ්ඩුව ගෙනයාමට හැකි ක්‍රමවේදයක් එතුමා සකස් කළා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා එලෙස සකසාදුන් පැහැදිලි ක්‍රමවේදය අපේම කණ්ඩායමක් වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබාදී 20 වෙනි සංශෝධනය සම්මත කරමින් එය වෙනස් කළා.

1994 දී එක්සත් ජාතික පක්ෂය පරාජය වන්නේ එක් මන්ත්‍රීධූරයකින් බව සිහිපත් කළ යුතුයි. නමුත් ඒ වනවිට 12.5% ක්‍රමවේදය පැවතුණා නම් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 128 ක් ලබාගැනීමට හැකියාව තිබුණා. නමුත් අවාසනාවකට මෙන් ඒ තත්ත්වය අහිමි වුණත් නැවත මේ තත්ත්වය නිවැරදි කරගැනීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළා.” යනුවෙන් ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

Comments