
ආරාධිත පාසල් සහාය දිවීමේ සැණකෙළිය හැම වසරකම සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා
තිලකා ජිනදාස යැයි කියූ සැණින් සිහියට එන්නේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව ය. ඒ සමඟම ඇය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වශයෙන් කටයුතු කරමින් දැක්වූ පුහුණු දක්ෂතා ද නිතැතින් සිහියට එයි. දීර්ඝ කාලයක් තිස්සේ බෘනායි දේශයේ ප්‍රධාන පුහුණුකාරිත්වය දැරූ ඈ ඊට පෙර සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩා ප්‍රධානියා ලෙස ද කටයුතු කළා ය. දැන් ඈ සේවය කරනුයේ ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ ක්‍රීඩා නායකයා වශයෙනි. ඉදිරියේදී ගේට්වේ පාසල ප්‍රධානව සංවිධානය කරනු ලබන ආරාධිත පාසල් සහාය දිවීමේ සැණකෙළිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘ක්‍රීඩා‘ ඈ හා සංවාදයකට එළැඹිණි.‘
මොකක්ද මේ සහාය දිවීමේ සැණකෙළියක කතාව? ගේට්වේ ජාත්‍යන්තර පාසල මොකක්ද මේ කරන්න යන වැඩසටහන?
අපි ආරාධිත පාසල් සහාය දිවීමේ සැණකෙළියක් සංවිධානය කර තිබෙනවා. එය පැවැත්වෙන්නේ මාර්තු 1 වැනි දා යි. තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා.
ඒ කියන්නේ මේ සහාය දිවීමේ තරගාවලිය කියන්නේ අන්තර්ජාතික පාසල් සඳහා විවෘත වූ තරගාවලියක් ද?
නෑ. අන්තර්ජාතික පාසල් පමණක් නොවෙයි මේ සැණකෙළියට සහභාගි වන්නේ. ඒකට අර්ධ රාජ්‍ය පාසල්වලටත් අපි ආරාධනා කරලා තිබෙනවා. ඔවුනුත් ඊට එක්වනවා.
ඇයි රාජ්‍ය පාසල් සහභාගි කරවා ගන්න එකෙන් අත්මිදුණේ? ඔවුන් ආවොත් අන්තර්ජාතික පාසල්වලට අමාරු නිසා ද?
නැහැ. අපි රජයේ පාසල් සම්බන්ධ කර ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සමඟත් සාකච්ඡාවක් පැවැත්වූවා. ඒත් මේ වනවිට පවතින විභාග හා විවිධ තත්ත්වයන් යටතේ තවමත් රජයේ පාසල් තමන්ගේ ක්‍රීඩකයන් තරග වෙනුවෙන් යොමුකරන්නේ නෑ. මොකද ඊට අවශ්‍ය අවසරය ඔවුන්ට තවම රාජ්‍ය මට්ටමෙන් ලැබී නැහැ. ඒ නිසා ඔවුන් සහභාගි කර ගන්න අපට නොහැකි වෙනවා. නමුත් අර්ධ රාජ්‍ය පාසල් ඊට ආරාධනා ලැබ තිබෙනවා.
මේ තරගාවලිය වෙනුවෙන් පාසල් කීයක් සහභාගි වෙනවා ද?
අපිට දැනට පාසල් 18 ක් සහභාගි වන බව තහවුරු කර තිබෙනවා. ඒ නිසා මෙම තරගාවලිය වෙනුවෙන් සැලකිය යුතු ක්‍රීඩකයන් ප්‍රමාණයක් සහභාගි වෙයි.
තරගාවලියේ සංයුතිය සකස් වන්නේ කොහොම ද? ඒ කියන්නේ මූලික වටයක් තිබෙනවා ද? නැත්නම් අවසන් මහා තරගවලින්ම තරගාවලිය ගමන් ගන්නවා ද?
අපි එක් දිනක් තුළ තමයි සහාය දිවීමේ සැණකෙළිය පවත්වන්න කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ. මේ සහාය දිවිමේ සැණකෙළියේ ආශ්චර්යය ක්‍රීඩකයන්ට ලැබෙන්න නම් එක් දිනක් තුළ සහාය දිවීමේ සැණකෙළිය අවසන් කළ යුතුයි. ඒ බව අපි දන්න නිසාත් සුගතදාස පිටියේ තරග වදිද්දී සියලු තරග අවසන් තරග ලෙස පවත්වා නිමා කරන්නත් අපි තීරණය කර තිබෙනවා. මේ අවසන් මහා තරගයක් වෙනුවෙන් කණ්ඩායම් අටකට පමණයි සහභාගි වන්න අවස්ථාව තිබෙන්නේ.
දැන් පාසල් 18 ක් සහභාගි වනවා නම් කොහොම ද අවසන් තරගයකට කණ්ඩායම් අටක් පමණක් තරග වදින්නේ?
අපි මේ ඉසව් පාසල් අතර බෙදලා දීලා තිබෙනවා. හැම සහාය දිවීමේ ඉසව්වකටම හැම පාසලක්ම නියෝජනය කරන්නේ නෑ. බොහෝම ක්‍රමවත්ව පාසල් අතර සාකච්ඡා කරලා එක් එක් පාසල්වල කැමැත්තත් සලකලා තමයි තරගාවලියට කණ්ඩායම් යොදාගෙන තිබෙන්නේ.
මේ තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩකයන් පමණක් නොවෙයි පාසල් හැර ගිය ක්‍රීඩකයනුත් සහභාගි වන බවක් කියැවෙනවා නේද?
මෙහෙමයි. පසුගිය වසර දෙකේ කොවිඩ් ව්‍යසනය නිසා බොහෝ දෙනෙකුට තරගවලට සහභාගි වන්න ලැබුණේ නෑ. මේ නිසා ඔවුන්ට ක්‍රීඩා අවස්ථාවන් අහිමි වුණා. ඒ අඩුව පුරවන්න අපි ඔවුන්ට සහභාගිවිය හැකි අයුරින් අවුරුදු 20 න් ඉහළ සහාය දිවීමේ වයස් කාණ්ඩයක් ඇති කළා.
ජාතික මට්ටමේ ක්‍රීඩකයන් වෙනුවෙනුත් තරගයක් සංවිධානය වන බව කියැවෙනවා නේද?
ඔව්. අපි මලල ක්‍රීඩා සංගමයට මේ ගැන කතා කළා. ඔවුන් ඉතා කැමැත්තෙන් ජාතික තලයේ ඉන්න සහාය දිවීමේ කණ්ඩායම් මේ වෙනුවෙන් සහභාගි කරවන්න තීරණය කර තිබෙනවා. ඒ විවෘත අංශය වෙනුවෙන්. එමගින් ඔවුන් තමන්ගේ කාලය ඉහළ නංවා ගනිමින් අන්තර්ජාතික තරගාවලි සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ගන්නයි උත්සුක වන්නේ.
එතකොට මේ තරගාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ත
මයි සංවිධානය වන්නේ නේ ද?
ඔව්. විද්යුත් කාලගණක යන්ත්‍ර ඇතුළු සියලු තාක්ෂණික උපකරණ සහිතව තමයි අපි මේ තරගාවලිය සංවිධානය කරන්නේ.
කවුද මේකේ තාක්ෂණ අංශය බාර අරගෙන වැඩ කරන්නේ?
ජගත් ඥානසිරි මහතා ඇතුළු පිරිස තමයි තාක්ෂණ අංශය බාරව සිටින්නේ. ඒ වගේමයි අපේ ජාතික පුහුණුකරු වයි.කේ. කුලරත්න මහත්මයාත් ගේට්වේ පාසලේ සේවය කරනවා. එතුමාත් මෙතැන සංවිධානය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා.
දැන් මේ වැඩේ තිලකා ජිනදාස කියන හිටපු ක්‍රීඩිකාවගේ සැලසුමක අවසන් ප්‍රතිඵලය කිව්වොත් හරි ද?
මේක මගේ විතරක් වැඩක් නොවෙයි. අපි ගේට්වේ පාසල විධිහට දිවයින පුරා ප්‍රධාන නගරයන් හි විසිරී ඇති ගේට්වේ පාසල් සියල්ලේම ක්‍රීඩා නායකයන් සාකච්ඡා කරලා කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරලා තමයි මේ තරගාවලිය සංවිධානය කරන්නේ.
එතකොට මේකට අවශ්‍ය මුදල් කොහොම ද සොයා ගන්නේ?
ඇත්තටම අපි අනුග්‍රාහක ආවරණ අපේක්ෂා කළා. නමුත් මේ පවතින තත්ත්වය යටතේ අනුග්‍රාහකයන්ගේ සහයෝගය ලබාගැනීමේ අර්බුද මතුවුණා. නමුත් අපි සමරු කලාපයක් නිකුත් කරනවා. ඒක කරන්නේ අලුත් විධිහට. එතැනින් යම් මුදල් ප්‍රමාණයක් ආවරණය කර ගන්න අපේක්ෂා කරනවා. සෙසු මූල්‍ය අවශ්‍යතා ගේට්වේ ජාත්‍යන්තර පාසල් කළමනාකාරිත්වය ඔස්සේ තමයි ලැබිලා තිබෙන්නේ.
තරගාවලිය පැවැත්වීමේ දී සෞඛ්‍ය නිර්දේශ කොහොම ද ක්‍රියාත්මක වන්නේ?
අපිට මේ තරගාවලිය පවත්වන්න අවශ්‍ය සෞඛ්‍ය අනුමැතිය හිමිවෙලා තිබෙනවා. ඒත් ඒක පවත්වන්න අවශ්‍ය මූලික නිර්නායක මොනවා ද කියන එකත් දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා අපි ඊට අනුගතව තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ආයතනය ඊට අනුමැතිය ලබාදී නිර්නායක දැනුම් දුන්නා.
එතකොට මේ තරගාවලියේ නැරඹුම් අවස්ථාව කොහොම ද සිද්ධ වන්නේ? ප්‍රේක්ෂකයන් සීමා වෙනවා ද?
ඔව්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමයි අපි මේකට ප්‍රේක්ෂකයන් සහභාගි කරවා ගන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකයන් වශයෙන් තරගාවලියට සහභාගි වන දරුවන්ගේ මවුපියන් තමයි එක්වෙන්නේ.