පළමු මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාව 2022 | Page 2 | සිළුමිණ

පළමු මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාව 2022

නිදහස් කුසලානයෙන් මීගමුව වෙරළ තීරය උණුසුමින් පිරෙද්දී කාන්තා කිරුළ දිනේෂාට සහ දීපිකාට

මීගමුව වෙරළ තීරයේ පසුගියදා අවසන් වූ පළමුවැනි මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලියේ කාන්තා කිරුළ ශ්‍රී ලංකා කාන්තා අංක 01 කණ්ඩායම (දිනේෂා ප්‍රසාදිනි සහ දීපිකා බණ්ඩාර) විසින් ශ්‍රී ලංකා කාන්තා අංක 02 කණ්ඩායම (සුලෝචනා ජයවර්ධන සහ ෂෙහානි වීරසිංහ) තරග වට 2-0 ක් ලෙස පරාජය කරමින් දිනා ගනු ලැබිණි. මෙවර තරගාවලියේ රන්, රිදී සමඟින් ශ්‍රි ලංකා කාන්තා අංක 03 කණ්ඩායම (හෂිනි මල්ෂා සහ චතුරිකා වීරසිංහ) මාල දිවයින තරග වට 2/0 කින් පරාජය කරමින් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු මෙකී තරගාවලිය ආසියානු වොලිබෝල් සම්මේලනයේ සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු පළමුවැනි මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතා තරගාවලිය තෙදිනක් මුළුල්ලේ මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්විණි.

පිරිමි අවසන් තරගයේ දී ඉරාන අංක 01 කණ්ඩායම (එස්. ෂේකර් සහ මොහොමඩ් ඇරෝ) විසින් ශ්‍රී ලංකා අංක 02 කණ්ඩායම (සඳුන් මධුසංඛ සහ අංජන සංදීප) තරග වට 2-0 කින් පරාජය කොට රන් පදක්කම දිනා ගනිද්දී, ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය. මේ අතර ලෝකඩ පදක්කම ඉරාන අංක 02 කණ්ඩායමට හිමි වූයේ ශ්‍රී ලංකා අංක 02 කණ්ඩායමට එරෙහිව නිතරගයෙනි.

මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව උස්බෙකිස්තානය, පාකිස්තානය, ඉරානය සහ මාලදිවයින නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගි විය.

එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 3 බැගින් ද, ඉරානය සහ පාකිස්තානය හැරෙන්නට අනෙක් රටවල් නියෝජ-නය කරමින් කාන්තා සහ පිරිමි කණ්-ඩායම් පළමුවැනි මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් ශූරතාවට සටන් කළහ.

තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා නිදහස් කුසලානයට අමතරව කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ප්‍රථම ස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් 1500 ක් ද, දෙවැනි ස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් 1000 ක් ද තෙවැනි ස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් 500 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණි.

 

Comments