
එම පුවත දැනුණේ හදවතටය. යළි දෑස් පිස දමා බැලිමි. මා ඉදිරිපිට සිටින්නේ දිනමිණේ බුද්ධිකා ඉඹුලානය.
“සුනිල් දයා අල්විස් සමුඅරන්. “ බුද්ධිකා ඉඹුලාන හඬ ප්‍රාණවත් කළාය. එය මවෙත පුදුම සහගත පුවතක් නොවීය. මන්ද බොහෝ කලක් ඔහු රෝගාතුරව සිටි බැවිනි. එහෙත් සියල්ල අසා සිටියේ දුක්බර හදවතිනි. ඒ පෙබරවාරි 14 වැනිදාය.
සුනිල් දයා අල්විස් හමුවීමට මා අවසන් වරට ඔහුගේ නිවසට ගියේ ඉකුත් ජනවාරි මස සතියේ අවසන් දිනකය. ඒ ඔහුගේ මාලඹේ නිවසටය.
එම ගමනට ඩේලි මිරර් පුවත්පතේ කුරුළු කාරියකරවන සහ තිලක් සේනානායක ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. සුනිල්ගේ දියණිය සචිනි සල්ගාදු ඇතුළු පවුලේ පිරිස අප පිළිගත්තේ ළෙන්ගතුවය.
ගමනේ නිමිත්ත වූයේ සුනිල් පිළිබඳ විනාඩි 2ක පමණ රූපවාහිනී පටිගත කිරීමක්ය. ඒ ලංකා පත්‍ර කලා සංගමයේ 67 වන මහා සභා රැස්වීම පෙබරවාරි 8 වැනිදා පදනම් ආයතනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
එහිදී විශිෂ්ටතම මාධ්‍යවේදීන් වශයෙන් සිට දැන් සැඳෑසමය ගත කරන මාධ්‍යවේදීන් 5 දෙනකුට උපහාර පිදීම පැවැත්වෙන බැවිනි. සරත් කුරේ, සුනිල් දයා අල්විස්, ආතර් යූ. අමරසේන, චන්ද්‍රිකා විජේකෝන් හා ඒ. සී. ද සිල්වා යන පස්දෙනා එයට තෝරාගෙන තිබිණි.
උත්සවය පෙබරවාරි 8 පස්වරුවේදී පදනම් ආයතනයේ පැවතියේ සම්භාවනීය සියගණනක් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනි. ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම එහි ප්‍රධාන අරාධිතයා විය.
තෙදිනකට පමණ පෙර සුනිල් දයා රෝගාතුරව රෝහල්ගත වූ බැවින් උත්සවයට සහභාගිවීමට ඔහුට නොහැකි විය. ඔහු වෙනුවෙන් පැමිණි දියණිය සචිනි ජනමාධ්‍ය ඇමතිවරයාගේ සුරතින් සම්මානය ලබා ගත්තාය. සුනිල්ගේ අභාවය පිළිබඳ අපට අසන්නට ලැබුණේ ඉන් දින හයකට පසුවය.
ඔහුගේ පවුලේ සහ ඥාතීන් සියලුදෙනා සමඟ අප පමණක් නොව මාධ්‍යවේදීන් සමඟ බොහෝදෙනා ද ශෝක වූවාට සැක නැත. සෑම පුවත්පතකම ලිපි ද පළවිණි. ඔහු කළ සුබසාධන වැඩ ගැන ද බොහෝදෙනා මෙනෙහි කර තිබිණි. සුනිල්ගේ මැද නම දයා ය. එම නාමයේ තේරුම දයාව සහ කරුණාවය. එබැවින් එය ඔහුටම ගැළපීමකි.
සුනිල් දයා අල්විස් මා හඳුනාගත්තේ 1985 මාර්තු මසදීය. ඒ වන විට ඔහුගේ වයස 43 කි. මාගේ වයස ඉන් අඩකි. ජීවිතය ඇරඹෙන්නේ 40 දී බවට ප්‍රකට කියමනක් ඇත. සුනිල්ගේ ද ජීවිතය පෙරළියකට යොමු වූයේ සෞඛ්‍ය ඇමතිගේ ප්‍රවෘත්ති නිලධාරියා වීමෙන් අනතුරුවය.
වසර 1984 දී දිවයින පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සේවයට එක්වූ මවෙත දිවයින ප්‍රවෘත්ති කර්තෘ උපාලි තෙන්නකෝන් විසින් පවරා තිබූ වගකීම් වූයේ කම්කරු, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයන්හි ප්‍රවෘත්ති පිළිබඳ වගකීම් දැරීමය. එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූයේ වෛද්‍ය රංජිත් අතපත්තුය. ඔහුගේ ප්‍රවෘත්ති නිලධාරියා වූයේ නිමල් කරුණාතිලකය. ඉන්පසු 1985 දී ඔහුගේ ඉවත්වීමෙන් සෞඛ්‍ය ඇමතිගේ ප්‍රවෘත්ති නිලධාරියා බවට පත්වූයේ සුනිල්ය. සෞඛ්‍ය ඇමති වෛද්‍ය අතපත්තු මහත්මා දේශපාලනඥයෙක් බව කටපුරා කිව හැකිය. සුනිල් දයා ද ඉකුත් දශක තුන තුළ මා සමීපව ඇසුරු කළේය. ඔහු මිනිසත් බවින් හෙබි සොඳුරු මිනිසෙකි. මාධ්‍යවේදියෙකි.
එකල, එනම් 80 දශකයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ආවරණය කළ අය මට අද මෙන් මතකය. ඒ දිනමිණේ සඳුන් ජයසේකර ද, දවසේ ගුණපාල රණසිංහ ද, ගුවන් විදුලියේ අජිත් ජයසිංහ ද, වීරකේශ්වරී පුවත්පතේ නඩරාජා පිල්ලේ ද, දිවයිනේ මා ද ඉන් කිහිප දෙනෙකි. නවීන තාක්ෂණය නොතිබුණු එකල මාධ්‍යවේදින්ට ද කාර්යාල මඟින් පහසුකම් නොතිබූ යුගයක සුනිල් අප සියලු දෙනා දැලේ දාගත්තේ දැඩි මිතුදමකිනි. මිනිස්කමිනි. එකල ඇමතිලාට අද මෙන් මාධ්‍ය ලේකම්ලා නොවීය. එමෙන්ම ඔවුනට වෙන්වූ නිල රථ ද කාර්ය මණ්ඩල ද නොවීය. ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන් සුනිල් මේ දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යයට හැකි ශක්ති ප්‍රමාණයෙන් මුහුණ දුන්නේය.
සෞඛ්‍ය ඇමතිගේ ප්‍රවෘත්ති නිලධාරියා වූ සුනිල් සමඟ ඉහත කී මාධ්‍ය නඩයට එක්ව මා ද සෞඛ්‍ය ඇමතිවරයා සමඟින් වසර ගණනාවක් රට පුරා දින ගණන් මාධ්‍ය ආවරණය කළේය. සෞඛ්‍ය ඇමති වෛද්‍ය අතපත්තුගේ නිවස පිහිටි හම්බන්තොට බෙලිඅත්ත ආසනයට අයත් නාකුළුගමුවේ ගිය වාර ගණන දුසිම් දෙක තුනකි.
යනඑන අතරමඟ තංගල්ලේ කාල්ටන් නිවසට ගොස් නීතිඥ මහින්ද රාජපක්ෂයන් සහ මුල්කිරිගල වීරකැටියේ මැදමුලනට ගොස් චමල් රාජපක්ෂයන් ද හමුවූ වාර ගණන බොහෝය. තමා වැඩ කළේ එජාප ඇමතිවරයෙක් යටතේ වුවද සුනිල්ට මිනිසුන් ඇසුරු කිරීමට දේශපාලන භේදයක් නොවීය.
සුනිල් දයා අල්විස් මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ලංකාදීප පුවත්පතින් 1972 දීය. ලංකාදීප පුවත්පත 80 දශකයේ මුල් භාගයේ වැසී යාමත් සමඟම සුනිල් සෞඛ්‍ය ඇමතිගේ ප්‍රවෘත්ති නිලධාරි තනතුරට පත්විය. පසුව 1995 මැයි 16 වැනිදා ලේක්හවුස්හි සිළුමිණ පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ වශයෙන් සේවයට එක්විය. වසර 2001 දී විශ්‍රාම ගනු ලැබුවද ලේක්හවුසියේම ඉල්ලීම පරිදි කොන්ත්‍රාත් පදනම මත වසර 15ක් සේවය කළේය. ලේක්හවුසියෙන් ඔහුගේ සේවය අවසන් වූයේ 2016 දීය.
වසර 1946 මැයි 30 උපන් සුනිල් දයා අල්විස්ගේ බිරිය කමනි ය. ඇය ද මගේ මිතුරියකි. ජනතා පුවත්පතින් 1990 දී ලේක්හවුසියට එක්වූ කමනි ද 2019 ඔක්තෝබර් 20 වැනිදා ලේක්හවුසිෙයනේ පමණක් නොව ජීවිතයෙන් ද සමුගත්තාය.
මිය යන විට සුනිල් දයා අල්විස් දෙදරු පියෙකි. දියණිය සුචිනි ය. ඇය අධ්‍යාපනය ලැබුවේ මෙතෝදිස්ත විදුහලෙනි. සුචිනි කලක් ගුරුවරියකි. පුතු රවිඳු ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ නාලන්දාවේය. රවිඳු පෞද්ගලික ආයතනයක විධායක පරිපාලන නිලධාරියෙකි. හැත්තෑහය හැවිරිදි වියේ සුනිල් සමුගන්නා විට මුනුපුරු මිනිබිරියන් දෙදෙනෙකි. ඔවුහු මතික සල්ගාදු සහ සෙනුකි අල්විස්ය. සුනිල්ගේ මස්සිනා වූයේ ප්‍රවීණ මාධ්‍යවේදි ධර්මසිරි ගමගේය. සුනිල්ට සහෝදරියන් සහ සහෝදරයන් තිදෙනෙකි.
මෙහිදී සෞඛ්‍ය ඇමති සමඟ ඔහුගේ ප්‍රවෘත්ති නිලධාරි සුනිල් හා අප ගිය මාධ්‍ය ආවරණයන් කිහිපයක් ද මට මෙහිදී ආවර්ජනය වෙයි. ඉන් එකක් වූයේ 1985 ජුනි 27 වැනිදා මුල්ලේරියාව කාන්තා මානසික රෝහලේ රෝගීන්ට අන්ත අසරණ ලෙස සැලකීම පිළිබඳව දිවයිනේ පළවූ ලිපියක් එයට පාදක විය. එය සොයා බැලීමට යන ලෙසට සෞඛ්‍ය ඇමතිවරයාට සුනිල් යෝජනා කළේය.
එවකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෝ ප්‍රනාන්දු සමඟ අප ද එයට එක්වූයෙමු. එවකට සෞඛ්‍ය ලේකම් වූයේ වෛද්‍ය මාලිංග ප්‍රනාන්දුය.
එහිදී තමා කවරෙක්දැයි මානසික රෝගීහු ඇමතිවරයාගෙන් විමසූහ. තමා සෞඛ්‍ය ඇමතිවරයා බව වෛද්‍ය රංජිත් අතපත්තු ඔවුනට පිළිතුරු දුන්නේය. රෝගීන් පිරිසක් කියා සිටියේ තමන් ද රෝහලට එන විට එසේ යැයි සිතුව ද දැන් එසේ නොසිතන බවය. ඇමතිවරයාට ද ටික කලක් ගිය විට එසේ සිතීමට සිදුවන බව රෝගීන් පෙන්වා දුන්හ. අපි කොක් හඬලා සිනාසුනෙමු.
දිවයිනේ ඡායාරූප ශිල්පී සරණපාල පමුණුව එම දසුන් කැමරාවට හසුකර ගත්තේය. “ඒකනම් මරු කතාව“ යැයි සුනිල් අපට කීවේය. දිවයින ප්‍රධාන උප කර්තෘ මෙරිල් පෙරේරා එය පසුදා පුවත්පතේ පළමු පිටුවේම කොටුවක් ලෙස පළ කළේය.
සෞඛ්‍ය ඇමතිවරයා පසුදින දුරකථනයෙන් මා වෙත කථාකර එයට උරණ වූවා නොව තම සතුට ප්‍රකාශ කළේය.
තවත් වරෙක අනුරාධපුර රජරට ප්‍රදේශයේ අභිරහස් මාරක රෝගයක් පැතිර ගියේය. එය කලාවැව පසුකර ගල්නෑව නොච්චියාගම සහ කැකිරාවට ද පැතිර යමින් පැවතිණි. ඒ 1986 දෙසැම්බර් මසය. එම වයිරසය ශ්‍රී ලාංකිකයින්ට වැලඳුණු ප්‍රථම අවස්ථාව බවද වෛද්‍ය විශේෂඥයෝ පැවසූහ.
ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමති අතපත්තු එහි දෙදිනක සංචාරයක නිරත විය. සුනිල් දයා අල්විස් සමඟ අපගේ මාධ්‍ය නඩය වන දිවයින, දිනමිණ, දවස, ගුවන් විදුලිය, වීරකේශරී, ඩේලි නිවුස් යන පුවත්පත්වල අය ද එයට එක්වූහ. ඇමතිවරයා අනුරාධපුර රෝහලට ද ගියේය.
අනුරාධපුර රෝහලේ එවකට යුද්ධයෙන් තුවාල ලැබූ සොල්දාදුවන් විශාල පිරිසක් ද නේවාසිකව ප්‍රතිකාර ගත්හ. හරියටම සවස දෙකයි කාලට හෙලිකොප්ටරයක් රෝහල් තණ බිම මත නැවතිණි. ඇමතිවරයා පිළිගැනීමට තණපිටිය පුරා රටාවකට සකස් කර තිබූ ආසන අවුල්විය. ආසනවල ඇඳිමත තිබූ රෙදි සුළඟේ පා විය.
ඇමතිවරයා පිළිගැනීමට පැමිණි සෞබ්‍ය සේවක අති බහුතරය තුවාල වූ සොල්දාදුවන් වාට්ටුවලට ඇතුළු කිරීමට සහාය වූයේ නැත.
කෙලින් රැඳී සිටීමට නොහැකි වූ සොල්දාදුවෝ තිදෙනෙක් ම බිම ඇද වැටුණෝය. වේදනාවෙන් කෑමොර ගසන හඬ දසත පැතිරිණි. මම මෙය දිවයිනේ ඉරිදා සංග්‍රහයේ එක් සත්‍ය කතාවකට ලියා එහි සංස්කාරක දයාසේන ගුණසිංහට බාර දුනිමි. එය 1986 දෙසැම්බර් 15 වැනිදා පළවිය. හෙඩිම වූයේ “රජරට සෙල් පිළිම ඉකි බිඳුණු ඇසුණේද?“ යන්නය. දෙදිනකට පසු සෞඛ්‍ය ඇමතිවරයාට මා හමුවන්නට අවශ්‍යව ඇතැයි සුනිල් දැනුම් දුන්නේය. ඒ කොළඹ 07 ඔහුගේ නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකටය. විදේශ රටකින් සෞඛ්‍ය ඇමතිවරයාට ලැබුණු තිළිණයක් ද මවෙත පිරිනැමිණි.
මේ සියල්ලට මැදිහත්ව කටයුතු කළේ සුනිල් දයා අල්විස්ය.
අපෙන් සමුගත් සුනිල් දයා අල්විස් ගැන මා මෙන්ම බොහෝ මාධ්‍යවේදීන්ට ඇත්තේ ද මිහිරි මතකයන්ය. සුනිල් සිත්ගත් ප්‍රමුඛතම ගීත රචකයා වූයේ බණ්ඩාර කේ. විජේතුංගය. දුරබැහැර යන විට සඳ මෝදුවන විට සින්දු කීමට ද ඔහු එකල රුසියෙකි.
අනූව දශකයෙන් පසු බොහෝ වාර ගණනාවක් ඔහු හමු වුවද සුන්දර රැයක ආශ්වාදය ඔහු සමඟ විඳ ගැනීමට මට නොහැකි විය. එහෙත් ඔහු මිය යාමට දින අටකට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් 5 දෙනකු අතරට ඔහුට සම්මානයෙන් ගරු බුහුමන් දැක්වීමට මා නියමුවකු වන පත්‍ර කලා සංගමයට හැකිවීම ගැන මට ඇත්තේ බලවත් සතුටකි.
සුනිල් දයා අල්විස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවූයේ පෙබරවාරි 14 වැනිදා පස්වරුවේය. ඒ කොළොන්නාව පොදු සුසාන භූමියේදීය. මිනිසුන් තුළ මිනිසත් බව තිබෙන තුරා සුනිල් දයා අල්විස්ගේ ගුණ සුවඳ වහනය වනු ඇතැයි මට සිතේ.