
අද තොරතුරු තාක්ෂණය මඟින් ‘ගූගල් - යාහූ‘ වැනි තොරතුරු අලෙවි කරන මහා පරිමාණ සමාගම් තම කටයුතු ආරම්භ කළේ මීට දශක 2 - 3 කට පෙරය. නමුත් ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන තොරතුරු අලෙවි කිරීමේ කර්මාන්තය මෙරට ආරම්භ කර ඇත්තේ මීට වසර 110 කට පමණ පෙර ය.
‘පත්තර මහ ගෙදර‘ යන උත්තරීතර නාමය අප වසර ගණනාවක් සේවය කරන ලේක්හවුස් ආයතනයට ලබාදෙමින් එතුමා අපට ආවේණික වූ පුවත්පත් කර්මාන්තයක් අපට ලබාදී මෙරට ජනතාව තුළ නිදහස පිළිබඳ ප්‍රබෝධයක් ඇති කිරීමට ගත් පියවර සදානුස්මරණය වේ.
මෙරට නිදහස් සටනට උරදීමට මෙරට දේශමාමක පුවත්පත් බිහිකර චින්තන විප්ලවයක් ඇති කළ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ සුවිශේෂී ජීවිත අපදානය පාසල් දරුවන් සඳහා පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බව කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පවසති.
“ඩී.ආර්. විජයවර්ධන පවුල නිතරම පන්සල්වලට උදවු කළා. කුඩා කල සිට ආගමික පසුබිමක් ඇතිව හැදුණු වැඩුණු ඩී.ආර්. විජයවර්ධනයන් ජාතික හැඟීමෙන් ද පෝෂණය වුණා. පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ නීතිඥ විභාගය සඳහා විදේශගත වුණා. එහිදී නිදහස් දේශපාලන මතධාරියකු වන ඉන්දීය ජාතික ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ මුණ ගැසීමෙන් විජයවර්ධනයන්ගේ දේශපාලන හැඟීම් උද්දීපනය වුණා. එසේම නීතිඥ එෆ්. එච්. එම්. කෝබට්ගේ ඇසුරෙන් ජාතිමාමක හැඟීම් ටිකෙන් ටික පෝෂණය වුණා.
1912 වර්ෂයේ දී ලංකාවට පැමිණි ඩී.ආර්. විජයවර්ධනයන් නීතිඥ වෘත්තියෙහි යෙදෙන්නට හෝ තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහභාගි වන්නට හෝ කැමැත්තක් දැක්වූයේ නැහැ.
මේ අනුව එතුමාට මුදල් හම්බු කරලා ධනපතියෙක් වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එතුමා කල්පනා කළේ රටට නිදහස ලබාගැනීමට එතුමාගෙන් වියයුතු කාර්යය පිළිබඳයි.
රටේ උගත් ජනතාවගේ මහජන මතය ගොඩනැංවීමට පුවත්පත්වලට විශේෂ හැකියාවක් ඇතැයි යනුවෙන් එදා එංගලන්තයේදී නීතිඥ එෆ්.එච්.එම්. කෝබට් ඉදිරිපත් කළ අදහස් තරුණ විජයවර්ධනයන් සිත තුළ කා වැදී තිබුණු නිසාත්, ශ්‍රී ජවහල් ලාල් නේරුතුමා තම අදහස් ජනතාව අතර ගෙන යෑමට ‘අලහබාද් නිවුස්‘ පුවත්පත් භාවිත කරන නිසාත් ඩී.ආර්. ගේ සිත එකල යොමු වුණේ නිදහස් සටනට නව ජීවයක් දීමට අපේ රටේ ස්වදේශීය පුවත්පත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සුදුසු බවයි.
එතුමා එතෙරදී ලබපු දැනුම, අවබෝධය තම රට වෙනුවෙන් ලබාදී රටට නිදහස ලබා ගැනීමට උදවු කිරීම තම යුතුකමක් ලෙස එතුමා සලකා ඇති බව අපට එතුමාගේ චරිතය දිහා බලන විට පෙනෙනවා.
ඒ අනුව මෙරට ජනතාවට නිදහසේ ඇති අවශ්‍යතාව අවබෝධ කර දීම පිණිස ලොකු මාවතක් ලෙස එතුමා තෝරා ගත්තේ පත්තර කලාවයි. රටේ සිටින වැදගත්, බුද්ධිමත්, උගත් ජනතාවත් ජාති හිතෛෂී ජනතාවත් ඒකරාශී කරගැනීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය බව එතුමාට හැඟී ගියා.
එවැන්නක් මඟින් නිදහස් සටන බොහොම වේගවත් කර ගන්න පුළුවන් යන හැඟීම එතුමාට තිබී තිබෙනවා.
ඒ වගේම බටහිර ජාතීන්ගේ බලපෑමෙන් විනාශ වී යන අපේ සංස්කෘතික වැදගත්කම්, අපේ සාරධර්ම, අපේ සාම්ප්‍රදායයන්, අපේ ආගම දහමේ චාරිත්‍ර වාරිත්‍රයන් අපේ භාෂාවේ සාහිත්‍යයේ වැදගත්කම් නැවත මේ සමාජය තුළ ස්ථාපනය කිරීමට ජනතාව තුළ යළි ඒ පිළිබඳ අවබෝධයක් පෙලඹවීමක් කිරීමට තියෙන සුදුසුම මාර්ගය මේ පුවත්පත් ඇරඹීම බව එතුමා කල්පනා කළා. මේ අනුව තමා ලේක්හවුස් ආයතනය පත්තර මහගෙදර ලෙස ආරම්භ කළේ.
එමඟින් දිනමිණ, සිළුමිණ සිංහල පුවත්පත් සමඟ අපේ රටට ම ආවේණික ලෙස ඉංග්‍රීසි දෙමළ පත්තර ආරම්භ කිරීමෙනුත් මුළුමහත් ජනතාවම ලාංකේයන් හැටියට දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් එතුමා ආරම්භ කළා.
නිදහස් සටනේ යෙදුණු අනෙක් ජන නායකයන්ටත් වඩා විශාල කර්තව්‍යයක් එතුමා මේ පත්තර ආරම්භ කිරීම මඟින් නිදහස ලබා ගැනීම වෙනුවෙන් ඉටු කර තිබෙනවා.
ජාති - ආගම් බේදයක් නැතිව, සිංහල ජන නායකයන් සමඟ එක්ව පොන්නම්බලම් අරුණාචලම් වැනි දෙමළ නායකයන් මෙන් ම සිද්ධි ලෙබ්බේ වැනි මුස්ලිම් නායකයන් මේ නිදහස් සටනට එක මිටකට ගන්නට මේ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් හා ඒ ඉන් ඇති කළ ජන මතය ඉවහල් වුණා.
ඒ අනුව එතුමා මේ පුවත්පත් කලාව යොදාගත්තේ ධනවතෙක් වීමට නොවෙයි. එතුමා එය යොදාගත්තේ සිංහලයෙක් හැටියට බෞද්ධයෙක් හැටියට රටට ආගමට ජාතියට විය යුතු යුතුකම් කොටස ඉටු කිරීමටයි.
මේ අනුව ජාතික නිදහස් සටනේ නායකයෙක් ලෙස, ඩී. ආර්. විජයවර්ධන යුග පුරුෂයාණන් කළ කාර්යභාරය මෙරට කිසි අයෙක් කළේ නැති උතුම් කාර්ය භාරයක් බව අපට කියන්න පුළුවන්.“ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පවසති.
ඒ අනුව තමන් ද නිදහසේ වැදගත්කම ජනගත කිරීමට පුවත්පත භාවිත කළ යුතු ය යන පිළිගැනීම මත එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් පවත්වා ගෙන ගිය, අභාවයට යමින් පැවැති ‘දිනමිණ‘ පුවත්පත 1914 දී මිලදී ගෙන පවරාගනු ලැබුවා. පසුව ‘සිලනීස්‘ පුවත්පත මිල දී ගෙන 1918 ජනවාරි 03 වැනිදා සිට ‘ඩේලි නිවුස්‘ නමින් දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වශයෙන් පළ කරවනු ලැබුවා. පසුව ලේක්හවුස් ආයතනයෙන් පුවත්පත් 30 ක් පමණ පළ කළා.
විදේශිකයන් සතුව තිබූ ‘ඔබ්සවර්‘ 1923 දී මිල දී ගත්තා. තැන් තැන්වල ස්ථානගතව තිබූ තම පුවත්පත් මුද්‍රණාල එක තැනක ස්ථානගත කිරීම හැම අතින්ම පහසුවක් සැලසුණා. විජයවර්ධන මැතිතුමන් බේරේ වැව අසල ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සුවිසල් මැදුරක් ඉදි කළා. තම මෑණියන් ලවා කිරි උතුරවා ලේක්හවුසිය 1926 දී විවෘත කරනු ලැබුයේ ජාතියට මහත් දායාදයක් උරුම කරවමින්.
ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා උගතකු වූ විජයවර්ධනයන් තමන් අධ්‍යාපනය ලද පරිසරය හා සමාන පරිසරයක උසස් අධ්‍යාපනය, විදේශ ගතවීමට නොහැකි ලාංකේය ජනතාවට ද ලබා දිය යුතුය යන හැඟීමෙන් කටයුතු කළා. ඒ අනුව පේරාදෙණියේ සරසවියක් ආරම්භ කළ යුතුය යන මතයේ දැඩිව සිටි කෙනෙකි විජයවර්ධන මහතා. අවසානයේ පේරාදෙණිය සුන්දර පරිසරයක ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමට කටයුතු කළා. එතුමාගේ දායකත්වයට ගරු කිරීමක් වශයෙන් එහි විජයවර්ධන ශාලාව නමින් ශිෂ්‍ය නේවාසිකාගාරයක් ද නම් කළා.
කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය, බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානය ආදී විහාරස්ථානවලට තම දායකත්වය සපයමින් ඒවායේ දියුණුව සඳහා අනුපම සේවයක් ඉටු කළා. 1941 වර්ෂයේ දී වජිරාරාම විහාරස්ථානයට තම ධනය වැය කර පර්චස් 37 ක ඉඩමක් පරිත්‍යාග කර නගරයේ බෞද්ධ කටයුතුවලට පූර්ණ සහාය දැක්වූවා.
ඊට අමතරව ‘බුදුසරණ‘, ‘සිළුමිණ‘ වැනි පුවත්පත් ආරම්භ කරමින් සිංහල සාහිත්‍යය, සංස්කෘතික ක්ෂේත්‍රය, බුදු දහම ප්‍රවර්ධනයට එතුමා මහ මෙහෙවරක් කළා.
රටේ පුවත්පත් කලාවේ මහ ගෙදර ලෙස මෙරට සියලු පුවත්පත් ආයතනවලට සියලු ක්ෂේත්‍රවලට අදාළව පරමාදර්ශය ලබා දුන්නේ එතුමා ආරම්භ කළ ලේක්හවුස් ආයතනයයි. එනිසාම තමා එයට එදත් අදත් පත්තර මහ ගෙදර නාමය ලැබුණේ. ඒ සමඟම අපේ රටේ ප්‍රථම වාණිජ පුවත්පත් කර්මාන්තය ඇති වූයේ ලේක්හවුසියෙන්.
ඒ අනුව ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මෙරට ජාතික නිදහස ලබා ගැනීමට අපේ පුවත්පත් කලාව ආරම්භකයා මෙන් ම ජාතිය, ආගම සුරැකීමට මිල කළ නොහැකි සේවයක් ඉටු කළ ජාතිහිතෛෂී දේශහිතෛෂී දේශමාමකයකු ලෙස අපට හඳුන්වා දිය හැකියි. මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමිපාණෝ පවසති.
ඩී.ආර්. විජයවර්ධන සූරීන් පිළිබඳ කරුණු දක්වන කැලණි විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසන්නේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කිසි දිෙනක පුවත්පත් කලාවේ කල්ලිවාදය ඇති නොකර බුද්ධිවාදය ඇති කළ රට දැය සමය සුරැකි යුග පුරුෂයෙක් බවයි.
එතුමා අප රටට මුලින් ම දිනපතා සිංහල පුවත්පතක් සතිපතා සිංහල පුවත්පතක් ආරම්භ කළා. ඒ සිංහල සතිපතා පුවත්පත ‘සිළුමිණයි‘.එය සත දහයේ විශ්වවිද්‍යාලයයි. එයින් සියලු විෂයයන් ගැන දැනුමක් ලබා දුන්නා. ඊට අමතරව බුදුසරණ, මිහිර වැනි පුවත්පත්වල මෙරට බෞද්ධ ජනතාවට ළමා පරපුරට ඉමහත් සෙතක් ලැබුණා.
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පිළිබඳ ඉගෙන ගන්නා අයට මම කියන්නේ මෙරට පුවත්පත් කලාවේ ප්‍රවීණයන් වන මාර්ටින් වික්‍රමසිංහ ඩී.සී. විජයවර්ධන, පියසේන නිශ්ශංක, බී.ඒ. සිරිවර්ධන යන අය ලියූ ලිපි කියවන ලෙසයි. ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ ලියූ ‘උපන්දා සිට‘,ඩී. ඩී. විජයවර්ධන ලියූ ‘බෝමැඩ විප්ලවය‘ කියවිය යුතුයි.
මෙරට වාණිජ පුවත්පත් කලාව නැත්නම් තොරතුරු විකිණීමේ කර්මාන්තය මෙරට ප්‍රථම වරට මහා පරිමාණ ලෙස ආරම්භ කළේ එතුමායි. මෙරට ජනසන්නිවේදන උපාධි නොතිබුණු යුගයක පළපුරුද්දෙන් දක්ෂතාවෙන් පුවත්පත් කලාවට යොමු වුණු පිරිසගේ සහාය ලබාගෙන ඩී. ආර්. විජයවර්ධනයන් ලේක්හවුස් ආයතනය ආරම්භ කර සිංහල, ෙදමළ, ඉංග්‍රීසි දිනපතා සතිපතා පුවත්පත් මුද්‍රණය කිරීම සිදු කළා. ඒවා සෑම දිෙනක ම පෙරවරුවේ ම නිෙවසට ම ලබාදීමට ද විධිමත් වෙළෙඳ ප්‍රවාහන ක්‍රමයක් මෙරට ප්‍රථමවරට ඇති කළේ ද ඩී.ආර්. විජයවර්ධන යැයි සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පවසයි.
1934 වර්ෂයේ රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවට පැමිණි මොහොතේ අදාළ වැඩසටහන් සියල්ල සම්පාදනය කර ඇත්තේ ද ඩී. ආර්. විජයවර්ධනයි. උදය ශංකර් නාට්‍ය කණ්ඩායම කොළඹදී නාට්‍ය රඟ දැක්වීමත් එතුමා සංවිධානය කර ඇත. මේ සංචාරයේදී තාගෝර්තුමා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට මුල් ගල් තැබීම සිදුකර ඇත.
මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට මූලික පියවර දමා ඇත්තේ ද ඩී.ආර්. විජයවර්ධනයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවා එහි භික්ෂු නේවාසිකාගාරයක් තම වියදමින් පිහිටුවා ඊට අදාළ පහසුකම් ලබාදීමට කටයුතු කිරීම මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ සදානුස්මරණය සිදුවීමක් බවත් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර පෙන්වා දෙයි.
ඩී.ආර්. විජයවර්ධන සූරීන් පිළිබඳ කරුණු දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයන් පවසන්නේ එතුමා මෙරට සාහිත්‍යය හා සිංහල භාෂාව මෙන් ම පුවත්පත් කලාව ඉහළම තලයකට දියුණු කිරීමට අපරිමිත මෙහෙයක් කළ ජාතික ආගමික සංහිදියාව ඇති කළ සුවිශේෂී පුද්ගලයෙක් බවයි.
“එතුමා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි ලබාගෙන මෙරටට පැමිණුනා. ඔහු හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා තිබුණත් මෙරටට පැමිණි වහාම කළේ සිංහල පුවත්පත් ආරම්භ කිරීමයි. ඒ අනුව මුලින් ම ‘දිනමිණ‘ සිංහල පුවත්පත් ආරම්භ කළා. පසුව ඉංග්‍රීසි දෙමළ පුවත්පත් ද ආරම්භ කිරීමට අමතක කළේ නැහැ.
මම මුලින්ම සිංහල පුවත්පතේ කමලා ළමා සමාජයට ලිව්වා. ඉන්පස්සේ මම ආනන්දයේ දී සංස්කරණය කළ වෙසක් කලාපයේ කතුවැකිය සිළුමිණේ පළ කර තිබුණා. ඒක මට ලොකු සතුටක් වුණා. විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් සිසු පරපුරේ ආකර්ෂණය ලේක්හවුස් පුවත්පත්වලට ලබා ගන්නටත් එකල විවිධ කටයුතු සිදු කළා. ඒ අනුව ලේක්හවුස් පුවත්පත් මඟින් මෙරට සිසු පරපුරේ භාෂා ඥානය හා සාහිත්‍යය ප්‍රබෝධය වැඩි දියුණු කිරීමට අවස්ථාවක් ලැබුණා.“
“විශේෂයෙන් මෙකල ඉතා සාරගර්භ බෞද්ධ ලිපි පළවූ දිනමිණ වෙසක් කලාපය මා දැනටත් දිගටම එකතු කරගෙන තිබෙනවා. එමෙන් ම එකල ලේක්හවුසියෙන් පළ කළ බුදුසරණ, මිහිර, නවයුගය වැනි පුවත්පත්වල වටිනා විෂයානුකූල කරුණු ඇති ලිපි පළවුණා. ඒවා මෙරට අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ටත් මහත් ප්‍රයෝජනයක් වූ බව අපට මතකයි.
විශේෂයෙන් නවයුගය පුවත්පතේ මා වසර ගණනාවක් සිංහල ජනවහර ලිපි මාලාව පළ කළා. එය පසුව ග්‍රන්ථයක් බවට පත් කිරීමට ද අපට අවස්ථාව ලැබුණා. ලේක්හවුස් ආයතනයේ පොත් ප්‍රකාශන අංශයෙන් විවිධ වටිනා පොත් රැසක් පළ කළා. ඒ අතර මා විසින් ලියන ලද ‘සිංහල හෝඩි පොත‘ ට ද අවස්ථාවක් ලැබුණා. ලේක්හවුස් ආයතනයේ කළමනාකාරීත්වය නිසාම එසේ පළ කළ පොත්වලට විශාල අලෙවියක් ද ලබා ගන්නට හැකිවුණා. ඊට අමතරව සිංහල භාෂා නීති රීති පිළිබඳව ද ලේක්හවුස් පුවත්පත්වල විවිධ වාද විවාද සිදුවුණා.
මේ සියලු කටයුතුවලින් මෙරට සියලු පුද්ගලයන්ගේ භාෂා ඥානය හා දැනුම වැඩිදියුණු කර ගැනීමට ලේක්හවුස් පුවත්පත් මඟින් හැකි වූ බව මහාචාර්ය ජේ. බී. දිසානායකයන් පවසයි.
ලාංකිකයා යන සංකල්පය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට මෙන් ම බහුවාර්ගික, බහුජාතික, බහුආගමික සියලු අදහස් ජාතික මට්ටමින් එකම වේදිකාවකට ගෙන ඒමට ඩී.ආර්. විජයවර්ධනයන් ආරම්භ කළ ලේක්හවුස් ආයතනයේ පුවත්පත් මඟින් මෙරට ප්‍රථමවරට හැකි වූ බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහයන් පවසයි.
“යටත් විජිත සමයේදී මෙරට පුවත්පත් කර්මාන්තයට මූලික පදනම වැටුණා. 1802 රජයේ ගැසට් පත්‍රය පටන් අරන් විදේශ රටවල්වල ආධිපත්‍යය යටතේ ඒ අයගේ ඕනෑකම්වලට අනුව තමයි 1800 - 1900 වකවානුවේදී අපේ සඟරා ද පුවත්පත් මුද්‍රණය වුණේ.
ඩී.ආර්. විජයවර්ධන මහතා ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ වැදගත් වන්නේ එතුමා මෙරට ලාංකිකයා කියන සංකල්පය අනුව පුවත්පත් පළ කිරීමට ගත් උත්සාහය නිසයි. මුලින් ම ඔහු සිලනිස් පුවත්පත මිලදී අරන් ඩේලි නිවුස් බවට පත් කරනවා. පසුව දිනමිණ, සිළුමිණ පමණක් නොව සන්ඩේ ඔබ්සවර්, තිනකරන් හා වාරමංජරී යන බහු භාෂාමය පුවත්පත් ඔහු පටන් ගන්නවා.
ඒ සමඟම ඔහු සංවිධානාත්මක ලෙස 1926 දී ලේක්හවුස් මන්දිරය පිහිටුවා එය ලාංකේය මුද්‍රිත මාධ්‍යයේ සංකේතයක් බවට පත් කළා. ඒ අනුව ලේක්හවුස් ආයතනය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්නාමය බවට පත් වුණා.
ලේක්හවුස් ආයතනය මඟින් මෙතෙක් කල් එතෙර ආධිපත්‍යය මත තිබූ වාර්තාකරණය කර්තෘත්වය, දේශීය සම්පත් දේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කරගෙන අපේ අනන්‍යතාවක් ඇතිව කරගෙන යාමට එතුමා කටයුතු කළා.
ඒ අනුව ලේක්හවුස් පුවත්පත් දේශීය අනන්‍යතාවට හැඩ ගැසුණු අතර මූලික අවධානය යොමු කළේ ජාතික නිදහස පිළිබඳවයි. මෙහිදී ඩී. ආර්. විජයවර්ධනයන් කටයුතු කළේ බහුවාර්ගික, බහුආගමික, බහුජාතික, සාම්ප්‍රදායන් වලට ගරු කරමින්. එනිසාම ඔහු අන්තර්වාර්ගික බහු භාෂාමය පුවත්පත් ලේක්හවුස් ආයතනයෙන් ප්‍රථමවරට එක ම තැනකින් ප්‍රකාශයට පත් කරනවා. මේ අනුව මෙරට බහුවාර්ගික අන්තර් සංස්කෘතික මාධ්‍ය කරණයට මූලික පදනම සකස් කළේ එතුමායි.
මෙහිදී එතුමා ලේක්හවුස් ආයතනයෙන් පුවත්පත් ජාලයක් මුද්‍රණය කළා. ඒ මඟින් රටේ සියලු දෙනා “ලාංකිකයන්“ කියන මතවාදය හා මානසිකත්වය අපේ ජනතාව තුළ සමාජගත කිරීමට සුවිශාල කාර්ය භාරයක් ඉටු කළා. ඒක මෙරට දේශපාලන විඥානයක් ඇති කිරීමට හා අධිරාජ්‍ය විරෝධී මතයක් රට තුළ ඇති කර රටට නිදහස ලබාගැනීමට මූලික ලෙස බලපෑවා. 1948 දී ජාතික නිදහස ලබාගැනීමට අවශ්‍ය කරන දෘෂ්ටිවාදී හා මතවාදාත්මක පදනම ජනතාව තුළ නිර්මාණය කිරීමටත් ලේක්හවුස් පුවත්පත් ඉවහල් වුණා. එතුමා ආරම්භ කළ ඒ පුවත්පත් නිසා මෙරට දේශපාලන ක්ෂේත්‍රය ද මාධ්‍යයට විවෘත වුණා.
එදා ඩී.ආර්. විජයවර්ධන ආරම්භ කළ ඒ බහුවාර්ගික බහුආගමික බහුජාතික මාධ්‍ය ප්‍රවණතාව අදත් අපේ ජනමාධ්‍ය තුළ ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක්. මේ අනුව එතුමා මෙරට සියලු ජනතා කණ්ඩායම්වල අදහස් එකම වේදිකාවක් මඟින් හෙළි කිරීමට තම පුවත්පත් ඔස්සේ ගත් උත්සාහය සැමදා අප අගය කළයුතු යැයි ආචාර්ය ටියුඩර් වීරසිංහයන් අවධාරණය කරයි.