මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් මටත් සොඳුරු ආඥාදායකයෙක් වෙන්න සිදුවුණු අවස්ථා තිබුණා | සිළුමිණ

මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් මටත් සොඳුරු ආඥාදායකයෙක් වෙන්න සිදුවුණු අවස්ථා තිබුණා

 

‘භූමිය ජයගත් මිනිසුන් බොහෝවිට බිහිවන්නේ දකුණෙන් හෝ උතුරෙන් යන්න ප්‍රකට පිළිගැන්මකි. එම අදහස අප සමාජය තුළ සංස්කෘතික ආකල්පයක් තරමට මුල් බැසගෙන පවතින්නකි. එහෙත් පෙර කී පළාත් තුළ නූපන් මිනිසුන් ද ඉඳහිට හෝ ලෝකය දිග්විජය කර තිබේ. ඔහු උපන්නේ ද සබරගමු පළාතේ බලංගොඩ ප්‍රදේශයේ ය. දකුණෙන් හෝ උතුරෙන් නොපැමිණ ලෝකයක් ජයගත් මිනිසුන් අතරට ඔහු ද නිතැතින් ඇතුළත් කිරීමට පිළිවන. වර්තමානයේ සිය ජීවිතයේ විශ්‍රාමික වියට එළැඹී සිටින හේ නමින් සුදම් එස්. පහළගමයි. හිටපු ගුවන්විදුලි සන්නිවේදකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, ගුරුවරයෙක්, නිර්මාණශිල්පියෙක්, මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් ආදී අනේක විධ භූමිකා රාශියක් නියෝජනය කළ තැනැත්තෙක් වන ඔහු සමඟ මෙවර ක්‍රීඩා පැවැත්වූ සාකච්ඡාවකි මේ.

 

ඔබ අප පළමුව හඳුනාගත්තේ ශූර සම්බන්ධීකාරකවරයෙක් වශයෙනුයි. විශේෂයෙන්ම ක්‍රීඩා සම්බන්ධීකරණය වෙනුවෙන් ඔබ කටයුතු කළා. කොහොම ද මේ භූමිකාවට ඔබ පිවිසෙන්නේ?

ඇත්තටම එතැන දී මට ඩයන් ගෝමස් කියන නම සිහිපත් කරන්න සිද්ධ වෙනවා. එතුමා නිසා තමයි මම ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරියෙක් බවට පත්වන්නේ. එතැන දී මම නොදන්න ක්ෂේත්‍රයක් තුළ ආධුනිකයෙක් විධිහට ගමන් කරන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙද්දී මම මාධ්‍යවේදියකු හා නිර්මාණශිලිපියකු වශයෙන් රට තුළ යම් කටයුතු සමුදායක නිරතවී සිටි කෙනෙක්. ඒ නිසා ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධීකරණය කියන කාරණය මට ආගන්තුක කාර්යයක් වුණේ නෑ. ඒ ආපු ගමන තමයි ඔබ පෙර කියපු පිළිගැනීම මා වෙත ළඟා කර දුන්නේ.

එතැනදී ඔබ වැඩිපුර සම්බන්ධ වුණේ බොක්සිං ක්‍රීඩාව රට තුළ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල සමඟයි. අපිට වැඩිවශයෙන්ම ඔබේ නම හා කියැවුණේ බොක්සිං ක්‍රීඩාව නේද?

බොක්සිං ක්‍රීඩාව ජනතාව අතරට රැගෙන යන්න මම විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. මට ඒ කරන්න හැකි වුණේ පෙර කී ආකාරයට ඩයන් ගෝමස් මහතා කොන්දේසි විරහිතව මට ඒ වෙනුවෙන් පහසුකම් ලබා දුන් නිසයි. හැබැයි මම බොක්සිං මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් පමණක් නොවෙයි. ක්‍රිකට්, ෆෙන්සින්, මලල ක්‍රීඩා ඇතුළු බොහෝ ක්‍රීඩා ආවරණය කරමින් මාධ්‍ය සමඟ ගනුදෙනු කරන්නට සිදුවුණා. උදාහරණයකට දම-යන්ති දර්ශා වැනි ක්‍රීඩිකාවන්, තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් බහුතරයක් සේවය කළේ එම්.ඒ.එස්. හෝල්ඩින්ග්ස් ආයතනයේ. මේ හැම කෙනෙක් ගැන ම ප්‍රවෘත්ති සම්පාදනය කරන්න මට දායක වෙන්න සිදුවුණා.

මෙතැන දී ඔබට බොක්සිං ආවරණයේ දී හමුවන මාධ්‍ය කණ්ඩායම නොවෙයි සෙසු ක්‍රීඩාවන් ආවරණයේ දී මුණ ගැසෙන්නේ. එතැන තිබුණු විවිධත්වය එක්ක කොහොම ද ඔබ මටසිළුටු විධිහට ගනුදෙනු කළේ?

ඇත්තටම මේ හැම තැනකම තිබුණේ එකම රිද්මයක්. ඒක ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට වෙනස් වුණා තමයි. බොක්සිං ආවරණය කරන ඇතැම් මාධ්‍ය වේදීන්ට වඩා ක්‍රිකට් ආවරණය කරන මාධ්‍ය වේදීන් තරමක් වෙනස්. මම කියන්නේ ඒක පන්ති පරතරයක් කියලා නොවෙයි. නමුත් එතන තිබුණු ක්‍රීඩාවේ රිද්මීය වෙනස් කමක්. සමහර වෙලාවට බොක්සිං ආවරණය කරණ මාධ්‍යවේදීන් ක්‍රිකට් ආවරණය කරන අයට වඩා ආවේගශීලියි. හැබැයි මේ හැමෝම හරිම සුහදශීලියි. ඔවුන් සමඟ ගත කළ ඒ සැඳෑවන් හරිම රසාත්මකයි.

ඔබ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධීකරණයට පිවිසෙන්නට පෙර කලා කටයුතු අරභයා සංවේදී වූ මාධ්‍ය සහෘදයන් හා විවිධ කලාකරුවන් සමඟ ගත කළ පරිචයක් හිමිකර ගත්තෙක්. ඔය කියන රසාත්මක සන්ධ්‍යාවන් පිළිබඳ සිහිපත් කරද්දී කොයි මාධ්‍ය කණ්ඩායම හා ගනුදෙනුව ද වඩා මතකයේ රැඳෙන්නේ?

මම කලාකරුවෙක් නිසා මුල් කාලයේ කලා-කරුවෝ එක්ක කරපු ගනුදෙනු හරිම භාවාත්මකයි. අපි සන්ධ්‍යා රසවත් කළේ ගීත, කවි, නාට්‍ය දෙබස් වැනි රසාත්මක අභ්‍යාස සමඟයි. ඒත් ක්‍රීඩා මාධ්‍යවේදීන් හා ගත කළ සැඳෑවන් තරග අත්දැකීම්, තාක්ෂණ කාරණා, විනිශ්චයේ අර්බුද, ක්‍රීඩකයන්ගේ දක්ෂතා හා දුර්වලතා වගේ දේවල් එක්ක නිලධාරීන්ගේ හොඳ නොහොඳ වගේ දේවල් ඉතිරිලා තිබුණා. මේ හැම දෙයකම තිබුණේ වේගවත් අදහස් පළකර ගැනීම්. ඇතැම්විට වාග් ගැටුම්. එතැන තිබුණේ ක්‍රීඩා පිටියක උද්යෝගය වැනි තත්ත්වයක්. මේ අන්ත දෙකේ ම මම මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් සතුටු වුණා.

ඔබේ මාධ්‍ය සම්බන්ධීකරණ ජීවිතයේ අභියෝගාත්මක සංසිද්ධීන් රැසකට මුහුණ දෙන්න ඇති. ඒ අතරින් සිහියට එන ප්‍රමුඛ කාරණයක් සිහිපත් කරන්න කැමති ද?

ඒක ඇත්තටම ලෙහෙසි රස්-සාවක් නොවෙයි. මට මාධ්‍ය සම්-බන්ධීකාරකවරයෙක් වශයෙන් සියලු මාධ්‍ය ආයතන සමඟ වේගයෙන් ගනුදෙනු කරන්න, ඉක්මනට ඒ වෙනුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්කම ගොඩනගාගන්න උවමනා වුණා. මමත් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කර තිබූ නිසා ඒ කටයුත්ත එතරම් අපහසු වුණේ නෑ. ඒකට හේතු වුණේ එක්කෝ මේ කියන මාධ්‍ය ආයතනවල සිටියේ මගේ සමකාලීනයෝ. එහෙමත් නැත්නම් මගේ ශිෂ්‍යයෝ වගේ උදවියයි. ඒ නිසා මට යම් ප්‍රවෘත්තියක්, ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් ඔවුන්ව අමතන්න, ඉක්මනින් ඒ කටයුත්ත සිදුකරගන්න අපහසු වුණේ නෑ. සමහර වෙලාවට ඇතැම් ප්‍රවෘත්ති පළවීම වළක්වා ගන්නත් මට මැදිහත් වෙන්න සිදුවුණු අවස්ථා තිබුණා. ඒ සෑම අවස්ථාවක දී ම මට ඒ දේ කර ගන්න හැකි වුණේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පවා මට ගනුදෙනු කරන්න තිබුණු හැකියාව හේතුවෙනුයි. ඒක බලහත්කාරකමෙන්, සල්ලිවලට, චණ්ඩිකමට කර ගත්තු දෙයක් නොවෙයි. ඇත්තටම සුදම් එස් පහළගම කියන සුහදශීලි මිත්‍රයා, මාධ්‍ය සගයා වෙනුවෙන් ක්ෂේත්‍රයේ මිත්‍රයන්ගෙන් ලබා ගත්තු උදව්වක් වශයෙන් තමයි ඒ දේ කළේ. එතැන දී වරක් අපි පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කමක් දිනා ගැනීමට සමත්වුණු අවස්ථාවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය සිහියට එනවා. එදා අදාළ පදක්කම දිනා ගත් මංජු වන්නිආරච්චි ක්‍රීඩකයාගේ රුධිරයේ තහනම් උත්තේජක ඇති බව පසුව හෙළිදරව් වුණා. ඒකත් එක්කම ලොකු ගැටලුවක් නිර්මාණය වුණා. ඒ සංසිද්ධිය මට අමතක නොවන කාරණාවක්.

ඇත්තටම මොකක් ද එතැන දී සිද්ධ වුණේ. කොහොම ද ඔබ මේ තත්ත්වය කළමනාකරණය කළේ?

මංජු වන්නිආරච්චි මානසිකව පිරිහිලා හිටියා. ඔහු නොකරපු වරදකට චූදිතයෙක් වුණු එක නිසා මංජු හිටියේ සම්පූර්ණයෙන්ම වගේ බිඳිලයි. මොකද පූජාසනයේ ඉහළින් ම තියපු ඔහු ඉතා සුළු කාලයකින් දූවිල්ලක් තරමට අවඥාවට ලක්කරමින් පරිභව කරන තත්ත්වයකට ඇද වැටුණා. අන්තිමට අපි ඒ කියන්නේ මමයි, ඩයන් ගෝමස් මහතායි, මංජුයි, මංජුගේ තාත්තයි පෞද්ගලිකව රහසිගතව ගෙයක් අරගෙන දින කීපයක් එහි ගත කළා. එහෙම ඉන්න කොට මාධ්‍ය මංජුව සොයනවා. ඩයන් ගෝමස් මහතාත් මට කිව්වේ මාධ්‍ය සමඟ ගනුදෙනුව කරන්න. කරලා මෙහි ඇත්ත තත්ත්වය රටට කියන්න කියලයි. මෙතැන යම් දේශපාලනයකුත් තිබුණා. ඇතැම් බලධාරීන් උත්සුක වුණේ කෙසේ හෝ මේ පදක්කම ශ්‍රී ලංකාවට අහිමි කරන්නයි. ඒ නිසා ඔවුන් මේ තහනම් උත්තේජක සැලසුම් කර ගනු ලැබූවක් කියලා ඔප්පු කරන්න අවශ්‍ය ආකා-රයට හැසිරෙන්න වුණා. නමුත් මට ලැබුණු උපදෙස් හා මගේ දැනුම එක්ක අපි මංජු මුහුණ දුන් සැබෑ සිද්ධිය මොකක්ද කියලා මාධ්‍යයට කිව්වා. එහෙම කරලා තමයි මේ තත්ත්වය සමහන් කරගත්තේ. ඒ කාලය මට කිසිසේත්ම අමතක කරන්න බෑ.

ඔබ ක්‍රීඩාව භාවිත කරලා ඇගළුම් කම්හල් සම්බන්ධයෙන් සමාජයේ තිබුණු මතවාද දැඩි වෙනස්කමකට ලක්කරන්න සමත් වුණා කියලා අපිට හිතෙනවා. මානව සම්පත ප්‍රවර්ධනයට මේ නිසා පහසුකමි වැඩිදියුණු වුණු බවයි අපිට හැඟෙන්නේ. ඒ දේවල් සිදුකළේ සවිඥානිකවම ද?

ඇත්තෙන්ම. ඩයන් ගෝමස් මහතාට අවශ්‍ය වුණු පළමුවැනි දේ තමයි මේ ගාමන්ට් සංකල්පයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ නිරත දරුවන් ගලවා ගැනීම. ඔහු ඒ සඳහා මට අභියෝගයක් බාර දුන්නා. මම ඒ වෙනුවෙන් රටේ තිබෙන සෑම මාධ්‍ය ආයතනයක්ම උපකාරයට ගත්තා. අරගෙන ඒ දේ කළා. උසස් රසවින්දනයක් ඇතැයි මිනිස්සු සිතාගෙන සිටි ඇගළුම් කර්මාන්ත තුළ බුද්ධිමත් රසවින්දනයක් සහිත, නිර්මාණශීලි දරුවන් සිටින බව රටට ඒත්තු ගියේ අප රැගෙන ගිය මේ වැඩපිළිවෙළ සමඟයි.

එතකොට ඩයන් ගෝමස් කියන දැවැන්ත පරිපාලකයාගේ දේශීය හදවත තිබුණේ සුදම් එස් පහළගම ගාව?

ඒක එතුමා පසුගියදා කිව්වා. මම එතුමා මට බාරදීපු වැඩේ කළා. එතුමා ඒ දේවල් නිවැරැදිව ග්‍රහණය කරගෙන ගමට, රටට ගැළපෙන්න ජනතාව අතරට රැගෙන ගියා. ඒ වෙනුවෙන් මට ලොකු උදව්වක් දුන්නේ ජනමාධ්‍ය ආයතනයි. ඒ හැම එකකටම මම මගේ මාධ්‍ය සහෘදයන්ට ස්තුති කරනවා.

පසුගියදා ඔබ හදිසියේ ගිලන් වුණා. ශල්‍යකර්මයකට පවා බඳුන් වුණා. එතැනින් නැගිට්ට ඔබ යළි මාධ්‍ය වෙත ආවේ ශූන්‍ය කියන නවකතාවක් එක්කයි. අර ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සාහිත්‍ය නිර්මාණයකින් ලෝකයා ඉදිරියට පැමිණිලා තිබුණු ආකාරය අපූරුයි. මොකක් ද මේ වෑයම හා ශූන්‍ය යෙන් පස්සේ මොකක් ද ඔබ කරන්න සැලසුම් කර ගෙන ඉන්නේ?

ඇත්තටම ශූන්‍ය කියන්නේ මගේ සිත ශූන්‍ය වෙලා ඉන්න වෙලාවක ලියැවුණු සිතිවිලි සමුදායක්. ඒක ඇතුළේ තියෙන්නේ මගේ සත්‍ය අත්දැකීම්. එතැන යම් සමාජ විද්‍යාත්මක දේශපාලනයක් තියෙනවා කියලා ඇතැම් විචාරකයන් කිව්වා. මට කියන්න තියෙන්නේ මේ වෙද්දී මගේ ළඟ සම්පූර්ණයෙන්ම ලියපු නවකතා තුනක් තවමත් අත් පිටපත් වශයෙන් තිබෙන බවයි. ඒවා ඉදිරියේ දී වරින් වර ජනගත කරන්න මම සූදානම්.

එතකොට කලා නිර්මාණයන්ට යද්දී සුදම් එස්. පහළගම කියන ක්‍රීඩා සම්බන්ධීකාරකයා මියැදිලා යාවි නේද?

මෙහෙමයි. දැන් මට ක්‍රීඩාව වෙනුවෙන් සම්බන්ධීකරණය කර-න්න ලැබෙන අවස්ථා අඩුයි. මොකද දැන් මා විශ්‍රාමික නිසා. නමුත් නිර්මාණකරුවෙක් වශයෙන් මම විශ්‍රාම ගෙන නෑ. නිර්මාපකයකු විශ්‍රාම යන්නේ ඔහුගේ හෝ ඇගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු කළාට පසුවයි. ඒත් ඒ ඔහුගේ නව නිර්මාණ කටයුතුවලින් විතරයි. එහෙත් ඔහු කළ නිර්මාණ සමාජය යළි පරිශීලනය කරන්න කරන්න ඔහු අලුත් ආකාරයකට උපදිනවා. දැන් මම ක්‍රීඩා සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් ලංකා ඉතිහාසයේ පළමු ක්‍රීඩා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්න සූදානමින් ඉන්නවා. ඒකට දාන නම තමයි ‘මුෂ්ඨි වන්නම‘. මේ කොවිඩ් අර්බුද අවසන් වෙද්දී අපිට ඒ නාට්‍ය වේදිකාගත කරන්න හැකියාව උදාවේවි.

ඔබ ගුරුවරයෙක් වශයෙනුත් කටයුතු කළා. ක්‍රීඩා සම්බන්ධීකාරකවරයෙක් වශයෙන් ක්‍රියා කළා. ඒත් ඔබේ දරුවෝ කිසිවෙක් ක්‍රීඩාවට එකතු කරන්න කටයුතු කරලා නෑනෙ?

මගේ පුතා දැන් ඉන්නේ විදේශගතවයි. ඔහු කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට තමයි කැමැත්ත දැක්වූයේ. පුලුවන් තරම් ක්‍රිකට් ගැන තොරතුරු ඔහු සෙව්වා. මාත් ඒ හැම දෙයක්ම ඔහුට ගෙනැවිත් දුන්නා. මම හිතුවේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු කෙසේ වෙතත් ක්‍රීඩා මාධ්‍යවේදියකු වෙයි කියලයි. ඒත් එකවරම ඔහු අධ්‍යාපනික නැඹුරුව වැඩි කරලා උසස් අධ්‍යාපනය ලබලා වෘත්තීය ක්ෂේත්‍රයක් එක්ක එකතු වෙද්දී ක්‍රීඩාව එක්ක තිබුණු සම්බන්ධය අඩු කළා. නැත්නම් ඔහු ක්‍රීඩාවට සෘජු සම්බන්ධයක් ඇති අයෙක් වෙනවා. නමුත් මගේ දියණිවරුන් දෙදෙනාම ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නෑ. ඔවුන් දෙදෙනාත් උපාධි අවසන් කර වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතයේ සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම මට දැන් තියෙන්නේ නිරාමිස සතුටක්. මම මගේ දරුවන් වගේ ම රටේ දරුවන් වෙනුවෙනුත් යුතුකම් ඉටුකළ පියෙක් කියන හැඟීම මට තියෙනවා. මම දැන් වැඩ කරන්නෙත් ඒ හැඟීම පෙරදැරිවයි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments