පරපුරක උරුමයේ සවිය සමඟ පසු නොබා පෙරමුණ එන බාවා මුනුබුරා | සිළුමිණ

පරපුරක උරුමයේ සවිය සමඟ පසු නොබා පෙරමුණ එන බාවා මුනුබුරා

 

‘පරම්පරාවන් හැදෙන්නේ සාර්ථක භාවයන් සමඟ ය. කොතෙක් සාර්ථක වුව ද ඇතැම් පරපුරු සම්බන්ධයෙන් වන ජන මතක කලක දී ගිලිහී යන්නේ දෙවැනි පරපුර පළමු පරපුර තරම් කැපීපෙනෙන්ට අසමත් වන්නේ නම් ය. ඊට ඉවහල් වෙන කාරණා රැසක් තිබෙන්නට පිළිවන. එහෙත් තෙවැනි පරපුර මුල් පරපුර බැබළවූ මතක යළි දීප්තිමත් කරමින් කැපී පෙනෙන අවස්ථා අසන්නට ලැබේ. මේ එවැනි කතාන්තරයකි. කතාව ඇසෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.‘

1948 ජුලි 29 සිට අගෝස්තු 14 වැනි දා දක්වා ලන්ඩන් නුවර පැවැතියේ දහහතර වැනි ඔලිම්පික් උළෙලයි. එකී ඔලිම්පික් උළෙලේ 12 වැනි දා පැවැති තරග අතර පිරිමි හොකි අවසන් මහා තරගයට සත්කාරක මහා බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව සුදුසුකම් ලබා තිබිණි. එම තරගය අවසන් වූයේ ඉන්දීයාවට ගෝල 4/0 ක පහසු ජයක් හිමිකර දෙමිනි. ඔවුන් රැස් කරගත් ගෝලය හතරෙන් අවසන් ගෝල සිය කණ්ඩායමට එක් කරදීමට සමත් වුයේ තර්ලෝචන් බාවා ය.

ඉන් වසර 74 කට පසු එකී බාවා පරම්පරාවේ නාමය නැවතත් රනින් සටහන් කිරීමට ක්‍රීඩකයකු සමත් වූයේ ය. ඔහු පසුගිය දා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවයන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එය සිදු කළ අතර ඒ තර්ලෝචන් බාවාගේ මුනුබුරා වූ රාජ් අංගද් බාවා විය.

එදා තර්ලෝචන් බාවා විසින් එංගලන්තය පරාජය කරන්න උර දුන්නා සේම අද රාජ් අංගද් ද තුන් ඉරියව් දස්කම් තුළින් එංගලන්තය අසරණ කිරීමට සමත් විය. අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ දී රාජ් අංගද් බාවා ලකුණු 31 ක ට කඩුලු 5 ක් දවා ගනිමින් හා පිත්තෙන් ලකුණු 35 ක් රැස්කරමින් අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

මෙයට පෙර ඉන්දියාව වෙනුවෙන් දස්කම් පෑ තර්ලෝචන් සිං නමැති ඔහුගේ සීයා උපන්නේ 1923 පෙබරවාරි 12 වන දින ලාහෝර් (පකිස්ථානය) හි දී ය. ඔහු 1949 දී පන්ජාබ් පොලිසියට බැඳුණු අතර හර්යානා ප්‍රාන්තයේ පොලිස් අධිකාරීවරයා වශයෙන් විශ්‍රාම ගියේ ය. 19 හැවිරිදි රාජ් අංගද් බාවාට ඔහුගේ සීයා ගැන ඇත්තේ කුඩා මතකයකි. තම සීයා මිය යන විට රාජ් අංගද් බාවාගේ වයස අවුරුදු පහකි.

රාජ් අංගද් මෙන් ම ඔහුගේ පියා වන සුක්වින්දර් ද 1988 වසරේ දී ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තේරී පත්විය. කෙසේ වෙතත් ආබාධ කීපයක් නිසා සුක්වින්දර්ගේ වෘත්තීය ජීවිතය කෙටි විය. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වූ ඇල්ම නිසාම ඔහු තරුණ වියේ දී ම පුහුණුකරුවකු බවට පත්වුණේය. හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක යුවරාජ් සිං ද කලක් පුහුණු කර ඇත්තේ ද සුක්වින්දර් විසිනි. රාජ් අංගද්ගේ ක්‍රිකට් ගමන ආරම්භ වූයේ ඔහු තම පියා සමඟ අන්තර් දිස්ත්‍රික් තරගාවලි සඳහා ධර්මශාලා වෙත ගිය අවස්ථාවේ දී ය.

මඳ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 4 ක් දවාගත් අතර අයර්ලන්තයට එරෙහිව ලකුණු 42 ක් රැස් කළේ ය. උගන්ඩාවට එරෙහිව පන්දු 108 ක දී හතරේ පහර 14 ක් සහ හයේ පහර 8 ක් සමඟින් ලකුණු 162 ක් ලබා ගනිමින් 2004 වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ස්කොට්ලන්තයට එරෙහිව ශිකර් ධවාන් ලබාගත් ලකුණු 155 අභිබවා යන්නටද ඔහු සමත් විය.

රාජ් යනු දකුණත් මඳ වේග පන්දු යවන වමත හුරු පිතිකරුවෙකි. ඔහු තම පිතිකරණ ඉරියව්ව මාරු කළේ යුවරාජ් සිං සමීපයේ සිට නැරඹීමෙන් පසුව ය.

මම මගේ පියාගේ පුහුණු මධ්‍යස්ථානයේ යුවරාජ් පුහුණුවීම් කරන ආකාරය නැරඹීමට පුරුදුව සිටියා. මම යුවරාජ් සිංට ගොඩක් කැමැතියි. ඒ වගේම ජර්සි අංක 12 තෝරා ගත්තේ හේතු කිහිපයක් නිසා. එකක් මගේ සීයාගේ උපන්දිනය පෙබරවාරි 12 වැනිදා වීම. දෙවැන්න මගේ වීරයා වන යුවරාජ් ගේ ජර්සි අංක 12 , ඔහුගේ උපන් දිනය දෙසැම්බර් 12, මගේ උපන්දිනය නොවැම්බර් 12 නිසා.‘ ඔහු පවසයි.

‘පුතා කුඩා කාලයේ වේග පන්දු යවන්නෙක්. කාලයක දී මම ඔහුව පිතිකරුවකු වශයෙන් දියුණු කළා. ඒ වගේම පිට දඟ පන්දු යවන්නත් පුහුණු කෙරුවා. අවුරුදු 16 දී ඔහු ඉතාමත් හොඳ පිතිකරුවෙක් වුණා. ඉන් අනතුරුව ඔහු නැවත වේග පන්දු යවන්න තීරණය කළා.’ තම පුතුගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වූ ආකාරය ගැන ඔහුගේ පියා කීවේය.

19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ දී දැවැන්ත ශතකයක් සහ අවසන් තරගයේ දී කඩුලු පහක් දවා ගැනීම ලබන සතියේ පැවැත්වෙන IPL වෙන්දේසියේ දී රාජ් අංගද් වෙනුවෙන් විශාල ලංසුවක් තැබීමට ද ඉඩ තිබේ. නමුත් සුක්වින්දර් කියා සිටින්නේ රාජ් අංගද් තමන්ට ලැබී ඇති බාවා උරුමය නිසි ලෙස තේරුම් ගෙන ඇති අයෙක් බවයි.

‘ඉන්දියාවට ක්‍රීඩා කිරීම තමයි ඔහුගේ අවසාන ඉලක්කය. ඒ බව ඔහු දන්නවා. ඔහුගේ සීයාට ගරු කරන්න වෙනත් මාර්ගයක් නැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හෝ රංජි කුසලාන තරගාවලිය ඒ මාර්ගයේ එන පඩිපෙළක්.‘ ඔහු කියන්නේ තම පුතු ගැන අභිමානයෙනි.

 

Comments