![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/02/11/Untitled-21.jpg?itok=pl1QlcCq)
මෙරට වෘත්තිය සමිති සමාරම්භය සටහන් වන්නේ 1940 වසරේදීය. එතැන් සිට 1980 දක්වා වෘත්තීය සමිති සංස්කෘතිය ජනතාවාදී සහ ප්රජාතන්ත්රවාදය ගරුකරන යහපත් වෘත්තිය අරගලයන් ඔස්සේ ගමන් කෙරිණි. මුල්කාලීන සාධනීය වෘත්ති සමිති නායකත්වයක් මෙරට පැවතිණි. එම වෘත්තීය ව්‍යාපාරයන්ගේ පැවැති සංස්කෘතිය බිඳවැටීම ආරම්භ වන්නේ 80 දශකයෙන් පසුවය. වර්තමානයේ වෘත්තීය සමිති ක්රියාකාරීත්වයේ අරාජිකත්වයට ප්‍රධාන හේතු ගණනවක් වෙයි. ඒ අතර වෘත්තීය සමිති දේශපාලනීකරණය වීම ප්‍රධාන හේතු සාධකයක් වෙයි.
මුල්කාලීනව වැඩවර්ජනයක් කිරීමට පෙර අදාළ වෘත්තිකයන්ගේ ප්‍රසාදය සහ අප්‍රසාදය විමසීමට ඡන්දයක් පැවැත්විණි. බහුතරයක ප්‍රසාදය මත වැඩවර්ජන සිදුවිණි. එය සිදු කෙරුණේ අදාළ නිලධාරී පැළැන්ති සහ අදාළ දේශපාලනික අධිකාරීය දැනුම්වත් කිරීමෙන් අනතුරුවය.
පාර්ශ්වයන්ගේ ප්‍රතිචාර විමසීමෙන් අනතුරුව වැඩවර්ජනය කිරීම සම්බන්ධයෙන් තීන්දු ගනු ලබයි. දේශපාලන පක්ෂ ඒ සඳහා ඍජු මැදිහත් වීමක් නොවෙයි. එය තීරණය කරන්නේ අදාළ වෘත්තීය සමිති සේවකයන් පමණයි.
වර්තමානයේ දේශපාලන නායකත්වය වෘත්තිය සමිති නායකයත්වය බවට පත්වී ඇත. අද පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය බිඳවැටීමට ප්‍රධාන හේතු සාධකයන් පෙළ ගැස්වීමෙදී වෘත්තිය සමිති ඉතිහාසය පිළිබඳව යම් සිහිපත් කිරීමක් අවශ්‍ය වෙයි.
වෘත්ති සමිති සංවිධානාත්මක හැඩගැසීම සිදුවන්නේ ධනවාදය ඇතිවී වසර තුන්සීයක් ගත වූ තැනය. ධනවාදය ඇතිවන්නේ 15 වැනි ශත වර්ෂයේදීය. බ්‍රිතාන්‍ය ප්‍රංශය ඕලන්දය ජර්මනිය ආදි රටවල් ආශ්‍රිතවය.
මේ සමාජ ක්‍රමය තුළ කම්කරු නැගිටිමක් මුල්වරට බ්‍රිතාන්‍ය යෙන් මතුවිය. එවකට කම්කරුවන් පැය 24න් පැය 16ක් වැඩ කිරීම අවශ්‍ය නොවන බවත් තමන්ගේ ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් වැටුපක් ලබා දෙන්නේ ජීවත්වීමට බවත් එහිදී පෙන්වා දෙන ලදී. එසේ නම් වැඩ කළ යුතු කාලය පැය 8 ප්‍රමාණයක් විය යුතුයි.
කම්කරුවා තවත් පැය 8ක් වැඩකරන්නේ කර්මාන්ත හිමියාගේ ලාභය උදෙසාය. ඇමරිකාවේ ඓතිහාසික මහ කම්කරු වැඩවර්ජනය ඇතිවන්නේ ඒ අනුවයි. කම්කරු අයිතීන් පිළිබඳ හැඟීම් ලොව පුරා පැතිරයාම සිදුවන්නේ එතැන් සිටය.
මේ සඳහා කාල්මාක්ස් ඉදිරිපත් කළ ප්‍රාග්ධන කෘතියෙන් මේ සම්බන්ධයෙන් න්‍යායාත්මක කරුණු සපයයි. කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙළගැසිය යුතුයි; එසේම සංවිධානය විය යුතුයි යන අදහස මතුවෙන්නේ ඒ අනුවයි. මුල්කාලීන නිතීඥයන් මාර්ගයෙන් තමන්ගේ වෘත්තිය අයිතීන් පිළිබඳව ඉල්ලීම් සිදුකරන ලදී. දේශපාලන අවබෝධය ලැබූ විට තමන්ගේ නායකත්වය හරහා ඉල්ලීම් දිනාගැනීම සිදුවිය.
ලොව පුරා කම්කරු අයිතින් ව්‍යාප්ත වීම ආරම්භ වන්නේ රුසියාවේ 1917දී ඇතිවූ රුසියානු ඔක්තෝබර් විප්ලවයත් සමඟය. කම්කරු පන්තිය බලයට පැමිණි පසු එතැන් සිට මාක්ස්වාදී න්‍යාය අනුව පැය 8 සේවය නිත්‍යනුකූලව ක්‍රියාත්මක වීමත් ආරම්භ විය.
ඒ අනුව කම්කරුවාට විශාල ගාමක බලයක් සැපැයිණි. ලොව කම්කරුවා වෙනුවෙන් මැයිදින සැමරුම 1890 සිට ආරම්භ විය. ධනවාදය යටතේ කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය යන සමාජ බෙදීම ඉන් අනතුරුව මතු විය.
එකල මේ ලොවපුරා කම්කරු අයිතීන් පිළිබඳ පැතිර යද්දී ඒ කම්කරු අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් සහ දැනුම මෙරට කම්කරුවා සතුවිය.
1977 වසරේදී මිලියනයකට අධික වෘත්තීය සමිති සාමාජිකත්වය තිබුණි. එය වර්තමානයේ ලක්ෂ දෙකක් දක්වා අඩු වී ඇත. වෘත්තීය සමිතිවල සාමාජිකත්වයකට වඩා වෘත්තීය වැඩවර්ජනයක් පැමිණ වෘත්තිකයන්ට බලපෑම් කර අරගලයන්ට ඇද දැමීමක් වර්තමානයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ දක්නට ලැබෙයි.
එදා පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය වර්ජනයන් සඳහා දායකත්වය ලබා දුන්නද පෞද්ගලික අංශය මැදිහත් වීමක් අද නොමැති තරම්ය. එමෙන්ම එදා වෘත්තීය සමිති නායකත්වයට ගරුත්වයක් තිබුණි.
මෙරට ලංකා කම්කරු සංගමය බිහි වීමට පෙර වතුකම්කරුවන් ආශ්රිත කම්කරුවන් පිරිසක් වෘත්තිය සමිති ලෙස නොව සුබසාධක සංගම් වැනි යම් එකමුතුවක් ඇතිකරගන්නා ලදී. එහිදී ඒ. ඒ. බුල්ජන්ස් සහ වැලන්ටයින් පෙරේරා වැනි නීතිඥයන් කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින ලදී. එහිදී මුල්ම වැඩවර්ජනය අච්චු කන්තෝරුවක ඇතිවිය. ඉන් අනතුරුව රෙදි සෝදන්නන්ගේ සහ කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයක් ඇති විය.
වෘත්තිය සමිති මෙරට නිර්මාණය වන්නේ ප්‍රථමවරට 1920 වර්ෂයේදීය. එනම් ඒ ඊ ගුණසිංහයන් ලංකා කම්කරු සංගමයේ නායකයා වීමෙන් අනතුරුවය. එහිදී 1923 කොළඔ නගරයේ කම්කරුවන්ගේ වැඩවර්ජනයක් ඇති විය. කොළඹ අවට පෞද්ගලික අංශයේ කම්කරුවන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.
වැල්ලවත්ත රෙදි මෝල් ආශ්රිත සේවක වර්ජනයක් 1933 වසරේදී ඇති විය. 1931 සර්ව ජන ඡන්දබලය මෙරටට හිමිවිය. පළමු වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යෝජනාවක් අනුව වෘත්තීය සමිති පනත ගෙන එනු ලබයි. පළමුවරට වෘත්තිය සමිති පිහිටුවීමේ අවසරය එහිදි ලැබිණි. පනත සකස් කරන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කමිටුවකිනි. එහි සමාජිකයෙක් ලෙස එස්. ඒ. වික්රමසිංහයන්ද විය. එතුමා පළවැනි වාම දේශපාලනය නියෝජනය කරන මන්ත්‍රිවරයා ද වෙයි. රාජ්‍ය සේවයට විශ්‍රාම වැටුප 1931තෙක් හිමි නොවුණි.
පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම ඉල්ලීම ඉදිරිපත් කළේ ද එස්. ඒ. වික්‍රමසිංහයන්ය. විධිමත් වෘත්තිය සමිතියක් ගොඩනැඟුණ පළමුවැනි අවස්ථාව මෙය වන අතර; එහි නායකයා වූ ඒ. ඊ. ගුණසිංහ වගකීමෙන් යුතුව ක්‍රියා කළ බවක් දක්නට ලැබෙයි. කෙසේ වෙතත් මෙරට සටන්කාමී වෘත්තිය සමිති ව්‍යාපාරයක් ගොඩනැඟෙන්නේ 1940 පසුවයි. 1935 දෙසැම්බර් 18 ලංකා සමසමාජ පක්ෂය පිහිටුවයි. එය ලංකාවේ පළමු වැනි දේශපාලන පක්ෂයයි.
එන්. ජි. මෙන්ඩිස් මහතාගේ කාලයේ දී සටන්කාමි වෘත්තිය සමිති නායකත්වයක් බිහිවිය. ලංකා වෘත්තිය සමිති සම්මේලනය ගොඩනැඟෙන්නේ ඒ අවස්ථාවේදීය. එහි පළවැනි රැස්වීමේ මූලාසනය ගනු ලැබුයේ උඩකැන්දර ශ්‍රී සරණංකර හිමියන්ය. ඉන් අනතුරුව 1945 වරාය වැඩවර්ජනයක් ද, ඉන්පසුව පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ ද, ඉන්පසුව 1946 වරාය වැඩවර්ජනයක් ද වෙයි. 1947 පළමු වැනි වතාවට රජයේ සේවයේ වැඩවර්ජනයක් ඇතිවිය.
1947 පෞද්ගලික සහ රාජ්‍ය සමගාමිව මේ වැඩවර්ජනය සිදු විය. එහි නායකත්වය ගනු ලැබූයේ ටී. බී. ඉලංගරත්ත මහතා ය. අද රාජ්‍ය සේවකයන් හා බොහෝ කම්කරුවන් භුක්ති විඳින වරප්‍රසාද සියල්ල හිමිවූයේ 1947 වැඩවර්ජනයෙන් අනතුරුවයි. ඉන් අනතුරුව රාජ්‍ය පෞද්ගලික අංශයේ වෘත්තිය අරගලයන්ට පෞද්ගලික අංශය දේශපාලන නායකත්වයක් ලැබුණි.
පිටර් කේනමන් ශන්මුගදාසන් පසුකාලීනව බාලාතම්පෝ එන්. එම්. පෙරේරා රාජ්‍ය අංශය වෙනුවෙන් ටී. බි. ඉලංගරත්න, ගැට්සන් අමරසේකර වැනි පිරිස් නායක්වය ලබාදෙන ලදී. මෙරට වෘත්තීය සමිති ගොඩනැගුණේ ඉන් අනතුරුවයි. 1947 සිට 1956 අතර කාලයේ කුඩා වැඩවර්ජන පැවැතිණි. ඉන් අනතුරුව විශාල වැඩවර්ජන ඇතිවූයේ 1957 සේවක අර්ථසාධක අර මුදල ප්රමුඛ කරගනිමින් වැඩවර්ජනයක් ඇති විය. එය ලංකා වෘත්තිය සමිති සම්මේලනය විසින් මෙහෙයවනු ලැබිණි. එය කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිතියක් විය.
මේ වෘත්තීය සමිති වැඩවර්ජනය මාස තුනක් අඛණ්ඩව පැවැතිණි. මේ අඛණ්ඩ වැඩ වර්ජනය ඉතා දුෂ්කර සේවක අර්ථ සාධකය ලබා ගැනීමට හැකිවිය. එය ඓතිහාසික වරප්‍රසාදයක් ලෙස සැලකිය යුතුයි. ඒ අරගලය නිසා කම්කරු පන්ති නායකත්වය අමාත්‍ය මණ්ඩලය වෙත කැඳවන ලදී. ඉන් අනතුරුව 1958දී රජයේ සේවකයන්ගේ වැඩවර්ජනයක් ඉල්ලිම් 21ක් ඉදිරිපත් කරන ලදී. ඒ වර්ජනය අතරමැදි නතර විය. එයට හේතුව මේ හරහා ජාතිවාදය ඇවිස්සීමට ඇති ඉඩකඩ වළකාලීමය. එහිදි එම ඉල්ලීම් ලබා ගැනීමට නොහැකිවූ අතර පසුකාලීන ව එම ඉල්ලීම් ජයග්‍රහණය කරන ලදී.
ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක රජය කිසිඳු සේවකයකු සේවයෙන් ඉවත් නොකරන ලදී. 1946 ගොඩනඟන එක්සත් ජාතික පක්ෂය 1976 දක්වා වෘත්තිය සමිති ගොඩනොනැඟූ අතර; 1951 දී ශ්‍රිලනිප බිහිවන අතර 1956 දී එහි වෘත්තීය සමිතියක් පිහිටු වන ලදී. වමේ පක්ෂ බිහිවුණ දා සිට වෘත්තීය සමිති පිහිටුවමින් කම්කරු අයිතින් වෙනුවෙන් පෙනී සිටින ලද බව මෙයින් පෙනෙයි. 1980දී විශාල වැඩවර්ජනයක් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ ඇති විය. එම වැඩවර්ජනයෙන් ලක්ෂයක් සේවකයන් රැකියාවෙන් ඉවත් කරන ලදී. මේ වැඩවර්ජනයට විශාල සේවක පිරිසක් සහභාගි විය.
සියලු වෘත්තිය සමිති ඒකරාශි වෙමින් මේ වැඩවර්ජනය සිදු කරන ලදී. එහිදී සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රිලනිපය අයත් වෘත්තිය සමිති සියල්ල මෙයට එකතු විය. විවෘත ආර්ථිකය සමඟ නව ලිබලර්වාදයෙන් ඇතිවූ
බලපෑම්වලට එරෙහිව 1980 වසරේ දී මේ දැවැන්ත වැඩවර්ජනය සිදුවිය. සේවකයන්ට රුපියල් 10ක් දිනක වැටුප ඉල්ලා කරන ලද ඉල්ලිම හිමි නොවුණි. එවකට පැවැති ආර්ථික උපායමාර්ගයට වැඩකරන පන්තිය විරුද්ධව නැඟී සිටින ලදී.
1980 වර්ෂය වනවිට ප්‍රගතිශිලි වෘත්තීය සමිති සංස්කෘතියක් සදාචාරයක් ගොඩනැඟුණි. වෘත්තීය සමිති ක්‍රියාත්මක වූයේද නීත්‍යනුකූලවය. ඒ තුළ ප්රජාතාන්ත්රවාදය ක්‍රියාත්මක විය. එමෙන්ම වෘත්තිය සමිතිවලට දේශපාලනික මඟපෙන්වීමක් තිබුණද දේශපාලන පක්ෂ විසින් ඍජුව මැදිහත් නොවෙයි. විශේෂයෙන් එදා වෘත්තිය සමිති ව්‍යාපාරය දේශපාලන පක්ෂවල වලිඟය නොවීය.
දේශපාලඥයන් ද වෘත්තිය සමිතිවල ස්වාධීනත්වයට මැදිහත්වීමක් නොවෙයි. අසාධාරණ ලෙස දේශපාලනික සිරගත කිරීම්, පහරදීම්වලදී පමණක් දේශපාලන නායකත්වයක් මැදිහත් වෙයි.
එහිදී ද වෘත්තිය අයිතීන් සහ ආරක්ෂාව වෙනුවෙන් පමණක් මැදිහත් වෙයි. නමුත් අරගලයන් ගෙන යන්නේ වෘත්තිය සමිති මැදිහත් විමෙනි.
වෘත්තීය සමිති පනතක්ද ක්‍රියාත්මක වෙයි. රජයේ සේවකයන් වෘත්තීය සමිති අතර අන්තර් සහයෝගිතාවක් සාමූහිකත්වයක් තිබිණි. නිලධාරින්, සේවකයන් පමණක් නොව සියලුම සේවකයන් වෘත්තිය සමිති නියෝජනය කරන අතර නායකත්වය ෙජ්යෂ්ඨත්වය අනුව පවතී. නීතියෙන් නොව සම්ප්රදාය මත ක්‍රියා කරයි.
ප්‍රජාන්ත්‍රවාදි රාමුවක් තුළ සියල්ල ක්‍රියාත්මක වෙයි. විනයානුකූළභාවය මූලික ලක්ෂණයකි. පෙළපාළි යාමේදී සිදුවන්නේ ජනතාවට කිසිදු අවහිරයක් නොවන ආකාරයට නායකත්වය සේවකයන් හැසිරවීමයි. වෘත්තීය සමිති නායකයන් විශේෂයෙන් ජනතාවගේ කැමැත්ත ආදරය දිනාගෙන සිටින පිරිසකි.
එදා පැවැතියේ විධිමත් වෘත්තිය සමිතිය. සටන්කාමි, යහපත් ප්‍රතිපත්ති සහ සම්ප්‍රදායන් මත ගොඩනැඟුණ වෘත්තිය සම්ප්‍රදායන්ය. එසේම නිවැරදි දේශපාලන සංස්කෘතියකින් යුතු ක්‍රමානුකූලව ගොඩනැගී තිබුණු වෘත්තිය ව්‍යාපාර විය.
එකල වෘත්තිය සමිති නායකත්වයට සමාජයේ පැවැතියේ ගෞරවයකි. එකල වැඩවර්ජනයට මහජනතාවගේ සහය ලැබීමට හේතුව ජනතා හිතවාදී වෘත්තිය අරගලයන් නිසාවෙනි.
වර්තමානයේ ජනතාව වෘත්තිය සමිති අරගලයන්ට විශාල විරෝධයක් දක්වයි. මම දන්නා වෘත්තිය සමිති ඉතිහාසයේ සෞඛ්‍ය සේවාවේ වෘත්තිය වැඩවර්ජනයක් නොතිබුණි. වෘත්තිය සමිති දේශපාලනිකරණය වීම අද පවතින වෘත්තිය තත්ත්වයට ලොකු ගැටලුවකි.ආයතනයන් අද දේශපාලනිකරණය වීම නිසා ආයතන ප්‍රධානියාට සේවකයන් අවනත විමක් නැත. මීට පරිබාහිර ව ඇගැයීම් සංස්කෘතියක් වටිනාකම් බිඳවැටිමත් සමස්ත සමාජයේ අද පිළිබිඹු වෙයි. එයත් මේ වෘත්තිය සමිති ව්‍යාපාරයන් පිරිහීම සඳහා බලපා ඇති සුවිශේෂ කාරණාවකි.
ප්රාග්ධනය සහ වෙළෙඳ පොළ සම්පූර්ණ වෙනසකට ලක්කරමින් පවති. 1980 වසරට පෙර පෞද්ගලික අංශයේ වැඩවර්ජන විශාල ලෙස ඇතිවිය. ඉන් අනතුරුව පෞද්ගලික අංශයේ වෘත්තීය අරගලයන් නැති තරම්ය.
අද වනවිට දේශපාලන පක්ෂවල බලපෑම්වලට පරිබාහිරව වෘත්තිය සමිති බොහොමයක් වෙයි. සෑම දෙපාර්තමේන්තුවකම සංස්ථාවක එක් එක් වෘත්තිකයන් අතර වෙනම වෘත්තිය සමිති පිහිටුවා ඇත.
ඉතිහාසයේ සියලු වෘත්තිකයන් කම්කරුවන් එකම සම්මේලනයක සහෝදරත්වයකින් කටයුතු කළ පිරිසක් වූහ. ඔවුන් අතර ප්රතිවිරෝධතා මතු නොවිණි. අද වෘත්තිය සමිති ව්‍යාපාරයම අරාජික තත්ත්යකට පත්වී ඇත්තේ ද මෙවැනි හේතු කාරණා පදනම් කරගෙනය.