පත්තර භාෂාව ඔදවත් කළ පත්තර ගුරු කාරියකරවන | සිළුමිණ

පත්තර භාෂාව ඔදවත් කළ පත්තර ගුරු කාරියකරවන

1922 පෙබරවාරි 8 වැනිදා මීගමුවේ කුරණ දී ජන්ම ලාභය ලත් ඩී.එෆ්. කාරියකරවනයෝ 2015 අප්‍රේල් 21 වැනිදා 93 වසරක් ආයු විඳ දැයෙන් සමුගත්හ.

අවසන් සුසුම හෙළන තුරුම නිවැරදි බස වෙනුවෙන් කාරිය කරමින් ද කරවමින් ද ජීවත් වූ කාරියකරවනයන් අද පත්තර වහරන බස දුටුවේ නම් මහත් සේ විස්සෝප වනු නිසැක ය. 

“පත්‍ර සංස්කාරකත්වය සිය දිවි පැවැත්වීමේ එක මැ මඟ කර ගන්නවුන් අතින් භාෂාවට හෝ රටට හෝ සැලැකිය යුතු සේවයක් වෙතියි සිතීම, එක් අතකින් දුෂ්කර වුව ද, මේ අතින් පවා ඇතැම් ප්‍රවෘත්ති සංස්කාරකවරුන් කෙරෙහි දක්නා ලැබෙන දැඩි දීන ගති නිසා නොවේ නම්, සිය පිටකොන්ද ඍජුවැ තබා ගන්නට අල්පමාත්‍ර වූද ධෛර්යයක් නැති බව නිසා නොවේ නම්, පත්‍ර සංස්කාරකත්වය මගින් නිරන්තරයෙන්මැ සිදුවන බව පෙනෙනුයේ රටටත් බසටත් අවැඩෙක් මැයි.

තමන් කුලියට ඉන්නා ගෙයින් පලවා දෝ යන බියෙන් තමන් මවට ගෙහිමියා නින්දා කරනු, හිංසා කරනු බල බලා ඉවසා සිටිනා දීනයන් මෙන්, මෙරට ප්‍රවෘත්ති පත්‍ර සංස්කාරකවරු සිය තැනැ ගැලවේදෝ බියෙන් මවු බස කැත කරන්නවුනට රුකුල් මැ දෙති. මොවුන්ගේ දීනත්වයේ තරම සාමාන්‍යයෙන් නොදන්නා හෙයින්, රට රවටා ගැනීමට මොවුනට ඇති වන්නා වූ නිදහස සිංහල භාෂාවට අත්‍යුග්‍ර සතුරුකමක් වැ පවතී” යැයි ජයන්ත වීරසේකරයන් කීවේ අද ඊයේ තතු දැනගෙන දැයි කුකුස් හට ගැනීම වැළකිය හැකි ද? අද එය එසේ නොවේ වීරසේකරයන් එසේ ලීවේ “සුබස” පළමු වෙළුමට ඈත දිනෙක ය.

බසට ළැදි ඩී.එෆ්. කාරියකරවනයෝ ඒ ගණයට නොවැටෙති. ටයිම්ස් මැඳුරේ ලංකාදීපයේ සිටියදී ද ලේක් හවුසියේ ජනතාවේ සිටියදී ද එතුමෝ උජුපටිපන්න වූහ. ඇතැම් විට ගැටුම් පිට ගැටුම් හට ගැනිණි. එද බස වෙනුවෙනි.

කුමරතුඟු දැක්ම ඔස්සේ සුබැසියකු වූ හෙතෙම, දෙස - බස - රැස තෙරුවන සේ රැක ගැනීමෙහි මුරපල්ලෙක් විය.

දැනට හෝඩියේ ඇති වචන සඳහා භාවිත නොවන සියලුම අක්‍ෂර ඉවත් කර නිශ්චිත සම්මතයකට පැමිණිය යුතුය.

භාෂාව ගැන අපේ උගතකු ලියන මේ වැකියම අණ්ඩර දෙමළයකි.

“හෝඩියේ ඇති වචන” හෝඩියේ ඇත්තේ අක්‍ෂර හෙවත් අකුරු ය. මේ උගතාගේ හෝඩියේ ඇත්තේ වචන ය. අඳෝමැයි !

ප්‍රේමවතීගේ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් “ලක්ෂයකි.”

ඉහත වැකිය අනුව, ඒ චරිතය ඇගේ ජීවිතයේ හැරවුම් දහයක් හෝ සියයක් හෝ නොවේ සංඛ්‍යාත්මක ලක්ෂයකි.

අධ්‍යාපන ඇමතිවරයා ආනන්ද විද්‍යාලයට ද නාලන්දා විද්‍යාලයට ද “ගියහ.”

අවසාන ක්‍රියාව ‘ගියහ’ යනුවෙන් බහු වචනයෙන් තැබුවේ ඇමති විද්‍යාල දෙකකට ගිය නිසා විය යුතුය.

භාෂා ලෝලියකුට මේ සිංහල ඉවසිය හැක්කේ කෙසේ ද? කාරියකරවනයන් වෑයම් කළේ මේ නොවියත් බසට එරෙහිව ය.

නිවැරදි බසෙහි වැදගත්කම වෙනුවෙන් පෙනී සිටියේ මෑත යුගයේ කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ හෙළ හවුලේ ඇත්තන් හෝ කාරියකරවනයන් පමණක් නොවේ. අනාදිමත් කාලයක සිට නිවැරදි භාෂා ව්‍යවහාරයේ වැදගත්කම වටහාගත් මහා දාර්ශනිකයෝ සිටියහ. ක්‍රිස්තු පූර්ව 551-479 විසූ චීන දාර්ශනික කොන්ෆියුසියස් එවැන්නෙකි. “මට රටක් පාලනය කිරීමට වරම් ලැබුණොත්, මා පළමුවෙන්ම කරන්නේ භාෂාව නිවැරදි කිරීමයි. මන්ද භාෂාව නිවැරදි නැත්නම්, කෙනෙකු විසින් පවසනු ලබන්නේ, ඔහු අදහස් කරන දේ නොවේ. කියනු ලබන්නේ අදහස් නොකළ දෙයක් නම්, කළ යුතුව තිබෙන දේ නොකෙරෙයි. කළ යුතුව තිබෙන දේ නොකෙරෙන කල්හි, යහපත් චර්යාව හා කලාව පිරිහෙයි. යුක්තිය, සාධාරණත්වය වල්වදී. යුක්තිය සාධාරණත්වය වල්වදින විට, මිනිස්සු මංමුළා වෙති. අසරණ වෙති.”

වියරණය පමණක් නොවේ. අක්ෂරයක් - ඉස්පිල්ලක් - පාපිල්ලක් පවා කොතරම් බරපතළ අර්ථ විකෘතියක් සිදුකරන්නේ දැයි මේ දිනවල ප්‍රසිද්ධ වී ඇති දැන්වීම් කිහිපයක් අපට මතක් කරදෙයි. 

“අඩු ලුණු අඩු ලෙඩ - වැඩි ලුණු වැඩි ලෙඩ”

මෙහි ‘ල’යන්නේ පාපිල්ල ලොප් වුවහොත් කියැවෙන්නේ කුමක් ද?

“අඩු ලණු අඩු ලෙඩ - වැඩි ලණු වැඩි ලෙඩ” යනුවෙනි.

කොමාවක් වැරදි තැන යෙදුණොත් වන අර්ථ විකෘතියට නිදසුනකි මේ.

මරන්න, එපා යන්න දෙන්න.

මරන්න එපා, යන්න දෙන්න

මරන්න,

එපා යන්න දෙන්න.

මරන්න එපා,

යන්න දෙන්න

කොමාවකට මිනිසකු මැරිය හැකිද? යනුවෙන් ස්වාධීන රූපවාහිනියේ දර්ශනය වූ පූර්ව ප්‍රචාරක දැන්වීමකි ඒ.

සුළු පද බෙදීම් දොසකින් අර්ථ විකෘත වූ දැන්වීමක් මට මතකය. මෙය එල්ලා තිබුණේ එක්තරා අවන්හලක ය.

“සිත කල කිරී අලියා බිම”

මේ දැන්වීම්කරුට කියන්නට ඕනෑ කළේ කුමක් ද?

සීත කළ කිරි - අලියා බීම

කොමාවකින් සිදුවිය හැකි, සිදුකළ හැකි මේ නිදසුනින් කොන්ෆියුසියස් වසර දහස් ගණනකට පෙර කී දේ සනාථ නොවන්නේ ද?

ලංකාදීපයේ සිටියදී ද ලේක් හවුසියේ ජනතාවේ සිටියදී ද දිනමිණේ හෝ සිළුමිණේ සිටියදී ද කාරියකරවනයෝ බසට මුල්තැන දුන්හ. බස නසන හැටි පෙන්නා දුන්හ.

කුමාරතුංග අනුගාමිකයෙකු වුවද, හෙතෙම කුමරතුඟුන් ‘ගුරු දෙවි’ තනතුරේ තබා අවිචාරයෙන් වන්දනාමාන කළේ නැත. ‘ඇ’ කාරය බහුල, ‘කට ඇද බස’ ලෙස ඇතැමුන්ගේ අවඥාවට ලක් වූ කුමරතුඟු වහර පත්තර කලාවට අනුරූප වන සේ හැඩගසා ගන්නට ඔහු නොපැකිළුණේ ය. කුමාරතුංග භාෂා ව්‍යාපාරයේ සාරාර්ථය ඔහු සාක්‍ෂාත් කරගත්තේය. මා ජනතාවේ සිටි කාලය තුළ හුදුහෙළ බසින් කිසිදු සිරස්තලයක් පළ කළ බවක් මට මතක නැත.

ඔහුගේ පත්තර භාෂාව හෙළ බසට වඩා නැඹුරු වූයේ තවත් විචාරවත් හෙළයකු වූ ‘ඇත්ත’ කර්තෘ බී.ඒ. සිරිවර්දනයන්ගේ භාෂාවට බව මගේ නිරීක්‍ෂණයයි. ඒ වූ කලී ජීව භාෂාවකි. 

කාරියකරවනයන්ගේ පත්තර ජීවිතයට පදනම වැටුණේ, මුල් ලංකාදීපයේ ඩී.බී.ධනපාල පත්තර ගුරවරයා ඇසුරෙනි. ශාස්ත්‍රීය භාෂාවෙන් පළ වූ සිංහල පත්තර කලාවට සරල සුගම බස් වහර කියා දුන්නේ ඔහු ය. පොතපත ලියන භාෂාවේ තලස්තෑනිකමත් මහලුකමත් ඇති බව පෙන්නා දුන් හෙතෙම, පත්තර භාෂාවේ යෞවන විලාසයක් තිබිය යුතු බව පෙන්නා දුන් පළමු වැන්නා ය. ‘ලංකාදීපයේ’ ඩී.බී. ධනපාල සහ ‘ඇත්තේ’ බී.ඒ. සිරිවර්දනගේ පත්තර භාෂා පූර්වාදර්ශය කාරියකරවනයන්ගේ පත්තර භාෂාවේ විද්‍යමාන වන්නේ ය.

ඔහු ‘සිළුමිණ’ට ලියූ ‘අරුත් නිරුත්’ තීරු ලිපියේ මේ උපුටනය මගේ මතය සනාථ කරනු පිණිස ගෙනහැර දක්වනු කැමැත්තෙමි.

“ජීවිතය අවසන් වීම හැඳින්වීමට අපේ භාෂාවේ වචන ගණනාවක් තිබේ. ඒවායින් ප්‍රමුඛ වන්නේ මරණයයි. කාලයාත්‍රා කිරීම, කලුරිය කිරීම, ජීවිතක්‍ෂයට පත්වීම, ජන්මාන්තරගත වීම, නිදනප්‍රාප්තවීම, අභාවප්‍රාප්ත වීම, මෙලොව හැර යෑම, පරලෝ සැපත් වීම, අවසන් හුස්ම හෙළීම, දෑස් පියා ගැනීම, සදාකාලික නින්දට වැටීම, මියයෑම, මිය පරලොව යෑම, චුතවීම ඒවායින් කිහිපයකි.

තුට්ටු දෙකේ බාසාවෙන් කතා කරන අය වහරන වචන වගයක් වෙනම ඇත. වළපල්ලට යෑම, කූරියා ගැසීම හා සෙන්තපොච්චිය ඉන් සමහරකි.

අපේ සැලකිය යුතු පුද්ගලයකු මියගිය කල ‘දැයෙන් සමුගනී’ යන්න දැන් දිගට හරහට අසන්නට ලැබේ.

මේ සමුගැනීම යෙදෙන්නේ මෘත දේහය ආදාහනය හෝ භූමදානය කරන අවස්ථාවට ය. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ සිදුවන්නේ මළ සිරුර පිලිස්සීම හෝ වළ දැමීම ය. ඇත්ත වශයෙන්ම ඔහු හෝ ඇය සමුගන්නේ අවසන් හුස්ම ටික හෙළු දවසේ ය. ඇතැමකුගේ අභිමතය පරිදි මළ සිරුරු රෝහල්වලට පැවරේ. එය හොඳ වැඩකි.

මේ කාරියකරවනයන්ගේ ප්‍රාණවත් පත්තර භාෂාවට කෙටි උදාහරණයකි.

‘ජනතා’ වූ කලී සවස පත්තරයකි. සවස වැඩ ඇරී කියවීම ඉලක්ක කරගත් පත්තරයකි. පිරිපහදු බසක් වුව සිය පාඨක පිරිසට යෝග්‍ය පරිදි ඔහු බස සකසා ගත්තේ ය. බස නිවැරදි කිරීමේ කාරිය ශාස්ත්‍රීය පොතපත කියවන්නවුන්ගෙන් නොව, හුදී ජනයාගෙන් ඇරැඹිය යුතු බව ඔහුගේ දැක්ම විය. ඔහු තම ස්වයංලිඛිත චරිතාපදාන කෘති නම් කිරීමේ දී අනුගමනය කරන පිළිවෙත ද ඊට තවත් හොඳ නිදසුනකි. මුල් පොත ‘දසක සතක මතක’ (1988) ය. දෙවැන්න මතක පොතේ තවත් ටිකක් (2000) ය. තෙවැන්න ‘මතක පොතේ ඉතිරි හරිය’ (2003) ඒ කාටත් තේරෙන සරල - සුගම අපූරු නාමකරණයක් නොවේ ද? 

“මතක පොතේ ඉතිරි හරිය” ට ඔහු ලියන පෙරවදනයි මේ.

“මෙහි යම් යම් කොටස් අවුරුදු කීපයකට පෙර ලියන ලද ඒවාය. තව ඇතැම් කොටස් දඩිබිඩි ගා මේ උණු උණුවේම ලියූ ඒවා ය. අලුත ලියූ ඒවා හැරෙන්නට අනෙක් කොටස් එළිදකින්නට තිබුණේ කලකට පෙර ය. පරිගණක වැඩ බාරගත් උදවියගේ ප්‍රශ්නයක් නිසා මගේ මුදලුත් කාලයත් අපතේ ගියේ ය. අත්පිටපත් ආපසු ලැබුණේ ද සෑහෙන කාලයකට පසුව ය.” කාරියකරවන ඔහුම හදාගත් නිරවුල් බසක් අනුගමනය කළ බවට ඔහුගේ ඒ ග්‍රන්ථ නාම මෙන්ම පෙරවදන ද සාධක සපයයි.

සියවසකට ආසන්න කාලයක් ආයු විඳ ඩී.එෆ්. කාරියකරවන සුධීන් දැයෙන් සමුගත්තේ ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තබමිනි. කාලාන්තරයක් තිස්සේ පුවත්පත් කලාවේදීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිළිබඳ සිහිනය දුටු ගුරු කාරියකරවන, ලංකා පත්‍ර කලා සංගමයෙන්, අවම පහසුකම් මැද පාඨමාලා සංවිධාන කළේ ය. එහෙත් ඔහුගේ ඒකායන අරමුණ වූයේ මුද්‍රිත මාධ්‍ය පාඨමාලාවක් විධිමත් ලෙස විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කිරීමයි. මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ මැදිහත් වීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කළ ජන සන්නිවේදන පාඨමාලාව මේ වනවිට සිංහල - දෙමළ - ඉංගිරිසි මාධ්‍යවේදීන් අති සාර්ථක මට්ටමින් පුහුණු කරගෙන යයි. ඒ ඔහුගේ පරිශ්‍රමයේ මාහැඟි ප්‍රතිඵලයකි.

එසේම ඉංගිරිසි මාධ්‍යවේදීන්ට පමණක් අයත් වරප්‍රසාදයක්ව පැවැති විදේශ සංචාර සිංහල මාධ්‍යවේදීන්ට ද ලබා දෙමින් ඔවුන්ට ‘ළිං මැඩි’ ලෝකයෙන් එළියට එන්නට කාරියකරවනයෝ මං සැලසූහ. රට රටවල මාධ්‍යවේදීන් හමු වී අත්දැකීම් බෙදාහදා ගන්නටත් විදෙස් මාධ්‍ය ආයතනවල කෙටිකාලීන පුහුණුව ලබා ගන්නටත් හෙතෙම දොර හැර දුන්නේ ය.

ඩී.එෆ්. කාරියකරවන පත්‍ර කලා ගුරුවරයා වෙතින් අත්පොත් තැබූ තරුණයෝ බොහෝ දෙනෙක් අද පත්තර ආයතනවල මුල්පුටු හොබවති. දෙවැනි පුටු හොබවති.

දස්කම් පාති. ඒ දස්කම් දක්වන පත්තරකාරයන්ගෙන් විහිදෙන්නේ සිය දිවි දෙවැනි කොට පත්තර කලාව පෝෂණය කළ පත්‍රකලාකරුවකුගේ යශෝරාවයයි.

තිලකරත්න කුරුවිට බණ්ඩාර, 
සිළුමිණ හිටපු කර්තෘ

ඡායාරූපය - විමල් කරුණාතිලක

Comments