හුදෙකලා වී මියැදෙන ලංකාවේ සද්දන්තයෝ | සිළුමිණ

හුදෙකලා වී මියැදෙන ලංකාවේ සද්දන්තයෝ

ලංකාවේ අලි මිනිස් ගැටුම ද නිමා නොවන වංසගතයක් බඳු යැයි කිවහොත් එය නිවැරදිය. සත්ත්ව ලෝකයේ වඩාත් බුද්ධිමත්, සංවේදී සත්ත්ව වර්ගයක් වන අලි ඇතුන් වර්තමානයේ විවිධ හේතු මත වේදනාබර මරණයක් උරුම කර ගන්නා බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ලංකාවේ අලි මිනිස් ගැටුම හරහා අලි පමණක් නොව මිනිසුන් ද ජීවිතයෙන් සමු ගත්තද අලි මිනිස් ගැටුමට මූලාරම්භයක් සපයන්නේ මිනිසුන්ගේ අනුවණ ක්‍රියාකාරකම් බව නොරහසකි. නිමා නොවන එකී ගැටුම් හමුවේ 2021 වසරේ වනයේ දිවි ගෙවූ අලි 375කට වේදනාබර මරණයක් උරුම විය. 2020 කොවිඩ් වසංගතයෙන් දරුණුවට බැටකමින් සංචරණ සීමා දැඩිව පැවැතියද වනගත අලි 328 දෙනෙකුට ජීවිතය අහිමි විය. 2019 වසරේදී ජිවිතයෙන් සමුගත් සද්දන්තයන්ගේ ගණන 407කි. 2022 වසර උදාවී තවමත් ගෙවි ඇත්තේ මාසයකට නොඅඩු කාලයක් වුවද එහි පළමු දින 21දී අලි 25ක් මිය ගොස් ඇත්තේය.

අලි මිනිස් ගැටුම පිළිබඳ අර්ථකතනය කරන විද්වත්හු පවසන්නේ ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ සඳහා මිනිසා විසින් භාවිත කරන සටන්කාමි ප්‍රවේශයයි. ඒ ගැටුමක් නිර්මාණය කරමින් ගම් වදින අලි පලවා හැරීමය. බුද්ධිමත් එමෙන්ම සංවේදී සත්ත්ව විශේෂයක් වන අලි මේ වන විට මෙවැනි ගැටුම්කාරී පරිසරයන්ට අනුවර්තනය වෙමින් පැවැතීම මෙම ගැටුම තවත් තීව්‍ර කිරීමටත් අලි මිනිස් හානි වැඩි වශයෙන් සිදු කිරීමටත් හේතුවක් වී ඇත. සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු පවසන පරිදි මේ වන විට අලි ගහන ප්‍රදේශ දිනෙන් දිනම අඩු වෙමින් පැවැතීම හරහා පැහැදිලිවම ලංකාවේ අලි ගහනයේ අඩු වීමක් පෙන්නුම් කරන බවයි.

RARE - rally For Animal Rights & Environment ඇතුළු සත්ත්ව ලෝලීන් ප්‍රකාශ කරන්නේ ලංකාවේ තුළ මෙන්ම සතුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහන් හරහා විදෙස් රටවලට ත්‍යාග ලෙස ලබා දුන් සමහර අලි ඇතුන්ගේ ඉරණම ද මේ ආකාරයෙන්ම තීරණය වන්නට පටන් ගෙන ඇති බවකි. සත්ත්ව හිතකාමීන් පවසන්නේ විදෙස් සත්ත්ව උද්‍යානවල ඔවුහු ගත කරන්නේ සදාකාලික සිරගත දිවියක් බවය. පිලිපීනය, රුමේනියාව, කැනඩාව, එකසත් රාජධානිය, නවසීලන්තය, චීනය, ජපානය, දකුණු කොරියාව, චෙක් ජනරජය, සහ ඉරානය වැනි රටවල සත්වෝද්‍යානවලට ලංකාවෙන් ලබා දුන් අලි ඇතුන් බොහොමයක් පරිසර වෙනස්කම් මත ඇතිවුණු මේ ඉරණමට මුහුණ දී සිටින බවකි.

පසුගිය කාලයේ ජීවිතයෙන් වන්දි ගෙවූ ඇතුන් බොහෝය. ඒ අතර ‘ගල්ගමුවේ දළ පූට්ටුවා’ මෙන්ම ‘ගල්ගමුව මහ ඇතා’ද විශේෂිතය. ගල්ගමුව දළ පූට්ටුවා ජිවිතයෙන් වන්දි ගෙව්වේ දළ ලබා ගැනීමේ තණ්හාවෙනි. මිනිස් හානි කිරීම් නිසා දෙඇස් අන්ධ අහිංසක ඇතකු ලෙස ප්‍රසිද්ධ මේ ඇතාගේ මරණකරුවන්ට නිසි දඬුවම් නොලැබුණු බව ප්‍රකට කරුණකි. ගල්ගමුව මහ ඇතා මැරුණේ අකාලයේ මිය ගියේ හොරවුපතාන රැඳවුම් මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරද්දී ඛේදනීය ලෙස ලොරි තට්ටුව කඩා වැටීමෙනි. ගල්ගමුව මහ ඇතා මිනිසුන් මැරුවා යැයි ඇසින් නොදුටු සැකයට මේ මරණය තීන්දු විය.

පසුගිය වසරේ හීන් දළ ඇතෙක් ඇතුව අලි ඇතුන් හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මියගිය පුවත හද කම්පා කරන පුවතකි. පරිසරවේදීන් බොහෝ දෙනකුගේ චෝදනාවන්ට ලක්වන හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිළිබඳව ද ඇසෙන්නේ තවත් අලි පිළිබඳ සානුකම්පිත කතාවකි.

“හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ගාල් කළ අලි ඇතුන් බොහෝමයක් පසුගිය කාලයේ කන්න නැතුව මැරුණා. මේ ස්ථානය අලි හිරගෙදරක්. 2019 මේ පිළිබඳ කළ විගණන වාර්තාවට අනුව 2015-2019 දක්වා අලි 52ක් මේ ස්ථානයට දාලා තියෙනවා. නමුත් විගණනය කරන විට සිටියේ අලි 9දෙනෙක් පමණයි. අදටත් මේ ස්ථානයට අලි ගෙනත් දානවා. බොහෝමයක් කන්න නැතුව මැරෙනවා. එය භයානක තත්ත්වයක්. හොරව්පතාන අසාර්ථක වී තියෙද්දි මේ වන විට ලුණුගම්වෙහෙරත් එවැනි පාක් එකක් හදන්න යෝජනා කර තියෙනවා. අපි අහන්නේ අලින්ට දස වධ දෙන්නට මේ වගේ තැන් අවශ්‍යද කියා” ඒ, ආචාර්ය පෘතුවිරාජ් ය.

ආචාර්ය පෘතුවිරාජ් පවසන පරිදි ගැමුණු යාල රංචුවේ ‘රානා’ මෙන්ම අලි පැටවුන් ද පසුගිය කාලයේ මිය ගියේ ආහාර අහේනිය නිසා බවය.

“යාල ගැමුණු රංචුවේ ‘රානා‘ මැරුණේ කන්න නැතුව. 2004 වසරේදි යාල බ්ලොක් 1 කොටසේ අලි වැටක් ගැහුවා. ඉන් පස්සේ වියළි කාලයේදී අලින්ට කෑම නැතිවුණා. මේ නිසා සෑම වසරකම අලි පැටවුන් 2-3 ක් ආහාර අහේනියෙන් මැරෙනවා. යාල‘ගැමුණු රංචුව’ අපි අවුරුදු 30ක් නිරික්ෂණය කළා. මේ රංචුවේ 50% ක් මැරුණේ ආහාර නොමැතිකම නිසා.‘රාවණා’ගේ මරණයත් ඒ වගේම දුක්ඛිත මරණයක්. මේ සතාගේ විවිධ හානිකිරීම් වාර්තා වුණ නිසා උඩවලව රක්ෂිතයට ගෙනත් දැම්මා. පස්සේ ඌ එතැනින් පිටවෙලා බුත්තල නගරයට ඇවිත් විවිධ හානි කිරීම් සිදු කළා. පොලිසියෙන් තියපු වෙඩිල්ලකට කකුලට වැදුණා. 2018 ඌ ලුණුගම්වෙහෙර රක්ෂිතයේදි මැරිලා තිබුණේ ඒ වේදනාවෙන්”

ආචාර්ය පෘතුවිරාජ් පවසන්නේ බොහෝ දෙනා විදෙස් රටවල සිටින අලි ඇතුන්ගේ තත්ත්වය ගැන කතා කළද ලංකාවේ අලි ඇතුන්ගේ තත්ත්වය ඊට වඩා භයානක බවය. අලින්ට අධික උෂ්ණත්වය දරා ගැනීමට යම් අපහසුතා තිබුණද විදෙස් සත්ත්ව උද්‍යානවලදී ඔවුන්ට හොඳින් සත්කාර කරන බවකි.

“අලි ඇතුන් ඉතා බුද්ධිමත් හා සංවේදී සත්ව කොටසක්. නමුත් විදේශ රටවලට ලබා දුන් අලින් ජීවත් වන්නේ එම සත්වෝද්‍යානවල හුදෙකලා සිරකරුවන් විදියට. දන්නා හඳුනන කිසිවකුත් නොමැති ඉතා කුඩා සිර මැදිරියක වසර 20ක් හෝ 30ක් එක දිගට ජීවත් වීමට සිදුවීම කොතරම් වේදනාබරද? 1989දී කුවේට් රාජ්‍යයේ සත්වෝද්‍යානයක ලංකාවෙන් ලබා දුන් අලියකු වසර 30 ක්‌ පමණ ඉතා කුඩා සිර මැදිරියක පාළුව 

කාන්සිය දරාගත නොහැකිව තම හිස සිර මැදිරියේ බිත්තියේ ගසාගෙන සියදිවි හානි කරගත්තා. ඉන්පසු ආර්මේනියාවට ලබා දුන් අලියකු තම සිර මැදිරිය බිඳගෙන පිටතට පැමිණි අවස්ථාවේ යුද්ධ ටැංකියක් යොදාගෙන එම සත්ත්වයා වෙඩි තබා ඝාතනය කළා. මෑතකදී ශ්‍රී ලංකාවේ සත්ත්ව සුබසාධන ක්‍රියාකාරීන්ගේ ද අවධානය යොමුවී ඇත්තේ, කැනඩාවේ එඩ්මන්ටන් වැලි සත්වෝද්‍යානයේ වෙසෙන මෙරටින් ලබාදුන් ‘ලුසී’ගැන. ශ්‍රී ලංකාවෙන් පිලිපීනයේ මැනිලා සත්වෝද්‍යානයට ලබා දුන් ‘මාලි’නමැති ඇතින්නගේ කතාවක් එවැන්නක්. ඒ වගේම රුමේනියාවේ Targu-Mures සත්වෝද්‍යානයේ දිවි ගෙවන ‘ටානියා’ හස්තියාගේ සහ එංගලන්තයේ සත්වෝද්‍යානයක දිවි ගෙවන ‘ඈන්’ ගේ ජීවිත කතාත් එසේමයි. ඒ නිසා බලධාරින්ගේ අවධානය මේ කෙරෙහි යොමු විය යුතුයි.”ඒ තොරතුරු අනාවරණය කළේ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් ය.

2020 වසරේ ජූනි 26 වැනිදා වේදනා සහිත මරණයකට පෙර, වේදනාවකින් තොරව මරණයක් උරුම කළ ‘ශාන්ති’ වොෂින්ටන් ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට මෙරටින් ලබා දුන් ඇතින්නකි. වනගත දිවිය අහිමි වූ ශාන්ති ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතර මැණික් කටුවෙහි නිදන්ගත රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගෙන ඇත්තේ යොවුන් වියේදීය. එම සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කළේ ශාන්තිගේ ශාරීරික තත්ත්වය ආපසු හැරවිය නොහැකි ලෙස පිරිහී ඇති හෙයින් පසුගිය වසරේ ජුනි 26 වෙනිදා ඇයට වේදනාවකින් තොරව මරණයට පත්කිරීමට සත්වෝද්‍යාන පාලනාධිකාරිය තීරණය කළ බවකි.

පකිස්තානයේ ‘කාවන්’ට අධිකරණයෙන් නිදහස

මීට වසර 35 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර, මර්ගාසාර් සත්ව උද්‍යානයේ මහත් පීඩාවන් මැද හුදකාලව රඳවනු ලැබ ජීවත් වූ ලොව සත්ත්ව ලෝලීන්ගේ අවධානයට යොමු වූ ‘කාවන්’ නම් ඇතා, කාම්බෝජයේ සත්ව අභයභූමියක් වෙත ගෙන යෑමට එරට අධිකරණයෙන් අවසර ලැබීම සුවිශේෂී අවස්ථාවකි. එහෙත් 1990 වසරේ ලංකාවෙන් යවනු ලැබූ ‘සහේලි’ නම් ඇතින්න පාකිස්තානයේ දේශගුණික තත්ත්වය 2012 මිය ගියාය.

ජපානයේ ටොකුෂිමා සත්වෝද්‍යානයේ මේරිට දුක්ඛිත මරණයක්

පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වූ ‘මේරි’ හා ‘රංග’ ජපානයේ ටොකුෂිමා සත්වෝද්‍යානයට ගෙන ආවද 2008 දී රංග හදිසියේම මිය ගියේය. මේරි සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ කුඩා කුටියේය.

මේරිට පිටුපස කකුලේ වේදනාවක්, ඇයගේ සම පුරා තුවාල ඇති බවත් පෙනෙන්නට තිබුණු අතර ඇය තම සිරුර එහාට මෙහාට සොලවමින් තම ආතතියට මුහුණ දුන්නාය. අවසනයේ ඉතා දුක්ඛිත ලෙස ඇයගේ මරණය වාර්තා විය.

පිලිපීනයේ මැනිලාහි මාලි ජීවත් වන්නේ කොන්ක්‍රීට් මැදිරියක

ලංකාවේ ‘මාලි’ පිලිපීනයේ සත්තු වත්තට ගෙන යද්දී වයස අවුරුදු තුනකි. මේ වන විට වසර 40 ක්ම පිලිපීනයේ සත්තු වත්තක මාලි දිවි ගෙවන්නේ කොන්ක්‍රිට් කුටියකය. මෙය හද කම්පා කරන දසුනක් බවත්, මේ නිසාවෙන් මාලිට විවිධ පාද ආබාධ ඇති බවත්, ඒවා වහල්භාවයේ සිටින අලි ඇතුන් අතර බහුලව දක්නට ලැබෙන්නක් බවත් අලි විශේෂඥ වෛද්‍ය හෙන්රි රිචඩ්සන් පවා පවසා තිබුණි.

ශක්තිමත්, බුද්ධිමත්, සංවේදී මෙන්ම තම සහචරයන් සමඟ ගැවසීමට ප්‍රිය කරන අලි බොහෝ දෙනකු අද හුදෙකලා වී ඇත්තේ විදෙස් රටවල පවත්නා අධික ශීත මෙන්ම අධික උෂ්ණ පරිසර තත්ත්වයන්ට අනුගත වීමට නොහැකිවය. වන සත්ත්ව හා වාක්ෂලතා ආඥා පනතේ අනුව හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළද, බොහෝ දෙනා චෝදනා නඟන්නේ එයද සුදු අලියකුගේ තත්ත්වයට පත්ව ඇති බවකි.

RARE - rally For Animal Rights & Environment සංවිධානය පවසන්නේ පසුගිය වසරේ පෞද්ගලික භාරයේ සිටි අලි දෙදෙනකු ද මියගිය බවකි. ඉන් එක් අයෙකු වන්නේ ‘මැණිකා’ය. අනිකා ‘කණ්ඩුල’ය.

“1960-70 කාලවල මේ අලින් ඇල්ලුවේ කැළෙන්. ඒ මැණිකා ගැබිනියක වී සිටියදී. කැළයෙන් ආ මානසික පීඩනයෙන් පසු ඇයගේ පැටියා මිය ගියා. ඉන්පසු ‘මැණිකා’ වගේම ‘කණ්ඩුල’ ජීවිතය ගත කළේ සදාකාලිකව වහල් භාවයෙන්. ඔවුන් මුළු කාලයම කොටන් ඇද්දා. සංචාරකයන් එහා මෙහා ගෙන ගියා. පෙරහරවල ගමන් කළා. ගොඩාක් දුක් වින්දා. එක් අයෙකුගේ ඇස් දෙකම ඇත්ගොව්වාගේ ක්‍රියාවන් නිසා අන්ධ වුණා. මේ අලින්ට බොහෝ හිරිහැර වූ බව ඇස් පනා පිටම දැක්ක අය ඉන්නවා. ලංකාවේ අලි මැරුණහම පශ්චාත් මරණ පරික්ෂණ නිසියාකාරව වෙන්නේ නැහැ. මේ නිසා දුක්විඳ මැරුණු අලින් වාර්තා වෙන්නේ ස්වභාවිකව මියගිය අලින් විදියට. හීලෑ අලි ඇතුන් 57 දෙනෙක් මේ විදියට ලොව වටා හා විහාරස්ථානවල සිට දුක් විඳ මියගොස් තියෙනවා. පින්නවල අලි අනාථාගාරයේ මේ වන තෙක් අලි පැටවු 74 ක් ඉපදිලා තියෙනවා. ඒත් දැනට මෙහි ඉන්නේ අලි 76 ක් පමණයි.”ඒ, RARE සංවිධානයේ අදහසයි.

“අලි 65 ක් මේ වන විට හොරව්පතානට නිදහස් කර තිබෙනවා. එයින් මරුණු අලි ඉන්නේ 15ක් පමණයි. අනිකුත් අලින්ගේ සුබ සාධනය හොඳින් පවත්වා ගෙන යනවා. තණකොළ උද්‍යාන වැඩි කිරීමට මේ වන විට කටයුතු කරනවා. ලංකාවේ අලි මරණ ගැන ජනතාව දැනුම්වත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග රැසක් වනජිවි දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාවට නඟමින් පවතිනවා. ඊට ප්‍රාදේශීය සභා ද සහභාගි කර ගනිමින් දියත් කෙරෙන මේ වැඩපිළිවෙළේ මුඛ්‍ය අරමුණ අලින් ආරක්ෂා කිරීම මෙන්ම අලින්ගෙන් ජනතාවට සිදුවන හිරිහැර අවම කිරිමයි.” එසේ පැවසුවේ වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර ය.

ලංකාවට සම්පතක් වන වන අලි සම්පත රැක ගැනීමේ වගකීම වන ජිවි අමාත්‍යාංශයට පමණක් පැවැරිය නොහැකි අතර එය සාමූහික වගකීමක් සේ සලකා සැමගේ දායකත්වය ඊට ලබා දිය යුතුව ඇත.

 

Comments