
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදුලි ඉල්ලුම දිනකට මෙගා වොට් 2900ක් පමණ වේ.ඒ අතරින් වැඩි මෙගා වොට් ප්‍රමාණයක් එනම් මෙගා වොට් 1400ක් පමණ නිෂ්පාදනය වන්නේ අපගේ ප්‍රධාන විදුලි උත්පාදන මාර්ගය ලෙස පිළිගැනෙන මහා පරිමාණ ජල විදුලි බලාගාර වලිනි. කෙසේවුවත් මේ දිනවල පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය මෙරට සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් 25 % කටත් වඩා අඩු අගයකට පැමිණ ඇති අතර; විදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශ වලට ඉදිරි මාස කීපය තුළදී ද ප්‍රමාණවත් තරම් වැසි ඇති බලාපොරොත්තු විය නොහැකි බැවින් මේ වන විට විදුලිබල ක්ෂේත්රය බරපතළ අනතුරක් වෙත තල්ලු වී ඇත.
විදුලි කප්පාදුවක් සිදු වුවහොත් එය මෙරට ආර්ථිකයට කවර බලපෑමක් ඇති කරයිද? ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍ර වෙත එලෙස සිදු කෙරෙන විදුලිය කප්පාදුවක් කවර ප්‍රතිචාර දක්වයිද? අප මේ සම්බන්ධව ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන පාර්ශ්ව කීපයකින්ම අදහස් විමසීමට තීරණය කළෙමු. එහිදී අප සමඟ පළමුව අදහස් දක්වන ලද්දේ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දුය.
"ඇඟලුම් වලට ඇණවුම් තියෙන නිසා ඒ ඇණවුම් කඩිනමින් සපයන්න විදුලිය අවශ්‍යයි. මොකද හැම ඇඟලුම් ආයතනයකටම ජෙනරේටර නැහැ. තිබුණත් ඒවා හැම අවස්ථාවකදීම දීර්ඝ කාලයක් ක්‍රියාත්මක කරන්න අමාරුයි. මේ නිසා යම් විදුලිය කප්පාදුවක් සිදු වුවහොත් මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය විශාල අර්බුදයකට මුහුණ පානවා.
ඇඟලුම් කර්මාන්තය නිසා තමයි අද ලංකාව මේ විදිහට හරි ආර්ථික වශයෙන් හිස ඔසවන් ඉන්නේ. අපගේ කර්මාන්තය තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය විශාල වශයෙන් උපයා දී තිබෙනවා. කෙසේ වුවත් විවිධ හේතු සාධක බලපාමින් විදේශ විනිමය අර්බුදයක්ද ඉස්මතු වී ඇති මෙම අවස්ථාවේ විදුලිය කප්පාදු කිරීමක්ද සිදු වුවහොත් ඇඟලුම් කර්මාන්තයට පමණක් නොව රටටත් විශාල ආර්ථික පාඩුවක් සිදුවනු නොඅනුමානයි.
මේ නිසා අපි විෂය භාර අමාත්‍ය ඩී.වී චානක සමඟත් ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සමඟත් සාකච්ඡා කරල විශේෂ ඉල්ලීමක් සිදු කළා මොන යම් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට පියවර ගත්තත් අඛණ්ඩව අපගේ කර්මාන්ත ශාලා සඳහා විදුලිය ලබාදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස. නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයාගේ එම අදහස් දැක්වීමෙන් අනතුරුව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර සිටියේ විදුලිබල ක්ෂේත්රය තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය තුළ යම් විදුලිය කැපීමක් සිදු වුවහොත් ආපන ශාලා හිමියන් පමණක් නොව පාරිභෝගික ජනතාවද දුෂ්කරතාවන් රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි. "විදුලිය කප්පාදු කරනවා නම් නිශ්චිත වේලාවක් සටහන් කර ඒ පිළිබඳව අපව දැනුම්වත් කළ යුතුයි. මොකද අපි කවුරුත් දන්නවා ආපන ශාලා සඳහා වැඩියෙන් විදුලිය අවශ්‍ය වෙනවා. ඒ වගේම සවසට හා රාත්‍රියට තමයි මෙම ආපනශාලාවල වැඩි වෙළෙඳාමක් සිදු වන්නේ.
කාල සටහන් හදා කලින් ප්‍රකාශ නොකළත් පසුගිය දිනවලත් යම් විදුලිය කප්පාදුවක් සිදු වුණා. ඒ කප්පාදුව නිසා අප ආපනශාලා හිමියන්ට දුෂ්කරතා ඇති වුණා. සිදු වූ පාඩුව ගණනය කරන්නට බැහැ.
යළිත් දීර්ඝකාලීනව විදුලිය කැපීමක් සිදු වුවහොත් මෙම ක්ෂේත්රය තුළ තවදුරටත් රැදී සිටිනවාද, නැත්ද යන්න ගැන ආපනශාලා හිමියන්ට තීරණයක් ගැනීමට සිදු වේවි. සේවකයන්ගේ පඩිනඩි, ලයිට් බිල්, වතුර බිල්, බදු කුලී ගෙවීමට නොහැකි වාතාවරණයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා.
මේ විදුලි බල අර්බුදයට දීර්ඝ කාලීන විසඳුම් ලබා දීමේදී ආපනශාලා හිමියන්ගේ සහයත් ලබා ගන්නා පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අප යෝජනා කර සිටිනවා. ඒ අනුව සියලුම ආපනශාලා වල වහල මත සූර්ය පැනල එළීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකියි."
මෙරට ආර්ථිකයට ජීවය පිඹින ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්රයක් වන ඉදිකිරීම් කර්මාන්තය සඳහා කවර ආකාරයේ බලපෑමක් එල්ල කරාවිද? අප මේ සම්බන්ධයෙන් ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චිගෙන් විමසූ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ විදුලිය අර්බුදය උග්‍ර වී දිනකට පැය දෙක තුනක් විදුලිය විසන්ධි කළහොත් තම ඉදිකිරීම් කර්මාන්තය සඳහාද එහි බලපෑම එල්ල වනු ඇති බවයි. එවැන්නක් සිදු වුවහොත් ඉදිකිරීම්කරුවන් බාර ගෙන ඇති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කලට වේලාවට නිම කිරීමට හැකියාවක් නොලැබෙන බවද අවධාරණය කර සිටි ඔහු රටක් ලෙස ඉදිරියට යන විට මෙවැනි ගැටලු මග හරවා ගෙන ඒවාට සාර්ථක පිළිතුරු ලබා දීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බවද සඳහන් කළේය.
ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙන්ම තවත් පිරිස් ගණනාවක්ම විදුලි කප්පාදුවකින් තම ව්‍යාපාර ක්ෂේත්රවලට මෙන්ම මෙරට ආර්ථිකයට ද සිදු වන බලපෑම පිළිබඳව නිශ්චිතව ගණන් හදා ප්‍රකාශ කරත්දී විදුලිය කප්පාදුවක් සිදු වුවහොත් එය මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන ප්‍රධාන අපනයන ක්ෂේත්රයක් වන තේ කර්මාන්තය සඳහා ද කෙසේ බලපානු ඇත්දැයි අප ප්‍රකට තේ ව්‍යාපාරික අනුර අතුකෝරලගෙන් විමසා සිටියෙමු. එහිදී අනෙක් පාර්ශ්ව දැක්වූ අදහස්වලට සමීප අදහසක් දක්වා සිටි ඔහු තේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සීයට සීයක්ම විදුලිය අත්‍යවශ්‍ය බවත් මෙරට ජනතාවගේ විදුලිබල අවශ්‍යතාවය නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී දීර්ඝකාලීන ලෙස විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදු වුවහොත් එහි බලපෑම මෙරට තේ කර්මාන්තයටද සෘජු ලෙස බලපානු ඇති බවටත් ප්‍රකාශ කර සිටියේය.