නිදහස එදා සහ අද | සිළුමිණ

නිදහස එදා සහ අද

ළඹෙන සිකුරාදා පෙබරවාරි 04 වැනිදාය. ශ්‍රී ලාංකිකයන් විසින් මහත් අභිමානයෙන් උත්කර්ෂවත්ව සමරනු ලබන නිදහස් දිනය යෙදී තිබෙන්නේ පෙබරවාරි 04 වැනිදාට ය. මෙම වසරේ අප විසින් සමරනු ලබන්නේ 74 වැනි නිදහස් සමරු දිනයයි. පෘතුගීසින්, ලන්දේසින් හා ඉංග්‍රීසින්ට අර්ධ වශයෙන් යටත්ව තිබී ක්‍රි:ව: 1815 මාර්තු 02 වැනිදා සිට ඉංග්‍රීසින්ට මුළුමණින්ම යටත්විජිතයක් වී මෙරට නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 වැනිදා ය.

මෙම නිදහස අපට හිමි වූයේ රිදී බන්දේසියක තබා පිළිගැන්වීමෙන් නම් නොවේ. ක්‍රි:ව: 1818 දීත් ක්‍රි:ව: 1848 දීත් ඉංග්‍රීසින්ට එරෙහිව සටන් වැදී පරාජය ලැබීමෙන් අනතුරුව අධිරාජ්‍යවාදින්ට විරුද්ධ අදහස් දැරූ අය ඒකරාශී වී දීර්ඝ කාලයක් පුරා ගෙනගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් අපට නිදහස හිමි විය. 

මුඩුබිම් පනත මඟින් පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් වතු වගාවට යෙදවීම නිසා දේශීය කෘෂිකර්මය පිරිහී යෑමත් එයින් ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතිය බිඳ වැටීමත් මිෂනාරි අධ්‍යාපනයට මුල්තැන දීමත් මත්පැන් අලෙවි කිරීමත් වැනි හේතූන් රාශියක් නිසා පීඩාවට පත් වී සිටි ජනතාව ඉංග්‍රීසින්ගෙන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සංවිධානගත වූහ. එකී සියලු සංගම් නායකයන් එකතු වී ලංකා ජාතික සංගමය ස්ථාපිත කරනු ලැබුවේ ක්‍රි:ව: 1919 දීය. ක්‍රි:ව: 1915 ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලයත් ක්‍රි:ව: 1917 දී ඉන්දියාවට ලබා දුන් මොන්ටේගු චෙම්ස්පර්ඩ් ප්‍රතිසංස්කරණයත් ලංකා ජාතික සංගමය බිහිවීමට බලපෑ හේතු විය. ලංකාව තුළ ප්‍රථම වතාවට ආගමික භාෂාත්මක වාර්ගික ලෙස නොබෙදී එක් වූ සංවිධානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මීට අමතරව ක්‍රි:ව: 1817 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමත් ක්‍රි:ව: 1875 දී රත්මලානේ ධර්මාලෝක හිමියන්ගේ පුරෝගාමිත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීමත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් රැගෙන ගිය පාණදුරාවාදය වැනි බෞද්ධ පුනරුද ව්‍යාපාරයත් ඕල්කට්තුමාගේ පරම විඥාර්ථ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් බෞද්ධ පාසල් ඇරඹීමත් අනගාරික ධර්මපාලතුමාගේ අමද්‍යප ව්‍යාපාරයත් ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා කළ අරගලයේ කොටස් කීපයක් පමණි.

පසුකලෙක අධිරාජ්‍ය විරෝධි සටන් ව්‍යාපාරයට ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් ගොඩනැඟීමට පසුබිම නිර්මාණය වූයේ බෞද්ධ නායකත්වය යටතේ ගොඩනැඟුණු මෙම නිදහස් ව්‍යාපාරය මඟිනි.

“අපේ රටේ භික්ෂූන් වහන්සේලා ලංකාවේ නිදහස උදෙසා පුරෝගාමි මෙහෙවරක් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට 1948 පෙබරවාරි 04 වැනිදා අපේ රටට නාමමාත්‍රික නිදහසක් ලැබුණා. එය හඳුන්වන්නේ ඩොමිනියන් නිදහස කියලා. එය හොඳයි. අපේ රටට වටිනවා. අපි ඒකට ගෞරව කරනවා. ඒත් රටේ භාෂාව ඉංග්‍රීසි නම් අපි ලබපු නිදහස මොකක්ද කියලා ගැටලුවකුත් මතු වුණා. ජාති හිතෛෂි පිරිස සමඟ භික්ෂූන් වහන්සේලා එකතු වෙලා සිංහල රාජ්‍ය භාෂාව කරන්න කියලා ඉල්ලා සිටියේ ඒ නිසයි. එක්සත් භික්ෂු බල මණ්ඩලයේ මූලිකත්වයෙන් තමයි මෙම පෙරළිය කළේ. 1956 දී බණ්ඩාරනායක මහත්මයාව බලයට ගෙනෙන්න එක්සත් භික්ෂු බල මණ්ඩලය මූලිකත්වය ගත්තා. ඒ වගේම එතුමා අගමැති වුණ ගමන් සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කළා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මනමෙ, සිංහබාහු නාට්‍ය නිර්මාණය කළෙත් සිංහල රාජ්‍ය භාෂාව කළ පසුවයි. එයින් ජාතික උරුමයන්, භාෂා සංස්කෘතියක් සමඟ කලාව නිදහස් වුණා. දේශීයත්වය ගොඩනැඟුණා. ඒ වගේම විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාල බවට පත් කිරීමෙන් අපේ රටේ භික්ෂූන් වහන්සේටත් උසස් අධ්‍යාපනයට යොමුවීමේ දොරටුව විවෘත වුණා. උගත් භික්ෂූන් බිහිවුණේ ඉන් පසුවයි.” යනුවෙන් අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ පැවසූහ. 

ලංකාවට නිදහස ලබා ගැනීම ගැන සාකච්ඡා කිරීමේදී කම්කරු අරගලවලින් ඊට ලැබූ පිටිවහල ද අමතක කළ නොහැකිය. ලංකා ජාතික සංගමයේ සිටි ඒ.ඊ. ගුණසිංහ ඇතුළු රැඩිකල් තරුණයන් පිරිසක් එයින් ඉවත් වී ක්‍රි:ව: 1922 දී ලංකා කම්කරු සංගමය පිහිටුවා ගැනීමෙන් පසුව කම්කරුවන් වෙනුවෙන් කළ සටන් ඉංග්‍රීසින්ගේ ආණ්ඩුවට මහත් හිසරදයක් විය. ලංකාවේ ප්‍රථම වතාවට වැඩ වර්ජනයක් සිදු වූයේ ක්‍රි:ව: 1923 දීය. ක්‍රි:ව: 1933 දී ප්‍රථම වෘත්තිය සමිති පනත ඇති වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ක්‍රි:ව: 1940 – 1945 කාල වකවානුව තුළ පුද්ගලික අංශයේ වැඩ වර්ජන රැසක් ඇති විය. 1947 මැයි සිට ජුනි කාලය තුළ මහා වැඩ වර්ජන රැල්ලක් ඇති වූයේ ලංකා කම්කරු සංගමයේ මූලිකත්වයෙනි. 1947 අගෝස්තු මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ මෙම වර්ජන රැල්ල සමඟිනි. 

“1947 මහ මැතිවරණයෙන් පසුව කම්කරු ඇමති කෙනෙක් පත් කළා. 47 මහ මැතිවරණයටත් කම්කරු වර්ජනය තදින් බලපෑවා. ලංකා කම්කරු සංගමය නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. 48 දී අපිට ඩොමිනියන් නිදහසක් පිරිනැමීමට සූදානම් වන විට එදා පූර්ණ නිදහසක් ඉල්ලුවේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ විතරයි. 1948 දී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ම කම්කරු අයිතින් දිනා ගැනීමට ඔවුන්ට නිදහස ලැබුණා. 1957 දී කම්කරුවන් මාස 3ක් වර්ජනය කරලා තමයි සේවක අර්ථ සාධක අරමුදල ලබා ගත්තේ. ඊට අමතරව සේවකයන්ගේ වැටුප් සහිත නිවාඩු, ප්‍රසූත නිවාඩු, දීමනා වැනි දේවල් කම්කරුවන් දිනාගත් අයිතීන්. ඒත් 1977 න් පසුව ඇති වූ නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති සමඟ කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක වුණා. එය වෘත්තීය සමිතිවලට තදින් බලපෑවා. 80 ජූලි වැඩ වර්ජනයත් සමඟ කම්කරු ව්‍යාපාරය අවසන් වුණා. 77ට පෙර වෘත්තිය සමිති සාමාජිකයන් මිලියනයකට වැඩිය හිටියා. ඒත් අද ඉන්නේ ලක්ෂ 2යි. වර්තමානයේ කොන්ත්‍රාත් පදනමට එහා ගිහින් මෑන්පවර් ක්‍රමයට සේවකයන් බඳවා ගන්නවා. එය කම්කරු ව්‍යාපාරය කඩා වැටීමට එක් හේතුවක්.” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකරය.

කම්කරු අයිතීන් දිනා ගැනීම උදෙසා බිහි වූ කම්කරු ව්‍යාපාරය නිදහස් ව්‍යාපාරයට උර දුන්න ද අපේ රට නිදහස ලබා ගැනීමෙන් පසුව කම්කරු ව්‍යාපාරය හාන්සි වී තිබීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. නිදහසින් පසු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමත් සමඟ අද දවසේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර කතා කළේ එතරම් සතුටකින් නොවේ. 

“ඒ දවස්වල ඇමති සමඟ, අමාත්‍යාංශ ලේකම් සමඟ‍, ආයතන ප්‍රධානින් සමඟ සාකච්ඡා වට කීපයක් පවත්වලා එකඟත්වයකට පත්වීමට බැරි වුණාමයි වර්ජනය කළේ. දැන් ඉස්සෙල්ලාම කරන්නේ වර්ජනය. අන්තිමට තමයි සාකච්ඡා කරන්නේ. අද වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදි නැහැ. එදා මොනම හේතුවක් නිසාවත් අපි වෛද්‍යවරුන් වර්ජනයකට සම්බන්ධ කර ගත්තේ නැහැ. ඒ අය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටියා. අද ඔක්කෝටම ඉස්සෙල්ලා වර්ජනය කරන්නේ වෛද්‍යවරුන්.” යනුවෙන් නිදහසින් පසුව ලැබූ නිදහසින් වෘත්තීය සංගම් කටයුතු කරන ආකාරය ගැන ඩිව් ගුණසේකර කතා කළේ කලකිරීමෙනි.

නිදහසින් පසු කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රබෝධය පිළිබඳව විමසා බැලීමට සිතුවේ යටත්විජිත සමයේදී පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් පවරාගෙන වතු වගාව ආරම්භ කිරීමෙන් දේශීය කෘෂිකර්මය පරිහානියට පත්වූ නිසාය.

“ලංකාවට නිදහස ලැබීමෙන් පසුව තේ, පොල්, රබර් කර්මාන්ත ලෙසිනුත් වී, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග කෘෂිකර්මය ලෙසිනුත් බෙදුණා. කෘෂිකර්මය ගැන කතා කරනවා නම් ගොවි ජනපද ව්‍යාපාරයට ගොඩින් මඩින් ඉඩම් දීලා අස්වැද්දීමට කටයුතු කිරීමෙන් කෘෂිකර්මයේත් වාරිකර්මාන්තයේත් පිබිදීමක් ඇති වුණා. ඒ එක්කම පිලිප් ගුණවර්ධන මහත්මයා අඳ ගොවි පනත ගෙන ඒම නිසා ගොවියා සුරක්ෂිත වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අක්කර 50ට වඩා වැඩි ඉඩම් රජයට පවරා ගැනීම සහ වී වලට සහතික මිලක් නියම කිරීම කෘෂිකර්මය වැඩිදියුණු කිරීමට ගත් පියවර වශයෙන් හඳුන්වන්න පුළුවන්. 60 දශකයේදී අස්වැන්න වැඩි කිරීමේ වී ප්‍රභේද හඳුන්වා දීමට දේශීය කෘෂි විද්‍යාඥයන් කටයුතු කිරීමෙන් දේශීය ගොවිතැන විශාල ප්‍රගතියක් ලැබුවා. ඒත් බටහිරින් ආපු තාක්ෂණය වැඩිදියුණු කිරීමට සමගාමීව සාම්ප්‍රදායික වී ප්‍රභේදවල අස්වැන්න වැඩිදියුණු කිරීමේ පර්යේෂණ සිද්ධ වුණේ නැහැ. ගමේ ජීවත්වන ගොවින්ට ගම් මට්ටමෙන් උපදෙස් දීමක්, සම්බන්ධීකරණයක් සිද්ධ වුණේ නැහැ. කෘෂි ව්‍යාප්තිය 13 වැනි සංශෝධනයෙන් විමධ්‍යගත කිරීමෙන් ඊට බාධා ඇතිවුණා. ඒ නිසා ගොවියා කෘෂි රසායන අලෙවිකරුවන්ගෙන් උපදෙස් ගන්න තත්ත්වයකට පත්වුණා. අද වන විට කොම්පැණිකාරයන්, මෝල් හිමියන්, දේශපාලනඥයින් මැද්දට පැනලා කෘෂිකර්මය අවුල් වෙලා. කෘෂිකර්ම සංස්කෘතිය කඩා වැටිලා.” යනුවෙන් පැවසුවේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර ය. 

එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ ගොවි ජනපද සංකල්පය යටතේ ජනගහනයෙන් කොටසක් වියළි කලාපයට යැව් නමුත් එහි ගිය පිරිසගේ පසු පරම්පරාවන් නැවතත් තෙත් කලාපයට විතැන් වීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු නොවූ බවය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනය සමඟ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමෙන් උසස් ජීවන අපේක්ෂාවන් ඔවුන් තුළ ජනිත වීමයි.

“ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වන විට විදේශීය වත්කම් හොඳට තිබුණා. දේශීය සම්පත් හොඳට තිබුණා. ඒ නිසා ඒ කාලයේ ආර්ථික ප්‍රශ්න ඇති වුණේ නැහැ. ඒත් කාලයත් සමඟ ජනගහනය වැඩි වුණා. ජනගහනය වැඩි වන විට ඉඩම් හිඟයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ එක්කම නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීමෙන් ජනතාවගේ ආකල්ප වෙනස් වුණා. ඔවුන් උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂා කළා. ඔවුන් විවිධ භාණ්ඩ හා සම්පත් පරිභෝජනයට පෙලඹුණා. සම්පත් සඳහා ඉල්ලුම ඉහළ යන විට යටත්විජිත ආර්ථිකය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ එක්කම නිදහසට සාපේක්ෂව ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ජනතාවගේ ඉල්ලීම් වැඩි වුණා. මෙම කාරණා ආර්ථිකය මත විශාල තෙරපුමක් ඇති කළා. ඊට පිළියම් හැටියට ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කළා. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනයට පියවර ගත්තා. ඒත් ඒ ක්‍රම සාර්ථක වුණේ නැහැ. ඊට පසුව විදේශීය වෙළෙඳපොළ විවෘත කරලා ලෝක ආර්ථිකය සමඟ අපේ ආර්ථිකය ගැට ගැහුවා.

ඊට පස්සේ පිටරටින් ගෙන්වන පරිභෝජන භාණ්ඩ වැඩියි. ඒ නිසා උපයන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපි ණය ගෙවනවා. එයින් වෙ‍ෙළඳ ශේෂ හිඟයක් ඇතිවුණා. ඒ නිසා විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වනවා. ඒත් ඒ ව්‍යාපෘතිවලින් රටේ ආර්ථිකය පණ ගැන්වීමක් වෙන්නේ නැහැ. ව්‍යාපෘතිවලට ණය ගැනීමෙන් තවතවත් ණයබර වැඩි වුණා.” යනුවෙන් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි නිදහස ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ මතු වූ අර්බුද පිළිබඳව පැහැදිලි කළේය. 

ලංකාවට ඔරොත්තු නොදෙන ආකාරයේ ආර්ථිකයක් හිමි වීමට උතුරේ යුද්ධය ද හේතුවක් වූ බව සඳහන් කළ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සුළුවෙන් විසඳා ගත හැකිව තිබූ ප්‍රශ්නයක් මෝඩ උද්ධච්ඡකම නිසා යුද්ධයක් දක්වා වර්ධනය වූ බවත් ඒ නිසා ට්‍රිලියන 20ක පමණ අනවශ්‍ය වියදමක් දැරීමට සිදු වූ බවත් පැවසීය. කෙසේ නමුදු නිදහසින් පසු මෙරට ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදයත් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල සිදු වූ වර්ධනයත් යහපත් ප්‍රවණතා වශයෙන් ඔහු දැක්වීය.

නිදහසින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රබෝධය පිළිබඳව විමසා බැලීම වටින්නේ එය මෙරට සමාජීය වශයෙන් පෙරළියක් ඇති කිරීමට ඉවහල් වූ නිසාය. ක්‍රි:ව: 1948 ට පෙර ප්‍රමුඛස්ථානයක් ලැබුණේ මිෂනාරි අධ්‍යාපනයට බව රහසක් නොවේ. ඕල්කට්තුමා ආරම්භ කළ පරම විඥාර්ථ සංගමයට අයත් බෞද්ධ පාසල් සහ 1945 නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමත් සමඟ ඇරඹුණ මැදි මහ විදුහල් මඟින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් වුවත් බොහෝ දෙනකු අධ්‍යාපනයට වැඩි නැඹුරුවක් දැක්වූයේ ක්‍රි:ව: 1956 බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස තහවුරු කිරීමත් සමඟය. 56 මහ මැතිවරණය වෙනුවෙන් සඟ, ගුරු, වෙද, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණය උදෙසා කැප වූයේ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පොරොන්දුව නිසාය. 

“ලංකාව නිදහස ලැබීමට පෙර ස්වභාෂා සහ උපකෘත යනුවෙන් පාසල් වර්ග 2ක් තිබුණා. ස්වභාෂා ගුරුවරුන්ට වෙනස්කම් රැසකට මුහුණ දෙන්න වුණා. ස්වභාෂා ගුරුවරුන්ගේ පඩිය අඩුයි. ඔවුන්ට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර හිමි වුණේ 3 වැනි පංතියට විතරයි. විභාග පරීක්ෂක කටයුතු පවා ස්වභාෂා ගුරුවරුන්ට ලබා දුන්නේ නැහැ. ඒ නිසා ස්වභාෂා ගුරුවරුන්ගේ දේශපාලනය අධිරාජ්‍ය විරෝධීයි. 1891 දී ගම්පහ හෙනරත්ගොඩදි ස්වභාෂා ගුරුවරුන් සංවිධානය වුණේ ඔවුන්ට කුඩම්මාගේ සැලකිලි ලැබුණු නිසයි. ස්වභාෂා ගුරුවරුන්ගෙන් 1933 සැප්: 16 වැනිදා ලංකා ජාතික ගුරු සංගමය ආරම්භ කළා. 1956 දී බණ්ඩාරනායක මහතා අගමැති කරන්න ගුරුවරුන් උදව් කළේ ස්වභාෂා ගුරුවරුන්ටත් අනෙක් ගුරුවරුන්ගේ පහසුකම් ලබා දෙන බවට කළ පොරොන්දුව නිසයි. ස්වභාෂා ගුරුවරුන්ට ඒ කාලේ දේශපාලන නිදහසවත් තිබුණේ නැහැ. ඔවුන් ගුරු පුහුණුවට ගියෙත් අතින් වියදම් කරගෙන. ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන්ට පුහුණුවෙන් පසුව ජී.ඒ.කිව්වලට ලියාපදිංචි වීමේ අවස්ථාව තිබුණත් ස්වභාෂා ගුරුවරුන්ට ඒ වරප්‍රසාදය තිබුණේ නැහැ. 56 දි සිංහල රාජ්‍ය භාෂාව වීමත් සමඟ ඉල්ලීම් රැසක් දිනාගන්න පුළුවන් වුණා. 1961 දී උපකෘත පාසල් රජයට පවරා ගැනීමෙනුත් ගුරු වෘත්තීය සංගම් දිගින් දිගට ක්‍රියාත්මක වීමෙනුත් ගුරුවරුන්ගේ විෂමතා නැති කර ගන්න පුළුවන් වුණා.” යනුවෙන් පැවසුවේ ලංකා ගුරු සංගමයේ ආරම්භක ලේකම්, ශ්‍රී ලංකා එක්සත් ගුරු සංගමයේ හිටපු සභාපති සහ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) ඩී.ඕ. විතාන ය.

අද ගම නගරය වෙනසක් නොමැතිව දරුවන් පාසල් අධ්‍යාපනයට යොමු වීමත් උසස් අධ්‍යාපනයට අවතීර්ණ වීමත් අප අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ලැබූ ජයග්‍රහණයකි. ඊට සමගාමිව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන වර්ධනය ගැන සාකච්ඡා කළ යුතු වන්නේ මෙරට ළමා හා මාතෘ මරණ සංඛ්‍යාව අඩු වීමට, වසංගත තුරන් කිරීමට, ආයු අපේක්ෂණය ඉහළ යෑමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය ඍජුව බලපෑ නිසා ය. 

“රටක් හැටියට අපිට අද සන්තෝෂ වෙන්න පුළුවන් අපේ වෛද්‍ය සේවාවේ ප්‍රගතිය ගැන. අද රට තුළ රෝහල් වැඩිවෙලා. සෑම පළාතකටම ප්‍රධාන රෝහල් තිබෙනවා. බ්‍රිතාන්‍ය යුගයේ නොතිබු ආකාරයට අද සෞඛ්‍ය සේවය පුළුල් වෙලා. ගම්වල පැල්පත් කිට්ටුවටම අද නිදහස් සෞඛ්‍ය සේවය ගමන් කර තිබෙනවා. මෙහි මුලින්ම තිබුණේ එක් වෛද්‍ය පීඨයක් පමණයි. ඒත් අද වෛද්‍ය පීඨ සංඛ්‍යාව වැඩිවෙලා. ඉස්සර විශේෂඥ වෛද්‍යවරුන් හිටියේ කොළඹ මහ රෝහලේ විතරයි. ඒත් අද ඉතා සියුම් විෂය ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් පවා සෑම පළාතකම සේවය කරනවා. වර්තමාන වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි සඳහා විදේශගත විය යුතු නැහැ. ලංකාවේ ඒ පහසුකමත් අද තියෙනවා” යනුවෙන් සඳහන් කළේ ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ ය.

නිදහසින් පසු මෙරට ජන ජීවිතය වෙනස් කිරීමට බලපෑ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රි:ව: 1935 දී ලංකා සමසමාජ පක්ෂය විසින් සැකසූ යෝජනා 22ට අයත් බව පැවසූ මහාචාර්ය තිස්ස විතාරණ, ලංකා සමසමාජ පක්ෂයට ආණ්ඩු බලයට පැමිණීමට නොහැකි වුවත් විරුද්ධ පක්ෂයේ සිටිමින් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා වැනි ප්‍රබලයන් විසින් ඉදිරි පත් කළ යෝජනා එදා පැවති රජයට පිළිගැනීමට සිදු වූ බව ද සිහිපත් කළේය.

Comments