තුන් කොන් පෙමක ශෝකාන්තය | සිළුමිණ

තුන් කොන් පෙමක ශෝකාන්තය

රාජු ඝාතනය වූ බෝඩිම

සාවින්දි, කඩවත ප්‍රදේශයේ වෙසෙන 15 හැවිරිදි බාල වයස්කාර දැරියකි. ඇයගේ මවුපියන් කලෙක සිටම වෙන්ව ජීවත් වෙති. මවගේ බාරයේ සිටි සාවින්දි 2019 වසරේදී පමණ පෙම් හුටපටයක් ඇතිකරගෙන තිබුණේ කුඩා වියේ සිටම දන්නා අසල්වැසියකු වන රාජු මධුෂංක නමැත්තා සමඟිනි. ඒ වන විට සාවින්දිට වයස අවුරුදු 13ක් පමණය. පොලිස් පොත්වලද ලියැවුණු එම පෙම් හුටපටය අධිකරණය දක්වා දුරදිග ගොස් තිබුණේය. එම නිසා පසුව ඇයව බාර ගැනීම මව විසින්ද ප්‍රතික්ෂේප කෙරිණි.

අනතුරුව සාවින්දිගේ නවාතැන වූයේ නැන්දණිය ලෙසින් අමතන අයකුගේ නිවෙසයි. එම නැන්දණියද ඇය දින කීපයක් තබා ගැනුණත් දිගින් දිගටම නතර කරගැනීමට බිය වූයේ සාවින්දි බාල වයස්කාර දැරියක් නිසායි.

නැන්දණිය ඇය පිළිබඳව කඩවත පොලිසිය දැනුවත් කළාය. අනතුරුව දැරිය පිළිබඳව කඩවත පොලිසිය මහර අධිකරණය දැනුවත් කළේය. අධිකරණ තීන්දුව මත ඇයව යොමු කෙරුණේ මීගමුව බෝලවලාන ළමා නිවාසයටයි. එහෙත් ඇය ළමා නිවාසයේ එතරම් කලක් නොසිටියාය. ඉන් පැන ගිය සාවින්දි නැවතත් පැමිණියේ නැන්දණියගේ නිවෙසටයි. නැන්දණිය නැවතත් පොලිසිය දැනුවත්කොට සාවින්දි පරිවාස බාරයට පත් කළාය. පරිවාස බාරයට පත්වීම, සාවින්දිට රාජු සමඟ වූ පෙම් හුටපටයටද මහත් බාධාවක් වූවාය. සාවින්දි නැවතත් ළමා නිවාසයෙන් පැන ගියේ රාජු සොයා ගැනීමේ අටියෙනි. ඒ මීට මාස 6කට පෙරයි. 

ඇය ළමා නිවාසයෙන් පැනවිත් රාජු සෙවුවත් ඔහු හමු නොවීය. ඇයට හමු වූයේ කුඩා කල සිටම දන්නා තවත් අයෙකු වූ 19 හැවිරිදි ඉමේෂ් ධනංජයයි. ඉමේෂ්, රාජුගේ පියාගේ සොහොයුරියගේ පුත්‍රයායි. ඒ අනුව ඉමේෂ් සහ රාජු ඥාති සොහොයුරන්ය.

අනතුරුව ඉමේෂ් සහ සාවින්දි අතර පෙම් හුටපටයක් ඇතිවිණි. ඉමේෂ් විසින් ඉන්න-හිටින්නට තැනක් නොමැතිව සිටි සාවින්දිව, ඔහු දන්නා තැන්වල නතර කෙරිණි. ඉමේෂ් නොයෙක් රැකියාවන්හි නියැළුණ තරුණයෙකි.

ඉකුත් ජනවාරි 19 වැනිදා ඉමේෂ් විසින් සාවින්දිව නතර කළේ කඩවත, ඇන්ඩෘස් මාවතේ 45/6 නිවෙසේ බෝඩිමකය. එම බෝඩිම, ඉමේෂ්ගේ මිතුරෙකු වන එරංගගේයි. රුපියල් පන්දහසක මුදලක් දී සාවින්දි එහි නතර කෙරුණේ ඉමේෂ් විසිනි.

සාවින්දි සමඟ එම බෝඩිමේ 19 වැනිදා රැය පහන් කළ ඉමේෂ් 20 වැනිදා අලුයම රැකියාව සඳහා වැලිපැන්න ප්‍රදේශයට ගියේය. 21 වැනිදා රාත්‍රිය ගල්හේන ක්‍රීඩාංගණයේ සංගීත ප්‍රසංගයකි. බාල වයස්කාර සාවින්දිට සංගීත ප්‍රසංගය නැරැඹීමට ආශාවක් ඇතිවූවාය. ඇය ඉමේෂගෙන් එහි යෑමට අවසර ඉල්ලුවාය.

සාවින්දිගේ පැරැණි පෙම ඉමේෂ්ද දැන සිටි හෙයින් ඔහු නිතර සාවින්දි ගැන ඇස ගසාගෙන සිටියේය. ඔහු, සාවින්දි යන එන තැන් පිළිබඳව බොහෝ විමසිලිමත් වූයේය. සාවින්දි සංගීත ප්‍රසංගය නැරැඹීමට ගිය පසු ඉමේෂ් ඇයට වීඩියෝ ඇමැතුමක් ගත්තේය. ඒ, ඇය කවුරුන් සමඟ සංගීත ප්‍රසංගය නැරැඹීමට ගියේද යන්න සැක හැර දැනගැනීමේ අටියෙනි.

ගල්හේන සංගීත ප්‍රසංගය නැරැඹීමට රාජු ද පැමිණ සිටියේය. ඔහු කලෙකට පසු පැරැණි පෙම්වතිය දුටුවේ එදිනයි. අනතුරුව දෙදෙනා පැරැණි පෙම අලුත් කරමින් නර්තනයේ යෙදෙන්නට ද වූයේ අවට පුද්ගලයන් ගැන කිසිවක් නොසිතමිනි.

ඒ අතරේ ඉමේෂ්, සාවින්දි වෙත වීඩියෝ ඇමැතුම් කිහිපයක්ම ගත්තේය. ඒ කිසිවකටත් ප්‍රතිචාර නොදක්වමින් ඇය, රාජු සමඟ නොනවතින නර්තනයක නිරත වූවාය. දිගින් දිගටම දුරකථන ඇමැතුම් මඟ හරිද්දී ඉමේෂ්ට සැකයක් ඇතිවිය. ඔහුට සිහිපත් වූයේ මිතුරකු වන සජිත්ය. සජිත්ද ඒ වන විට සංගීත ප්‍රසංගය නැරැඹීමට ගොස් සිටියේය. ඉමේෂ් සජිත් ඇමැතුවේය.

“සජිත්... මචං සාවින්දි සංගීතේ බලන්න ආවා... සාවින්දි ඔය හරියේ ඉන්නවද බලපං...“

“ඉන්නවා... ඉන්නවා... අන්න උඹේ මහ ලොකු කෙල්ල මධුෂංකයා එක්ක පෙරළි පෙරළි නටනවා...“ සජීත් කීය.

ඉන් ඉමේෂ්ගේ කේන්තිය ඉහවහා ගියේය. ඔහු නැවතත් දුරකථන ඇමැතුම් කීපයක්ම ගත්තද සාවින්දිගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඉමේෂ් රැකියාව පසෙකලා ඒ මොහොතේම වැලිපැන්නෙන් කඩවතට ඒමට තීන්දු කළේය.

සංගීත ප්‍රසංගය අවසානයේ සාවින්දි හා රාජු වෙන්ව ගියේ දෙදෙනාගේ දුරකථන අංකද හුවමාරු කරගෙනයි. රාත්‍රී දෙකට පමණ රාජු ඇමැතුමක් ගත්තේ සාවින්දිටයි.

“සාවින්දි මම ඔයාගේ බෝඩිම ඉස්සරහා ඉන්නෙ... මට ඔයාව හමුවෙන්න ඕනෙ...“

ඇය කිසිවක් නොසිතා බෝඩිම් කාමරයේ දොරගුළු විවරකොට රාජු කාමරයට ගත්තේ මහ රාත්‍රියේයි.

ඒ වන විට ඉමේෂ් වැලිපැන්නෙන් පිටකොටුවට පැමිණ කඩවත බසයක නැඟි කඩවතට පැමිණෙමින් සිටියේය. කඩවතට පැමිණි ඔහු මුලින්ම ගියේ සංගීත ප්‍රසංගය පැවැති ගල්හේන ක්‍රීඩාංගණයටයි. ඒ වන විට සංගීත ප්‍රසංගය අවසන්ව තිබිණි.

අනතුරුව ඉමේෂ් ක්ෂණයෙන් ගියේ සාවින්දි තමා විසින්ම නතර කළ ඇන්ඩෘ මාවතේ බෝඩිම වෙතයි. බෝඩිම අසල විපරම් කරමින් සිටි රාජුට බෝඩිම් කාමරයෙන් දෙදෙනෙකුගේ මිමිණුම් හඬක් ඇසෙන්නට විය. ඔහු එය සිහිනෙන්වත් නොසිතුවකි. ඒ වන විට 22 වැනිදා අලුයම 3.30ට පමණ ඇත. වසා තිබූ බෝඩිමේ දොර වීදුරු සහිත දොරකි. පැමිණි ආවේගයට ඉමේෂ් වීදුරුවකට පහර දුන්නේ අතිනි. කැඩුණු වීදුරුවෙන් අත දමා දොරගුළු විවරකොට ඔහු කාමරයට ඇතුළු විණි.

කාමරයට ගිය ඉමේෂ්ට දුටු දෙයින් මාරාවේශ විය. තම පෙම්වතිය, පැරැණි පෙම්වතා, රාජු සමඟ ඇඳ මතය. ගත වූයේ තත්පර ගණනකි. ඥාති සොහොයුරන් වූ ඉමේෂ් සහ රාජු අතර ගැටුමක් ඇතිවිණි. රාජු විසින් ඉමේෂ්ව තල්ලු කර දැමිණි. ඔහු විසිවී ගොස් වැටුණේ කඩා දමා තිබූ වීදුරු කටු ගොඩ අසලටය. ඉමේෂ්ට හසු වූයේ කැඩුණු වීදුරු කැබැල්ලකි. වීදුරු කැබැල්ල ගෙන රාජු දෙසට කඩා පැන්න ඉමේෂ්, රාජුගේ ගෙළ ප්‍රදේශය පසාරු කරගෙන යන්නට වීදුරු කැබැල්ලෙන් ඇන්නේය.

ඒත් සමඟ ඉමේෂ් එම ස්ථානයෙන් පැන ගියේය. රාජු කාමරය තුළ ඇද වැටුණේ කාමරයම ලෙයින් තෙත් කරමිනි. එම ගැටුම කන වැටුණු බෝඩිම් හිමිකරු එරංග ඇතුළු අසල්වාසීන් ක්ෂණයෙන් ඇමැතුවේ 1990 සුවසැරිය ගිලන් සේවයයි. සැණින් රාජු ගිලන් රථයෙන් රාගම රෝහලට රැගෙන ගියත් අලුයම 4.17ට මෙලොව හැර ගියේය. 

රාගම රෝහල් පොලිසිය විසින් එම අපරාධය සැල කර සිටියේ කඩවත පොලිස් ස්ථානය වෙතයි. කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ මෙහෙයවීමෙන් උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශනයක් ඇරැඹිණි.

ඒ අනුව කඩවත, ගෝනහේන, වෑබඩ පාරේ, 85/18 නිවෙසේ විසූ 20 හැවිරිදි රාජු මධුෂංකගේ ඝාතනයට සැකකාර ඉමේෂ් ඔහු විසූ 409/1, නුවර පුර, කඩවත නිවෙසේදී පොලිස් අත්අඩංගුවට ගැනුණේ 22 වැනිදායි.

පොලිස් බාරයට ගත් බාල වයස්කාර දැරිය සමඟ අත්අඩංගුවට පත් ඉමේෂ් මහර අධිකරණයේ අංක 1 මහේස්ත්‍රාත් අරුණි ආටිගල වෙත ඉදිරිපත් කළහ.

මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ලබන පෙබරවාරි 2 වැනිදා දක්වා ඉමේෂ් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් බාල වයස්කාර දැරිය රන්මුතුගල රැඳවුම් නිවාසයට යොමු කරන ලෙසටත් ය.

විමර්ශන කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් ප්‍රනාන්දු ඇතුළු උපපොලිස් පරීක්ෂක විජේරත්න, පොලිස් සැරයන් 18899 පණ්ඩිතරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 76914 අසේල, 40423 ලැනරෝල්, 94038 ජයවික්‍රම සහ කාන්තා පොලිස් කොස්තාපල් 12250 චලනි විසින් සිදු කරති.

ඡායාරූප - රාගම සමූහ 
කේ. එස්. හැන්නදි

Comments