ළමා අපචාර චෝදනා ලැබූ ඇන්ඩෘ කුමරුට රාජකීය පට්ටම් අහිමි වෙයි | Page 2 | සිළුමිණ

ළමා අපචාර චෝදනා ලැබූ ඇන්ඩෘ කුමරුට රාජකීය පට්ටම් අහිමි වෙයි

බ්‍රිතාන්‍ය රජ පවුල මේ දිනවල තවත් දරුණු වාතාවරණයකට මුහුණ දෙමින් සිටී. ඒ ඇන්ඩෘ කුමාරයා සම්බන්ධව ළමා අපචාර නඩුවක් ඇමෙරිකාවේදී විභාගයට ගැනීමය. මේ නඩුවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමා සම්පූර්ණයෙන් නිර්දෝෂී බවත් එය උසාවියේදී තහවුරු වනු ඇති බවත් ඇන්ඩෘ කුමරු කොතෙක් ප්‍රකාශ කර සිටියද එම නඩුව විභාගයට ගැනීම ම රජ පවුලට විශාල අවනම්බුවක් වී තිබේ.

සැබවින්ම ළමා අපචාර නඩුවකට ගෑවීම යනු ඕනෑම පුද්ගලයකු, ඕනෑම පවුලක් මහත් අපකීර්තියට පත්වන සිදුවීමකි. එවැනි නඩුවකට දැඩිව සම්ප්‍රාධාය අගය කරන බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු ගෑවීම යනු ඔවුන්ට බියකරු සිහිනයක් වැනිය. මේ තත්ත්වය මත නඩුවේ තීන්දුව පැමිණීමට පෙරම මහ රැජන තම පවුලේ නම්බුව බේරා ගැනීමට කටයුතු කළේ රජ පවුලේ සියලුම ධූර, නම්බුනාම, තානාන්තර ඇන්ඩෘ කුමරුට අහිමි කරමිනි. එහෙත් ඇන්ඩෘ කුමරු දිගින් දිගටම පවසන්නේ තමා නිර්දෝෂී බවයි.

ඇන්ඩෘ කුමරාට චෝදනා එල්ල වී ඇත්තේ මෑතකදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව නොවේ. චෝදනා එල්ල කරන තැතැන්තියටම අනුව මේ අපචාරය සිදුවී ඇත්තේ වසර විසි එකකට පෙරදීය. ලන්ඩන් නගරයේ සමාජ ශාලාවකදී තමාට ඇන්ඩෘ කුමරා ලිංගික අතවර කළ බවට වර්ජිනියා ගියුසෙප් නම් කාන්තාව විසින් චෝදනා එල්ල කර තිබේ. ඇයට අනුව ඇය එම අතවරයට ලක්ව ඇත්තේ ඇය 17වැනි වියේ සිටියදීය. මේ වන විට ඇය 38 හැවිරිදි වියේ පසුවන්නීය.

ඇය මේ සම්බන්ධව ඇන්ඩෘ කුමරුට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාවේදී නඩු පවරා ඇති අතර ඇමෙරිකානු අධිකරණයද එම නඩුව විභාගයට ගැනීමේ සූදානමකින් පසුවන බව වාර්තා වී තිබේ.

මේ පුවත අසන්නට ලැබුණූ පසු මහ රැජන එයට ප්‍රතිචාර ලෙස රජ පවුලේ සියලු නම්බු නාම සහ ඩියුක් හි ආදිපාද ධූරය ඇන්ඩෘ කුමරුට අහිමි කරන ලෙස නියෝග කර සිටියාය. ඇන්ඩෘ කුමරා යනු මහ රැජනගේ දෙවැනි පුත්‍රායය. මහ රැජනගේ වැඩිමහල් පුත්‍රයා චාල්ස් කුමරා වන අතර ඇන්ඩෘ කුමරාට බාල තවත් දියණියක් සහ එඩ්වඩ් කුමරු ද වේ.

ඇන්ඩෘ කුමරු ලන්ඩනයේ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක වූ සාරා ෆර්ගසන් සමඟ විවාහ වී දියණියන් දෙදෙනකුද සිටින පියෙකි. පසුව සාරා සහ ඇන්ඩෘ කුමරු දික්කසාද වූහ. දැන් මේ චෝදනාවත් සමඟ ඇන්ඩෘ කුමරුට රජ පවුලෙන් ලැබුණු සියලු තනතුරු සහ නම්බු නාම අහිමි වී තිබේ.

කුමරුට චෝදනා එල්ල කරන කාන්තාව සහ කුමරු සමාජ ශාලාව තුළ සිටින බවට ඇසින් දුට සාක්ෂි ලබා දීමටද කාන්තාවක් ඉදිරිපත් වී තිබේ. කෙසේ වුවද කුමරුගේ නීතිඥයන් පවසන්නේ මෙතරම් කලක් ගත වූ පසු වර්ජිනියාගේ මතකයේ යම් හිදැස් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. එමෙන්ම ගියුසෙප් මහත්මිය මනෝ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට ද කුමරුගේ නීතිඥයන් යෝජනා කර තිබේ. ඇන්ඩෘ කුමරුගේ ආරක්ෂකයන් ද මේ නඩුවේදී සාක්ෂි ලබා දීමට නියමිතය.

ඒ කෙසේ වුවද රජ පවුල මේ වන විටත් ඇන්ඩෘ කුමරුට දඬුවම් ලබා දී අවසන්ය. ඉදිරියේදී මහ රැජනගේ පදක්කම් ප්‍රධානෝත්සවයේදී ඇන්ඩෘ කුමරුට සහ හැරී කුමරුට පදක්කම් හිමි නොවනු ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත් රජ පවුලේ කැරලිකරුවන් දෙදෙනා ලෙස නම් ලබා සිටින ඇන්ඩෘ සහ හැරී මේ පදක්කම් අහිමි වීම පිළිබඳව කනගාටු නොවීමට ඇති ඉඩකඩ නම් විශාල වනු ඇති බවට සැකයක් නැත.

Comments