
මෙරට පවතින ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේද? යන ගැටලුවේදී ඒ පිළිබඳ යම් සමාලෝචනයක යෙදිය යුතුයි. එහිදී අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පවතින ආර්ථික අර්බුදයට ඇති වීමට හේතු වූයේ කුමක්ද? යන කාරණාව මූලිකව පැහැදිලි කළ යුතුයි. කොවිඩ් වසංගතයට පෙර සිටම ආර්ථිකය ඇඳවැටීම ක්‍රමානුකූලව සිදුවෙමින් පැවැතිණි. රටක් ලෙස ඒඇතිවෙමින් පැවැති තත්ත්වය පැවැති ආණ්ඩු දුටුවද නිහඬව හිටීමත් එයට ප්‍රතිකර්ම නොයෙදීමත්; අද පවතින තත්ත්වයට හේතු කාරණා වෙයි. රටකට ආයෝජනය සහ අපනයනයන් සඳහා නිසි ආර්ථික කළමනාකාරීත්වක් ද අවශ්‍ය වෙයි. මීට වසර 20කට පෙර ඒ දෙස බැලූවිට අපේ අපනයන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 35% පමණ විය. නමුත් වසර 20 ඉක්මවා යන විට එය 15%, 16%ක් දක්වා පහත වැටිණි.
විශේෂයෙන් අනෙක් රටවල්වලට විශාල වශයෙන් ආයෝජන ගලා ඒමක් සිදුවුවත් ආයෝජනයන් ලංකාවට නොලැබිණි. ආයෝජකයන් ලංකාව පිළිබඳ විශ්වාසයක් නොතිබුණේ කුමන හේතු කාරණාක් නිසාද යන්න මෙහිදී මතු වන ගැටලුවකි. නමුත් අසල්වැසි රටවල් වන ඉන්දියාවටත් අනෙක් ආසියාතික රටවල්වලට විදෙස් ආයෝජන ගලාගිය බවක් පෙනිණි. මේ අර්බුදය හමුවේ පැවැති ආණ්ඩු තාවකාලික විසඳුම් පමණක් සෙවීම සිදුකර ඇත. සියලු ආණ්ඩු මූලික ප්‍රශ්න ආමන්ත්‍රණය කළ බවක් නොපෙනෙයි.
මේ ආර්ථික බිඳවැටීම විශාල වශයෙන් නරක තත්ත්වයට පත්වූයේ 2007 පසුවයි. අප 2007 වර්ෂයේදී වාණිජ ණය ගැනීම ආරම්භ විය.
ජාත්‍යන්තරව බැඳුම්කර නිකුතුවෙන් ද ඩොලර්වලින් වාණිජ ණය ගැනීම ආරම්භ කෙරිණි. 2007 දි ඩොලර් බිලියන 500ක් ණය ලබා ගැනීමක් සිදු විය. එය 2019 වනවිට බිලියන 17500 දක්වා වැඩි විය. මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් හා එවක බලයේ සිටි ආණ්ඩු සුරැකුම්පත්වලින් කොටසක් විදේශිකයන්ට විකිණීමෙන් මෙරටට ඩොලර් ණය ගැනීම සිදු කෙරිණි.
මෙහිදී ආසන්න වශයෙන් අපේ සියලුම විදේශ ණයවලින් භාගයක් පමණ වැඩි වීම සිදු වූයේ වාණිජ ණය ලෙසයි. මේ ණය ලබා ගැනීම් සිදුවී ඇත්තේ වසර 5 සහ 10ක් කල් පිරීමේ සීමාව අනුවයි. ඒ අනුව අපිට වසර 10 සහ 5ක පමණ වන විට ගෙවිම් සිදු කළයුතු වෙයි. එසේ නම් ණය ගෙවීමට අපි උපයන්නේ නැතුව ගෙවීම් සිදු කරන්නේ කෙසේද යන කරුණු මතුවෙයි. එහිදී ණය ගෙවීමට තව ණය ගැනීම් සිදු කරනු ලැබිණි.
රටේ දිගුකාලීන ආයෝජන සඳහා මෙමඟින් හිතකර වාතාවරණයක් සැලසෙන්නේ නැත. මේ ප්‍රශ්නයෙන් තවමත් අපේ රට නිදහස් වී නැත. අප හසුවී ඇති ණය උඟුලේ තව තවත් ණය ගනිමින් හිරවී සිටීම හැර පිටතට යාමක් සිදුවී නැත.
කාලාන්තරයක් පුරා පැවැති මෙවැනි තත්ත්වයක් යටතේ කොවිඩ් අර්බුදයෙන් යම් පහරක් වැදුණි. එයින් අපේ රටේ පැවැති දුර්වල ආර්ථිකය එළියට පෙනීමට සිදු විය. ආණ්ඩුවේ ආදායම අඩුවන විට මහබැංකුව හරහා ආණ්ඩුව මුදල් අච්චු ගැසීමකට යෑම සිදු විය. මෙරට නිෂ්පාදන ආර්ථිකයක් සහ අපනයන ආර්ථිකයක් අප ඇති කරගෙන නොතිබිණි. කොවිඩ් ප්‍රශ්නයේදී ද ආණ්ඩුවට වියදම් දැරීමට සිදු විය.
දියුණු රටවල් කොවිඩ් සඳහා දළදේශිය නිෂ්පාදිතයෙන් 10%ද දියුණු වෙමින් පවතින රටවල් 3% හෝ 2%ක පමණ ප්‍රමාණයක් වැය කර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දත්තවලට අනුව අපේ රටට වැය කිරීමට හැකි වුණේ 0.7 පමණි. එතරම් ආර්ථිකය දුර්වල වී පහත වැටී තිබුණ රටක් බව අපිට පැහැදිලි වූයේ මේ කොවිඩ් හරහා මතුවූ අර්බුද නිසායි.
රට ආර්ථිකමය වශයෙන් ගොඩනැඟීමට නම් සර්ව ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වෙයි. කොව්ඩ් නිසා අපේ ආර්ථික ගැටලු උග්‍රවිය. මේ රටට අදාළ කිසිදු ප්‍රශ්නයක් මෙතෙක් පැවැති ආණ්ඩු ආමන්ත්‍රණය නොකිරීම එයට හේතුවයි. මේ ආර්ථික ප්‍රශ්නවලින්ද අතිවිශාල දුෂ්කරතාවන්ට ජනතාවට මුහුණ පෑමට සිදුවිය.
රජය යම් සහනයක් ජනතාවට ලබාදීමට රුපියල් බිලියන 229 සහන පැකේජයක් ලබාදීමට කටයුතු කර ඇත. ආර්ථීක ගැටලුවලින් අතිවිශාල දුෂ්කරතා පැමිණ ඇති ජනතාවට සහන ලැබිම අවශ්‍යයි. එහෙත් මේ දීමනා ලබාදෙන්නේ කෙසේද ඒ සඳහා මුදල් සම්පාදනය වෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.
අපි එවැනි ආර්ථිකයක් සකස් නොකිරීම ගැටලුවකි. සහන ලබාදීමට කුමක් හො ක්‍රමවේදයක් තිබිය යුතුයි. එයට බදු ආදායම තිබිය යුතුයි. බදු ආදායම පිළිබඳ කතා කිරීමේදි කොවිඩ්වලට පෙර තිබූ බදු ආදායම පසුගිය වසරේ අපට අහිමි විය. මේ දීමනා බදු ආදායමින් ගෙවන්නේද නොඑසේ නම් යම් ඇස්තමේන්තු කළ යම් ව්‍යපෘතියක් සම්බන්ධයෙන් වෙන් කරන ප්‍රතිපාදන මුදල්ද යන්න ගැටලුවකි.
රජයේ බැංකුවකින් ලබාගැනීම, සුරැකුම්පත් විකිණීමෙන් මේ මුදල් ලබා ගැනීම, එසේ නැතිනම් මුදල් අච්චු ගැසීමෙන් ද යන්න ගැටලුවක් මතු වෙයි. මේවන විට අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රතිවිපාක භුක්ති විඳිමින් සිටින කාලයකි. මේ සහන ලබාදීමට මුදල් සොයා ගැනීම කුමන ආකාරයෙන්ද යන්න මත අනාගතයේ එයින් ඇතිවෙන ප්‍රතිවිපාක වලට අපි මුහුණ දීමට සිදු වෙයි.
මේ පවතින තත්ත්වයෙන් ස්ථිර ආර්ථික කළමනකාරීත්වයට යායුතු වෙයි.
දිගින් දිගටම මුදල් අච්චු ගසන්නේ නම් එහි ප්‍රතිඵලය වන්නේ උද්ධමන තත්ත්වයක් ඇතිවීමයි. මුදල් අච්චු ගැසීම් කළ යුත්තේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අනුවයි. නිෂ්පාදනය අඩුවී ඇති අවස්ථාවක මුදල් අච්චු ගැසීමෙන් පවතින සැපයුම් ප්‍රමාණයට අනුව මුදල් ප්‍රමාණය ඉහළ යෑම සිදුවේ. උද්ධමනය හේතුවෙන් සාර්ව ආර්ථික වශයෙන් මතු වෙන ගැටලු වෙයි. අපනයනවල තරඟකාරීත්වය අඩු වෙයි.
ලෝක වෙළෙඳපොළේදී තරග කිරීමට අපට ඇති හැකියාව අඩු වෙයි. තවද මෙරට වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම ද සිදු වෙයි
අර්බුදයෙන් ගොඩ ඒමට විදේශ විනිමය ඉපයීම සඳහා තිබෙන්නේ ප්‍රධාන මාර්ග දෙකකි. අපනයන ඉහළ නංවා ගැනීම හා විදේශ ආයෝජන ආකර්ෂණය ඇති කර ගැනීමයි. විදේශ ආයෝජන වැඩි කර ගැනීම ගැන අප සිතිය යුත්තේ විදෙස් ආයෝජකයන් ඍජුව හෝ වක්‍රව හෝ අපනයන වර්ධනයට විශාල දායකත්වයක් දක්වන නිසාය.
ලංකාවට ආයෝජකයන් නොපැමිණීමත් අපනයන වැඩි නොවන්නේත් ඇයිද යන ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට හැකි වුවහොත් මේ ආර්ථික අර්බුදයෙන් මිදී ඉදිරි වසර කීපයේදී යම් වෙනසක් සිදු කරගත හැකි වෙයි.
නිෂ්පාදන ආර්ථිකයක අවශ්‍යතාව ද වෙයි. එය ගොඩනැඟීමට ඉලක්ක කළ යුත්තේ ලෝක වෙළෙඳපොළ යි.
පවතින විදේශ විනිමය හිඟයට පිළිතුරු සෙවීම සඳහා කෙටිකාලීන හුවමාරු ණය පහසුකම් ලබා ගැනීම විවිධ රටවලින් ණය ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළද එයින් අපට ලැබෙන්නේද ණය ම වෙයි.
මෙය දිගුකාලීන විසඳුමක් නොවෙයි.
මේ සඳහා ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණ කුමක්ද යන ප්‍රශ්නය මෙහිදී මතු වෙයි.
ෆිච් රේටින්ස් ආයතනයේ වාර්තාවෙන් ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහතට හෙළා තිබුණි. රටක ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ ශ්‍රේණියක් දක්වා ඇද වැටුණු විට එම රටට ණය ලබා දීමට සුදුසුද යන කරුණ මතු වෙයි; ලංකාවට ණය ගැනීමේදී පමණක් නොව විදේශීය ඍජු ආයෝජකයන් රටට ආකර්ෂණය කර ගැනීමේදීද මේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට හෙළා තිබීම අහිතකර ලෙස බලපෑම් කළ හැකිය.
මේ කොවිඩ් තත්ත්වය නිසා අපේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් බිලියන පහක් පමණ ආදායමද අහිමි විය.
අපේ රටේ අපනයනය දුර්වල විය. අපේ රටට විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම අහිමි විය. මෙතෙක් ලැබුණු විදෙස් මුදල් සම්බන්ධයෙන් ද මේ හරහා අපිට පහර වැඳීමක් සිදු විය.
රටේ ජනතාවට අද මුහුණදීමට සිදුවී ඇති විරැකියා ජීවත් වීමට සරිලන වැටුප් නොලැබීම් දුප්පත්කම වැනි සාධකයන්ටද කොවිඩ් යම් බලපෑම්ක් ඇති කෙරිණි.
කෙසේ වෙතත් ජනතාවගේ ආදායම් ඉහළ දැමීම සහ රැකියා අවස්ථා ඇති කිරීම සිදුවන්නේ ආර්ථික වෘද්ධි වේගය වැඩි වුවහොත් පමණි.
ඉදිරි ඉලක්කයන් සපුරා ගැනීමට ගතයුතු මූලික පියවර රැසක් වෙයි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේදි 08%ක පමණ වාර්ෂික ආර්ථික වෘද්ධි වේගයක් වසර 10ක කාලයක් හෝ 20ක කාලයක් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය වෙයි. එසේම ආර්ථිකයේ පසුබෑම්වලදී වුවද අඛණ්ඩ ආර්ථික වෘද්ධි වේගයක් පවත්වාගෙන ගෙන යෑම සිදු කළ යුතුයි.
පසුගිය වසරේදී ආර්ථික වෘද්ධි වේග ඉලක්ක සපුරා ගෙන නැත. පසුගිය කාලයේදී ඇතැම් අවස්ථාවල මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7ත් 8ත් දක්වා ඉහළ ගිය අවස්ථා වෙයි.
පසුගිය වසරේ අවසානයේදී එය ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටුණි. ඉන් අනතුරුව ඩොලර් බිලියන 3.1 ඉහළ ගොස් ඇත. දැනට පවතින විදෙස් සංචිත ප්‍රමාණය විදෙස් ණය පියවා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවෙයි.
සංචිතවල සෑම අවස්ථාවකම අන්තර්ගත වී තිබුණේ අප ඉපැයූ විදේශ විනිමයට වඩා ණයට ගත් මුදල්ය. අප ඉපැයූ විදේශ විනිමය සෑම විටෙකදී ම ආනයන වියදම් පියවා ගැනීම සඳහා වැය කිරීමට සිදු විය. ණය මුදල්වලින් සංචිත ඉහළ මට්ටමකට ගෙන ඒමේ ක්‍රමවේදයක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙයි. එය සාර්ථක ක්‍රමෝපායයක් නොවේ.
අඛණ්ඩව මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඇතිවෙයි. උද්ධමනය හේතුවෙන් සාර්ව ආර්ථික වශයෙන් මතු වෙන ගැටලු වෙයි.
අපනයනවල තරඟකාරීත්වය අඩු වෙයි. ලෝක වෙළෙඳපොළේදී තරග කිරීමට අපට ඇති හැකියාව අඩු වෙයි. එවැනි අවස්ථාවලදී භාණ්ඩ මිල ඉහළ යෑම අපේක්ෂා කළ හැකි දෙයකි. එසේම රට අභ්‍යන්තරයේ ගැටලු මතු වෙයි.
එමෙන්ම ආදායම් ඉපයීම වෙනුවට කෙටිකාලීනව ණය ලබාගැනීම සිදු විය. මතුව ඇති විදේශ විනිමය හිඟයට පිළිතුරු සෙවීම සඳහා හුවමාරු ණය පහසුකම් ගැනීම වැනි පියවර ගත්තද එය නැවත ගෙවිය යුතු ණය පහසුකම්ය. ඒවා දිඟුකාලීන විසඳුම් නොවේ.
ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු කවරක්ද යන්න වැදගත් වෙයි.
විශේෂයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් ව්‍යුහාත්මක ගැටලු සහ පවතින ආර්ථික අර්බුදය ගැන අවධානය යොමු කරමින් කටයුතු කළ යුතුය. ප්‍රතිපත්තිම හා ප්‍රතිසංස්කරණ පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් ගැටලු සහගත තත්ත්වක් ඇති වෙයි. මේ රට ගොඩනැඟීමට නම් නිරවුල් ආර්ථික ප්‍රතිපත්තීන් තිබිය යුතුය.
එදිනෙදා ප්‍රතිපත්ති සකස් කිරීම නොව ස්ථිර ප්‍රතිපත්ති සැකසිය යුතුය.
ක්‍රමානුකූල නිශ්චිත අරමුණක් සහිත සහ සමස්තයම ආවරණය වෙන ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ නැවත ගොඩනැඟිය යුතුයි.
එසේම ජනතාවට ව්‍යාපාරිකයන්ට ආයෝජකයන්ට රට ගමන් කරන දිශානතිය පිළිබඳ, අනුගමනය කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති, පිළිබඳ ඇති වැදගත්කම ඇතුළත්වන නිරවුල් පැහැදිලි අදහසක් ඉදිරිපත් කළ යුතු සේම ඒවා ක්‍රියාවේ නැංවිය යුතුයි.