බේලා සොයා ඉන්දි­යා­වට යන්න ගිය හොරොව්පොතා‍නේ දැරි­යන් සොයා සිළු­මිණ ගිය ගමන | සිළුමිණ

බේලා සොයා ඉන්දි­යා­වට යන්න ගිය හොරොව්පොතා‍නේ දැරි­යන් සොයා සිළු­මිණ ගිය ගමන

දැරියන් වශී වූ ‘බේලා‘ හෙවත්  ඉන්දිය නිළි සුර්භී ජෝති
දැරියන් වශී වූ ‘බේලා‘ හෙවත් ඉන්දිය නිළි සුර්භී ජෝති

හුගිය අවුරුද්දේ අන්තිම දවස ය. දවස සෙනසුරාදාවකි. පාසලත් නිවාඩු ය. එවැනි දවසකට පොඩි දරුවන් ටිකක් එළිය වැටෙනතුරු නිදාගන්නේ ය. චමිලා උදේ ඇහැරී තේ හදාගෙන සිය දියණියන් දෙදෙනා ඇහැරවන්නට ඔවුන් සිටි කාමරයට ගියාය. සිය 8 හැවිරිදි පොඩි දුව සමඟ 13 හැවිරිදි ලොකු දුව නිදාගත්තේ වෙනම කාමරයකය. දියණියන් දෙදෙනා කාමරයේ නැත.

චමිලාගේ සැමියා ප්‍රභාත් සේවය කරන්නේ යුද හමුදාවේය. ප්‍රභාත්ගේ අක්කා මංගලිකා ඉන්නේ යාබද නිවෙසේය. චමිලාගේ දෙදරුවන් හා මංගලිකාගේ දියණිය හැමදාම සෙල්ලම් කළේ එකටය. දියණියන් දෙදෙනා උදෑසනම මංගලිකාගේ නිවෙසට යන්නට ඇතැයි සිතූ චමිලා සිය නෑනාගේ නිවෙස දෙසට ගියාය. ඒ අතර සිය දියණිය ද නිවෙසේ නැති බව දැනගත් මංගලිකා ඇය චමිලාගේ ගෙදරට පැමිණ ඇති දැයි විමසීමට එමින් සිටියාය.

අම්මලා දෙදෙනාම මොහොතකට ගල් ගැසුණහ. චමිලාගේ 13න් හැවිරිදි දියණියත්, 08 හැවිරිදි දියණියත්, මංගලිකාගේ 12 හැවිරිදි දියණියත් සලකුණකුදු නොතබා අතුරුදහන් වී ඇත. වටේ පිටේ ගෙවල්වල ඉන්නේ ඥාතීන්ය. දැරියන් තිදෙනා අතුරුදහන් වී ඇතැයි කී විට ඔවුන් සමඟ සෙල්ලම් කරන එක් දැරියක් ගත් කටටම කීවේ මෙවැන්නකි.

“එහෙනම් ‘බේලා‘ බලන්න යන්න ඇති. පයින් හරි ඉන්දියාවට ගිහින් ‘බේලා‘ බලනවා කියලයි එයාලා කිව්වේ.“

වමේ සිට, ප්‍රභා­ෂිනී නිම්සරා, ප්‍රභාවි නිම්සාදා සහ අනුමි නෙහාරා

“බේලා“ යනු එක්තරා රූපවාහිනී නාළිකාවක හඬ කවා ප්‍රචාරය වන ඉන්දියානු මෙගා නාට්‍යයක එන චරිතයකි.

දැරියන් නිවෙසින් පිටවී ඇත්තේ ඔවුන්ගේ මනෝ ලෝකය පුරා සැරිසරන මේ චරිතය සොයාගෙනද? පුංචිම දියණියට වයස අවුරුදු 08කි. මේ කෙල්ලත් අරන් මේ දැරියන් දෙදෙනා කොතැනක යන්න ඇති ද?

චමිලා හා මංගලිකා තවමත් නිදන ඇඳුම පිටින්මය. ඔවුනට ඇඳගෙන ඉන්නේ කුමක් දැයි සොයන්නටවත් නිනව්වක් නැත. කෑ ගසමින් පැමිණ සැමියාගේ යතුරු පැදියට නැඟුණු චමිලා; මංගලිකා ද පසුපසින් නන්වාගෙන ඉදිපිටියට හැරෙන වැලිමෝපලාන හන්දියට ගියාය. හන්දියේ ත්‍රී රෝද රථ රියැදුරෙක් කීවේ දැරියන් තිදෙනා පාන්දර බස් රථයකට නගිනු දුටු බවය. අම්මලා දෙන්නා හොරොව්පොතාන බස් නැවතුමට ගියහ. දැරියන් ගැන කිසිම හෝඩුවාවක් නැත. ඔවුන් හොරොව්පොතාන පොලිසියට ගොස් දරු තිදෙනා ගැන කියන්නට යන විට චමිලාගේ සැමියා පොලිසියට පැමිණ පොලිස් කණ්ඩායම් දෙකක් ද රැගෙන හොරොව්පොතාන, පහළ කුබුගොල්ලෑව, ඉදිපිටිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස්ය.

චමිලා සහ මංගලිකා නිවෙසට එනවිට මුළු ගමම නිවෙස අසලය. පොලිස් කණ්ඩායම් දෙකක් ද පැමිණ ඇත. චමිලාගේ සැමියා ප්‍රභාත් හඬා වැටෙමින් සිටියේය. ඔහුට දෙපා වාරු නැත. කටහඬ පිටවන්නේ නැත. හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් දයානන්ද ගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී ජයවර්ධනත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සැරයන් රංජනීත් පොලිස් කණ්ඩායම් දෙකක් සමඟ පැමිණ මූලික විමර්ශන අරඹා තිබිණි. දරුවන් ඉන්දියානු මෙගා නාට්‍යයක නිළියක් සොයාගෙන ඉන්දියාවට පිටත් වී ඇතැයි ඇසෙන කතාව විශ්වාස කරන්නට තරම් තර්කයක් පොලිසියට නැත. ඔවුන්ගේ සැකය විවිධ ඉසව්වලට යොමු වෙමින් තිබේ. මෙය පැහැර ගැනීමක් විය හැකිය. දරුවන් තිදෙනා හිතූ මනාපේ ඇවිදින්නට ගොස් කැලෑවක අතරමං විය හැකිය. ඇසෙන අපරාධවල ස්වරූපය හා ක්‍රියාත්මක වන ආකාරයත් සංකීර්ණය. එහෙත් පෙළ ගැසෙන කතා අනුව අතාර්කික වුවද ලැබෙන ප්‍රමුඛ තොරතුරේ ඇත්තක් ඇතැයි පොලිසිය සිතන්නේ චමිලාට ත්‍රී විල් රියදුරා කී කතාවත් සමඟිනි. දරුවන් තිදෙනා පාන්දර බස් රථයකට නැඟ තිබේ.

ඒ තොරතුර අනුව ඉදිපිටියට හැරෙන වැලිමෝපලාන හන්දියෙන් යාපනයට බස් එකක් යන්නේ කීයටදැයි පොලිසිය යාපනය ඩිපෝවෙන් විමසා සිටියේය. බස් රථය යන්නේ පාන්දර 5.20ට ය. බස්රථයේ රියැදුරුගේ දුරකථන අංකය රැගත් පොලිසිය රියැදුරු විමසුවේය.

“අද පාන්දර යාපනේ බස් එකට වැලිමොපලාන හන්දියෙන් පුංචි දරුවො තුන්දෙනෙක් නැග්ග ද?.“ රියදුරුට එක්වරම මතක් විය.

“ඔව්නේ සර්... පොඩි දරුවෝ තුන්දෙනෙක් බෑග් එල්ල ගෙන හිටපු නිසා අපි කල්පනා කළා අනේ මේ දරුවෝ පාන්දරම පන්ති යනවා ඇති කියලා... දරුවො අනුරාධපුරෙන් බැස්සා...,“මේ බස් රථයට නැඟීමට නම් පාන්දර 4.30ට වත් දැරියන් ගෙදරින් පැමිණිය යුතුය. පොලිසිය කියන පරිදි ඒ මඟ වැටී ඇත්තේ අලි සැරිසරන මූකලන් මැද්දෙන්ය.

අනුරාධපුරයෙන් බැසගත් දැරියන් තිදෙනා ගැන තොරතුරු සොයන පොලිසියට ආරංචි වන්නේ ඔවුන් කැබිතිගොල්ලෑව නගරය වෙත පැමිණ ඇති බවය. වහාම පොලිස් කණ්ඩායමක් කැබිතිගොල්ලෑවට පිටත් වන්නේ ඒ තොරතුරු ඔස්සේය. මංගලිකාත්, චමිලාත් දැරියන්ගේ ඥාති පිරිසකුත් ගමනට එක් වන්නේය. දැරියන් කැබිතිගොල්ලෑවේ නැත. 10. 30 වනතුරුත් දරුවන් සම්බන්ධව කිසිම හෝඩුවාවක් නොලද පොලිසිය පොලිස් මූලස්ථානයටත් මේ සිද්ධිය පිළිබඳ දැනුම් දුන්නේය.

මේ අතර දුරකතන ඇමතුමක් ලැබෙන්නේය. ඒ හොරොව්පොතානෙනි. දැරියන් තිදෙනා හොරොව්පොතානේ සිටින බව දුටු ගැමි කාන්තාවක් ඔවුන් තිදෙනා තමන් ළඟට ගෙන්වා ගෙන ගමේ ග්‍රාමසේවක හරහා පොලිසිය දැනුම්වත් කර තිබිණි. පොලිස් කණ්ඩායමක් පැමිණ දරු තිදෙනා ඔවුන් භාරයට ගත්හ. දරුවන් සිටියේ තැතිගෙනය. දීර්ඝ පොලිස් ප්‍රශ්න කිරීම්වලින් පසු එළියට පැමිණි දරුවන් හඬාගෙන විත් සිය අම්මලාගේ ගෙලේ එල්ලුණහ.

දැන් ඒ සිද්ධිය හමාරය. ඒත් ඒ සිද්ධියේ කුණු රසය මතුකරමින් මේ අම්මලාත් දරුවන් තිදෙනාත් පෙළන සමාජයේ තිරශ්චීන ස්වරූපය ඒ අම්මලා වන චමිලා දිල්හානි සහ ජීවන්ති මංගලිකා අප සමඟ කීවේ මෙසේය.

 

“අපේ දරුවො මහා අපරාධයක් කරලා වගේ... පාරට බහින්න බෑ සමහරු හූ කියනවා. ටික් ටෝක් එකට වීඩියො හදලා දරුවන්ගෙ මූණු එක්ක දානවා. ශිවන්‍යා කිය කියා දරුවන්ට විහිළු කරනවා. මගෙ මූණට අහලා තියෙනවා උඹලා මැරිලද හිටියෙ දරුවො ගෙදරින් යනකම් කියලා. දරුවො කන්නෙ තණකොළ ද කියලා කෙනෙක් ඇහුවා. ඇය හැඬු කඳුළින් කියන්නීය.

මංගලිකා සැමියාගෙන් වෙන්වී ගොවිතැනක් කරගෙන සිය දියණිය නඩත්තු කරමින් ජීවත්වන අසරණ ගැහැනියකි. ඇයටත් අත්වී ඇත්තේ ඒ ඉරණමය. හොරොව්පොතානේ සමහරු මේ අම්මලා දෙන්නා නොමරා මරති. මංගලිකාගේ දුව අනුමි නෙහාරාට අවුරුදු 12කි. ඇය පාසල් යන්නේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයටය. චමිලාගේ ලොකු දුව 13 හැවිරිදි ප්‍රභාවි නිම්සාදා හොරොව්පතාන මධ්‍ය මහා විද්‍යාලයටත් 07 හැවිරිදි පොඩි දුව ප්‍රභාෂිනී නිම්සරා වෙලෙන්පතාන පාසලටත් යන්නීය.

ඔවුන් කියන්නේ දරුවන් දැන් පාසල් යන්නට බැරි යැයි හඬා වැටෙන බවය. පාසලේ සමවයස් දරුවන් මේ දරුවන් එන තුරු මඟ බලා සිටින බවට කියැවෙන ආරංචි සමඟ ඔවුහු යළි සිය මිතුරු සමාජයට යෑම ප්‍රතික්ෂේප කරමින් සිටිති. හොරොව්ෙපාතාන පමණක් නොව, මේ සමාජයම දැන් මේ දැරියන් තිදෙනා දෙසත් ඔවුන්ගේ අම්මලා දෙසත් බලන්නේ යම් අවඥාවකින් බව ඇති වී තිබෙන කතිකාවෙන් පෙනේ.

ඒ වියරුව ගිනි දල්වන්නේත් සදාචාරය පිළිබඳ හැඟීම් මාත්‍රයකින් තොරව බොරු බේගල් ප්‍රචාරය කරන්නෙ මේ රටේ සමහර මාධ්‍යය සහ සමාජ මාධ්‍යය ය. ඉන් අමුතුම තෘප්තියක් ලබන අපේ සමාජය මේ එළි දුටුවේ සාහිත කලා විහීන සමාජයක නොදරුවන් පත්ව ඇති ව්‍යසනයේ නිරුවත බව තේරුම් ගන්නේ නැත. ඊට කිසිවෙක් හුදෙකලාව වගකිව යුතු නැති බව කියන්නට කෙනෙක් නැත.

අප හැමෝටම පුංචි කාලයේ වීරයෝ සිටියෝය. ඒ වීරයන් හැදෙන්නේ අප දරුවන් සේ අපේ මවුපිය, වැඩිහිටි, ගුරු පරම්පරාව විසින් යොමු කළ සාහිත්‍යයෙනි. එවැනි සාහිත ඇසුරක් සඳහා යොමු කිරීමට හැකි ගුරු පරම්පරාවක් හෝ නැති දරුපැටවු ජීවිත වින්දනය ලබමින් ඔවුන්ගේ චිත්තරූප සංකල්ප ගොඩනඟා ගන්නේ තමන් අසන දකින දෙයිනි. මේ දරුවන් ආකර්ෂණයට ලක් කළ ආදර්ශ සාහිත්‍ය කෘතිය සිංහලෙන් හඬ කැවූ එක් මෙගා කතාවකි. දරුවන් තිදෙනා ආකර්ෂණය වී ජීවත් කර ඇත්තේ මේ ෆැන්ටසිය තුළය. එය කොතරම් ප්‍රබල වූවාදැයි කිවහොත් සිය නිවෙසින් පැන බේලා මුණගැසෙන්නට යන තැනටම තීව්‍ර වී තිබිණි.

ඒ ගමන සඳහා මේ දැරියන් මුදල් එකතු කරගෙන තිබිණි. වැඩිමහල් දියණිය ළඟ රුපියල් 700කි. ඉන් රුපියල් 500ක් ඇගේ පාසල් නිල ඇඳුම් මසා ඉතිරි වූ මුදල්ය. දෙවැන්නී ළඟ තුන්සීයකි. ඇය පාසලට දෙන වියදමින් ඒ මුදල එකතු කරගෙන තිබුණාය. පුංචිම දියණිය ළඟ රුපියල් 165කි. ඉන් එකසිය පනහක් ඇයගේ අම්මා පොල් ලෙලි විකුණා ගත් මුදල්ය. දැරිය එය සිය කැටේට දමා ගැනීම සඳහා ඉල්ලාගෙන තිබිණි. ගෙදර තිබූ ඩොලර් එකක කොළයකුත් පුංචි දුව අතේය. තුන්දෙනාගේම එකතුව රුපියල් එක්දාස් එකසිය හැට පහකුත් ඩොලර් එකකි.

දැරියන් කල්පනා කර ඇත්තේ ඉන්දියාවට ළඟම යාපනයට ගොස් එතැනින් බෝට්ටුවක් රැගෙන ඉන්දියාවට යෑමට ය. ගොස් ‘බේලා‘ මුණගැසීමය. ඔවුන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණන, ලංකාවේ සිට ඉන්දියාවට ඇති දුර, ‘බේලා‘ ජීවත්වන ප්‍රාන්තය ඇතුළු තොරතුරු ගණනාවක් රැස් කරගෙන සිටියහ. දරුවන්ගේ ගමන්මලුවල ශෝල් දෙකක්, හිස් පලඳනාවක්, තැල්ලක්, මේකප් බඩු ස්වල්පයක්, වළලු මෙන්ම ශබ්දකෝෂයක් ද ඇතුළත් වී තිබිණි. මේ ගමන ගිය වැඩිමහල් දියණිය 13 හැවිරිදි ප්‍රභාවීය. මේ දියණිය සමඟ කතා කළෙමි.

“ඇයි දුවට ඉන්දියාවෙ යන්න හිතුණේ“ මා ඇසූ විට ඇය සිනාසුණාය.

“ එයාගෙ නම ‘බේලා‘. ඔයා එයාව දන්නව ද?“

“නෑ.... මටත් එයා ගැන කියන්න පුළුවන් ද?“

“ ඔව්... මම එයාට කැමතියි. මොකද දන්නවද? එයා හරිම ලස්සනයි.“

අනතුරුව ප්‍රභාවි කියන්නී මේ ගමනට ඇය සූදානම් වූ අයුරු ගැනය.

“මුලදි අපි ‘බේලා‘ ගැන කතා කළා. ඔහොම ටික දවසක් කතා කරගෙන ඉන්නකොට ලොකු අම්මලගෙ නංගි තමයි ඇහුවෙ අපි පයින් හරි ගිහින් බේලව බලලා එමුද කියලා. ඉතින් මම මුලදි බෑ කිව්වත් ඊට පස්සෙ හා කියලා හිතුණා.“

අනුමි ඉන්නේ අල්ලපු ගෙදරය. ඇය ප්‍රභාවිගේ ලොකු අම්මාගේ දුවය.

“පුතාට හිතුණේ නැද්ද අම්මලාට කියලා යන්න ඕන කියලා. අම්මලා බය වෙයි කියලා“

අපේ අම්මලාට අපිව එහේ එක්ක යන්න තරම් සල්ලියක් නෑ. කිව්වා නම් යන්න දෙන්නෙ නෑනෙ. මට බය හිතුණා. ඒත් ‘බේලා‘ බලන්න තියෙන ආසාව නිසාම පස්සෙ බය නැති වුණා.“

“හරි... පුතාට බය හිතුණේ නැද්ද ගෙදරින් පාන්දර නැගිටලා බස් එකට එනකොට...“ යළි ප්‍රභාවී දියණියගෙන් විමසුවෙමි.

“නෑ... අපිත් එක්ක අපේ බල්ලත් ආවනෙ. ඉතින් බය හිතුණේ නෑ. මායි චූටි නංගියි නිදියගත්තෙ එකට. අපි හතර හමාරට නැගිට්ටා. අල්ලපු ගෙදර අනුමි නංගිවත් හොරෙන්ම කතා කරගෙන යාපනේ බස් එක ගන්න ආවා. “

“පුතාලා ඇයි අනුරාධපුරෙන් බැස්සේ“

“අපි තුන්දෙනාටම වමනෙ ගියා... මටත් අමාරු වුණා. ඉතින් අනුරාධපුරෙන් බැහැලා ගෙදර එන්න හිතුවා. අපි ළඟ කඩේකින් පරාටා කාලා ගෙදර එන්න කැබිතිගොල්ලෑව බස් එකට නැග්ගා.“ඇය අපට කීවාය.

පොඩි උන් හීන දැකීම අරුමයක් නොවේ. හීන තුළ ජීවත්වීම ද ළමා ලෝකයේ ඇත්තකි. ඔවුන් හීන දකින්නට යොමු කරවන්නේ ඔවුන් ඇසුරු කරන සාහිත්‍යය ය. මඩොල්දුව කියවන අපේ පුංචි සන්දිවල මඩොල්දූව සොයා ගෙන නිවෙසින් පැන ගිය ගැටවුන් ගැන කතාත් අපේ අම්මලා සහ ගුරුවරු අපට කිව්වෝය. වික්‍රමසිංහයන් පවා ඒ ආරංචි මාත්‍රයෙන් කම්පා වූ බව කියැවිණි. මඩොල්දූව සොයාගෙන ගිය අතීත ගැටවරයන්ගේත් ‘බේලා‘ සොයා ගෙන ඉන්දියාවට යන්නට ගිය මේ පැටවුන්ගේත් වෙනසක් අපට පෙනෙන්නේ නැත. ව්‍යසනය වී ඇත්තේ දරුවන්ගේ චින්තන ප්‍රවේණියේ නොව, ඇසුරු කළ සාහිත්‍යයේ ය.

වැදගත් වන්නේ මේ පැටවුන් ගොඩනැඟූ පරිකල්පන නිවැරදි කර ඔවුන් ජීවිත යථාර්ථය තුළ ඔවුන්ට ගැළපෙන සාහිත්‍ය ඇසුරක පිහිටවීමය.

මේ පිළිබඳ තංගල්ල රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ මනෝජ් පානමුල්ලගේ පැහැදිලි කිරීමෙන් මේ සටහන නිමා කරමු. ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.

“නිරන්තරයෙන් ඇහෙන පෙනෙන දේ අපේ මනසට කාවදිනවා. අද රූපවාහිනිය සහ අන්තර්ජාලය හරහා ලැබෙන තොරතුරු තමයි ළමයි වැඩිපුර ඇසුරු කරන්නේ. පහුගිය අවුරුදු දෙක ඇතුළෙ මේ වසංගතයත් එක්ක පාසලෙනුත් දරුවො අයින්වෙලා නිවෙස්වල කොටු වුණා. ඒ දරුවන්ගෙන් සමහරු ඩිජිටල් තිරයට ඇබ්බැහි වුණු අයුරු අප අත්දුටුවා.“

රූපවාහිනී තිරයක් ඉස්සරහා හෝ ස්මාර්ට් ඩිවයිස්වලට කොටුවෙන දරුවෝ අවසානයේ දී ජීවිතය ගැන ඉගෙන්නේ ඔවුන්ට නිරන්තරයෙන්ම ඇහෙන දකින දේ හරහායි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් දකින දේයි. මේ පැටවුන්ට වැඩිහිටියන් ඇසුරු කරන්නවත් වැඩිහිටියන්ට ඔවුන් සඳහා ලබා දෙන්නවත් වෙලාවක් නෑ. ඔවුන් ඩිජිටල් තිරයේ ප්‍රදර්ශනය වෙන දේ තමයි තමන්ට කැමති විදිහට ගන්නෙ. මේ දරුවො නොමේරූ දරුවෝ. කතාවක් තුළ ගොඩනඟන මායාව පරම සත්‍යයක් යැයි විශ්වාස කළ යුතු තරම් දැඩි ලෙස මේ ළමා මනසට යෝජනා වෙලා තියෙනවා.

දැන් මේ දරුවන්ට නීතියෙන් දඬුවම් දෙන්න, විනය ක්‍රියා මාර්ග ගන්න තරවටු කරන්න යන්න එපා. මේ දරුවන්ට අවශ්‍ය වන්නේ ජීවිත යථාර්ථය ගැන අවබෝධ කරලා දීලා නැවත මේ දරුවන්ගේ අධ්‍යාපනය සඵල කරගත හැකි ඒ වයසට සුදුසු රස වින්දනයකට යොමු කිරීමයි. ක්‍රීඩාවට, සෞන්දර්යය වැඩසටහන්වලට යොමු කර ඔවුන් අගය කිරීමයි.

කරුණාකරලා මේ දරු පැටවු පවුල තුළට, පාසලට, සමාජයට ආදරෙයන් බාරගන්න. ප්‍රධාන කොටම දරුවන්ට සුදුසු දේ නුසුදුසු දේ තෝරා දීම වැඩිහිටයන්ගේ, ගුරුවරුන්ගේ වගකීමක්. මේ තලුමරමින් රස විඳිය යුතු දෙයක් නොවෙයි. සාහසික අපරාධයකුත් නොවෙයි. මේ සමාජ ව්‍යසනය ප්‍රකාශ කරන එක්තරා හුදෙකලා සිද්ධියක් පමණයි.

 

ඡායාරූප - ගලෙන්බිඳුණුවැව  

චින්තක කේ. බාලසූරිය

 

Comments