
2021 උසස් පෙළ සිසු ගැටලුවට විසඳුමක් ඕනෑ
කොරෝනා ව්‍යසනය නිසා අධ්‍යාපනය ලැබීමට තිබූ කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම හේතුවෙන් 2021 උසස් පෙළ සිසු සිසුවියන් ලෙස අප මහත් පීඩනයකට පත්ව සිටිමු. 2021 උසස් පෙළ විභාගය පවත්වන දිනය වෙනස් කර විභාගය සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමු.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යයනය කර සිදු වූ අධ්‍යාපන පාඩුව 2020 වසර තුළ දී බස්නාහිර පළාතේ පමණක් 55%ක පමණ හා ඉන් පිට පළාත්වල 45%ක පමණ පාඩුවකුත් 2021 වසර තුළදී බස්නාහිර පළාතේ පමණක් 90%ක පමණ හා ඉන් පිට පළාත්වල 70%ක පමණ පාඩුවකුත් ලෙස සඳහන් කරති.
මෙම අධ්‍යාපන පාඩුව ආවරණය කර ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කළේ නොවැම්බර් මස සිට මාර්තු මස දක්වා අත්‍යවශ්‍ය විෂය කොටස් ආවරණය කළ යුතු බවයි. නමුත්, අත්‍යවශ්‍ය විෂය කොටස් පමණක් නොව සියලු විෂය කොටස් ආවරණය කළ යුතු බවට අධ්‍යාපන ලේකම්වරයා විසින් ගුරුවරුන්ට දැනුම් දුනි.
එනම්, අත්‍යවශ්‍ය විෂය කොටස් හා අනෙකුත් විෂය කොටස් ඇතුළුව සම්පූර්ණ විෂය කොටස් ආවරණයට මාර්තු මාසය ඉක්මවා යන බව පැහැදිලි වේ.
නමුත්, ඉහත සියල්ල නොසලකා හැර උසස් පෙළ විභාගය පෙබරවාරි මස පැවැත්විය යුතු බවට අධ්‍යාපන ඇමැතිතුමාට නිර්දේශ ලබා දුන්නේ කවුද?
උසස් පෙළ සිසුන්ට පාසල් ආරම්භ වී මසක පමණ කාලයක් ගත වී ඇති අතර මාසයක් ගත වනවිට පාසල්වල ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ හා උසස් පෙළ සිසුන් මුහුණ දෙන ගැටලු බොහෝය.
එක් පන්තියක මුළු සිසුන් ප්‍රමාණය කොටස් 02කට බෙදා, පාසල් වලට සිසුන් ගෙන්වා ගන්නේ සතියක් හැර සතියක් ලෙස කොටස් වශයෙනි. නිවෙස්වල සිටින සිසුන්ට මාර්ගගත ක්‍රමය මඟින් හෝ අධ්‍යාපනය හිමි නොවේ. මෙය පාසල් ආරම්භයේ සිට සියලු පාසල්වල ක්‍රියාත්මක වේ.
මේ අනුව ගත් කල නොවැම්බර් 15 සිට පෙබරවාරි 07 දක්වා කාලය තුළ උසස්පෙළ සිසුන්ට පාසල් යාමට සිදු වන්නේ දින 30ක් පමණ වූ ප්‍රමාණයකි. දින 30ක කාලය මඟින් අධ්‍යාපන පාඩුව ආවරණය කරන්නේ කෙසේද?
උදාහරණයක් වශයෙන් විද්‍යා විෂය සැලකූ විට භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 03න් 01ක් සම්පූර්ණයෙන්ම ගොඩනැඟෙන්නේ විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ 42ක් ඇසුරිනි. එම ප්‍රායෝගික පරීක්ෂණ 42 සිදු කිරීම සඳහාවත් ප්‍රමාණවත් කාලයක් ඉහත පරිදි පාසල් යාම තුළින් සිසුන්ට හිමි නොවේ.
එම නිසා උසස් පෙළ විභාගය පෙබරවාරි මස පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව අපගේ මතයයි. මේ නිසා සිසුන් දැඩි මානසික පීඩනයකට හා දැඩි මානසික කඩාවැටීමකට ලක්වී ඇත.
ඉහත කරුණු පිළිබඳව බලධාරීන් දැඩි අවධානය යොමුකර අපගේ ඉල්ලීම ඉටුකර දෙන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමු. අපගේ ඉල්ලීම වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කළ පරිදි විෂය නිර්දේශ ආවරණය කර ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා උසස් පෙළ විභාගය අවම වශයෙන් අප්‍රේල් මාසය තුළදී පවත්වන ලෙසයි.
2021 අ.පො.ස. උසස් පෙළ සිසු සිසුවියන්
---------------------------
පිහිටවන්න
බණ්ඩාරගම, රමුක්කණ, සංඝමිත්තා මාවතේ, 110-D ලිපිනයේ පදිංචි දෙදරු පියකු වන 39 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ විරාජ් කුමාර සිරිසේන දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී තිබේ. ඒ අනුව ඔහු හට ඉතා ඉක්මනින් A වර්ගයේ හෝ O වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇත. ඔහු හට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙත්නම් 0766579802 යන දුරකථනයට අමතන මෙන් ඉල්ලා සිටී.
---------------------------
විදෙස්ගතව සිට පැමිණි උපාධිධාරින් රාජ්‍ය සේවයට එක්කරගන්න
දීර්ඝ කාලයක් විදේශගතවී සිටි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් විශාල පිරිසක් පසුගියදා පැවැති කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඔවුන් බොහෝ දෙනෙක් නැවතත් විදේශගත වීමට කැමැත්තක් නොමැත. ඊට ප්‍රධාන හේතුව හදිසි ආපදාවකදී ඔවුන්ට මෙරටට පැමිණීමට තිබුණු දුෂ්කරතාව නිසාය.
මෙකී ශ්‍රමිකයන් අතර උපාධිධාරින් ද සිටී. ඔවුන් අද කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකිව නිවෙස්වලට වී නිකරුණේ කාලය ගත කරයි. එම පිරිසේ දැනුමෙන් රටට සේවයක් ලබා ගැනීමට පාලක පක්ෂය විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇත.
වත්මන් රජය මඟින් පසුගියදා උපාධිධාරින් පනස්පන් දහසකට අධික සංඛ්‍යාවකට රාජ්‍ය තන්ත්‍රයේ රැකියා ලබා දී ඇත. එය ඉතා වැදගත් මෙන්ම අගය කළ යුතු කාර්යයකි.
එසේම රැකියා විරහිත විදේශගතව සිට මෙරටට පැමිණ සිටින උපාධිධාරි ශ්‍රමිකයන්ට ද රාජ්‍ය තන්ත්‍රයේ රැකියා ලබාදීම පාලක පක්ෂයේ යුතුකමකි.
දීර්ඝ කාලයක් විදේශගතවී මෙරටට විදේශ විනිමය උපයා දුන් ඔවුන් පසෙකට කළ යුතු පිරිසක් නොවෙති. දැනට ඔවුන් හට රජයේ රැකියාවකට හෝ ඉල්ලුම් කළ නොහැක්කේ වයස අවුරුදු 35ට වැඩි වීම නිසාය.
එබැවින් මෙම උපාධිධාරී ශ්‍රමිකයින් රාජ්‍ය සේවයේ යෙදවීමට ඔවුන්ගේ වයස් සීමාව 35 සිට 50 දක්වා වැඩි කරන ලෙස වත්මන් රජයේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.
එස්. සමරනායක, අම්බලන්ගොඩ
------------------------
ආර්ථික අර්බුද හමුවේ රාජ්‍ය සේවය කොතනට ද?
ගෝලීය වසංගතය හමුවේ ලොව සියලු රටවල් අර්බුද රාශියකට මුහුණ දී සිටියි. අද ලෝකයේ සෑම රටකටම පරාර්ථකාමීත්වය පසෙක තබා ආත්මාර්ථකාමී වීමට සිදුවී තිබේ.
සාමාන්‍ය ව්‍යසනයකදී අනෙකාට උදව් උපකාර කළ හැකි වුවත් මෙවැනි දරුණු වසංගත තත්ත්වයකදී අපි අපිම ගැන පමණක් සිතීමට සිදුවී ඇත.
දියුණු වෙමින් පවතින රටක් ලෙස අපට ද මුහුණ දීමට ඇති අභියෝග රාශියකි. මේ අභියෝග අතර වැඩිවන ජීවන වියදමට සාපේක්ෂව ඉහළ යන බඩු මිල සාමාන්‍ය ජනතාවට පමණක් නොව ව්‍යාපාරිකයකුට වුවද දරාගත නොහැක. උද්ධමනය පුදුම සහගත ලෙස ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය සුළුපටු නොවේ. සෑම ගැටලුවක්ම සමබරව අවබෝධ කර ගෙන කටයුතු කළ යුතුය. සෑම ප්‍රශ්නයකටම යම් විසඳුමක් තිබිය යුතුය. අද දවසේ රාජ්‍ය සේවය මුහුණ දෙන වැටුප් ගැටලුව ද සුළුපටු නොවේ.
රාජ්‍ය සේවය පිළිබඳව බොහෝ දෙනකු තුළ තිබෙන චිත්‍රය යහපත් නොවේ. හැමවිටම වැඩි වැටුප් ඉල්ලන, වැඩ නොකරන පිරිසක්ය යන මතය මහජනතාව තුළ රෝපණය විය හැක. එහෙත් රාජ්‍ය සේවකයා හැම විටම බලාපොරොත්තු වන්නේ වැඩි වැටුප් නොව ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් තලයක් ලබාදෙන ලෙසය. එසේම රාජ්‍ය සේවකයා රැක ගැනීම සෑම රජයකම පරම යුතුකම විය යුතුය. රාජ්‍ය සේවකයා තෘප්තිමත් නොවූ කළ රජය මඟින් ලබාදෙන සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව අතරට ගලා යාම මන්දගාමී විය හැක. රජය හැම විටම වෘත්තීය සමිති සමඟ කටයුතු කිරීම ඉතාම වැදගත් වන අතර ප්‍රශ්නය කුණු වෙනකම්ම චක්‍ර ලේඛ මෙපමණ තිබිය යුතු නැත.
යම් ගැටලුවක් ආවේද එය විසඳා පැත්තකින් තිබිය යුතුය. එවිට එම ගැටලුව නැවත පැන නොනඟී. නමුත් සිදු වෙන්නේ සෑම ගැටලුවක්ම තාවකාලිකව යටපත් කිරීම පමණි. එමඟින් ගැටලුව තව තවත් උග්‍රවනවා විනා සදාතනික සහනයක් නොලැබෙනු ඇත.
චන්දන වන්නිආරච්චි, දෙහිඅත්තකණ්ඩිය
--------------------------------
ගම්පහට ඇයි ගං වතුර
ගම්පහ නගරය දැන් කුඩා වර්ෂාවකට පවා ජලයෙන් යට වන තත්ත්වයකට පත්වී ඇත. ගම්පහ නගරය සමීපයෙන් ගලා බසින අත්තනගලු ඔය සහ ඌරුවල් පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ නගරය ඇතුළු මාර්ග හා මංමාවත් රැසක්ම ගංවතුරෙන් යටවේ. සුළු වර්ෂාවකදී පවා මෙසේ ගම්පහ ආපදාවට ලක්වන්නේ වැසි ජලය බැස යෑමට තිබෙන කාණු පද්ධතිය බොහෝ කාලයකින් නඩත්තු නොකිරීම, ඇළ මාර්ග කිහිපයක්ම වසා දමා ඉඩම්වලට අත්පත් කරගැනීම, ඇළ මාර්ග නියමිත කාල වකවානුව අනුව සුද්ධ පවිත්‍ර නොකිරීම, වැස්ස අධික කාලවලදී පිටාර නොයන ආකාරයට මෝය කට දක්වා ඇළ මාර්ග සංවර්ධනය කිරීම ප්‍රමාද වීම ඇතුළු හේතු රැසක් නිසාය. එබැවින් ගම්පහ ගංවතුර පාලනය කිරීම සඳහා සාර්ථක පිළියම් කඩිනමින් ලබාදෙන ලෙස ගම්පහ සහ අවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
පී.ඩී. ප්‍රේමරත්න, ගම්පහ
-------------------------
කොක්කාවිලට ස්ථිර වෛද්‍යවරයකු අකැපද?
කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවට මාස 6ක පමණ කාලයක සිට ස්ථිර වෛද්‍යවරයකු නොමැතිකමින් රෝගීහු මහත් අසීරුතාවලට මුහුණ දී සිටිති. කොක්කාවිල අවට ගම්මානවල පදිංචි 100-150ක පමණ පිරිසක් දිනපතා මෙම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගන්නා අතර ළමා, ළදරු සහ ගැබිනි මාතෘ සායන සඳහා ද සැලකිය යුතු පිරිසක් සහභාගි වෙති. ස්ථිර වෛද්‍යවරයකු නොමැති වීම හේතුවෙන් එම සේවාවන් ලබාගන්නා ජනතාවට මහත් පීඩාවකි.
කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවේ මීට පෙර සේවය කරමින් සිටි වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු කර යවා තිබීම කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවට ස්ථිර වෛද්‍යවරයකු නැතිවීමට හේතුවයි. සතියකට දින දෙකක් වෙනත් රෝහලක සේවය කරන වෛද්‍යවරයකු කොක්කාවිල මධ්‍යම බෙහෙත් ශාලාවේ රාජකාරි සඳහා පැමිණියද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ජනතාවගේ අදහසයි. එබැවින් හැකි ඉක්මනින් මෙම බෙහෙත් ශාලාව සඳහා ස්ථිර වෛද්‍යවරයකු යොදවන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එම්. එම්. මෙන්ඩිස්, හලාවත
---------------------------
රාගම පියසර පාලමේ වාහන තදබදය නිසා අසීරුතා රැසක්
තවමත් සාධාරණ විසඳුමක් නොලැබුණු රාගම ජනාකීර්ණ නගර මධ්‍යයේ, දුම්රිය මාර්ග 04ක් හරහා, මාර්ග අංක 262 බස් නැවතුම්පළ ආසන්නයේ සිට රාගම, උතුරු කොළඹ ශික්ෂ රෝහල මංසන්ධිය දක්වා දිවයිනේ ප්‍රථම පියසර පාලම ලෙසින් ඉදිවූ පසුව “කාදිනල් කුරේ පියසර පාලම” ලෙසින් නම් වූ එම පාලමේ උදේ හවස පවතින වාහන තදබදය හේතුවෙන් එය ඉදිකිරීමේදී වූ මූලික අරමුණු ඉටු නොවන තත්ත්වයක් උදාවී ඇත.
මෙම පාලම ඉදිකිරීමට පෙරාතුව වූ දුම්රිය ගේට්ටුවේ තිබූ වාහන තදබදයත් රාගම ශික්ෂණ රෝහලට ගිලන් රථ හා වෙනත් වාහන මඟින් ගෙන එන අසාධ්‍ය රෝගීන් කීපදෙනෙකුම ගේට්ටුව අසලදීම ජීවිතක්ෂයට පත්වීමත් රෝහලට හදිසි අවස්ථාවලදී වාහන මඟින් යන වෛද්‍ය කාර්ය මණ්ඩලවලට බාධා ඇතිවීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පාලම ඉදිවිය. එහෙත් මේ වන විට විශේෂයෙන් උදේ කාලයේත් සවස් කාලයේත් මෙම පාලමේ එදාටත් වඩා වැඩි වාහන තදබදයක් පවතී. මීට විකල්ප වශයෙන් රෝහල් මංසන්ධියේ වාහන හරවා යැවෙන වට රවුමක් හෝ රෝහල වෙත පාලමේ අමතර දිගුවක් හෝ වෙනත් සුදුසු පියවරක් හෝ ගන්නා ලෙස වසර ගණනාවක සිට පැවැති සැම රජයකට මාධ්‍ය මඟින් ඉල්ලීම් කළද මේ දක්වා මීට කිසිදු විසඳුමක් නොමැති බව සඳහන් කරමු.
වර්තමාන රජයේ අදාළ සියලු බලධාරින් වෙත ද අපි මෙම කරුණු පෙන්වා දෙමු. මෙතෙක් කල් “බීරි අලින්ට වීණා වැයීම” බඳු වූ මෙම කරුණ ගැන අධිවේගී මාර්ග බහුලව ඉදිවන මෙම යුගයේ “රාගම කාදිනල් කුරේ පියසර පාලමේ” වාහන තදබදයට හැකි ඉක්මණින් සුදුසු විසඳුමක් ලබා දෙන ලෙස ජනපතිඳුන්ගෙන්, අගමැතිඳුන්ගෙන්, මහා මාර්ග ඇමතිඳුන්ගෙන් හා අදාළ සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමු.
ඩික්සන් කොංගනීගේ,
පේරලන්ද - රාගම
--------------------------------
ජීවන බරට හානි කරන වනසතුන්
වර්තමානයේ මිනිසාගේ විවිධ අකටයුතු නිසා වන සතුන්ගේ ගහනය අඩුවී ඇත. වන සතුන්ගේ ගහනය අඩුවී ඇතත් වන සතුන්ගෙන් පරිසරයට සිදුවන හානිය අඩුවී නැත. දැනට නගරයේ මෙන්ම ගමේ වන සතුන්ගේ ගහනය වැඩිවී ඇත. රිලා, ඌරන්, මොනරුන්, දඬු ලේනුන්, වල්අලි හානිය බොහෝ ජන ජීවිතවලට බලපා ඇත. ඉහත සඳහන් කළ වන සතුන් නිසා මිනිසා වගා කළ ගොඩ ගොවිතැනට වැඩි වශයෙන් හානි සිදුවේ. රිලා, දඬු ලේනුන්ගේ හානිය පොල් වගාවට බලවත් ලෙස බලපා ඇත.
මෙම සත්ව හානි නිසා පොල් වගා කරන වගාකරුවන් මහත් අපහසුවට පත්ව සිටිති. එමනිසා එය පොල් මිලට බෙහෙවින් බලපා ඇත. මෙම වනසතුන්ගෙන් සිදුවන හානිය අඩු කිරීමට බලධාරින් අපොහොසත් වීම කනගාටුවට කරුණකි. මෙම වගා හානි නිසා එළවළු හා පොල් මිල ඉතා ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය නිසා මිනිසාගේ ජීවන බරට ඍජුවම හෝ වක්‍ර ලෙස බලපා ඇති බව සඳහන් කළ යුතුය. මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු කොට රිලවුන්ගෙන් සහ වල් අලින්ගෙන් සිදුවන හානි අවම කිරීමට කටයුතු කළ යුතුය.
මනහර මහින්ද, වෑකඩ - බෙලිගල
----------------------------
විශ්‍රාමිකයන් අනතුරේ හෙළන්නට එපා
පවතින වසංගතය නිසා රටේ මූල්‍ය අර්බුදයක් පවතින බව පැහැදිලය. ඒ සඳහා පිළියම් ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) සහයෝගය ලබාගත යුතුව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති. එම අරමුදලෙන් සහයෝගය ලබාගැනීමට ගියහොත් විශ්‍රාම වැටුප් කපා දැමීම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම වැනි කොන්දේසිවලට යටත්වීමට සිදුවනු ඇතැයි මහ බැංකු අධිපතිතුමා පවසයි. ජීවිතයේ අපරභාගය සැනසිල්ලේ ගත කරන විශ්‍රාමිකයෝ බොහෝ පිරිසක් රෝගවලින් පෙළෙති. ඔවුනගේ සුළු විශ්‍රාම වැටුපෙන් වැඩි ප්‍රමාණයක් ඖෂධ සඳහා වැය වේ. විශ්‍රාම වැටුප් කප්පාදු කළහොත් ඔවුහු අන්ත අසරණ තත්ත්වයට පත්වෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා වෙනත් මිතුරු රටවල සහයෝගය ලබා ගත හැකිය. පාලක පක්ෂයේ අවධානය ඒ සඳහා යොමුවේවා යැයි ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයෝ වෙනුවෙන් ඉල්ලා සිටිමි.
එච්.එම්. රූපසිංහ - කළුතර
--------------------------------
විශ්‍රාම වැටුප ලබා දෙන්න
මා මේ සම්බන්ධව බොහෝ කලක සිට රජයට ලිපි ඉදිරිපත් කරමින් විශ්‍රාම වැටුප ලබා ගැනීමට ආයාචනා ලිපි ඉදිරිපත් කළ අයෙකි. හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආරම්භ කිරීමේ සිට වසර 15ක පමණ කාලයක් මා කොළඹ නගර සභාවේ ස්ථිර වඩු කාර්මිකයකු ලෙස සේවයේ නිරත විය. මා රෝගී වීම හේතුවෙන් නිවාඩු ගත් සෑම අවස්ථාවකදීම විදුලි පුවත් යවන ලදී. අනතුරුව තැපෑලෙන් වෛද්‍ය සහතිකය ද යැවිණි. විදුලි පුවත ලැබීමත් වෛද්‍ය වාර්තාව නොලැබීමක් මෙහිදී සිදුවී ඇත.
එසේ කරන ලද්දේ ඉමහත් සේවාවක් කළ මට පමණක් නොව අවංකව සේවය කරන සියලුම සේවකයන්ගෙන් පළිගැනීමක් ලෙසිනි. එකී කරුණ මත මා හට සේවයට වාර්තා කිරීමට ඉඩ නොලැබිණි. දරු පවුලක් අසරණ විය. නගර සභාවේ දැන්විය යුතු හැමටම මේ බව ලිපි මඟින් මෙන්ම ලිඛිත අභියාචනා මඟින් ද ඉදිරිපත් කළෙමි. නමුත් මගේ විශ්‍රාම වැටුප ගෙවීමත් මගේ වැටුපෙන් කපාගත් මුදල් හෝ වසර ගණනට ගෙවන පාරිතෝෂික මුදලවත් මේ දක්වා මා හට ලැබී නැත.
මේ පිළිබඳව නීතිය, සාමය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේත් විශ්‍රාම වැටුප් පිළිබඳ අමාත්‍යවරයාගේත් කොළඹ නගර සභාවේ නගරාධිපතිනියගේත් එහි විශ්‍රාම වැටුප් අංශයේ නිලධාරින්ගේත් අවධානය යොමුව මා හට සාධාරණය ඉටු කරන දෙන මෙන් ඉල්ලා සිටිමි.
ඩී. ජී. හෙට්ටිආරච්චි, බෝපෙ