ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධව යළිත් කතාබහක් ඇති වී තිබේ. ඒ එම තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමු වීමත් සමඟිනි. ඉන්දියාවේ ද සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වඩාත් විධිමත් ලෙස භාවිතයට ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධව ගන්නා ලද තීන්දු තීරණ පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් විය.
එම කැබිනට් පත්‍රිකාවට අනුව ශ්‍රි ලංකාවේ ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 99 සඳහා ඉන්දීය රජය සමඟ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරට අතර එකඟතාවක් ඇතිව තිබේ. ඒ යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් ද අයිඕසී සමාගමට තෙල් ටැංකි 14ක් ද ලබා දී ඇති අතර ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට සියයට 51ක් සහ ලංකා අයිඕසී සමාගමට සියයට 49ක් වශයෙන් හිමිවන පරිදි ට්‍රින්කෝ පෙෙට්‍රා්ලියම් ටර්මිනල් ලිමිටඩ් යන නාමය යටතේ ස්ථාපිත කරන ලද සමාගමක් මඟින් සංවර්ධන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය වෙත මේ තරම් ප්‍රමාණවත් අවධානයක් යොමු වන්නේ දශක ගණනාවකට පසුවය. මේ මහා තෙල් ටැංකි අප රටට සම්පතක් වුවද ඒවා බොහෝ කාලයක් තිස්සේ අත්හැර දමා තිබිණී. ඇතැම් විට ඒවායේ ධාරිතාව අප රටට දරා ගත නොහැකි තරම් වීම ද එයට හේතුවක් විය හැකිය.
මේ තෙල් ටැංකි ඉදිකර සියවසක් සම්පූර්ණ වීමට තවත් ඇත්තේ වසර දෙකක් පමණි. එවකට ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයන් විසින් මේ ටැංකි 1924දී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර අවසන් කර ඇත්තේ 1930දීය.
ඒ වන විට දෙවැනි ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාව විය. ඉන්දීය සාගරය කරා යුද්ධය ව්‍යප්ත වෙමින් පැවති අතර ආසියාව යුද්ධයේ කෙන්ද්‍රස්ථානය බවට පත්ව තිබිණී. ජර්මනිය මෙල්ල වෙමින් පවැතියද ජපානය තවමත් නොනැසී පහර ගසමින් සිටියේය. එබැවින් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ට අවශ්‍ය වූයේ ජපානය මෙල්ල කර ගැනීමයි.
ජපානය නොසිතූ ඉසව් කරා තම ගුවන් බලය පැතිරවීමට සමත් බව අවස්ථා කිහිපයකදීම ක්‍රියාවෙන් ඔප්පු කර තිබිණී. එබැවින් මිත්‍ර හමුදා ඉන්දියන් සාගරය කරා තම බලය පැතිරවිමට කටයුතු කරන්නට විය. එහිදී ඔවුන්ට වැටහී ගියේ මේ සමස්ත ක්‍රියාවලයේදී ඔවුන් සතුව පවතින හොඳම මර්මස්ථානය ශ්‍රී ලංකාව බවයි.
සැබවින්ම එය එසේ වූයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙනි. ශ්‍රී ලංකාව ආසියා මහාද්වීපයේ කෙළවරේ පිහිටා තිබූ අතර නැඟෙනහිරින් ජපානයට විවෘත දොරක් මිත්‍ර හමුදාවන්ට සැපයීය. එමෙන්ම දකුණෙන් ඕස්ට්‍රේලියාව කරා ද බස්නාහිරෙන් අප්‍රිකා මහාද්වීපයට ද ශ්‍රී ලංකාව විවෘත විය. මේ සියල්ල මනාව අධ්‍යයනය කළ මිත්‍ර පර්ශ්වයේ බලධාරීහු ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර යුද්ධයේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානය බවට පත් කිරීමට කටයුතු ආරම්භ කළහ.
එහිලා ත්‍රිකුණාමලය වරායට තවත් සුවිශේෂීත්වයක් හිමි විය. ඒ වන විටත් අත්ලාන්තික් සාගරය පසු කරමින් යුධ නැව් සිය ගණනින් ඉන්දියන් සාගරයට පැමිණෙමින් තිබිණි. මේ නෞකා සඳහා සැපයුම් ලබාදීමේ හොඳම ස්වභාවික වරාය ත්‍රිකුණාමලයම විය. ත්‍රිකුණාමල වරාය ලොව දෙවැනි ගැඹුරුම ස්වභාවික වරාය වේ. පළමුවැනි තැන හිමිවන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරායටය. එබැවින්ම මේ බිහිසුණු යුද සමයේ ත්‍රිකුණාමලය වරාය මිත්‍ර පර්ශ්වයන්ට ආශිර්වාදයක්ම විය. එබැවින් එම වරාය කේන්ද්‍ර කර ගනිමින් නෞකාවලට අවශ්‍ය සැපයුම් ලබා දීමට යටිතල පහසුකම් ඉදි කිරීමට එවකට ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයෝ කටයුතු කළහ.
ත්‍රිකුණාමල වරාය ආසන්නයේ අක්කර 840ක භූමියක අති විශාල තෙල් ටැංකි 101ක් ඉදිවන්නේ එම ක්‍රියාදාමයේ තවත් එක් සන්ධිස්ථානයක් සලකුණු කරමිනි.
වසර හයක් පුරාවට ඉදිකෙරුණු මේ තෙල් ටැංකි අඟලක ගනකමක් ඇති වානේ තහඩුවලින් නිපදවා තිබූ අතර අඟලක ගනකම ඇති කොන්ක්‍රීට් වළලු පාදම ලෙස යොදා තිබිණි. මේ ටැංකිවලට තෙල් ගබඩා කිරීම අරමුණ වී තිබූ අතර ඒවා සැපයුම් සඳහා ත්‍රිකුණාමලයට පැමිණෙන නෞකාවලට අවශ්‍ය ඉන්ධන සැපයීය. මේ ටැංකිවල නිෂ්පාදන තාක්ෂණය අදට ද ඉතා විධිමත් බව පැවසිය හැකිය. තෙල් ලබා ගැනීමට අවශ්‍ය නළ පද්ධතිය ද ඉතා විධිමත්ව සවි කර තිබෙනුයේ ඇතැම් නළ සවි කිරීම් 1937 වසරේදී ද සිදුවූ බව පැවසේ.
තෙල් ටැංකි මතුපිට ඉතා සවිමත් වානේ තහඩුවලින් ආවරණය කර තිබෙන අතර ඒ ටැංකි මතට නැඟීමට යකඩ යොදා ශක්තිමත් ඉණිමං ද නිපදවා තිබිණී. ජපානය පරාජය කිරීම සඳහා ඉන්දියන් සාගරයේ පැවති මහා නෞකා සටනේදී ත්‍රිකුණාමල වරාය විශාල කාර්යාභාරයක් ඉටු කර සිටියේ එසේය.
මේ තෙල් ටැංකි සහිත ත්‍රිකුණාමල වරාය ජර්මන් පාර්ශ්වයට සිත් තැවුල් ගෙන ආවේ ජපන් හමුදාවන්ට ජරාජය ගෙන ඒමට එය ද ප්‍රධාන හේතුවක් වී ඇති බව තහවුරු වූ නිසාවෙනි. එබැවින් 1942දී ජපාන හමුදා අති විශෘල දුරක් ගෙවා පැමිණි යුද නෞකාවල සිට ගුවන් යානා 38ක් පමණ යොදවා දැවැන්ත ගුවන් ප්‍රහාරයක් අප රටට එල්ල කර සිටියේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි එහි එක් ප්‍රධාන ඉලක්කයක් වූ අතර එම ගුවන් යානා තෙල් ටැංකි සමූහයට බෝම්බ හෙළු අන්දම සියැසින් දුටු සාක්ෂිකාරයන් පවසා සිටියේ ජපන් ගුවන් නියමුවන් වරායේ නවතා තිබූ ඇමරිකානු නෞකාවලට වඩා වැඩි අවධානයක් තෙල් ටැංකිවලට ලබා දුන් බවයි.
බ්‍රිතාන්‍ය ඉදි කළ තෙල් ටැංකි 101 අද වන විට 99ක් බවට පත් වී ඇත්තේ ද මේ ගුවන් ප්‍රහාරය හේතුවෙනි. එම ප්‍රහාරය අතරතුර එක් ගුවන් යානාවක් මේ ටැංකි සමූහයේ 91වැනි ටැංකිය මතට කඩා වැටී ඇති අතර දින හතක් දැවුණු එම ටැංකිය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. එම ටැංකිය මතට ඇද වැටුණු ජපන් ගුවන් යානයේ නියමුවා ඇතුළු තිදෙනෙක් සිට ඇති අතර ඔවුන් ශිගනෝරි වටනබේ, ටෝකියා ගෝටෝ සහ සුටොමු ටොෂිරා යනුවෙන් හඳුනාගෙන තිබේ. විනාශ වූ එම තෙල් ටැංකිය අසල ඔවුන්ගේ නම් සඳහන් කර පුවරුවක් ද සවි කර ඇත්තේ එය ඓතිහාසික සිදුවීමක් වන බැවිනි.
අනෙක් තෙල් ටැංකිය විනාශ වී ඇත්තේ 1960 වසරේදී සිදුවූ රාජකීය ගුවන් හමුදාවේ යානයක් කඩා වැටීම හේතුවෙනි.
අවසානයේ යුද්ධය නිම වීමෙන් පසුව අති විශාල ධාරිතාවකින් යුතුවූ මේ තෙල් ටැංකිවලින් කිසිදු ප්‍රයෝජනයක් නොවීය. ඇතැම් දෙනා මේ ටැංකිවල කොටස් කපාගෙන ගොස් යකඩ සඳහා අලෙවි කර තිබේ. කල් යත්ම මේ ටැංකි මහා වන වියනකින් වැසී ගියේ උඩු ගුවනට පමණක් දිස්වන අති විශාල බිත්තර වැනි වූ චිත්‍රයක් මවා පාමිනි.
පසුව අයිඕසී සමාගම මේ ටැංකි අතරින් කිහිපයක් තම ප්‍රයෝජනය සඳහා යොදා ගත් අතර සෙසු ටැංකි වන ගහනයට යටවී ගියේය. අයිතිය රජය සතුව පවතින ලෙස මේ මහා සම්පත දැන් හෝ ආයෝජනයක යෙදවීම සැබවින්ම අගය කළ යුතුය.