සුළඟින් තමයි මම ජීවිතය දිනුවේ උපුල් ද සිල්වා | සිළුමිණ

සුළඟින් තමයි මම ජීවිතය දිනුවේ උපුල් ද සිල්වා

ඔහු උපුල් ද සිල්වා ය. ඔස්ට්‍රියාවේ ජීවත් වුව ද එහි ඉපැයූ හා එරට ආයෝජනයෙන් සපයා ගත් ධනය සිය මව්බිවේ ආයෝජනය කරමින් ව්‍යවසායකයකු බවට පත්ව ඇති රළ මත ලිස්සා යෑමේ හිටපු ජාතික ශූරයා ඔහු ය. පසුගිය දා ‘ක්‍රීඩා’ ඔහු හා සාකච්ඡා කළේ මෙරට ක්‍රීඩා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ දී ඔහු විසින් සිදු කරන ක්‍රියාදාමය හා එහි පවතින අභියෝගයන් සම්බන්ධව ය.

උපුල්, ආයුබෝවන්. අපි ඔබව හඳුන්වන්න කැමැති සුළඟින් දිනූ මිනිසා වශයෙනුයි. ඉතිං කොහොම ද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?

හොඳයි. මේ දවස්වල මම මගේ රටට ඇවිත් ඉන්නෙ. කල්පිටියේ තමයි දැන් ඉන්නෙ. ඒ කල්පිටියේ තියෙන මගේ ඩි සිල්වා කයිට් රිසෝට් සහ කයිට් සර්ෆින් පුහුණු පාසලේ වැඩකටයුතු වෙනුවෙන් දායක වෙනවා.

කොවිඩ් සමයේ ඔබට ඇති වුණු බලපෑම කොහොම ද?

බලපෑම් සිදු වුණා. නමුත් මම මගේ සේවක මණ්ඩලය කොයි වෙලාවෙවත් අසරණ කළේ නෑ. ඔවුන්ගේ වියහියදම්, වේතන ගැන බලා ගත්තා. සංචාරකයො ආවා. සාපේක්ෂ ව අපේ පුහුණු පාසලට හා සංචාරක හෝටලයට හොඳ ආකර්ෂණයක් තිබෙනවා.

මොකක්ද රහස? කොහොමද ඔබ ඒ ප්‍රතිරූපය ගොඩනංවා ගත්තේ?

ඔබ දන්නවා මම කොහොමත් හිටපු ජාතික ශූරයා කියලා. මෙරට වගේ ම විදේශයන්හි දී ත් මගේ නම දන්න අය සිටිනවා. ඔස්ට්‍රියාවේ දී ත් මම කළේ මේ දිය මත ලිස්සා යෑම සම්බන්ධයෙන් පුහුණු පාසලක උපදේශකයකු ලෙස කටයුතු කිරීමයි. මුලින් ම රැකියාව කරලා පසුව ඒ ව්‍යාපාරයේ හිමිකරු මාව ඔහුගේ කොටස්කරුවා බවට පත්කර ගත්තා. අපි දෙන්නා එකතුව ඒ වින්ග් සර්ෆින් පාසල ඔස්ට්‍රියාවේ ප්‍රබල තැනකට රැගෙන ආවා. එතැනට ආපු බොහෝ අය පැමිණියේ මගේ පුහුණුවට, නමට. ඒ නිසා ඔස්ට්‍රියාව, ජර්මනිය ඇතුළු යුරෝපා රාජ්‍යයන් හි කයිට් සර්ෆිං පුහුණු වෙන්න කැමැති පිරිස් තුළ මා සම්බන්ධයෙන් ලොකු පිළිගැනීමක් තිබෙනවා. ඒක තමයි මගේ මේ දේශීය ව්‍යවසායකත්වයට රුකුලක් වෙලා තිබෙන්නේ.

දැන් ඔබේ ඩි සිල්වා කයිට් සර්ෆිං පුහුණු පාසලට එන්නේ විදේශීය සංචාරකයෝ විතර ද?

බොහෝ වෙලාවට එන්නේ විදේශීය සංචා-රකයෝ විතරයි. කොහොමටත් මගේ මේ හෝටල් දෙක (එක ළඟ පිහිටලා තිබෙන්නේ) ඇතුළේ දේශීය සංචාරකයන්ට අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. මොකද හුඟාක් වෙලාවට දේශීය සංචාරකයෝ ඇවිත් ඔවුන්ගේ වින්දනය ලබා ගන්න විදිහ වෙනස්. නමුත් විදේශීය සංචාරකයන් මෙතැනට එන්නේ යම් සැලසුමකට අනුවයි. ඔවුන්ට අපි කියන මුදල් ගෙවන්නත් හැකියි. ගැටලුත් අඩුයි. ඔවුන් අපේ ආගන්තුක සත්කාරය හොඳට තේරුම් ගන්නවා. හැබැයි අපේ පුහුණු පාසලේ පුහුණුවක් ලබා ගන්න යම් සාධාරණ පිරිවැයක් පාඨමාලා ගාස්තු වශයෙන් ගෙවිය යුතු වෙනවා. ඒක දරාගන්න හැකි දේශීය සංචාරකයෝ නවතින්න නෙවෙයි කයිට් සර්ෆිං කරන්න මෙතැනට එන අවස්ථා තිබෙනවා.

ඔබේ හෝටලයේ නවාතැන් ගන්න යන වියදම වැඩියි කියන චෝදනාව විදේශිකයන්ගෙන් එල්ල වෙන්නේ නැද් ද?

මුලින්ම එන ඇතැම් පිරිස් එහෙම හිතනවා. නමුත් ඔවුන් අපි එක්ක සාකච්ඡා කරලා, අපේ පහසුකම්, ආගන්තුක සත්කාරවල ස්වභාවය, වාර්ෂිකව අවස්ථා ගණනාවක් තිස්සේ අපේ හෝටලයට එන විදේශීය සංචාරකයෝ එක්ක කතා කරලා ඔවුන් ඒ අදහස වෙනස් කර ගන්නවා. ඇත්ත. අපි ටිකක් වැඩිපුර අය කරනවා. ඒක කල්පිටියේ තිබෙන බොහෝ සංචාරක හෝටල්වලට සාපේක්ෂව වැඩියි. ඒත් අපි විද්‍යානුකූල කයිට් සර්ෆිං පුහුණුවක් සමඟ, නැවුම් සත්කාරක සේවා සමඟින් සිදු කරන දෙයක්. ඒ වෙනස ලබපු අය ඒක වැඩි අය කිරීමක් ලෙස දකින්නේ නෑ.

ඔබ වැඩියෙන් අය කළාට කල්පිටිය කලපුව ආසන්නයේ තිබෙන මේ හෝටල්වලට එන්න හරි අමාරුයි නෙ. වැස්සට ගොහොරු වුණු, උදේ වරුවේ කරදිය වතුරෙන් පිරුණු මඟක් ගෙවාගෙනනෙ හෝටල්වලට එන්න තියෙන්නේ? මේ වගේ තත්ත්වයක් එක්ක සංචාරකයෝ මෙහෙම තැන්වලට එයි ද?

ඒක ඇත්ත. මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අබලන් වෙලා. මාර්ගය ගිලා බැහැලා, වළවල් හැදිලා. ඇත්තටම ඒක මේ කලපුව ආශ්‍රිතව පිහිටි හෝටල්වලට සංචාරකයන්ගේ පැමිණීමට විශාල බාධාවක්. ඒ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට අයහපත් විදිහට බලපානවා. ඇත්තටම ඒක වුණේ කලපුව ළඟ අලුතින් හෝටලයක් ඉදි කරන විදේශීය ව්‍යවසායකයෙක් නිසා. අපි මේ තත්ත්වය ගැන පැමිණිලි කරලා තියෙනවා. නමුත් කිසි දෙයක් සිදු කරලා නෑ. මම මගේ වියදමෙන් මේ මාර්ගය අවස්ථා කීපයක් පිළිසකර කළා. දැනුත් සුළු සුළු පිරියම් කරනවා. නමුත් මේකට ස්ථිර විසඳුමක් අවශ්‍යයි.

ඒ කියන්නේ රටට විදේශ විනිමය ගෙන ආවට ඔබලටත් ප්‍රශ්න තිබෙනවා?

බොහෝ ප්‍රශ්න තිබෙනවා. රජය අපෙන් බදු මුදල් අය කරනවා, ප්‍රාදේශීය, පළාත්, සෞඛ්‍ය බලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුව, සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු බොහෝ ආයතන අපේ ව්‍යාපාරය ගැන අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණයන්ට ගැළපෙන ආකාරයට අපි නීත්‍යානුකූලව විනිවිද භාවයෙන් වැඩ කළාට අපිට රටක් හැටියට රජ-යෙන් ලැබෙන පහසුකම් ගැන කනගාටුයි.

ඇයි කනගාටු වෙන්නේ? මේක ඔබලා කරන පෞද්ගලික ව්‍යාපාරයක්. එහි යටිතල පහසුකම් හදාගන්න එක ඔබේ වැඩක් නේ ද?

මම ගැන පමණක් කතා කරනවා නම් මේක මගේ පෞද්ගලික ව්‍යාපාරයක් තමයි. හැබැයි මෙතැන උපයන්නේ විදේශ විනිමය. ඒවා මම වැය කරන්නේ මගේ රට ඇතුළේ මූල්‍ය ගලන ක්‍රියාවලියටම යි. එහෙම නැතිව මේ සල්ලි අරං මම ඔස්ට්‍රියා යන්නේ නෑ. එහේ උපයන දේත් මම වැය කරන්නේ මේ රට ඇතුළෙයි. එහෙම කරද්දී අපිටත් රජයෙන් ලැබිය යුතු මූලික පහසුකම් ටිකක් තිබෙනවා. ප්‍රවේශ මාර්ගය එකක්. මේ සර්ෆිං පුහුණු ආයතන නියාමනය තව එකක්. කෝ ඒකවත් සිද්ධ වෙන්නේ නෑනෙ.

මොකක් ද නියාමනය කියන්නේ? සරුංගලයක් ගුවනට යවලා රළ මත ලිස්සා යන පුවරුවක් උඩ රැල්ල එක්ක පොරබදමින් පාවෙන එකේ නියාමනය කරන්න තියෙන්නේ මොනවද? ලිස්සන පුවරුවේ ගුණාත්මක භාවය ද? මට පැහැදිලි කරලා දෙන්න?

ඕක තමයි නිලධාරීන්ගේත් වැටහීම. මේක සර්ෆිං බෝර්ඩ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපෙන් නූලට බදු ගන්න, බලපත්‍ර සොයමින් එන නිලධාරියෝ මේ කල්පිටිය කලපු වෙරළේ අනවසරයෙන් රජයට කිසිදු බදු මුදලක් නොගෙවා කයිට් සර්ෆිං පුහුණු පාසල් පවත්වාගෙන යන අය ගැන පරීක්ෂණයක් නෑ. කලක සිට ඇතැම් විදේශිකයන් සංචාරක වීසාවලින් මෙරටට ඇවිත් කල්පිටියේ නතර වෙලා ඉන්න ගමන් කයිට් සර්ෆිං පුහුණු පාසල් කරනවා. එහෙම කරලා විදේශිකයන්ගෙන් ගන්න මුදල් තමන්ගේ විදේශීය ගිණුම්වලට දාගෙන රටට යනවා. අපේ රටට බදු මුදලක්වත් ලැබෙන්නෙ නෑ. නමුත් ඒ ගැන කිසි නියාමනයක් නෑ. එතැනදි විදේශ පුහුණුකරුවෝ ගෙනැවිත් ඒ මුදලත් දේශීය වශයෙන් ආර්ථිකයට එක්වෙන්නේ නෑ. ඔක්කොම යන්නේ පිටරටට. අනික් කාරණය තමයි මෙවැනි අවිධිමත් විදිහට කලපුව භාවිත කිරීමෙන් පුහුණු වෙන ක්‍රීඩකයන්ට ජීවිත හානි පවා සිද්ධ වෙන්න පුළුවන්. මොකද සරුංගලය බැඳගෙන යන කම්බියට කැපුණොත් මරණයට පත්වෙන්න පවා පිළිවන්. රළ මත ලිස්සා යන්නෝ කීප දෙනෙක් එකිනෙකා පැටලුනොත් එහෙම මෙවැනි අවසානාවන්ත අනතුරක් විය හැකියි. එහෙම වුණොත් කල්පිටිය නෙවෙයි ලංකාව ගැනවත් නොබලා ඉන්න ක්‍රීඩා සංචාරකයෝ පසුබට වෙන එකක් නෑ.

ඒක බැරැරුම් තත්ත්වයක් නෙ. ඔබලා මේ ගැන පැමිණිලි කරලා නැද්ද?

දැනුම් දීලා, පැමිණිලි කරලා, කියන්න තියෙන හැමෝටම කියලා තිබෙන්නෙ. ඒත් කනගාටුයි.

ක්‍රීඩා ඇමැතිට කියන්න පුළුවන් නෙ. ඔහුට මේ ක්‍රීඩා ආර්ථිකය ගැන විශාල උනන්දුවක් තියෙන කෙනෙක් නිසා. ඔහුගේ මාම තිලක් වීරසිංහත් ක්‍රීඩා ආර්ථිකය හා ගැල පුණු සංචාරක ව්‍යාපාරයක නෙ නියැළෙන්නේ?

ඔව්. මම ඔහුටත් ඒ ගැන කියන්න කටයුතු කළා. ඇමැතිතුමා මාවත් මේ සම්බන්ධයෙන් කමිටුවක් හමුවට යොමු කළා. තිලක් අයියා (තිලක් වීරසිංහ) තමයි මේ වැඩේ ඉදිරියෙන්ම සිටින කෙනා. එයා නිසා තමයි අපිත් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරයට යන්න අවස්ථාව උදාකර ගත්තේ. මම බලා-පොරොත්තු වෙනවා මෙතැනදීවත් අපට යම් සහනයක් ලැබිලා මූලික පහසුකම් ගොඩනැංවෙයි, විධිමත් නියාමනයක් යටතේ නීතිවිරෝධී සර්ෆිං පාසල් තහනම් කරමින් දැඩි අධීක්ෂණය යටතේ මේ තත්ත්වයන් බුද්ධිමත්ව කළමනාකරණය කරාවි කියලා.

ඔබ හිතනවාද ක්‍රීඩාව තුළින් විදේශ විනිමය ගෙන එන කාර්ය පහසුවෙන් සිදු කළ හැකි වේවි කියලා?

නිසැකව ම. නිවැරැදි ව, විද්‍යාත්මක ව දැනුම දෙනවා නම්, ආගන්තුක සත්කාර ලබා දෙනවා

නම්, හෝටල් වඩා සංග්‍රහශීලී වගේම වසරින් වසර නව මුහුණුවරක් ගන්නවා නම් සංචාරකයෝ අපි ගාවට එන්න කැමතියි. අනෙක ලෝකයේ අතිවිශිෂ්ට කයිට් සර්ෆිං වෙරළක් ලෙස බ්‍රසීලයේ කුම්බුකෝ හඳුන්වන්න පිළිවන්. එහි පුංචි කුම්බුකෝ කියලා පිළිගන්න තරමට කල්පිටිය කියන්නේ වින්ග් සර්ෆිං ක්‍රීඩාවට අපූරු වෙරළක්. අපි මේ ඔස්සේ මේ රටේ ක්‍රීඩා ආර්ථිකය ප්‍රවර්ධනය කරනවා. සංචාරක මණ්ඩලයේ සහයෝගයක් නැතිව මගේ සම්බන්ධතා, පිළිගැනීම් එක්ක යුරෝපය තුළ මෙරට ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා. මම ඉල්ලන්නේ අපිට මේ තත්ත්වය විධිමත්ව පවත්වාගෙන යන්න පිළිවන් යටිතල පහසුකම් ටික, නීති රීති ටික, නියාමන කටයුතු නිසි ලෙස හා කඩිනමින් කරලා දෙන්න කියන එක විතරයි.

 

Comments