සෞදියෙන් සහතිකයක් | සිළුමිණ

සෞදියෙන් සහතිකයක්

2022 වසරේ ආරම්භයේදී ම කැබිනට් මණ්ඩලයේත්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේත්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේත් යම් යම් වෙනස්කම් සිදුවනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 2021 අවුරුද්දේ අන්තිම දවස් නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පසුගිය දින කිහිපය තුළ වැඩ රාජකාරි බහුල විය. වෙනදාට සාපේක්ෂව බලන විට හමුවීම් රැස්වීම් සහ භෝජන සංග්‍රහයන් ද බහුල විය. මේ නිසා ජනාධිපතිවරයා හොඳටම අවිවේකීව සිටියේය.

 

පසුගිය සති අන්තයේ නත්තල යෙදී තිබූ බැවින්, නත්තල නිසා ද ජනාධිපතිවරයාට තරමක් වැඩ රාජකාරි බහුල විය.

මේ අතර පසුගිය සති අන්තයේ විශේෂ අමුත්තෙක් ජනාධිපති හමුවන්නට පැමිණ සිටියේය. ඒ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ ය. ජනාධිපතිවරයා උන්වහන්සේව ඉතා උණුසුමින් පිළිගෙන සුදුසු අසුන් පනවා එකත්පස්ව හිඳ උන්වහන්සේ සමඟ බොහෝ දෑ කතාබහ කරන්නට පටන් ගත්තේය.

කොරෝනා ව්‍යසනයෙන් පසු ජපානය නැවත හිස එසවීම ගැන කියමින් බානගල උපතිස්ස හිමියෝ පරණ පත්තරයක් ගෙන ජනාධිපතිවරයාට පෙන්වා සිටියේය.

 

පැරණි පුවත්පතකට ජනපතිගේ හිත

"මේ තමයි අනගාරික ධර්මපාල තුමා පළකරපු 'සිංහල බෞද්ධයා' පත්තරේ. 1923 අවුරුද්දේ ජපානය ලොකු ඛේදවාචකයකට මුහුණ දුන්නා. ලොකු භූමිකම්පාවක් නිසා ජපානය පොළොවට සමතලා වුණා. ඒ වෙලාවේ ජපන්නු අන්ත අසරණ වුණා. අනගාරික ධර්මපාලතුමා එතුමගේ පත්තරෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කළා ජපානයේ ජනතාවට උදවු කරමු කියලා. ඒ වෙලාවේ ලංකාවේ හිත හොඳ මිනිස්සු ජපානයට උදව් කරන්න ඉදිරිපත් වුණ හැටි තමයි මේ ලියලා තියෙන්නේ."

ජනාධිපති ඉතා උනන්දුවෙන් එම පුවත්පත් ලිපිය ගෙන කියවන්නට වූයේය.

"ඔබවහන්සේ මට මේ පත්තරේ දෙන්නකෝ. විවේකීව කියවන්න." "ගන්න. මම මේ පෙන්නුවෙ අපේ දෙරට අතර අවුරුදු පනස් ගණනකට වැඩි මිත්‍රත්වයක් පිළිබඳ ඉතිහාසයක් තියෙනවා. අදත් අපි මේක ආරක්ෂා කරගන්න ඕන. අපි රටවල් දෙක එකිනෙකාට උදව් පදව් කරගන්න ඕන." බානගල හිමියෝ කීහ.

"ජපානය හොඳ රටක්. ඉතිහාසයේ ඉඳලා ජපානයට අපිත් අපිට ජපානයත් උදව් පදව් හුවමාරු කරගෙන තියෙනවා. ඒ මිත්‍රත්වය අපි හෙටත් තියාගන්නවා හාමුදුරුවනේ." ජනාධිපතිවරයා කීවේය.

එම සාකච්ඡාව ඒ අයුරින් ඇදී ගොස් තවත් ටික වේලාවකින් අවසන් විය. ඒ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ රටේ මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන කර්තෘවරු මුණගැසෙන්නට අවශ්‍ය විය. ඒ අනුව එම හමුව යෙදී තිබුණේ ඉකුත් 27 වන සඳුදා දහවල්ය. ඒ සඳහා ජනාධිපති මාධ්‍ය අංශය මඟින් තෝරාගත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන පුවත්පත්වල කර්තෘවරුන් සඳහා ආරාධනාපත් යවා තිබුණි.

ඒ අනුව සඳුදා දහවල් 11.30 ට ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව ආරම්භ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හරි වේලාවට පැමිණ ඔවුන් පිළිගනිමින් සාකච්ඡා කතාබහ ආරම්භ කළේය. මේ දුෂ්කර අවස්ථාවේ අපි නොහිතපු නොයෙකුත් දේවල් වෙනවා. අද ඩොලර් හිඟයකට රට මුහුණ දීලා. එක පැත්තකින් ඉන්ධන මිල වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගෑස් පිපිරුවා කියනවා. මාධ්‍යවලටත් ලොකු වගකීමක් තියෙනවා මේවා ගැන ඇත්ත නැත්ත හොයල බලන්න. අපිත් එක්ක වැඩ කරපු යම් යම් අය සාර්ථක වුණා. ආයතන ප්‍රධානීන්ගෙන් මම බලාපොරොත්තු වුණු සේවය සමහර තැන්වල ඉටු වුණේ නැහැ. නමුත් සමහර තැන්වල හිතුවටත් වඩා හොඳට ඒ ඉලක්ක ජය ගත්තා. සාර්ථක වුණ තැන් තිබුණත් මාධ්‍යවලට ඒවා පේන්නේ නෑ."

"ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමනි ඒවා ගැන මාධ්‍ය දන්නේ නෑ. ඒව ගැන මාධ්‍යවලට කියන්න කෙනෙක් නෑ. ඇමතිවරු ටෙලිෆෝන්වලට එන්නේ නෑ." පුවත්පත් කතුවරයෙකු ද අඩුපාඩු පෙන්වා දුන්නේ ය.

"ගෑස් පිපිරුවා පිපිරුවා කියනවා. මේ වගේ දේවල් පහුගිය කාලේ හැමදාමත් වුණා. හැබැයි දැන් විතරක් මේවා වැඩිපුර පෙන්නනවා. ඒක වැරදියි.

මම කියන්නේ ඔබතුමාලා මේ ගැන සාධාරණව බලන්න. හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තියෙනවා. මාධ්‍යවලින් ගොඩක් වෙලාවට ආවරණය වෙන්නේ එක පැත්තයි."

"එතකොට විමල් වීරවංශලා, ගම්මන්පිලලා, වාසුලා වගේ අයට මොකද කරන්නේ." මාධ්‍යවේදීන් විමසීය.

"ඒ ගොල්ල ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් විවේචනය කරනවා. හරි නං ඒ ගොල්ල ඔවුන්ගේ ඇමති ධූරවලින් අස් වෙලා තමයි උසාවි යනවා නං යන්න ඕන. ඒ මොකද මීට පෙර දෝෂාභියෝගය වෙලාවේ මේ රටේ විනිසුරුවරයෙක් දීපු තීන්දුවක් තියෙනවා. යම් ඇමතිවරයෙක් රජයේ සාමූහික වගකීම උල්ලංඝනය කරමින් නඩු මඟට බහිනව නම් පළමුව ඔහු දරන තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඒක නඩු තීන්දුවක්. ඔය ඇමතිවරු තුන්දෙනා තමන්ගේ තනතුරුවලින් අයින් වෙලා ඊට පස්සේ නඩු මඟට ගියා නම් තමයි හොඳ" යනුවෙන් ජනාධිපතිවරයා විමසීය.

"එතකොට දැන් ඔබතුමා ඒ අයව අයින් කරනවද." "නෑ. අපි එහෙම තීන්දුවක් අරගෙන නෑ. මම කිව්වේ කළ යුතු විදිය.

මම කියන්නේ මෙන්න මේකයි. අපි ආණ්ඩුවක් හැටියට තනි ගමනක් එක මතයක ගිහිල්ලා වැඩ කරලා තමයි මේ අභියෝග ජය ගන්න අපට පුළුවන් වෙන්නේ. අරයා වැරදියි මෙයා වැරදියි කියලා කාටවත් චෝදනා කර කර ඉඳලා හරියන්නේ නෑ.

මට මතකයි ඉස්සර අපි යුද්ධ කරනකොට මුහමාලේ ඇටෑක් එකේදි අපි හොඳටම ගුටි කෑවා. අපේ සෙබළු දෙසීයකට වැඩියෙන් මැරුණා. යුද්ධ ටැංකි හයක් අහිමි වුණා.

නමුත් අපි ඒ වෙලාවේ අරයා වැරදියි මෙයා වැරදියි කිය කිය කාටවත් චෝදනා කර කර හිටියේ නෑ.

අපි නිලධාරීන් හැටියට කවුරුත් එහි වගකීම බාර අරගෙන ඊළඟ ඇටෑක් එකට හොඳින් සංවිධානය වුණා. එහෙම එකාවන්ව ශක්තිමත් වෙලා ප්‍රතිප්‍රහාර එල්ල කරලා අර ප්‍රහාරයේ පොලියත් එක්ක අපි ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. අපි වැඩ කරන්න ඕන එහෙමයි."

මේ අයුරින් දීර්ඝ කතාබහකට පසුව ජනාධිපතිවරයා සියලුම දෙනාට දිවා ආහාරය සඳහා ආරාධනා කළේය. නොබෝ වේලාවකින් එම හමුව අවසන් විය.

පසුගිය බදාදා දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් භෝජන සංග්‍රහයකට සහභාගි විය. එය සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්යාලයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් වෙනුවෙනි. ජනාධිපති මන්දිරයේ පැවති මෙම භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා නිසි වෙලාවට පැමිණ සේවක සේවිකාවන් හා සුහදව කතා බහ කරන්නට විය.

"අපි ඉතින් හැමදාම වැඩ කටයුතුවලදී නිල වශයෙන් හමුවෙලා කතාබහ කරනවා. හැබැයි ඉතින් පෞද්ගලිකව කතා බහ කරන්නත් මෙහෙම අවස්ථාවක් තියෙන්න ඕන."

ජනාධිපතිවරයා එසේ කීවේ ඔවුන් සමඟ තිබූ දුරස්ථභාවය ඉවත් කරමිනි.

සෑම සේවකයකු ළඟටම ගොස් ලොකු කුඩා භේදයකින් තොරව මිනිත්තු කීපයක් ගත කරමින් ඔවුන් සමඟ සුහදව කතා බහ කිරීම කාගේත් හිත සුව පිණිස හේතු විය.

එම සුහද කතාබහෙන් පසු බදාදා හවස 2.00 ට පමණ ජනාධිපතිවරයා අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද මාහිමිපාණන්ගේ අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම පිණිස බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මධ්‍යස්ථානය බලා පිටත්ව ගියේය.

 

අගමැතිවරයාට සහතිකයක්

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව සහය ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ (SFD) ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් අල්-මර්ෂාඩ් පසුගිය (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හමුවිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය හා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දක්වන සමීප සහයෝගය සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙරටේ රජයන් අතර පවතින අඛණ්ඩ සහයෝගීතාව සහ මිත්‍රත්වයට සිය ප්‍රණාමය පුද කළේය. සංවර්ධනය සඳහා වු සෞදි අරමුදලේ සහය ඇතිව මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වී ඇත්තේ 1981 වසරේ දී ය. එතැන් පටන් පසුගිය දශක හතර තුළ මෙම අරමුදල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වී තිබේ. කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය ද සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ණය ප්‍රදානයක් යටතේ පසුගිය 27 දා ආරම්භ විය. අග්‍රාමාත්‍යතුමා ද මෙම අවස්ථාවට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්විය. 28 වැනිදා විවෘත කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 86.7 ක් වන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක විය. කුලියාපිටිය හා චෙන්කලාඩි පැවැති උත්සව අවස්ථා දෙකටම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නියෝජිතයෝ සහභාගී වූහ.

අනාගත ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සුළු වාරිමාර්ග, ග්‍රාමීය ජල සම්පාදන සහ ඉදිරි මාර්ග සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘති පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නියෝජිතයන්ගෙන් මෙහි දී ඉල්ලා සිටියේය.

 

දිනේෂ් 2022ට සැරසෙයි

මහජන එක්සත් පෙරමුණේ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් කිහිපයක් පසුගිය කාලයේ පැවැත්වුණු අතර, අවිස්සාවේල්ල - සීතාවක බල මණ්ඩලය රැස්කර තිබුණේ පසුගිය ඉරිදාය.

හංවැල්ලේදී පැවති, ඊට ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මෙන්ම බල මණ්ඩල දේශපාලන ප්‍රධානීන් එක්ව සිටියද මාධ්‍යට නිරාවරණ වූයේ නැත.

වැදගත් කරුණ වූයේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වන ම.එ.පෙ. නායකයා මෙහිදී දේශපාලනික වශයෙන් විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කිරීමය.

"රටේ දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න ලොකු ප්‍රශ්නයක් තිබෙනවා"

බල මණ්ඩලය නියෝජිතයෙකු නැඟූ ප්‍රශ්නයට දිනේෂ් වහා පිළිතුරු දුන්නේය. "අඩු ආදායම්ලාභී ජන කොටසට අත්‍යවශ්‍ය අහාර ලබාදීම ගැන ආණ්ඩුව සහතිකයක් ලබාදෙන්න ඕනෙ. අපි ම.එ.පෙ. විදියට ඒ ස්ථාවරට පැහැදිලිව රජයට දන්වලා තියෙනවා. ඒ වගේම අනෙක් ජන කොටස් මුහුණ දෙන, ආර්ථික ප්‍රශ්න විසඳන්නත් හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බව අපි කියලා තියෙනවා"

"ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගන්න ම.එ.පෙ. කැපවී ඉන්නවා. ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ වගේම ඒ ජන වරම වෙනුවෙන් එදා කැපවුන සියල්ලන්, ඊට ප්‍රමුඛතාව දෙයි කියලා, ම.එ.පෙ. විදියට අපි බලාපොරොත්තු වෙනවා."

මේ තරුණ පරම්පරාව රටේ අනාගතය වන නිසා ඔවුන් බලවත් කිරීමට සියලු ශක්තීන් යොදන්න ඕනෙ. මේකට ප්‍රාදේශීය සභා පවා යොදාගන්න ඕනෙ. හැබැයි පොතේගුරුවාදයෙන් බෑ. පශ්චාත් කොවිඩ් ආර්ථිකය හදන්නත්, ප්‍රාදේශීය මට්ටමේ ඉදලා වැඩ කරන්න අදට ගැළපෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආණ්ඩුවට ඕනෙ" ම.එ.පෙ. නායක දිනේෂ් තම ස්ථාවරය පැහැදිලිව කියා සිටියේය.

 

සජිත්ගේ මනුෂ්‍යත්වයේ චාරිකාව.

පසුගිය 26 වැනිදා සජිත් අලුත් කටයුත්තකට මුල පිරුවේය. ඒ නගරයෙන් නගරයට ගොස් ජනතාව හමුවන "මනුෂ්‍යත්වයේ චාරිකාව" වැඩ සටහනය.

හම්බන්තොට පොළ භූමියෙන් ආරම්භ කළ වැඩසටහන දින කිහිපයක්ම හම්බන්තොට කේන්ද්‍රගත කරගනිමින් පවත්වනු ලැබීය.

ඔහු යන යන තැන සෑම තැනකින්ම අසන්නට දකින්නට ලැබුණේ මිනිස්සුන්ගේ දුක් අඳෝනාවන්ය.

"මන්ත්‍රීවරයෙක් තියා ඇමතිවරයෙක්ටත් පාරට බැහැලා අපි ඉස්සරහට එන්න බැහැ මහත්තයෝ. අපි උන්නද මළාද කෑවද බීවද කියලා බලන්න කෙනෙක් නෑ. දිනුවත් පැරදුණත් හැමදාම අපි ළඟට ඇවිල්ල අපේ දුක සැප හෙව්වේ ඔබතුමා."

පොළ භූමියේ සිටි බොහෝ දෙනෙක් සජිත් සමඟ කීවේය.

"මේ ආණ්ඩුව ආව දවසේ ඉදලාම ජනතාව කළේ කැපකිරීම් කරන එක. හැබැයි ආණ්ඩුවේ උදවිය කළේ සැප ගැනීම. ආණ්ඩුවට දුකක් නෑ. ජනතාවට ඇපත් නෑ." සජිත් උත්තර දුන්නේය.

දින හතරක් මුළුල්ලේ සජිත් මනුෂ්‍යත්ව‍ෙය් චාරිකාව සිදු කළේය.

 

නාමල්ගෙන් ලෝක තරුණ සමුළුවක්

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළ ඉකුත් දා නිමාව දුටුවේ ගම්පහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විජයග්‍රහණය අත්කර දෙමිනි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට මෙන් ම තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහට ද තවමත් හැම කෙනකුගෙන් ම පාහේ සුබපැතුම් ගලාගෙන එන්නේ උලෙළේ කටයුතු සියල්ලම හිතුවාටත් වඩා හොදින් සංවිධානය කර තිබූ හෙයිනි. ක්‍රීඩා උලෙළේ සමාප්තිය අතරතුර ඇමැති නාමල් රාජපක්ෂත් තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහත් ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අගමැති පැතුම් රණසිංහත් කිසියම් කතාබහක නිරතවූහ. අමාත්‍යවරයා අදහස් කරගෙන සිටි අයුරින්ම 2022 වර්ෂයේ මෙරට මූලිකම තරුණ සංවර්ධන ව්‍යාපෘතියේ වගකීම යොවුන් පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු යෙදුණේ ඒ කතාබහෙන් ඉනික්බිතිය.

"දමිත! ඔයා අතගහපු හැම වැඩක්ම මම හිතුවාටත් වඩා හොඳින් කළා. මට ඒ ගැන සතුටුයි. ඔයාලට මම තවත් වගකීමක් පවරනවා. මේ වැඩෙත් ශක්තිය උපරීමයෙන්ම යොදල කරන්න. හැමෝගෙම උදව් මේ වැඩේට කොහොම හරි අරගන්න බලන්න. 2022 ලෝක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සමුළුව අපි මෙහේ තියමු. දැන්ම ඉදන්ම ඒකට ලෑස්ති වෙන්න. ලෝකයේ හැම රටකින්ම තරුණ තරුණියන් 3,000 ක් විතර මේකට ගෙන්නගන්න ඕනි. කොළඹ පෝට්සිටි එකේ මේක ලෑස්ති කළොත් හොඳයි. මම හිතනවා ඒක තරුණ පිරිසටත් අලුත් අත්දැකීමක් වෙයි කියල. මේකෙන් අපට ලොකු ප්‍රයෝජනයක් අත්වේවි. මෙතෙක් බාරදුන්න හැම වැඩක්ම මම හිතුවාටත් වඩා හොඳට කරන්න ඔබතුමා මහන්සි අරන් තිබුණා. අදම මේක සැලසුම් කරන්න. දැන්ම වැඩේට බහින්න." යැයි ද එම කතාබහ අතරතුර සභාපති දමිත වික්‍රමසිංහට උපදෙස් දෙමින් අමාත්‍යවරයා පැවසීය.

 

ආණ්ඩුව පෙරළන බවට වජිර කියයි

මේ අතර ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා ගාල්ලේ දී පැවැත්විණි. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩකටයුතු සහ 2022 වසරේ සැලසුම් සම්බන්ධව මේ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කළේය.

"ඉතිහාසයේ කිසිදු යුගයක දී සිදුනොවූ පරිදි වත්මන් පාලනය යටතේ රටේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඒ වගේම රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙමින් තිබෙනවා. මෙහෙම ගියොත් ලබන අප්‍රේල්, මැයි වනවිට මහා ඛේදවාචකයකට රට තල්ලු විය හැකියි. රටේ විශාල ආහාර හිඟයක් ඇතිවිය හැකියි. මේ තත්ත්වයෙන් රටත් ජනතාවත්, මුදාගත යුතුව තිබෙනවා. මේ ගැන අපේ නායකතුමා සමඟ අපි දිගින් දිගට සාකච්ඡා කරමින් සිටිනවා. අද රට පත්ව තිබෙන මේ තත්ත්වයෙන් මුදා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එජාප පාලනයක් බිහි කළ යුතුයි. ඔබ බය වෙන්න එපා. ඉවසීමෙන් ඔබේ වගකීම් ඉටුකරන්න. නියත වශයෙන්ම 2023 අග භාගය වනවිට අපි මේ ආණ්ඩුව පෙරළා දමනවා." යැයි ක්‍රියාකාරීන් තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් වජිර ප්‍රකාශ කළේය.

Comments