සුද්දන්ට කිතුල් රා පොවන අපේ රාගා | සිළුමිණ

සුද්දන්ට කිතුල් රා පොවන අපේ රාගා

කර්මාන්ත ඇමැති විමල් වීර­වංශ විසින් රාගා පානය දෙසැම්බර් 14 වැනිදා ජනගත කළ අයුරු

- ඍජු රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වේ
- කිතුල් ගස් මිලියන හතරක පමණ ප්‍රමාණයකින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රයෝජනයට ගනු ලබන්නේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක්
- වසර හතරකට අධික කාලයක් තිස්සේ මෙම නිෂ්පාදන පිළිබඳව පරීක්ෂණ පවත්වලා

කිතුල්" යනු ආසියානු මහද්වීපයට ආවේණික සුවිශේෂී ශාකයකි. මෙරට තුළ පිහිටි මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, බස්නාහිර, සහ දකුණ යන පළාත්වල දී එම ශාකය සරු ලෙස වැඩෙනු දක්නට ලැබුණත් ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස කිතුල් ශාකය ප්‍රයෝජනයට ගනු ලබන්නේ රත්නපුර, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලය. 

කිතුල් ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන අතරට කිතුල් පැණි, කිතුල් හකුරු, විනාකිරි, කිතුල් තෙලිදිය වැනි ඒවා අයත් වන අතර ඒවා රසයෙන් සහ ගුණයෙන් ඉතාම ඉහළය. කිතුල් හකුරු, කිතුල් පැණි හා කිතුල් රාවලට වෙළෙඳපොළ තුළ හොඳ ඉල්ලුමක් ඇති අතර, මෙරටේ ක්‍රියාත්මක ඉතාම සුවිශේෂී පාරම්පරික කර්මාන්ත අතර කිතුල් කර්මාන්තයට විශේෂ ස්ථානයක් හිමි වන බවද සඳහන් කළ හැකිය.

අතීතයේ කිතුල් පැණි සහ කිතුල් හකුරු ග්‍රාමීය නිවෙස්වල අඩුපාඩුවක් නැතිවම තිබුණු අතර පැරැන්නන් නිතරම කිතුල් රා පානය කිරීමට පුරුදුව සිට ඇත. ඒ මධ්‍යසාරයක් ලෙස මෙන්ම ප්‍රණීත රසැති ශක්ති ජනක පානයක් ලෙස ද "කිතුල් රා" සැලකුණු බැවිනි. සාමාන්‍යයෙන් කිතුල් රාවල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය 5% ත් 5.5% ත් අතර අගයක් ගන්නා අතර අතීතයේදී බොහෝ ගොවීන් කුඹුරේ වැඩ අවසන් කොට සවස නිවෙසට පැමිණ කිතුල් රා වලින් සප්පායම් වී තිබේ. තමන්ගේ ගෙවත්තේ ඇති කිතුල් ගසක් මැද සකස් කර ගත් රා වලින් ඔවුන් මෙලෙස සප්පායම් වී ඇති අතර සාම්ප්‍රදායික ලෙස කිතුල් මල් මැදීමේ නිරත වූවන් තම ගෙවත්තේ පිහිටි කිතුල් ගස මැද ලබා ගන්නා පිරිසුදු තෙලිදිය නිවසේදීම උණුකර පොල්කටුවල දමා හොඳ පිරිසුදු කිතුල් හකුරු මුලක් සකස් කරගෙන පුවක් ගසෙන් ලබාගත් කොළ පතකින් සකස් කළ පැසක දමා (පැණි මුල) පැණි කල් තබා අලෙවි කිරීමටද පුරුදුව සිටියහ.

2021 වසරේදි මෙරට කිතුල් ගස් ප්‍රමාණය මිලියන 3.5 ක ප්‍රමාණයක් පැවැති අතර 2022 වසර වන විට එය මිලියන 4 ක් දක්වා වර්ධනය වනු ඇති බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. කිතුල් තෙලිදිය බෝතල් මෙට්‍රික් ටොන් 142.56 ක් 2012 වසරේදී නිපදවා ඇති අතර 2022 වසරේදී මෙට්‍රික් ටොන් 463.060 ක් වේ.

මෙරට කිතුල් නිෂ්පාදන සඳහා වසර ගණනාවක්ම කුඩම්මාගේ සැලකිලි හිමිව තිබුණු නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව යළිත් හොඳ කලක් එම කිතුල් කර්මාන්තයට දැන් උදාවීමට පටන් ගෙන ඇත. කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මඟ පාදමින් කිතුල් රා අපනයනය කිරීම ද මේ වන විට ආරම්භ වී ඇති අතර මෙරට නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් රා කෑන් වල අසුරා බීර කෑන් මෙන් අපනයනය කිරීමේ නව වැඩපිළි­‍ෙවළක් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම විසින් ආරම්භ කරන ලදී. "රාගා" යන වෙ‍ෙළඳ සන්නාමයෙන් කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් මෙලෙස අපනයනය කිරීමට එම සමාගම කටයුතු යොදා ඇති අතර එම නිෂ්පාදන වෙනුවෙන්ම ඉදි කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 14 වැනිදා කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, දී විවෘත කරන ලදී.

එම අවස්ථාවේදී මෙම "රාගා" කිතුල් නිෂ්පාදන අගය කරමින් අමාත්‍යවරයා අදහස් දැක් වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ සොබාදහම විසින් අප රටට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳපොළ ද ජය ගත හැකි ධෛර්යය සම්පන්න නිෂ්පාදනවලින් මේ රට සශ්‍රීක කළ යුතු බවයි. එවිට විදේශීය විනිමය ගැන නහයෙන් හැඬීමට අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ඔහු "රාගා" සන්නාමය යටතේ විදේශ වෙළෙඳපොළට අපනයනය කරන කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඒ ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් ලබා දෙනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති නීතීඥ ගිහාන් පෙරේරා ද මෙහිදී අදහස් දැක්වූ අතර කිතුල් නිෂ්පාදනයේ ප්‍රවර්ධනය හා උන්නතිය වෙනුවෙන් ජනාධිපති ප්‍රමුඛ රජය විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව ඔහු විසින් පෙන්වා දෙන ලදී. කිතුල් සංවර්ධන මණ්ඩලය ස්ථාපිත වූයේද ජනාධිපතිතුමාගේ අදහසකට අනුව බව හෙතෙම ප්‍රකාශ කළ අතර දේශීය කර්මාන්තයක් ලෙස ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ගය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම මණ්ඩලය ක්‍රියාත්මක වන බව ද ඔහු පෙන්වා දුන්නේය. වාණිජ වගාවක් ලෙස කිතුල් වගාව ව්‍යාප්ත කළ යුතු බවත් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති බවත් ප්‍රකාශ කළ ඔහු මේ වන විට මෙරට තුළ ඇති කිතුල් ගස් මිලියන හතරක පමණ ප්‍රමාණයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රයෝජනයට ගනු ලබන්නේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද ප්‍රකාශ කර සිටියේය. කිතුල් කර්මාන්තය වාණිජ වගාවක් ලෙස මෙරට තුළ ව්‍යාප්ත කිරීමට නම් එම තත්ත්වය වෙනස් කළ යුතු බවද පැවසූ කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා තම අපේක්ෂාව කිතුල් ගස් අතරින් 80% කටත් වඩා ප්‍රයෝජනයට ගැනීම බවයි.

"රාගා" නමින් කිතුල් රා හා කිතුල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ වෙත අපනයනයේ නිරත වී සිටින ඇග්‍රි දේශීය පුද්ගලික සමාග‍ෙම් සභාපති ප්‍රභාත් ද අල්විස් ද මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී ඔහු ඉතාම සතුටින් හා ආඩම්බරයෙන් යුතුව සඳහන් කර සිටියේ නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් අප රටට ආවේණික අපේ උරුමයක් වූ කිතුල් රා ලෝකය ම පිළිගන්නා අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වන බවයි. "රාගා" යනු සිංහල සංස්කෘතිය හා බැඳුණු අර්ථවත් නමක් බව ද ප්‍රකාශ කළ ඔහු වසර හතරකට අධික කාලයක් තිස්සේ මෙම නිෂ්පාදන පිළිබඳව තමන් පරීක්ෂණ පැවැත්වූ බවද සඳහන් කළේය.

"රාගා" කිතුල් රා නිෂ්පාදනයට අවශ්‍ය තෙලිජ්ජ රත්නපුර ප්‍රදේශයේ ගිලීමලේ, අයගම ඇතුළු ගම් රැසක කිතුල් කර්මාන්ත කරුවන් ගෙන් සපයා ගන්නා අතර මෙම රා කර්මාන්ත ශාලාව මඟින් මේ වන විටත් ඍජු රැකියා අවස්ථා 175 ක් පමණ උත්පාදනය කිරීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි. මීට අමතරව තවත් බොහෝ පිරිසකට වක්‍ර රැකියා අවස්ථාවන් ද මේ හරහා නිර්මාණය වී තිබේ.

අයි ටී අයි ආයතනයේ නව තාක්ෂණය යොදාගෙන රා නිෂ්පාදනය කරන ක්‍රියාවලිය ආරම්භ කළ අතර එහිදී වෛද්‍ය ආචාර්ය පද්මසිරි මහත්මා ගෙන් විශාල සහායක් ලැබුණු බවත්. එමෙන්ම දේශීය තාක්ෂණයක් වගේම සීයට අසූවක්ම චීනයෙන් ගෙන්වා සවි කරන ලද මැෂින් මඟින් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය සිදු වන බවද සභාපතිවරයා පැවසීය. තවදුරටක් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුරුංගා කුරුඳු සහ කිතුල් පිළිබඳව අවුරුදු හතරක් තිස්සේ කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස කිතුල් වලින් මෙවැනි නිෂ්පාදනයක් කරන්න සුදුසුයි කියා සොයා ගත් බවත් ඒ අනුව රාගා කෑන් එකක් බවට පත් වූ බවත්ය. මෙයට හොඳ ඉල්ලුමක් පවතී යන විශ්වාසය ඇති බවද සඳහන් කළේය. සියලුම තත්ත්ව සහතික මෙම නිෂ්පාදනය සඳහා ලබා තිබීම තවත් විශේෂත්වයක් බවත් කල් ඉකුත්වීමේ කාලය මාස හයක දක්වා යොදා ඇති බවත් මෙහිදී දැන ගන්නට ලැබුණි.


Comments