ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට | සිළුමිණ

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට

ෆිච් රේට්න්ග්ස් ආයතනය සිය ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව තවත් වරක් පහළ දමා තිබේ. තේරෙන භාෂාවෙන් කිවහොත් ඔවුන් ගේ ඉහළම ශ්‍රේණිය වන ට්‍රිපල් ඒ (AAA) වෙතින් පටන් ගෙන පහළම අගය වූ D දක්වා යන විට පසු කළ යුතු ශ්‍රේණි ප්‍රමාණය 32කි. පසු ගිය අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව සිටියේ ඉන් 29 වැනි ස්ථානය හෙවත් CCC ශ්‍රේණියේ ය. එනම් අන්තිම පඩිය වන D ශ්‍රේණියේ සිට පඩි තුනක් පමණක් ඉහළිනි. දැන් අප සිටින්නේ ඉන් තවත් එකක් පහළ ය.

එනම් 30වැනි ස්ථානය හෙවත් CC නම් පතුල පෙනෙන මානයේ ය. එය ශ්‍රී ලංකාව පිළිබඳ ලෝකයට යහපත් තත්ත්වයක් පෙන්නුම් නොකරන අගයකි. ශ්‍රී ලංකාව එසේ පහළ දැමුණේ ඇයි... 

මහ බැංකු අධිපතිවරයාට අනුව නම්, එය ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශයට පත් කර ඇති හදිසි තීන්දුවකි. එහෙත් රේටින්ග්ස් වාර්තා ඉතිහාසයට අනුව නම්, ශ්‍රී ලංකාව පල්ලම් බසින්නට පටන් ගත්තේ 2016 වසරේ සිට ය. රේටින්ග්ස් සමාගම් 2016 සිට, 'උඹලා ගේ රට යන අත හොඳ නැතැයි..' අනතුරු අඟවා තිබුණ ද, ශ්‍රී ලංකාවේ පාලකයින් එය කනකට නොගත් නිසා දිගින් දිගටම පල්ලම් බැසි ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අද වන විට අන්තිම අඩියට ඇද වැටෙමින් තිබෙන බව ලෝකයාට ප්‍රදර්ශනය වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව මුලින්ම ශ්‍රේණිගත කිරීමකට ලක් වූයේ 2005 වසරේ දී වන අතර, එය සිදු කළේ, ශ්‍රී ලංකා රේටින්ග්ස් සමාගම විසිනි.

එවිට ශ්‍රී ලංකාව හිමිකර ගත් ස්ථානය වූයේ B ශ්‍රේණියයි. එය තරමක් ඉහළ අගයකි. එතැන් සිට B+ සහ BB- දක්වා ඉහළ ගිය නමුත්, එතැනින් උඩට යන්නට, කුමන දේශපාලන නායකත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැත. 2016 සිට අද දක්වා අවුරුදු පහට පස් වතාවක් ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.

එසේ වැටුණු මුත් මේ තරම් පහළට ඇද වැටුණු ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රේණිගත කිරීමේ වාර්තා පෙන්වා දෙයි. මෙයින් කියැවෙන්නේ, 2016 වසරේ සිට මේ දක්වා ආර්ථිකය නැංවීම උදෙසා සිදු කළ යුතු යම් කාර්යයක් තිබුණා නම්, එය නිසි ලෙස නොකර ඇති බවයි.

උදාහරණයක් ලෙස 2016 වසරේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මෝටර් රථ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. එමෙන්ම, ඩොලර් මිලියන 500ක රත්‍රන් ආනයනය කර තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ රත්රන් කර්මාන්තය සඳහා පාවිච්චි කරන්නේ ඉන් ඩොලර් මිලියන 150-200ත් අතර ප්‍රමාණයක් පමණි. ඉතිරි රත්‍රන්වලට සිදු වන්නේ කුමක්ද?

ඒවා හොර පාරෙන් ජාවාරම් ලෙස ඉන්දියාවට යවන අතර එය අතීතයේ පටන් ම සිදු කෙරෙන ප්‍රසිද්ධ රහසක් වැනි ජාවාරමකි.ඩොලර් වියදම් කර ආනයනය කරන මුත් හොර පාරෙන් ඉන්දියාවට යන නිසා එයින් ආණ්ඩුවට ලැබෙන ආදායමක් නැත. රට පල්ලම් බසින්නට පටන් ගත් 2016 වසර තුළ පමණක් මෙවැනි සුවිසල් අපරාධ සිදු වෙද්දි, ඒවාට කිසිදු සීමා පැනවීමක් සිදු වූයේ නැත.

ලංකාව වැනි පොඩි රටකට, මේ තරම් සැප වාහන කුමට ද? මේ සා රත්‍රන් ප්‍රමාණයක් කුමට ද කියා වගකිව යුතු කිසිවෙක් ඒ වේලාවේ සොයා බැලුවේ නැත.

බොහෝ විට දේශපාලකයන් සහ වරප්‍රසාද ලාභීන් ටොයෝටා සෆාරි, රේන්ජ් රෝවර් වැනි සැප වාහන ගෙන්වන්නේ පර්මිට් මගිනි. එවිට ශ්‍රී ලංකා රජයට ඔවුන් ගෙවිය යුතු අති විශාල බදු මුදලින් ඔවුන් නිදහස් වේ.

නමුත් 300%ක් ඩියුටි ගෙවිය යුතු යැයි ප්‍රතිපත්තියක් තිබෙන රටක සාමාන්‍ය ජනතාව මුළු බදු මුදල ම ගෙවා පොඩි වාහන මිලදී ගන්නා විට, වරප්‍රසාදලාභී යැයි කියාගන්නා පිරිස, බදු නොගෙවා සැප වාහන ගෙන්වා ගනී. ශ්‍රී ලංකාවේ එසේ වාහනයකට තුන් ගුණයක් බදු අය කරන්නේ රටට ආදායමක් ගැනීමට සහ ගෙන්වීම සීමා කිරීමට ය. එවැනි ප්‍රතිපත්තියක් තිබෙන පසුබිමක, සැප වාහන ගෙන්වීමට පමණක් බලපත්‍ර නිකුත් කරන එකේ සාධාරණයක් නැත.

එවැනි ප්‍රතිපත්ති තිබියදී කොට මෙවැනි ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් රටට අහිමි වන මුදල ඩොලර් බිලියන ගණනක් බව කිසිවකුත් කතා නොකරයි.

රේටින්ග්ස් සමාගම් ඉතිහාසයට අනුව 2016 වසරේ සිට මෙවැනි ප්‍රතිපත්ති තිබියදීත් ශ්‍රී ලංකාව වසරෙන් වසර අවදානමකට ලක්ව පල්ලම් බසින බව ඔවුන් පෙන්වා දෙද්දී, කිසි­‍ෙවක් කිසිවක් වෙනස් කළේ නැත. නමුත් අදටත් සාමාන්‍ය පුරවැසියා තමන්ට නියමිත මුළු බදු මුදල ම ගෙවද්දි ලොකු මිනිසුන් බදු මුදල් මගහැර වාහන ගෙන්වා ගත හැකි ක්‍රම සොයා ගනිති. අද පර්මිට් යනු සුපිරි වෙළෙඳ භාණ්ඩයකි.

විශාල ණය රැගෙන, පාර්ලිමේන්තු නියෝජිතයන් සඳහා සැප වාහන ගෙන්වීම, අසීමාන්තිකව වාහන ආනයනය හෝ රත්රන් ආනයනය කිරීම, තවදුරටත් ඉතාමත් අමනෝඥ ක්‍රියා බව මෙම ශ්‍රේණිගත කිරීම් සමාගම් පෙන්වා දෙයි. තිබෙන කාලයේ දී පිරිමහ ගන්නේ නැතිව නිසි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර, දිගින් දිගට ම නිකන් ඉඳීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳින්නට සිදුව තිබේ.

රේටින්ග්ස් සමාගම් පෙන්වා දෙන පරිදි, 1997 වසරේ දී මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල් ගණනාවක් ද ජාත්‍යන්තර රේටින්ග්ස් සමාගම් default තත්ත්වයට දමා තිබේ.

රටකට උහුලාගත නොහැකි ප්‍රමාණයේ ඩොලර් ණය රැගෙන ඉල්ලුමට වඩා සැපයුමක් ඇති වන පරිදි සුපිරි මහල් නිවාස සංකීර්ණ, තරු හෝටල්, සුපිරි කාර්යාල පරිශ්‍ර වැනි නාගරික ගොඩනැගිලි සංකීර්ණ රාශියක් ඔවුන් ඉදිකළ අතර, ඒවාට ගත් ඩොලර් ණය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම රටවලුත් ඒ අවස්ථාවෙදි default තත්ත්වයට දමන්නට රේටින්ග්ස් සමාගම් කටයුතු කළ බව ඉතිහාසයේ කියැවේ. නමුත් වැදගත්ම දේ, එම කාල වකවානුවල එම රටවල් සැලසුම් සහගත ලෙස ක්‍රියා කොට එම බරපතළ තත්ත්වයෙන් ගොඩ ඒම ය.

නමුත් ශ්‍රී ලංකාවේ අපි මුහුණ දී සිටින්නේ හදිසියේ උදා වූ එවැනි තත්ත්වයකට නොවේ. හෙමි හෙමින් පල්ලමට යන බව පෙනි පෙනීත්, දැනි දැනීත් කිසිවක් නොකර සිටීමේ විපාකයයි. 2016 සිට එම රේටින්ග් සමාගම් අපට දැක්වූ අනතුරු ඇඟවීම් පිළිබඳ එම වාර්තා අද නැවතත් බලන්නට හැකි නම් ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත.

රටවල් ශ්‍රේණිගත කරන මෙම ආයතන අතරින් මූඩීස් සමාගමේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ නොමැති අතර, ඔවුහු සිංගප්පූරුවේ හොංකොං සිට, ආසියානු රටවල් පිළිබඳ ශ්‍රේණිගත කිරීමේ කටයුතුවල නියැළෙයි.

ෆිච් රේට්න්ග්ස් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවක් ඇති අතර එහි 90%ක අයිතිය, ෆිච් රේට්න්ග්ස් ලන්ඩන් සමාගම සතු වෙයි. රටවල් 139 ක විහිදුණු මෙම සමාගමේ ස්වෛරී විශේෂඥ කණ්ඩායමක් සෑම වසරකම ශ්‍රී ලංකාවේ ගත කරන දින හතරක් ඔස්සේ, සිය නිරීක්ෂණ කටයුතු සිදු කරයි.

එහිදී, රාජ්‍ය නායකයින්, මැති ඇමැතිවරුන්, වගකිවයුත්තන් හමු වීමෙන් සහ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම් වියදම් පිළිබඳ දත්ත රැස් කරමින්, තවත් බොහෝ අධ්‍යයන කටයුතු සිදු කරමින්, විශ්ලේෂණය කරමින් සාධක වෙන් කොට හඳුනාගෙන මොඩියුල මගින් නිගමනයන් වෙත එළැඹෙයි. ෆිච් රේට්න්ග්ස් සහ මූඩීස් ආයතනවල දත්තවලට අනුව, යම් රටක් හිමි කර ගන්නා ශ්‍රේණියෙන් කියැවෙන්නේ එම රටට ණයක් ආපසු ගෙවීමට ඇති හැකියාවයි. ශ්‍රේණිගත කිරීම් අනුව බැංකුවකට හෝ රටකට ලැබෙන ඉහළම අගය වන්නේ, AAA හෙවත්, ට්‍රිපල් A තත්ත්වයයි. එයින් ගම්‍ය වන්නේ එම රටට ණය ආපසු ගෙවීමට උපරිම හැකියාවක් ඇති බවයි.

එහෙයින් රටවල් ශ්‍රේණිගත කිරීම් අරභයා අවුරුදු සියයකට වඩා පැරැණි අත්දැකීම් ඇති සමාගමක් ලෙස, ආවාට ගියාට රටවල් ශ්‍රේණිගත කිරීම සිදු නොකරන බව, ඔවුන් පිළිබඳ ඇති ලොව පිළිගැනීමයි.

ඇමෙරිකාව යුරෝපය ආසියාව අප්‍රිකාව වැනි ලොව සෑම රටකම ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ අත්දැකීම්, ඔවුන් සතු වේ.

අනික් අතට, විදෙස් ආයෝජකයන්, නව ආයෝජන සඳහා රටකට ඇතුළු වන විට එම රටේ ආර්ථිකය පිළිබඳ කියැවෙන නිල දත්ත වාර්තා සැලකිල්ලට නොගනී. ඒ, විදෙස් ණය සහ ආයෝජන බලාපොරොත්තු වන කිසිදු රටක් තමන්ගේ රටේ ආර්ථිකය පිළිබඳ සැබෑව ලොවට නොකියනා බව ආයෝජකයන් ද දන්නා හෙයිනි. එම නිසා ආයෝජකයන් ද සිය විශ්වාසය තබනුයේ ඉහත කී ආකාරයේ, ලොව පුරා සිටින පිළිගත් සහ ස්වාධීන ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කරන්නා වූ දත්ත හා තොරතුරු පිළිබඳවයි.

කරුණු කෙසේ වෙතත්, වසර 2025 වන විට ශ්‍රී ලංකාව ලෝකයට ගෙවා නිම කළ යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. ඒවා ලෝක බැංකුව, චීනය, ඉන්දියාව සහ වෙනත් විදේශ රටවල් වෙතින් ගත් ණය ප්‍රමාණයේ එකතුව වන අතර, වසරකට ගෙවා දැමිය යුතු දළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන හතර හමාරකි.

මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා ආදායම් උපයන්නේ කෙසේද යන්නත්, එම ණය ගෙවීමට ශ්‍රී ලංකාව සතුව ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්නත්, රටක් ලෙස අප ලොවට ඉදිරිපත් කළ යුතුව ඇත. එවැනි පැහැදිලි පිළිතුරක් නැති තැන, ශ්‍රේණිගත කිරීමේ සමාගම්, අප වැනි රටවල් අඩු තක්සේරුවකට දමනු ලබයි.

රටක දළ දේශීය නිෂ්පාදිතය, ආනයන අපනයන සීමාවන්, දේශීය කර්මාන්තවල පිබිදීම, එම රට සතු සංචිත ප්‍රමාණය සහ රජයක් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ.. වැනි සාධක රැසක්, රටක් ශ්‍රේණි ගත කිරීමේදී සැලකිල්ලට ගන්නා අතර, ශ්‍රී ලංකාව දෙවරක්ම මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඉහළ ගියේ, ඒ තත්වයන් යම් පමණකට හෝ හොඳින් කළමනාකරණය කළ නිසා බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ' දරන්නට බැරි තරම් ණය අය අරගෙන... ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ණය ගෙවා ගන්නට බැරි තරම් දුර්වල තත්ත්වයක...' යන සංඥාව දී තිබෙන මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳ, රටක් ලෙස අප උරණ විය යුතු නැත. අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කොට, ඉන් ඉහළට යෑමට ගත යුතු පියවර පිළිබඳ සාධනීයව ක්‍රියාත්මක වීම ඉක්මන් කළ යුතුය.

රට තුළ ඩොලර් සංචිත වැඩි කරගැනීම, සෘජු ආයෝජන දිරිමත් කිරීම සහ විදේශ විනිමය වැඩි කරගැනීම වැනි සැලසුම් තුළ පමණක් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට හැකි බව ඔවුහු පෙන්වා දෙති.

Comments