
ලොව පුරා කිතුණු බැතිමතුන් ඉමහත් හරසරින් සමරන අසිරිමත් නත්තල ළඟ ළඟම එයි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවද මීට වසර කීපයකට පෙරාතුව සිට ‘නත්තල’ කතෝලික භක්තිකයන් පමණක් නොව බෞද්ධ හින්දු ඉස්ලාම් භක්තිකයින් පවා ආගම් භේදයකින් තොරව, සතුටින් සහභාගි වන එකම සැණකෙළියක් බවට පත්ව තිබුණි. ඒ සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පමණක් නොව, අගනුවරින් බැහැර ගම් නියම්ගම්වල පවා නත්තල උදාවන විට විවිධ උත්සව සංවිධානය කෙරුණි. ‘නත්තල් සීයා’ සංකල්පයෙන් ලොකු කුඩා කොයි කවුරුත් සිත් සේ සතුටු වූහ.
එහෙත් මුළු ලොවම වෙළාගත් කොරෝනා වසංගතය හමුවේ පසුගිය වසර දෙක පුරාවටම ඒ හැමදෙනාටම නත්තලේ සතුට ඇහිරිණි. වෙනකක් තබා නිදහසේ ගමන් කරන්නටත් නොහැකි වන සේ රට වසා දමන්නට සිදු විය.
මෙවර නත්තල් සමය වන විට රට විවෘත කර තිබුණත් නත්තල සැහැල්ලුවෙන් සැමරීමට නොහැකි සීමා මායිම් තවමත් බල පවත්වයි. කොරෝනාවෙන් හොඳටම බැටකෑ මිනිසුන් දැන් කබලෙන් ළිපට වැටිලා ය.
මෙවන් වකවානුවක ජනතාව නත්තල සැමරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රෙදිපිළි, නත්තල් සැරසිලි, තෑගි භාණ්ඩ, කෑම බීම මිලදී ගැනීමට ඇති උනන්දුව හා නත්තලේ වෙළෙඳාම පිළිබඳ පිටකොටුව වෙළෙඳුන්ගෙන් තොරතුරු විමසුවෙමි.
දෙතුන් තැනක හැරුණු විට අනිත් සෑම සාප්පුවක් ම, කඩයක් ම පාරිභෝගික ජනතාව එනතුරු බලා සිටී. විදුලි බුබුළු, සැරසිලි ලාම්පුවලට ප්‍රකට පළවැනි හරස් වීදියේද දක්නට ලැබුණේ වෙනදාට දකින සාමාන්‍ය ජනතාව පමණි. ඇඳුම් පැලඳුම්, පාවහන්, බෑග් හා වෙනත් විසිතුරු භාණ්ඩ, තෑගි භාණ්ඩ සියල්ලක් ම සපිරි දෙවැනි හරස් වීදියේද සැලකිය යුතු ජනතාවක් නොවුණි. කෑල්ල රු. 350, 400 ලබාදෙන පදික වේදිකා තට්ටු දෙක තුනක නම් සෙනඟ පොරකනු දක්නට ලැබුණි. වෙනදාට අගනගරයේ බොහෝ තැන්වල අලෙවියට තැබෙන නත්තල් ගස්, ගවලෙන, ජිංගල් බෙල්, නත්තල් සීයා, ජේසු සමිඳුන්, මරිය මව්තුමියගේ ප්‍රතිමා මෙන් ම අනිකුත් නත්තල් සැරසිලි භාණ්ඩවල ද අඩුවක් දක්නට ලැබුණි. නත්තල් සැරසිලි භාණ්ඩ අලෙවි කරන මට්ටක්කුලියේ මොහොමඩ් මන්සූර් ඉරුෆාන් (31) ළඟ නත්තල් සැරසිලි බොහොමයක් විය. සුරුවම්, නත්තල් කාඩ්, සැන්ටා, නත්තල් තොප්පි, ජින්ගල් බෙල්, ප්‍රතිමා ඒ අතර විය. එහෙත් ඉරුෆාන් පැවසුවේ නත්තල් සැරසිලි භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවූ නිසා අලෙවිය ඉතා සීමිත බවයි.
යම් තරමක හෝ වෙළෙඳාමක් තිබුණේ රතිඤ්ඤා, නිලාකූරු, බඹර චක්‍ර ආදී ගිනිකෙළි භාණ්ඩවලට පමණි. මතුගම මධුරංග ජයසුන්දර (42) ඇඳුම් අලෙවිකරුවෙකි. වසර 28 ක් තිස්සේ වැඩිපුරම විකුණන්නේ ඩෙනිම් කලිසම් ය. දරුවන් තිදෙනෙක් සහිත පවුල නඩත්තු කරන්නේ රෙදි අලෙවියෙනි. නත්තල් වෙළෙඳාම ගැන ඔහු මෙසේ කීය.
“මේ දවස්වල ඉස්සර නත්තල් කාලෙ වගේ ලොකු වෙළෙඳාමක් නෑ. මිනිස්සු අතේ සල්ලි නෑ. ඒ මදිවට හැම දේකම මිල ඉහළ ගිහින්. උදේ 7 ½ ඉඳලා රෑ 10 තුරු හිටියත් බිස්නස් සරු නෑ. පසුගිය කොරෝනා කාලේ කිසිම දෙයක් නැතුව වහලා දාලා තිබුණේ. දැන් කීයක් හරි උපයනවා වුණාට හොඳ ආදායමක් නෑ.”
ග්‍රෑන්ඩ්පාස් පදිංචි සුරේෂ් කන්නා (39) - කාන්තා හා පිරිමි ඇඳුම් අලෙවි කරන්නෙකි. ඔහු පැවසුවේ ද වෙනදා නත්තල් සමය මෙන් සරුවක් නොමැති බවයි. කොරෝනාවට පස්සේ සාමාන්‍ය බිස්නස් තිබුණා. ඒත් ඉස්සර වගේ ආදායමක් නෑ. පරණ ගණන්වලට විකුණන්නත් බෑ අපිත් ගන්නෙ වැඩි මිලට. ඉස්සර දුර පළාත්වලින් පවා එනවා ඇඳුම් ගෙනියන්න. දැන් භාගෙට බාගයක් ම අඩුවෙලා. කෑලි, 30, 40 ක් විකුණගන්න බෑ.
කිරිබත්ගොඩ එච්.ඩබ්. දෙවන් උපාලි, අලෙවි කරන්නේ විවිධ වර්ගයේ මේස් හා විවිධ ඇස් කන්නාඩි වර්ගයි. ඔහු පැවසුවේ දවසකට උපයාගත හැක්කේ රු. 1000 ක් වැනි මුදලක් පමණක් බවයි.
“පසුගිය කාලේ ගෙදරටම වෙලා හිටියේ කොරෝනා නිසා. රට ඇරියාම කීයක් හරි හොයාගත්තත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. නත්තලට ටිකක් විකිණෙනවා වුණත් සැලකිය යුතු මට්ටමක නැහැ.
නත්තල් කේක්වලට නත්තලේදී හිමි වන්නේ විශේෂ ස්ථානයකි. නත්තල් කාලෙට නත්තල් කේක් අමුද්‍රව්‍ය අලෙවි කරන කඩවල්වල පාරිභෝගිකයන් වැහි වැස්සත් මෙදා ඒ කඩත් වේළෙයි. දැන් බොහෝ දෙනෙකුට කේක් තබා පාන් කන්නවත් සල්ලි නැත. නත්තල් සැරසිලි භාණ්ඩ වැඩිපුරම ඇත්තේ චයිනා වීදියේය.
නෙක විසිතුරු සැරසිලි කොතෙක් තිබුණ ද ඒවා තෝරන්නට වැඩි පිරිසක් පැමිණ සිටියේ ද නැත. බෑග් අලෙවි කරන එච්.එස්. සෝමාවතී (64) ඉංගිරියේ පදිංචිකාරියකි. වසර 30 පමණ වෙළෙඳාමේ යෙදෙන සෝමාවතී පැවසුවේ ද මෙවර නත්තලේ තමන්ටත් කෝඩෙ බවයි. “මිනිස්සු දැන් මොන දේ ගත්තත් තෝරලා බේරලා අත්‍යවශ්‍ය දේවල් පමණයි ගන්නේ. හුඟක් දෙනෙක් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ.”
දෙවැනි හරස් වීදියේ කුඩා ලොරි තට්ටුවක සාරි හා කමිස අලෙවි කරන නිට්ටඹුවේ එම්.ටී.ඒ. මුනාස් (43) පැවසුවේ ද අලෙවිය පහළ මට්ටමක පවතින බවයි.
“සාරියක් රු. 250/= යි. කමිසයක් රු. 350/= යි. මිල වැඩි නිසා වැඩිය විකිණෙන්නේ නෑ. සමහරු කොරෝනාවට බියේ පිටකොටුවට එන්නෙත් නෑ. උදේ 9.00 ඉඳලා සවස 5.30 දක්වා ඉන්නවා. පිටකොටුවේ වෙළෙඳාමේ යෙදෙන පංචිකාවත්තේ ශ්‍රියා රමණී (60) පැවසුවේ මෙවර නත්තල් බිස්නස් බොහෝ අවම බවයි.
“මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නෑ. තියන මිනිස්සු බඩු ගන්නේ ලොකු කඩවලින්. අපිට බිස්නස් නෑ. හරි අමාරුවෙන් කෑල්ලක් දෙකක් වුණත් විකුණගන්නේ. මේ සැරේ සාමාන්‍ය මිනිස්සු නන්නත්තාරවෙලා ඉන්නේ. මොන නත්තල් ද?”
වෙනදාට නත්තල් කාඩ් අලෙවිය වැඩි වුණත් දැන් දැන් නව තාක්ෂණය භාවිතා කරමින් ජංගම දුරකතනය ඔස්සේ මෙන් ම වීඩියෝ ඇමතුම් මඟින් සුබපැතීමේ හැකියාව ඇති නිසා කාඩ් අලෙවිය ද බොහෝ පහළ ගොස් ඇත.
නත්තල් කියා පෙරදා මෙන් ජනතාවගේ ලොකු සූදානමක් නැත. නත්තලට බඩු ගන්නවා තබා එදා වේල පිරිමහ ගැනීමත් දැන් ප්‍රශ්නයක් වී ඇති බව බොහෝ දෙනා පවසති.
“හාල් පිටි, සීනි, කිරිපිටි, හැමදේම ගණන්. ගෑස්, භූමිතෙල්, පෙට්‍රල්, ඉන්ධනත් මිල වැඩිවෙලා. පානුත් ගණන් ගියා. එළවළු මස්, මාළු විතරක් නෙමෙයි බිත්තරත් මිල වැඩියි.
වසර දෙකක් පුරාවට නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වුව ද මේ වසරේ නත්තලට රට විවෘත කර තැබීම නිසා යම් අස්වැසිල්ලක් ලැබී ඇත.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු