
දශක දෙකකට පෙර ඇසූ විට බිය උපදවන වචනය වූයේ බෝම්බයයි. මේ වන විට බෝම්බය වෙනුවට ‘ගෑස්‘ සිලින්ඩරය ඉස්මතු වී තිබේ. කාලාන්තරයක් තිස්සේ දර භාවිතය, ලී කුඩු භාවිතයෙන් ජනතාව ගෑස්වලට මාරු වූයේ එහි ඇති කාර්යක්ෂමතාව, පහසුව හා අවදානම අඩු වූ නිසාය.
ගෑස් භාවිතය ප්‍රවර්ධනය කිරීමට පැවැති රජයන් පවා උත්සුක වූයේ විදුලි බලය අරපිරිමසා ගැනීම උදෙසාය. එකල ගල් අඟුරු බලාගාර පවා නොතිබුණු නිසාය. ආරම්භයේදී ලංකා ගෑස් නමින් හැඳින්වුණු ගෑස් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම පිණිස පසුව ෂෙල් සමාගම හා එක්වීමත් මේ වන විට රජයේ සමාගමක් ලෙස එය පවත්වා ගෙන යාමට ලිට්රෝ ආයතනයට එය පවරා දීමටත් රජය විසින් පියවර ගෙන තිබේ. ඒ අතර තරගකාරීත්වය ඇති කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගත් අතර දේශීය ව්‍යාපාරයක් වන ලාෆ් සමාගම ද ඒ හා එක් විය.
ඒ අතර මුණ්ඩෝ නමින් සමාගමක්ද ගෑස් අලෙවියට පිවිසියද එය ලප්තැනම ලොප් විය. වරින් වර ගෑස් ගැන කතා බහ කරළියට ආවේ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ සමාගම් විසින් ඉල්ලා සිටි අවස්ථාවන්හිදී හා එවන් ඇතැම් අවස්ථාවන්හිදී පැවැතුණු ගෑස් හිඟයන් නිසාය. ඒ හැරෙන්නට ගෑස් ගැන කතා බහ එළියට නො ආ තරම්ය.
එහෙත් අද වන විට ගෑස් යනු ගෙදරක බෝම්බයක් තබා ගෙන සිටින තත්ත්වයකට පත්ව තිබේ. එසේ කියන්නට සිදුව ඇත්තේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදු වූ අනතුරු නිසාවෙනි. මේ අනතුරු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ පසුගිය මාසයක පමණ කාලයකදීය.
පසුගිය දෙමසකට මඳක් වැඩි කාලයේදී සිදු වූයේ අදාළ සමාගම් විසින් ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කර වෙළෙඳපොළට එවීමය. එහිදී ප්‍රොපේන් සංයුතිය හා බියුටේන් 50%ක් බැගින් සිටින සේ සිලින්ඩරය සකස් කර තිබුණි.
මේ සම්බන්ධ විශේෂඥයන් පෙන්වා දුන්නේ එසේ බියුටේන් භාවිත කරන්නේ කර්මාන්තශාලා පිණිස බවත් ගෘහස්ථ සිලින්ඩර සඳහා භාවිත කිරීම අනතුරුදායක මෙන්ම ලොව කිසිදු රටක එසේ භාවිත නොකරන බවයි. ඒ සදහා සමාගම් හා විවිධ පුද්ගලයන් තර්ක විතර්ක සිදු කරන අතරතුර ගෑස් අනතුරු සිදුවීම දිගින් දිගටම සිදු වෙද්දී රජයේ අවධානයද ඒ කෙරෙහි යොමු වුයේ අනතුරුවලින් පුද්ගලයන් මිය යන්නට වීමෙන් පසුවය. විපක්ෂයේද චෝදනා රජයට එල්ල විය.
එමනිසා මේ සම්බන්ධව සොයා බලා වාර්තා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ සභාපති ධුරය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ පත් කළ අතර සෙසු සාමාජිකයන් ලෙසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු කටයුතු කළහ. මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ සහාය ද ඊට ලබා ගැනිණ.
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 20 වැනිදා කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබීය.
පවතින තත්ත්වයෙන් මිදීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර තිබුණි.
එසේම එම කමිටු වාර්තාවෙන් ඉස්මතු කර තිබූ කරුණු දෙකක් මෙහිදී සඳහන් කළ යුතු ම ය. එයින් පළමු කරුණ වන්නේ කමිටුව විසින් කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී ගෑස් සංයුතියේ වෙනස්කම් සිදු කරන්නට ගෑස් සමාගම් කටයුතු කර ඇති බවයි. එමනිසා ගෑස් අනතුරු සිදුවන්නට එය හේතුවක් වී ඇති බව එම නිරීක්ෂණයන් මඟින් පෙන්වා දී තිබේ. ගෑස් සිලින්ඩරය එම ගෑස් පීඩනය ඉතා හොඳින් දරා ගත හැකි ඝනකමකින් යුක්ත නිසා සිලින්ඩරයට ඉන් හානි සිදු නොවුණත් උපාංගවලට හානි සිදුවීම මෙහිදී සිදුව තිබේ. විශේෂයෙන්ම උපාංග අනතුරට ලක්ව ඇත්තේ ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා බව කමිටුව විසින් පෙන්වා දී තිබුණි. එසේම කමිටුව හඳුනා ගත් අනෙක් විශේෂිතම කරුණ වූයේ ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් කාන්දු වීම් සම්බන්ධව සොයා බැලීමට අදාළ නිසි තාක්ෂණික ක්‍රමවේද නොමැති බවයි. ලාෆ් සමාගම විසින් ISO 9000 තත්ත්ව පරීක්ෂාව යටතේ එම පරීක්ෂා කිරීම් සිදු කළද ලිට්රෝ සමාගමේ ප්‍රමිතිය ගැන කිසිදු ලෙසකින් සෑහීමකට පත්විය නොහැකි බව කමිටුව විසින් දන්වා ඇත.
ගෑස් අනතුරු එක්වරම බහුල වූයේ කෙසේද? මීට පෙර වසරවල ගෑස් අනතුරු සිදුවී නැත්ද? මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් දිගින් දිගටම පොලිසියෙන් හා කමිටුවෙන් මෙන්ම අදාළ සමාගම්වලින් විමසීමෙන් පසුව පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන්ගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට මාධ්‍යයට අවස්ථාව උදා කර දෙන ලදී.
එහිදී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පැවසුවේ දිවයින පුරා ගෑස් පාරිභෝගිකයන් තිස් ලක්ෂ විසි දහසක් පමණ සිටින බවයි.
එයින් ලිට්රෝ පාරිභෝගිකයන් ලක්ෂ 28ක් සහ ලාෆ් පාරිභෝගිකයන් 280,000ක් පමණ සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.
එම පාරිභෝගිකයන්ගෙන් ගෑස් සම්බන්ධ අනතුරු 3ක් පිළිබඳව 2019 වසරේ දී පොලිසියට වාර්තා වී ඇති බවද ඔහුද ඔහු පැවසීය. එමෙන්ම එම වසරේ ලිට්රෝ සමාගමට අනතුරු 9ක් ගැන පැමිණිලි ලැබී ඇති අතර ලාෆ් සමාගමට අනතුරු 6ක් පිළිබඳව වාර්තා වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
2020 වසරේදීද ගෑස් අනතුරු පිළිබඳව වාර්තාවන් 3ක් පොලිසියට හා ලිට්රෝ සමාගමට පැමිණිලි 19ක් ද ලාෆ් සමාගමට පැමිණිලි 9ක් ද ලැබී ඇත. එහෙත් 2021 වසරේ දෙසැම්බර් මාසයේ වන විට එම සංඛ්‍යාව 847ක් දක්වා භයානක ලෙසින් වැඩි විය. එහිදී ලිට්රෝ සමාගමට සම්බන්ධ පැමිණිලි 797ක් හා ලාෆ් සමාගමට සම්බන්ධ පැමිණිලි 50ක් විය.
මේ අනතුරු සම්බන්ධව තව දුරටත් විශ්ලේෂණය කර බැලීමේදී පෙනී ගියේ මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට නොවැම්බර් 28 දක්වා අනතුරු 28ක් පමණක් සිදුව ඇති බවයි. එතැන් සිට මසකටත් අඩ කාල සීමාවකදී, එනම් දෙසැම්බර් 19 දක්වා ගෑස් සම්බන්ධ අනතුරු 819ක් සිදුව තිබේ. මෙය අතිභයානක ලෙස හැඳින්වූයේ එහෙයිනි.
ගෑස් අනතුරු සම්බන්ධ ඉතාම කනගාටුදායක සිදුවීම වාර්තා වූයේ පසුගිය මාර්තු මස 20 වැනි දාය ඒ තලාතුඔය, ඇතුළේගම පූලියැද්දේ අංක 51 හි පදිංචි ඒ.එම්.ජී. හීන් මැණිකේ නැමැති අය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් නිසා ඇති වූ ගින්නකින් පිලිස්සී මිය යාමයි.
එතැන් සිට මේ දක්වා ගෑස් අනතුරු නිසා මරණ 7ක් සිදුව තිබේ. බොහෝ දෙනාගේ අවධානය ගෑස් සම්බන්ධයෙන් යොමු වූයේ මාධ්‍ය මඟින් මේ සම්බන්ධව ඉස්මතු කිරීමෙන් පසුවය.
ගෑස් සම්බන්ධ දෙවෙනි මරණය වාර්තා වූයේ පළමු මරණයෙන් දින 4කට පසුව එනම් මාර්තු 24 වැනිදා මරදාන හෝටලයක් (මරදාන බත් කඩය) තුළදීය. මාතර බත්කඩය තුළ සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගත් ගින්නක් හේතුවෙන් ඔහු මිය ගියේය.
තුන්වැනි මරණය වාර්තා වූයේ නාවල ප්‍රදේශයෙනි, ඒ සැප්තැම්බර් 24 වැනිදාය. මිය ගියේ කහවත්ත ගමගේ ලසන්ත නැමැති අයෙකි. ඔහු නාවල, කොස්වත්තේ අංක 102 නිවසේ පදිංචිකරුවකු වන අතර ගෑස් අනතුරෙන් ඇති වූ ගින්නට මැදිව පිලිස්සීමෙන් ඔහු මිය ගියේය.
සිවුවැනි මරණය වාර්තා වූයේ ඔක්තෝබර් 19 වැනිදාය. ඒ පන්නිපිටිය, පොහොරගොඩැල්ල හන්දියේ පරණ පාරේ පදිංචි ඉමාෂා මදුෂිකා නැමැති අයයි. ඇය අනතුරට ලක් වූයේ සැප්තැම්බර් 15 වැනිදා වන අතර ඇය මසකට අධික කාලයක් රෝහල්ගතව සිටියාය.
පසුවන මරණය වාර්තා වූයේ ඔක්තෝබර් 29 වැනිදාය. ඒ කඳපොළ, මතුරටවත්ත කුරුඳුඔය කොටස අංක 4 ලයිමේ පදිංචි රෙංගසාමි විශ්වනාදන්ය. ඔහු ඔක්තෝබර් 21 වැනිදා බරපතළ තුවාල ලැබුවේ ගෑස් කාන්දුවීමක් තිබියදී ඒ බව නොදැන එය දැල්වීමෙන් ඇති වූ ගින්න හේතුවෙනි.
හයවැනි මරණය වාර්තා වූයේ මාතලෙන් වන අතර මියගියේ උඩුපිහිල්ල අංක 62 පදිංචිව සිටි එච්.එම්. චන්ද්‍රකුමාරි යන අයයි. ඇය නොවැම්බර් 19 වැනිදා ගෑස් ළිප දැල්වීමේදී විශාල ගින්නක් මතු වී ඇඳ සිටි ඇඳුමට ගිනි ඇවිලී රෝහලගතව සිටියදී දෙසැම්බර් 6 වැනිදා මියගොස් ඇත.
හත්වැනි මරණය වාර්තා වූයේ මහනුවර පල්ලෙකැලේ, විල්ගමුව, දේවගිරිය පිදුරුවැල්ලෙනි. මියගියේ පී.ඩී.පී. අශෝකා කුමාරි නැමැති අයයි. ඇයද දෙසැම්බර් 1 වැනිදා ගෑස් ළිප දැල්වීමේදී ඇඳුමට ගිනි ඇවිළී රෝහල්ගතව සිට පසුගිය 10 වැනිදා මිය ගියාය.
ගෑස් අනතුරු නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 16 ක් වන අතර බරපතළ දේපළ හානි 18ක්ද වාර්තා විය. මේ වසරේ සිදුවූ අනතුරු 847න් ලිට්රෝ සමාගමේ ගෑස් සිලින්ඩර් නිසා අනතුරු 797ක්ද ලාෆ් ගෑස් සිලින්ඩර් නිසා අනතුරු 50ක්ද වාර්තා වී ඇත.
පොලිසිය විසින් 2020 වසරේදී ප්‍රධාන පොලිස් කොට්ඨාස 44ට අදාළ නගරවල පමණක් ගෑස් ළිප් හා සම්බන්ධ උපාංග සම්බන්ධයෙන් බලයලත් ඒජන්තවරුන්ගෙන් අලුත්වැඩියාකිරීම් 2889ක් සිදු කරගෙන ඇති අතර අනෙකුත් අලුත්වැඩියා කිරීම් ස්ථානවලින් අලුත්වැඩියා කිරීම් 12126 වශයෙන් සමස්තය අලුත්වැඩියා කිරීම් 15,025ක් සිදු කර තිබේ. එය 2021 වසරේදී සලකා බැලූ කළ 15269ක් ලෙස මේ දක්වා වාර්තා වී තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පෙන්වා දෙන්නේ ගෑස් ළිප් අලුත්වැඩියා කිරීම් සාමාන්‍ය වශයෙන් වසරකට 50,000කට අධිකව සිදු කෙරෙන බවත් ලක්ෂ 32ක් පමණ වන පාරිභෝගිකයන් අතුරින් එය සාමාන්‍ය තත්ත්වයක් බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ උපාංගවල දෝෂයන් තිබෙන බවයි. එහෙත් එහෙත් අපට ගැටලුව ඇත්තේ ළිප් හෝ උපාංග සම්බන්ධව නොවේ. ගෑස් සිලින්ඩර් භාවිතය නිසා සිදුවන අනතුරු ගැනය.
කොළඹ 07 මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ සිදු වූ ගින්න නිසා සමාජයේ බොහෝ අවධානය යොමු වූ අතර පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ අදාළ ගෑස් ළිප නිසියාකාරයෙන් වසා නොතිබූ බවත් ගෑස් කාන්දු වී වීදුරු වලින් වටවූ ශාලාවේ පිරී තිබියදී ගිනි දැල්වීමෙන් අනතුර සිදු වී ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 29 වැනිදා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ දිවයිනේ සිදුවන සියලු ගෑස් අනතුරු සම්බන්ධව විමර්ශනය කරන ලෙසයි. ඒ අනුව ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් දෙකෙහි තාක්ෂණ නිලධාරීන්ද සම්බන්ධ කර ගනිමින් විශේෂ විමර්ශන සිදු කරන ලදී.
තාක්ෂණ අමාත්‍ය ලේකම් ජයන්තද සිල්වා පවසන්නේ ගෑස් නෞකා 3ක් මෙරටට පැමිණි නමුත් එයින් එක් නෞකාවකට ගෑස් මෙරටට ගොඩබෑමට අවසර නොදුන් බවයි. ගෑස් කාන්දුවීමකදී මහජනතාවට පහසුවෙන් හඳුනාගත හැකි ගන්ධයක් එහි අඩංගු විය යුතු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවත් ගෑස් සංයුතිය අනුව බියුටේන් 70% ක් හා ප්‍රොපේන් 30% අනුපාතිකය වශයෙන් මේ වන විට නිර්දේශ කර ඇති බවත් අදාළ සංයුතිය ගෑස් සිලින්ඩරයේ මුද්‍රණය කර තිබිය යුතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇති ගෑස් අනතුරු සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිරීක්ෂණය කර ඇති බව එහි සභාපති තෙෂාර ජයසිංහ පවසයි. ඔහු පවසන්නේ එක් මරණයක් සිදු වූ ස්ථානයේ සිදුවීමෙන් පසුව වීඩියෝ පටයක් තමන් සතු බවත් එහි ළිප සිලින්ඩරයට සම්බන්ද කර ඇත්තේ වැසිකිළියේ භාවිතයට ගන්නා ‘බිඩේ ෂවර්‘ බටයකින් බවයි. එය පුපුරා මාරාන්තික අනතුරක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. පාරිභෝගිකයන් වෙනුවෙන් එක් අයකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් තමන් සතුව තිබෙන බවත් එය ගෑස් සිලින්ඩරයේ අනතුරක් නිසා සිදුවුවහොත් අනිවාර්යෙන්ම වලංගු වන බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේම ලිට්රෝ ගෑස් සිලින්ඩර භාවිතයට කිසිදු බියක් ඇති කර නොගත යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ලෝකයේ දියුණු රටවල පවා ගෑස් අනතුරු සිදුවන බව පෙන්වා දුන් ජයසිංහ මහතා අනතුරු අවම කරගෙන කටයුතු කිරීමට සමාගම අදහස්කරන බව පෙන්වා දුන්නේය.
ඉදිරි උත්සව සමයේ කිසිදු අඩුවකින් තොරව ප්‍රතීතන මණ්ඩලය අනුමත කරන ලද ගෑස් වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර ගැස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ද ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේය.
ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය සිළුමිණ පැවසුවේ මේ වන විටත් ලාෆ් ගෑස් නිකුත් කිරීම සිදු කරන බවයි. සමාගමට තිබූ ප්‍රධාන ප්‍රශ්නය භාණ්ඩ ආනයනික සෙසු සමාගම්ටද තිබූ පොදු ප්‍රශ්නය වන ඩොලර් හිඟකම බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මේ වන තුරත් ගෑස් අර්බුදය නිම වී නැත. ජයන්ත සිල්වා අමාත්‍යාංශ ලේකම්වරයාත් ගෑස් සමාගම් සභාපතිවරුන් ගෑස් හිඟය මඟ හැරීමට කඩිනමින් කටයුතු කරන බව පැවසුවද මේ වන විට ආදාහනාගාර පවා වසා දැමීමට සිදුව තිබේ.
ඒ අතර මතුගම ආදාහනාගාරය පසුගිය අඟහරුවාදා වසා දමන්නට සිදු විය. එමෙන්ම බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ මේ වන විට බේකරි නිෂ්පාදන ආයතන 3500ක් වසා දමා ඇති බවයි. එම නිසා 35000කට අධික පිරිසකට ජීවන ගැටලු මතුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති. ගෑස් සිලින්ඩරය අත්‍යවශ්‍ය එමෙන්ම අන්තරාදායක මට්ටමට අද වන විට පත්ව ඇත. අපට අවශ්‍ය වන්නේ අන්තරාදායකත්වය ඉවත් කර අතවශ්‍ය භාණ්ඩයක් ලෙස එය වෙළෙඳ පොළේ සුලභ වීම පමණි. මෙරට දෛනික ගෘහස්ථ ගෑස් සිලින්ඩර අවශ්‍යතාව 60000ත් 70000ත් අතර වන නමුත් මේ වන විට එම සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට අධික තත්ත්වයට පත්ව ඇත්තේ ගෑස් නොලැබීම නිසා අධික ඉල්ලුමක් ඇති බැවිනි.
ඒ අතර විශේෂයෙන්ම පැවසිය යුත්තේ ලිට්රෝ සමාගම ගෑස් සංයුතිය වෙනස් කළද එය මේ අනතුරවලට හේතුව බව නොපිළිගැනීමයි. ගෑස් සංයුතිය වෙනස් කිරීම නිසා උපාංගවලට හානි සිදුවීම වූ බව කමිටු වාර්තාව පෙන්වයි. එසේ නම් අපරාධ නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. මේ වන විට ජීවිත 7ක් අහිමිව ඇත. ‘එහෙත් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව යැයි අපට අසන්නට තිබේ‘