
නිර්මාණශිලී කලාකරුවා සමස්ත සමාජයෙන් ඉහළට ඉපිලී සිටි. බොහෝ විට නිර්මාණ ශිල්පීන් තම හැඟුම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ තම නිර්මාණ තුළින් ය. එහෙත් රසිකයා එය හඳුනාගනු ලබන්නේ කලාතුරකිනි. නිර්මාණකරුවන් විසින් කරනු ලබන නිර්මාණයක් තුළ සඟවන හැඟුම් හා සිතිවිලි විචාරකයන් විසින් විවිධ අයුරින් අර්ථ නිරූපණය කරනු ලබයි. එලෙස විවිධ අයුරින් අර්ථ ගැන්විය හැකි සිතුවමක් මේ දෙසැම්බරයේ ජාතික කලා භවනේදි හමු විය. ඒ කලා භවනේ සිතුවම් සංරක්ෂණය කරද්දීය.
ඒ සොඳුරු කාන්තා රුව සැඟව තිබුණේ අමරණීය මිනිසෙක් තුළය. ඒ අමරණිය මිනිසා කිසිවකු නොව ආනන්ද සමරකෝන් වියතාය. ඒ සිතුවම් දෙකම ඇඳ තිබුණේ එකම පුද්ගලයෙකි. ඔහු ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පී චිත්‍ර ගුරු මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන්ය.
සැඟව තිබු සිතුවම ආරක්ෂා වී තිබුණේ ආනන්ද සමරකෝන්ගේ තිරස් අතට අඳින ලද සිතුවමක් ඇතුළත ය. චිත්‍ර ශිල්පීන් විසින් තම සිතුවම් රාමු කරද්දී තවත් කැන්වස් රෙද්දක් පිටු පසින් ඇතිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් ඉතා රමණීය ලෙස ඇඳි, අනගි වර්ණ සංයෝජනයෙන් හා ත්‍රිමාණ ලක්ෂණයන්ගෙන් යුතු මේ මුදලිඳු අමරසේකරයන්ගේ ප්‍රතිභාව ප්‍රකට කරවන මේ සිතුවම කුමන හේතුවක් මුල්කොට ගෙන මෙසේ සඟවා තැබුවේද යන්න විමසිය යුතුවේ.
බොහෝ විට කලා කරුවන් තමහැඟුම් සඟවයි. එය සනාතන දහමකි. මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන් ඇය සැඟවූයේ ඇයි. ඒ ප්‍රේමය නිසා ද? නැතිනම් අන් යමක් වෙුනවෙන්ද? විචාරකයන්ට කීමට බෙහෝ දේ ඇතිවාට සැක නැත.
“ඒ සිතුවම සංරක්ෂණය අවශ්‍ය නැහැ. එයට රාමුවක් සවි කිරීම පමණයි අවශ්‍යය. එය ඉදිරියේදී ප්‍රදර්ශනයට තැබිය හැකි අනර්ඝ තත්ත්තවයේ සිතුවමක්“කලාභවනේ අභිරක්ෂක හිරන්ති මධුෂානි ප්‍රනාන්දු පැවැසීය.
ජාතික කලා භවනේ හි ඇති සිතුවම් සංරක්ෂණය අරඹා දැන් මසක් පමණ ගතවී ඇත. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනයටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෙන් සංරක්ෂණ කටයුතු සිදු කෙරේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ චිත්‍ර සංරක්ෂණ අංශයේ පළපුරුදු සංරක්ෂකයන් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ බිතුසිතුවම් සංරක්ෂණය වෙනුවෙනි. ජාතික කලා භවනේ හි ඇති කැන්වසයේ ඇඳි සිතුවම් සංරක්ෂණය සඳහා අමෙරිකාවේ ඩෙල්වෙයා (delwara) විශ්වවිද්‍යාලයේ චිත්‍ර ශිල්පිනියක් වන ජෙනිෆර් මයර්ස්ගේ උපදේශකත්වය ලබා ගෙන ඇත. ඇය වෘත්තීය චිත්‍ර සංරක්ෂණ ශිල්පිනියකි. එමෙන්ම ප්‍රවීණ තෙල් සායම් චිත්‍ර ශිල්පිනියකි. ඈ යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩයස් වගආරච්චි ඇතුළු චිත්‍ර සංරක්ෂණ අංශයේ ශිල්පින් හා කලා භවනේ අභිරක්ෂක හිරන්ති මධුෂානි ප්‍රනාන්දු යන ශිල්පීන් කැන්වස් චිත්‍ර සංරක්ෂණය සඳහා පුහුණුව ලබා ඇත.
“ජෙනිෆර් මයර්ස් මේ සංරක්ෂණය හා සම්බන්ධ වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් විරසිංහ හා තාක්ෂණ උපදේශක ඩි.බී. නන්දදේව යන අයගේ මැදිහත්වීමෙන්ය.
‘ඇය දක්ෂ සංරක්ෂිකාවක්. ජෙනිෆර් මයර්ස් ඇය පසුගිය දෙසැම්බර් නව වැනිදා මෙහි පැමිණියා. අපි කලා භවන හා සිතුවම් සංරක්ෂණය කිරීමේන් පසු එළැඹෙන පෙබරවාරි මාසයේ නැවත කලාකරුවන් වෙනුවෙන් කලා භවන විවෘත කරනවා.“ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තරණි අනොජා ගමගේ පැවැසුවාය.
‘මේ සංරක්ෂණ කාර්යයේ දි කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත කරන්නේ නැහැ. එක් එක් සිතුවමට සංරක්ෂණ ක්‍රමවේදයන් සකස් කළා. වර්ණ ඉවත් වු කැන් යළි ප්‍රතිනිර්මාණය වෙනවා. මීට පෙරත් කලා භවනේ සිතුවම් සංරක්ෂණය කළා. එත් මෙවර එය ඉතාමත් විධිමත් ක්‍රමවේදයකට සිදුවෙනවා. මේ සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේඛම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඉතා කැපැවීමේ කටයුතු කරනවා‘
සංරක්ෂණ කාර්යයයේ වගකීමට උරදි සිටින සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තරණි අනොජා ගමගේ සිළුමිණ සමඟ පැවැසුවාය.
මෙසේ සංරක්ෂණ කාර්යයේ නියැළෙද්දි දක්ෂ පළපුරුදු වෘත්තීය සංරක්ෂකයෙක් වන චිත්‍ර ශිල්පී ජෙනිෆර් මයර්ස් ඇය චිත්‍ර කලා ගුරු මුදලිඳු ඒ.සී. ජේ. එස්. අමරසේකර විසින් 1964 දී අඳින ලද ආනන්ද සමරකෝන් ගේ සිතුවමක දූවිලි රැඳි ආකාරය විමර්ශනය කරමින් සැඟව තිබු සිතුවම සොයා ගත්තාය. එම කාන්තා සිතුවම ඇඳ ඇත්තේ 1928 වසරේ දීය. සාරියකින් සැරුසී සිටින ඇය දමිළ කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත. ඒ සොඳුරු ලිය ප්‍රවිණ චිත්‍ර කලා ශිල්පී චිත්‍ර ගුරු මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන් ඇසුරු කළ විදේශීය තානාපතීන් අතුළු පිරිසේ සිටි ප්‍රභූ කාන්තාවක් විය හැකිය. එත් ඒ සොඳුරු ලිය සැඟවූයේ ඇයි?
ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පී චිත්‍ර ගුරු මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන් ශ්‍රි ලංකාවේ ශ්‍රාස්ථාලීය යථාර්ථවාදී සිතුවම් කලාවේ පුරෝගාමි ශිල්පියෙකි. ඔහු ආරම්භයේ කාටුන් ශිල්පියෙකි. බ්‍රිතාන්‍ය පාලකයන් අතින් ස්ථාපිත වු ලංකා කලා සංමයේ කටයුතු කළ ශිල්පින්ගෙන් ඔහු ශ්‍රාස්ත්‍රාලීය චිත්‍ර කලාව ප්‍රගුණ කළේය. ජීව රූප , තාත්වික රූප, භුමිරූප, සිතුවම් කිරීමට ඔහු දස්කම් පැවේය. ඔහු දිය සායම් හා තෙල් සායම් මාධ්‍ය දෙකම භාවාත කළ ශිල්පියෙකි. ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පී චිත්‍ර ගුරු මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන් ගේ සිතුවම්හි විශේෂ ලක්ෂණය වන්නේ ත්‍රිමාණ ලක්ෂණ සහිත විශිෂ්ට වර්ණ භාවිතය හා අඳුර ආලෝකය කෙරෙහි දැක්වූ අවධානයයි. ඔහු විසින් නිර්මිත “යකැදුරාගේ දියණිය “ නම් විශිෂ්ට නිර්මාණය කලා භවනේ සැමදා ප්‍රදර්ශිත රමණීය නිර්මාණයකි. එවැනිම රමණීය සිතුවමක් මේ සඟවා තැබුවේ ඇයි? ආනන්ද සමරකෝන්ගේ සිතුවම තුළ සඟවා තැබූ මේ රසවන්තිය සැබැවින්ම සැඟව සිටියේ ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පී චිත්‍ර ගුරු මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන්ය හදවතේ ද නැත්නම්...
මේ සිතුවම වසර සියයකට ආසන්න කාලයකට පසු රසික සමූහයා දකිවි යැයි මුදලිඳු ඒ.සි. ජේ. එස්. අමරසේකරයන් සිතන්නට නැත. එහෙත් එය අප දුටුවෙමු. එළැඹෙන පෙබරවාරියේ සිට සමස්ත රසික ප්‍රජාවට එය කොළඹ ජාතික කලා භවනේදී දැක ගත හැකි වනු ඇත.