
1. ඉන්ධන මිල පසුගිය කාලයේදී ශීඝ්‍රයෙන් ඉහළ යෑමක් මිස අඩුවීමක් සිදු නොවිණි. එයට හේතුව කුමක්ද?
2. ලෝක ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රට භාණ්ඩ හිඟයකින් තොරව පවත්වා ගැනීමට රජය උත්සාහ කළත් ඇතැම් භාණ්ඩවල හිඟයක් තිබෙනවා. මෙයට හේතුව කුමක්ද?
3. ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ රැසක් කරමින් භාණ්ඩවල බදු මුළුමනින්ම අහෝසි කිරීම්, බදු පරාසයේ පුළුල් කිරීම වැනි පියවර ගෙන ඇතත් ජනතාවට එහි සහන ලැබී නැහැ නේද?
4. වෙළෙඳපොළ මිල මට්ටම උච්ඡාවචනය වීම වෙනුවට පසුගිය කාලයේ භාණ්ඩ මිල ඉහළ යාම පමණක් සිදු වුණා. වෙළෙඳපොළ මිල දර්ශකයේ ස්ථායිතාව පවත්වා ගන්නේ කෙසේද?
5. පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ යන මෙවැනි අවස්ථාවක පාරිභෝගික අධිකාරියේ අධික්ෂණය ප්‍රමාණවත් කියා ඔබ සිතනවාද?
මේ ආණ්ඩුවත් හරියට බ්‍රේක් නැති වාහනයක් වගේ
- සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල
1යහපාලන ආණ්ඩු කාලයේ අපි තෙල් මිල සඳහා මිල සූත්‍රයක් ගෙනාවා. ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඉහළ යද්දි මිල ඉහළ යන්නයි; මිල පහළ යද්දි පහළ යන්නයි අපි මිල සූත්‍රයක් හැදුවා. එම සූත්‍රය අනුව අපි ක්‍රියා කළා. අනෙක් රටවල සතිපතා දිනපතා ඉහළ පහළ යනවා . දැන් ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වුණත් මේ රටේ තෙල් වැඩි වෙනවා. තෙල්මිල අඩු වුණත් මේ අය වැඩි කරනවා. ආණ්ඩුවට ඩොලරුත් නැහැ; රුපියලුත් නැහැ.
2 අපේ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට රට බාර දෙද්දි විදෙස් විනිමය සංචිත ඩොලර් බිලයන 8000ක් තිබුණා. අද එය ඩොලර් බිලියන 1.2ට බැහැලා. ආණ්ඩුවේ කළමනාකාරිත්වයේ ගැටලුව ඉතා පැහැදිලිව පේනවා. අපේ අවට රටවල්වල එනම් ඉන්දියාව පකිස්ථානයේ විදෙස් සංචිත මේ වෙද්දී වැඩි වෙලා. මේ ඔක්කෝම අර්බුද ලංකාවට විතරයි. කොවිඩ්වලින් පස්සේ අනෙක් හැමරටම නැගිට්ටා. අපේ රට විතරයි එකම රට විදෙස් සංචිත අඩු වුණ. වැරදි ආර්ථික කළමනාකාරිත්වය නිසා එය සිදු වුණේ. යහපාලන ආණ්ඩුව බලයට එනවිට අපේ ආදායම බිලියන දාහයි. අපි මේ රට මේ ආණ්ඩුවට බාර දෙන විට බිලියන 2000 ආසන්න වැඩි කරලා තිබුණා. අපි බදු අය කළේ සල්ලි තියන අයගෙන් අරගෙන දුප්පත් මිනිසුන්ට සහන දෙන්න. හැම වෘත්තීය සමිති ඉල්ලීමක්ම අපි ඉටු කළා.
3 අද රටේ ආණ්ඩුවක් නැහැ. මේ ආණ්ඩුවත් පල්ලමේ බ්‍රේක් නැතිව යන වාහනයක් වගේ. අද ඩොලර් අර්බුදය, ගෑස් අර්බුදය, පොහොර අර්බුදය උත්සන්න වෙලා. අද ආණ්ඩුවක් තියනවාද කියලා කියන්න බැහැ. මිල පාලනය ආණ්ඩුවක සාර්ථකත්වය මනින සාධකයක්. ආණ්ඩුව මේ තරම් මිල ඉහළ යද්දිත් මිල පාලනය කළේ නැහැ. පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ යනවා. ආණ්ඩුව කිසිදු මිල පාලනයක් කරන්නේ නැහැ. ආණ්ඩුවට මිල පාලනයක් ඇති කරන්න පුළුවන් ක්‍රමවේදයක් සහ එය කරන්න පුළුවන් ඇමැතිවරුන් සහ නිලධාරින් නැහැ. 1970 ගණන්වල භාණ්ඩයක මිල සතයක් වැඩි කරන්න කැබිනට් එකේ පැය ගණන් සාකච්ඡා කරනවා. ආණ්ඩුවට යම් කිසි විනයක් පාලනයක් ඒ කාලයේ තිබුණා. අද වෙද්දි ඒ කිසිඳු පාලනයක් සැලසුමක් නැහැ. ගැසට් ගහනවා ආපස්සට හරවනවා. හැම තීන්දුවක් ම ආපස්සට හරවනවා. මේ ආණ්ඩුවට සහයෝගයෙන් වැඩ කිරීමක් නැහැ. වෘත්තිය දැනුම තියන අය නොවෙයි; අදාළ ආයතනයන්ට පත් කරලා තියෙන්නේ. ඇතැම් ක්ෂේත්‍රවලට ඉතාමත් අඩු අධ්‍යාපනයක් තියෙන අය පත් කරලා තියන්නේ. නිලධාරීන් නොවෙයි ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුව. සෞභාග්‍ය යේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණා කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර භාවිත කිරීම වසර දහයක කාලයකින් කරනවා කියලා; එය අවුරුද්දෙන් කළා. මොකද අද වුණේ. ආණ්ඩුව මේ වගේ තීරණ ගත්තාම නිලධාරීන්ට තියෙන්නේ ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා ඒ අයට බැණලා වැඩක් නැහැ. ඒ නිසා පර්යේෂණ කරලා කරන්න අවශ්‍ය දේවල් දවසින් දෙකින් කරන්න බැහැනේ. මේ වකුගඩු සම්බන්ධයෙන් තවම හරි හේතුවක් හොයාගෙන නැහැ. 50% ට 50% කාබනික සහ රසායනික ලෙස මිශ්‍ර කරලා පාවිචිචි කරන්න කියලා කෘෂි විද්‍යාඥයන් කියන්නේ අද ජනතාවට කන්න එළවළුත් නැහැ මිලත් අධිකයි.
4 ආණ්ඩුව මිල පාලනය කරන්න මැදිහත් වෙන්න ඕන. අපේ කාලයේ මිල පාලනය කඩ කරලා පැමිණිලි විශාල සංඛ්‍යාවක් උසාවිවලට ආවා. දැන් අධිකාරිය ගැන විශ්්වාසයක් නැහැ මිනිසුන්ට. මේ රට ඇත්ත වශයෙන්ම පාලනයකින් තොර වෙලා කියන්නේ ඒ නිසයි. අද එහෙම පාලනයක් නැහැ. අපිට හරිම කනගාටුයි. මේ රටට වෙලා තියන දේගැන. අපේ දරුවන්ට රටක් නැතිවෙලා යනවා.
5 මේ ආණ්ඩුව විසින් පාරිභෝගික අධිකාරිය කකුල් කඩලා තියෙන්නේ. දේශපාලන තීන්දුනේ දැන් පාරිභෝගික අධිකාරිය ගන්නෙත්. ඒ හැර ජනතාවට සුබදායි දේවල් නොවෙයි වෙන්නේ. මේ ගෑස්වල ප්‍රශ්නය සම්බන්ධයෙන් අප්‍රියෙල් මාසයේ පාරිභෝගික අධිකාරිය දැනුම් දීලා තිබුණත් ගෑස් පාරිභෝජනයනට ජනතාවට ඉඩ දුන්නා. එසේ නම් මේ දේවල්වලට වග කියන්න ඕන ආණ්ඩුවයි. කමිටු වාර්තාවට කලින් පාරිභෝගික අධිකාරිය කිව්වේ ගිය අප්‍රේල්වල මේ ගැටලුව ගැන ආණ්ඩුව එයට නිසි පිළියම් ගත්තේ නැහැ. මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය සොයාගත්තා; නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න දේශපාලන අධිකාරියට ඉඩ දෙන්නේ නැහැ.
රජය අඩු ආදායම්ලාභීන්ට කූපන් ක්‍රමයක් මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදිය යුතුයි
- ජල සම්පාදන අැමති නීතිඥ වාසුදේව නානායක්කාර
1 ඉන්ධන මිල ඉහළ දමනවා වෙනුවට කරන්න තිබුණේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ අඩු ආදායම්ලාභි ජන කොටස් වලට ලබා දෙමින්; ඉහළ ආදායම් ඇති ජන කොටස්වල ඉන්ධන පාවිච්චියට යම් සීමාවක් ලබාදීමයි. මේ ආකාර දෙක ක්‍රියාත්මක කළ විට ලංකාවේ ඉන්ධන භාවිතය අඩු වෙනවා. මේ වෙලාවේ ඉන්ධන ආනයනයට ඇති අවහිරයට පිළිතුර එයයි. තෙල්මිල වැඩි කිරීමෙන් වෙන්නේ සල්ලි තියන මිනිසුන් ඕන තරම් තෙල් පරිභෝජනය කරනවා. සල්ලි නැති මිනිසුන්ට අවශ්‍ය ගමනත් යන්න බැරි වෙනවා.
2. භාණ්ඩ හිඟයක් ඇති වෙන්නේ භාණ්ඩ දුර්ලභ වන විටයි. භාණ්ඩ දුර්ලභ වනවිට භාණ්ඩවල මිල ඉහළ යාම සහ හිඟය ඇති වෙනවා. ඒවගේම මිල වැඩි වෙනවා. මේ දේවල් විය හැකි සාමාන්‍ය සිද්ධාන්ත. මේ කාලයත් සාමාන්‍යයෙන් පවතින තත්ත්වය නිසා යුද්ධ කාලයක් වගේ. ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. මේ මිල වැඩිවීම සහ භාණ්ඩ හිඟය බලපාන්නේ බොහෝ වේලාවට අඩු ආදායම් ලාභින්ට. ඒ අඩු ආදායම්ලාභින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අවම ප්‍රමාණය සාධාරණ මිලකට ලබාදීමට ආණ්ඩුව කැපවෙන්න ඕන.
3 භාණ්ඩ හිඟයක් තියන විට කොහොමද මිල පාලනය කරන්නේ. මිල පාලන අංශයට පන්දහසක් සේවකයන්ගේ අඩුවකුත් තියෙනවා. ඒ සඳහා සේවකයන් අවශ්‍යයි. මිල පාලනය කළා කියලා බඩු වෙළෙඳ පොළට එන්නේ නැහැ. එවැනි විටදී බඩු සැඟවීමක් වීම සාමාන්‍ය දෙයක්. ඒ නිසා මිල පාලනය කරලා වැඩක් නැහැ. රජය විසින් අවශ්‍ය භාණ්ඩ තොග තමන් සන්ථකයේ තබා ගනිමින් මිල පාලනය කරන්න ඕන. එවිට රජය හරහා රජයේ බෙදා හැරීමේ මධ්‍යස්ථාන හරහා අදාළ හිඟ භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම කළ යුතුයි. ඒ අනුව භාණ්ඩ අදාළ සාධාරණ මිලට නිකුත් කරනවා. ඒ සාධාරණ මිල හරහා වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ අනුවයි මිල පාලනය කළ හැකිවන්නේ. මේ වනවිට රජය සන්ථකයේ කිසිඳු තොගයක් නැහැ. ජනතාවට සහනයක් ලැබෙන්න නම් රජය සහල් කිරිපිටි පරිප්පු සීනි හෝ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රජය අතට ගන්න අවශ්‍යයි. රජය විසින් 50%වත් එසේ පාලන මිලකින් වෙළෙඳ පොළට නිකුත් කළ යුතුයි. රජයේ තොග පවත්වා ගැනීම සේම සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා කූපන් මඟින් අඩු ආදායම්ලාභින්ට සාධාරණ මිලකට ඔරොත්තු දෙන අවම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ලබාදිය යුතුයි. කූපනය ක්‍රියාත්මක කිරීම ආහාර පාලන දෙපාර්තමේන්තුව හරහා කළ හැකියි. එයයි අද දවසේ කළ හැකි හොඳම විසඳුම.
4 භාණ්ඩ වැඩිවෙනවා විතරයි. ඒ කියන්නේ මේවනවිට භාණ්ඩ මිල උච්ඡ වීම පමණයි වෙන්නේ. අඩුවීමක් වෙන්නේ නැහැ . ලෝකයේ දැනට පවතින අර්බුදය මේ තත්ත්වයට සම්බන්ධයි. ඩොලර් හිඟය ඒ වගේම රුපියලේ අගය පහත වැටීම මෙයට බලපානවා. රටේ පවතින තත්ත්වය නිසා මේ දේවල් වෙන්නේ. රුපියලේ වටිනාකම අවම වීමත් මෙසේ වීමට හේතු වෙනවා. මේ වෙළෙඳ පොළ ස්ථායිතාව පවත්වා ගන්න නම් අපේ රජය තොග මිලදී ගැනීම භාණ්ඩ ආනයනය කරන්න සහ තොග පවත්වා ගෙන යන්න ලොකු ව්‍යායාමයක් කරන්න ඕන. එසේ පවත්වා ගෙන යාමේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අඩු ආදායමක් ලබන පවුලකටම අවශ්‍ය ප්‍රමාණය සාධාරණ මිල ක්‍රමයකට දීමට ක්‍රමවේදයක් හදන්න ඕන. මෙය ප්‍රමුඛ කාරණාවක් විය යුතුයි. මේ රටේ මේවනවිට ආදේශන නිෂ්පාදන රැසක් හා දේශියව කරන නිෂ්පාදනයන් රැසක් තියෙනවා. රටට ප්‍රමාණවත් ලෙස වගා කිරීමේ වැඩ පිළිවෙළක් රජය සකස් කර තියනවා. එවැනි විශාල පියවරයන් රජය ගෙන තිබෙනවා. ඒ අනුව මුංඇට සහ කහ වැනි නිෂ්පාදනයන් රටට අවශ්‍ය ආකාරයට ප්‍රමාණවත් ලෙස වගා කරමින් සිටිනවා. අපේ රටේ පරිප්පු වැවෙන්නේ නැහැ . පරිප්පු වෙනුවට ආදේශකයන් ලෙස මුංඇට පියලි කරලා විකුණන්න පුළුවන්. අපේ රටේ ඩොලර් හිඟයකුත් පවතිනවා. සංචාරක කර්මාන්තය ඇණ හිටීම ඩොලර් හිඟයට විශාල ලෙස බලපාලා තියනවා. අනෙක් අපනයන භාණ්ඩ අපනයනයත් මේ වන විට වැඩිවෙමින් පවතිනවා.
5 පාරිභෝගික අධිකාරිය ප්‍රාණයක් නැති පඹයෙක් වගේ. පාරිභෝගික අධිකාරියට මේ දේවල්වලට කරන්න දෙයක් නැහැ. රජයට බැරි නම් අත්‍යවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න; පාරිභෝගික අධිකාරිය මොනවද කරන්නේ. පාරිභෝගික අධිකාරියට පාරිභෝගික අයිතිය පිළිබඳව යම් දායකත්වයක් දීමක් පමණයි කරන්න පුළුවන්. ඒවගේම මිල ස්ථායිව තබාගන්න දායකත්වයක් දක්වන්න පුළුවන්. මේ ආයතනයන්ට එවැනි දායකත්වයක් ලබාදීමට ඍජුවම හැකිවෙන්නේ ඒ සඳහා රජය මැදිහත් වන ප්‍රමාණයන් අනුවයි.
මේ ඉල්ලුමට අනුව සැපයුම න්‍යාය ක්‍රියාත්මක වෙන කාලයක් නොවෙයි
- ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
1 මේ වන විට තෙල් මිල පමණක් නොවෙයි සියලුම භාණ්ඩ හා සේවාවල මිල දිගින් දිගටම ඉහළ යනවා. විශේෂයෙන් ඉන්ධන මිල මේ ආකාරයට ඉහළ යන විට සියලුම භාණ්ඩ මිල ඉහළ යාම සිදු වෙනවා. ආණ්ඩුවට ඉන්ධන ආනයනය කරන්න බැරි ඩොලර් ප්‍රශ්නය නිසයි. ඉන්ධන මිල වැඩි කළා කියලා ඩොලර් හම්බවෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ අනිවාර්ය බලාපොරොත්තු ඉන්ධන පාරිභෝජනය අඩු කිරීමයි. මේ ආණ්ඩුව උත්සහ කරන්නේ ඉන්ධන පාරිභෝජනය අඩු කරලා ඩොලර් ඉතිරි කර ගන්න. ඉන්ධන පාවිච්චි කිරීම අඩු වුණාම රටේ ආර්ථිකය නතර වෙනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඉන්ධන මිල වැඩිවීමෙන් බඩුමිල තවත් ඉහළ යාමයි. ප්‍රවාහන වියදම් වැඩි වුණාම එය සියලු ක්ෂේත්‍රයන්ට බලපානවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අනිවාර්යෙන් ඉහළ යනවා. ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නැතිනම් තෙල් අපනයනය ගෑස් අපනයනය නතර කරන්න සිද්ධ වෙනවා. ඉන්පසුව රෝහල්වල වැඩ අඩාළ වෙනවා. පොලිසිවල වැඩවලට බාධා වෙනවා. මේ ප්‍රශ්නවලට උත්තරය හොයන්න ඕන මේ වගේ සීමා කිරීම කරලා නොවෙයි. ප්‍රශ්නය එක් පැත්තක උත්තරය තියෙන්නේ වෙනත් පැත්තක. මුලින් ප්‍රශ්නය හඳුනා ගන්න ඕන. තෙල් මිල පාලනයට මිනිසුන්ගේ තෙල් පරිභෝජනය සීමා කරලා ජනතාවගේ වියදම් සීමා කරන්න මේ ආණ්ඩුව උත්සහා කරනවා. ඊට පෙර කරන්න ඕන ඇමැතිවරුන්ගේ මිල සීමා කිරීමයි. මේ ආණ්ඩුවේ ඉන්න කොයි ඇමැතිගේද වියදම් නතර කරලා හෝ අඩු කිරීමක් කරලා තියෙන්නේ. හමුදා මූලස්ථාන හදන්න වෙනත් දේවල්වලට අනවශ්‍ය ලෙස යන වියදම් අඩුවෙලා තියනවාද කියලා අපි ආණ්ඩුවෙන් අහන්නේ.
2 කොහෙද එහෙම උත්සහ කරලා තියෙන්නේ. එහෙම පවත්වා ගෙන යන එකක් අපිට පේන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ කොහෙද හිඟයකින් තොරව පවත්වා ගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ. කිසිම දෙයක් අඩුකරලා නැහැ. මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ වියදම් ඇමැතිවරුන්ගේ වියදම්, හොරකම, කොමිස් ගැසීම් අත්‍යවශ්‍ය වියදම් ද ඒවා නතර කරලා නැහැනේ. ඒවා මේ ආණ්ඩුව පවත්වාගෙන යනවානේ. මිනිසුන්ගේ මොනවද අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකවත් මිල අඩු කරලා තියනවාද? අඩු තරමින් මිනිසුන්ට හිඟයකින් තොරව කිසිම දෙයක් තියනවාද? ගෑස් සිමෙන්ති බෙහෙත් කන බොන ටිකවත් මිනිසුන්ට නැහැ. දරුවෝ ඊළඟ අවුරුද්දේ ඉදලා පාසල් යනකොට කොහොමද මේ දේවල් කරන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආහාර අත්‍යවශ්‍යයි. ඒ සියලු ක්ෂේත්‍රයන් කඩා වැටිලා. එදිනෙදා කුලී වැඩක් කරන ත්‍රීවිල් එකක් හයර් කරන මිනිසුන්ට අද වෙලා තියනදේ ආණ්ඩුව දන්නවාද? ඒවා ආණ්ඩුවට දැනෙනවාද? හොරකම් කරන්න අවශ්‍ය වියදම් පවත්වා ගෙන යාම නම් කරනවා.
3 බදු අඩු කළා කියලා සීනිවලට හාල්වලට මොකක්ද වෙලා තියෙන්නේ. අද කොහෙද සීනි අඩුවෙලා තියෙන්නේ. සීනි අඩුවෙලත් නැහැ. සීනි, කිරිපිටි වෙළෙඳ පොළේ ඇත්තෙත් නැහැ. බදු සහන ලැබිලා නැතිවෙන්න හේතුව මාෆියාවල් ක්‍රියාත්මක වීමයි. ආණ්ඩුව සහන දෙන්නේ හොරුන්ට ජනතාවට සහන දෙන්නේ නැහැ. ආණ්ඩුව පෙනී සිටින්නේ හොරුවෙනුවෙන්. සිල්ලර කඩේ බඩුමිල අඩුවෙලා නැති බව දැනෙන්නේ ජනතාවටයි. වරායේ හිරවෙලා තියන බඩුවලට ඩොලර් සහන දෙන්න ඕන. අද භාණ්ඩ අපනයන කරන්නන්ට ආදායම ගේන්නවත් සහනයක් දෙන්න බැරි තත්ත්වයක ආණ්ඩුව ඉන්නේ. මේ පවතින අර්බුදයට පිළිතුරක් හොයන්න ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැහැ. ආර්ථික අර්බුදයක් තියනවා කියලා අපි පිළිගන්නවා. අර්බුදය මේ කොරෝනා නිසා සිදු වුණ දෙයක් නොවෙයි. මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. කෙටියෙන්ම අද ආණ්ඩුවක් නැහැ. මේ වෙලාවේ ජනතාවත් සමඟ ඇත්ත කතා කරලා රට පාලනය කරන්න ආණ්ඩුව දැනගන්න ඕන .
4 මේ වෙලාවේ ඉල්ලුම සැපයුම න්‍යාය ක්‍රියාත්මක වෙන වෙලාවක් නොවෙයි. මේ තියෙන්නේ සම්පූර්ණ ජාවාරම් හොරකම් මැරකම් ක්‍රියාත්මක වන වෙලාවක්. වසංගතය අස්සෙත් ගේම් ගහන ක්‍රමවේදයක් අද තියෙන්නේ. පාලනයක් නැහැ කිසිම දේක. භාණ්ඩවල මිල ඉහළ යාම තීරණය වෙන්නේ පුදුම ආකාරයට. මේ රටේ ජනතාව වළකට වැටිලා ඉන්න අතරේ ආණ්ඩුව බොර දියේ මාළු බානවා. මේ ආණ්ඩුව ඉන්නේ ජනතාවගේ පැත්තේ නොවෙයි. මේ අර්බුදය ලෝකයේ අනෙක් රටවලත් තියනවා. ලංකාවට තියෙන ප්‍රශ්න වෙන රටවලට නැහැ. කිසිදු රටකට ආර්ථිකයේ මේ තරම් ආනයනය අපනයන අතර මිල පරතරයක් නැහැ. කොවිඩ් ප්‍රශ්නය තිබුණත් හැම රටකම අපනයන ආදායම වැඩි වුණා. ආනයන වියදම් අඩු වුණා. ආර්ථිකය මේ තරම් කඩා වැටුණේ නැහැ. මේ රටේ දැන් ආණ්ඩුවක් නැහැ ඒ නිසා රටේ කිසිදු දේක පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න ජනතාවට පුළුවන්; නායකයෝ පාලකයෝ වෙනස් වෙන්න ඕන. පාලකයෝ ජනතාවට ආදර්ශයක් දෙන්න ඕන. තමන්ට තියන පීඩාව පාලකයන්ටත් තියනවා කියලා රටේ ජනතාවට දැනෙන්න ඕන. ඩොලර් ප්‍රශ්නයක් තියනවා නම් ඒ ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සොයන්න ඕන. ණය දෙන රටවල් සමඟ සාකච්ඡා කරන්න ඕන. ණය ගන්න පුළුවන්. මේ ආණ්ඩුව අවංක වෙන්න ඕන. ජනතාවට වංචා නොකරන ආණ්ඩුවක් වෙන්න ඕන. වංචා නැති ආණ්ඩුවකට මෙවැනි ආර්ථික අර්බුදයක් අවස්ථාවකදී උදව් කරන්න විදෙස් ගත ශ්‍රි ලංකිකයෝ ඉන්නවා. ඩොලර් දෙන්න ඒ අය සූදානම්. අපේ රටේ පාලකයෝ ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරන්න ඕන.
5 අධීක්ෂණය ප්‍රමාණවත් නැත්තේ පාරිභෝගික අධිකාරියේ නොවෙයි. මේ රටේ ඇමැතිවරුන්ගේ අධික්ෂණයයි ප්‍රමාණවත් නැත්තේ. ඇමැතිවරුන් ඉල්ලලා අස්වෙන්න ඕන. මේ ගෑස් සංයුතිය වෙනස් කරලා කාන්දුවීම් වෙලා මිය ගිය තුවාල වුණ අයගේ වගකිම් බාර ගන්න ඕන ආණ්ඩුවයි. මේ ගෑස් කාන්දුවෙන් ජිවිත නැති වෙනවා; දේපොළ හානි වෙනවා. මේ රටේ ආණ්ඩුව මේ දේවල් වල වගකීම ගන්න ඕන. ගෑස් සිලින්ඩරය ගෙයි තියාගෙන බයේ ඉන්නවා ජනතාව. ඇමැතිවරු කයිවාරු ගහලා වැඩක් නැහැ. ගෑස් මිල පාලනය කරන්න බැරි නිසා ගෑස්වල සංයුතිය වෙනස් කළා. ආණ්ඩුව මිනිසුන් අමාරුවේ දැම්මා. ආණ්ඩුව දාපු කොමිටියම කියලා තියනවානේ; සංයුතියේ වෙනස්කමක් තියනවා කියලා. ඇමැතිවරුන් වගකීම ගන්න ඕන. ඒ අය ඉල්ලලා අස්වෙන්න ඕන. ආණ්ඩුව සහ වගකිවයුතු පාර්ශ්වයන් හිරිහැරයට පත්වූ මිනිසුන්ට වන්දි ගෙවන්න ඕන.