
දේශපාලනයේ සදාකාලික මිතුරන් සහ සදාකාලික සතුරන් නොමැති බවට පවතින ප්‍රබල කියමන යම් යම් අවස්ථාවලදී ප්‍රායෝගිකව ඔප්පු වෙමින් පවතී. පසුගිය කාලයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට උපදෙස් ලබාදුන් සහ ඔවුන් ළගින් ම ඇසුරු කළ කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණ ගැසීමට උනන්දුවක් දැක්වීම විශේෂත්වයක් විය.
රනිල්ට ලැබුණු පණිවිඩය
නිවාඩුවට කොළඹින් පිටත්වීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂ මහලේකම්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ සඳුදා පෙරවරුවේය. ඉන් කියැවුණේ වෙනස්ම ආකාරයේ පුවතකි. හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙකු හා නීතිඥවරු දෙපළක් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට කැමති බවට වන පණිවුඩය මහලේකම් රංගේ නායකයාට ලබා දුන්නේය.
ඔවුන් නම් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මෙන් ම නීතිඥවරුන් වන ශිරාල් ලක්තිලක හා ගුණරත්න වන්නිනායකය. මේ අය කාලයක් පක්ෂයෙන් හා නායකයාගෙන් දුරස්ව වෙනත් පුද්ගලයෙකු පක්ෂ නායකත්වයට ගෙනඒමට කැපවූ පිරිසකි.
"පවතින දේශපාලන තත්ත්වය ගැන කතා කරන්න ඕනේ කියලා අපිව හම්බ වෙන්න පුළුවන් ද කියලා මේ අය අහනවා." රංගේ නායකයාට දුරකතනයෙන් දැනුම් දුන්නේය.
"කිසි ප්‍රශ්නයක් නෑ. එයාලට සිරිකොතට එන්න කියන්න. අපෙන් රුවන්වයි, වජිරවයි සාකච්ඡාවට එකතු කර ගන්න." නායකයා රංගෙට උපදෙස් දුන්නේය.
ඒ අනුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව ඉකුත් සඳුදා සවස පැවැත්වුණු අතර නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර හා මහලේකම් රංගේ අතර පැවැති මෙම සාකච්ඡාව ඉතා සුහද හා කාලීන සාකච්ඡාවක් වූහ.
මේ මොහොතේ රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයත් ඒ වෙනුවෙන් විපක්ෂයේ කාර්යයභාරය නිසි ලෙස ඉටුවෙනවා ද යන ගැටලුවත් ගැන මෙහිදි දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විපක්ෂය ලෙස පොදුවේ සියලු පක්ෂවලට එකතු විය නොහැකි නම් එකතු විය හැකි ප්‍රශ්නවලදීවත් පොදු වේදිකාවකට පැමිණිම සම්බන්ධයෙන් ද මෛත්‍රී - ශිරාල් ඇතුළු කණ්ඩායම යෝජනා ඉදිරිපත් කළේය.
පොදු වේදිකාව ද පොදු අපේක්ෂකය ද?
"අපි ලැහැස්තියි ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාමුහික විපක්ෂයේ පොදු වේදිකාවකට එන්න. අනෙක් පක්ෂ ඒකට ලැහැස්ති ද බලන්න." රුවන් හා වජිර කීවේ එකම කතාවකි.
"විපක්ෂය අද පාර්ශ්ව හයකට වෙන් වෙලා. එක කඳවුරක සිටි අය තමයි මේ වෙන් වෙලා තියෙන්නේ. ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක පැත්තක තියලා. ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමු." මෛත්‍රී - ශිරාල් ඇතුළු කණ්ඩායම කීවේ එබන්දකි.
ජනාධිපති අපේක්ෂකයන් හත් දෙනෙකුගේ නම් ගැන මෙන් ම බෙදී වෙන්වී ගිය කොටස් එකතු කිරීමේ අපහසුතා ගැන ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඉදිරි වසරේ මුල් මාසයේදී ම එක්සත් ජාතික පක්ෂයේ සිට බෙදී වෙන්වී ගිය කණ්ඩායම්, දෙමළ හා මුස්ලිම් පක්ෂ සමඟ මෙන් ම අනෙකුත් විපක්ෂ කණ්ඩායම් සමඟ ද සාකච්ඡා කොට එහි ප්‍රගතිය දැනුම් දෙන බවට ද මෛත්‍රී - ශිරාල් ඇතුළු කණ්ඩායම එහිදි ප්‍රකාශ කර තිබේ.
මහලේකම් රංගේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු දුරකතනයෙන් නායකයාට දැනුම් දුන්නේය. ඉදිරි කටයුතු සම්බන්ධීකරණය නායකයා විසින් රංගේට පැවරූ අතර නියෝජ්‍ය නායකයා මෙන් ම සභාපතිවරයා ද එකතු කර ගනිමින් කටයුතු ඉදිරියට ගෙන යන ලෙස දැනුම් දුන්නේය. ඊට අමතරව සිවිල් සංවිධාන සමඟ මෙන් ම වෘත්තීය සමිති සමඟ ද සාකච්ඡා කරන ලෙස උපදෙස් දුන් නායකයා මේ හැම පාර්ශ්වයක්ම පොදු වේදිකාවකට කැඳවා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
ජනපති බණ්ඩාරවෙල
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පසුගිය සතිය කිසිදු විවේකයක් නොතිබූ සතියක් විය. අවුරුද්ද අවසානයේ යෙදුණු දින කිහිපය බැවින් කරන්නට වැඩ රාජකාරි බොහොමයක් තිබිණි. රට මුහුණ පා සිටින ඩොලර් අර්බුදය වැනි සුවිශේෂී ප්‍රශ්න රැසක් ද අභියෝග ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ තිබුණු බැවින් ඔහු සෑම දෙයක්ම කළේ ඉතා කල්පනාකාරීව ය.
පසුගිය සති අන්තයේ ජනාධිපතිවරයාට බණ්ඩාරවෙල දියතලාව ප්‍රදේශයේ විශේෂ සංචාරයක නිරත වන්නට අවස්ථාව ලැබිණි. 18 වැනි ඉරිදා දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පැවැති කැඩෙට් නිලධාරීන් පිරිසකගේ විසිරයාමේ පෙළපාළියට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා සහභාගී විය යුතුව තිබිණි. ඊට සහභාගිවීම ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා ඊට පෙරදා උදේ දියතලාව බලා ගමනාරම්භ කළේය. ඒ අතරතුර ඔහුට බණ්ඩාරවෙල නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ සංචාරය කරන්නට ද අවශ්‍ය විය.
"බණ්ඩාරවෙල කියන්නේ මම හරිම ආස නගරයක්. ඕනම කෙනෙක්ගේ හිත නිවන පරිසරයක් තියෙන තැනක් තමයි බණ්ඩාරවෙල. පුදුමාකාර සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක් විදිහට අපි මේක හොඳට දියුණු කරන්න ඕන. බණ්ඩාරවෙල අනිත් නගර වගේ දියුණු කරල හරියන්නේ නෑ. මේ පළාත්වලට ආවේණික ගොඩනැඟිලිවලින්, ගහකොළවලින්, මල් වර්ගවලින් මේ පැත්ත අලංකාර කරන්න ඕන. ඒක කරන්න ඕන මේ ස්වභාවික පරිසරයේ ලක්ෂණ ආරක්ෂා වෙන විදියට. ඒකයි අපි 'සියක් නගර ව්‍යාපෘතිය' යටතේ බණ්ඩාරවෙල වෙනම හඳුනාගෙන සංවර්ධනය කරන්න යෝජනා කළේ."
මෙසේ කියමින් ජනාධිපති ගෝඨාභය හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් සමඟ බණ්ඩාරවෙල නගර මධ්‍යයේ බැස නගරයේ අවට සංවර්ධනය කටයුතු හොඳින් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තේය. එහෙත් ඒ සිදුවී තිබෙන සංවර්ධන කටයුතු ගැන ජනාධිපතිවරයා ගේ සතුටක් නොවීය.
ජනපති දොස් කිව්වේ කාටද?
"කතා කරන්න යූ ඩී එකේ චෙයාමන්ට. ඒත් එක්කම කවුද මෙහෙ ඉන්න නගරාධිපති. එයාටත් එන්න කියන්න."
නගරාධිපති ටික වේලාවකින් එතැනට පැමිණි අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සම්බන්ධ වූයේ දුරකථනයෙනි.
"ඔයගොල්ලා ගැන ලොකු විශ්වාසයක් තියල තමයි සියක් නගර සංවර්ධන වැඩ කටයුත්ත ඇතුළට බණ්ඩාරවෙල ඇතුළු කරලා ඔයාලට ඒ වැඩේ බාර දුන්නේ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ බණ්ඩාරවෙලට. වතුර ගලාගෙන යන්නේ පාරවල් දිගේ. කානු පද්ධතිය හරියට හදලා නෑ. බලන්න මේ වගේ නගරයකට හරියන වීදි ලාම්පු ද දාලා තියෙන්නෙ කියලා. මෙහෙ මේ ලයිට් ටික හදන්න. කානු පද්ධතිය පාරවල් ටික වටරවුම් ටික හරියට හදලා නඩත්තු කරන්න නගර සභාවට භාර දෙන්න. මේ නගරය හරි වටින තැනක්. මීට වඩා ලස්සනට මෙතන තියෙන්න ඕන. කිසි පිළිවෙළක් නෑ."
නාගරික සංවර්ධන අධිකාරියට බොහෝ සේ දොස් පැවරූ ජනාධිපතිවරයා නගරාධිපතිවරයාට ද සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
නගරය පුරාම තැන් කීපයක සංචාරය කළ ජනාධිපතිවරයා ඉන්පසුව විපරම් කළේ ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු ගැනය.
"මම ඒ කාලේ දියතලාවෙ හිටියනේ. ඉතින් අපි මේ හැම තැනම ඇවිදිනවා. බණ්ඩාරවෙල කියන්නේ මල්වලට විතරක් නෙවෙයි. එළවළු පලතුරුවලටත් නම් දරාපු නගරයක්. මෙහෙ මොකක්ද තියෙන්නේ ආණ්ඩුවට අයිති ගොවිපළවල්.
ජනාධිපතිවරයා ඊළඟට ගියේ බිඳුණුවැව කෘෂිපර්යේෂණ ආයතනය නිරීක්ෂණය කිරීමටය. එහි පුහුණු පාසලට අමතරව පටක රෝපණ මධ්‍යස්ථානයක් හා බිම්මල් සඳහා බීජ සැකසුම් මධ්‍යස්ථානයක් ද පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් ද එහි විය. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ඒ සියල්ල නිරීක්ෂණය කිරීමටය. ජනාධිපතිවරයා වඩාත් උනන්දු කාබනික පොහොර නිෂ්පාදනය කරන පර්යේෂණ ආයතනයක් ද එතන තිබිණි.
කෘෂි නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ කිසිවෙක් එතනට ජනාධිපතිවරයා ඒ මොහොතේ පැමිණේ යැයි බලාපොරොත්තු වූයේම නැත. ඒ මොහොතේ ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වූයේ සූම් තාක්ෂණය ඔස්සේ ය. එහි වැඩ කටයුතු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මුණගැසීමට සොයා බැලීය. සෙනසුරාදා දිනයක් බැවින් අධ්‍යක්ෂවරයා සිටියේ නැත. පුහුණු පර්යේෂණ නිලධාරීන් සමඟ කතාබහ කරමින් ජනාධිපතිවරයා පටක රෝපණ මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.
මේක අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක්. ඇයි මේවා මේ විදිහට පාළුවට ගිහින් තියෙන්නේ. මම හිතන්නේ නැහැ මේවයින් අපි උපරිමයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. මීට වඩා මේවා දියුණු කරල ගන්න ඕන." ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ මේවා ගැන මීට වඩා හොයා බලන ලෙසයි. ජනාධිපතිවරයා බිඳුණුවැව කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය ගැන හොඳ අධ්‍යයන හා නිරීක්ෂණ චාරිකාවක් නිමා කළේය.
ජනාධිපතිවරයාගේ පරම පූජනීය භූමිය
ජනාධිපති ගෝඨාභය රටේ ඉතා ගෞරවනීය ලෙස සලකන තැන්වලින් එකක් වූයේ දියතලාව යුද හමුදා පුහුණු පාසලයි. මේජර් ජෙනරාල් විජය විමලරත්න යටතේ ලැබූ පුහුණුව ගැන ඔහු මෙම අවස්ථාවේදී මතක් කළේය. පරම පූජණීය පුණ්‍යභූමියක් ලෙස තමන් අදටත් මෙම භූමිය සලකන බව ජනාධිපතිවරයා කීවේය. නිලධාරීන්ගේ විනය පෞරුෂය හා මානසික ශක්තිය ඉහළ නංවන සුවිශේෂී මධ්‍යස්ථානයක් වන මෙහි පුහුණුව ලැබීමට සිදු වීම මහානුභාව සම්පන්න වාසනාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඔහු සිය කතාව පුරාම කීවේ උසස් හමුදා නිලධාරියෙකු සතුව තිබිය යුතු ගුණාංග ගැනයි. විනය, මානසික ඒකාග්‍රතාවය හා පෞරුෂය ඒ අතර ප්‍රධානත්වයක් ගන්නා ආකාරය ඔහු පැහැදිලි කළේය.
මේ සියල්ල අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද විශේෂ අමුත්තන් හා පුහුණු නිලධාරීන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන්න යන තෑග්ග
20 වන සඳුදා උදේ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ සුවිශේෂී හමුවක් සඳහා සහභාගි වීමටය. මේ හමුව සඳහා පැමිණ සිටියේ ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන කැරන් ඇන්ඩෲස් මහත්මිය ප්‍රමුඛ දූත පිරිසකි.
දෙපාර්ශ්වය අතර සාකච්ඡාව ඉතාමත් සුහද හා ප්‍රතිඵලදායක එකක් විය. දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල ශිෂ්‍යයින්ගෙන් ඕස්ට්‍රේලියාවේ උපාධි සඳහා ලොකු ඉල්ලුමක් ඇති බවත් ඒ සඳහා තම රජය සතු විශේෂ යෝජනාවක් ඇති බවත් ඇමතිවරිය කීවාය. ඇයට අවශ්‍ය වූයේ මෙම කලාපයේ ශිෂ්‍යයන් සඳහා ඕස්ට්‍රේලියානු උපාධි අධ්‍යාපනය ලබාදීමට මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ බිහි කිරීමටය. ඒ සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12 ක් වෙන් කරන්නට රජය සූදානම් බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
දෙරට අතර දේශපාලන අවබෝධය හා සුහදතාව ගැන කතා කරමින් සාකච්ඡාවට අවතීර්ණ වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීන සම්බන්ධතාව ගැනය. ලබන වසර වන විට මෙම සම්බන්ධතාවට වසර 75 ක් පිරෙන බව ජනාධිපතිවරයා මතක් කළේය.
ඇමතිනියගේ යෝජනාව වූයේ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යයන කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහාය. වෘත්තීය අධ්‍යාපනය හා නිපුණතා අධ්‍යාපනය කෙරෙහි මූලික සැලකිල්ල දැක්විය යුතු බව ඇයගේ යෝජනාව විය. මේ රටේ කර්මාන්ත ප්‍රවර්ධනයට ද ඇය සතු යෝජනා කීපයකි.
වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් Scott Morrison මහතා එරට ආරක්ෂක ඇමතිවරයාව සිටි කාලයේ තමන් මේ රටේ ආරක්ෂක ලේකම්වරයාව සිටි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමයේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ එකඟතාවක් ගැන ද අදහස් හුවමාරු විය.
"මුහුදු කොල්ලකරුවන් සාගරයේදී මර්දනය කරන්න අපි ගිවිසුමකට එළඹුණා. එතුමා අද එහේ අගමැතිවරයා වීම ගැන මට සතුටුයි." ජනාධිපතිවරයා කීවේය.
මල්වතු අනුනාහිමියන් විපක්ෂය ගැන කීවේ මොනවාද?
22 වැනි බදාදා උදේ රත්මලාන සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති සුවිශේෂී පිංකමකට සහභාගී වන්නට ජනාධිපතිවරයා රත්මලානට ගියේය.
රත්මලාන බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම බුද්ධසිරි මා හිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති මෙම උත්සවය ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ 75 නමක් වෙනුවෙන් සංවිධානය කළ මහා සංඝගත දක්ෂිණාවකින්ද සමන්විත විය. ජනාධිපතිවරයා මහත් උද්යෝගයෙන් යුතුව ඒ සියල්ලටම සහභාගි වූයේ ය.
මෙම අවස්ථාවේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි මහා නාහිමියන් විසින් කරන ලද අනුශාසනාව ඉතාමත්ම වැදගත් විය.
"මේක ඉතාම දුෂ්කර අවස්ථාවක්. රටත් ජනතාවත් බේරගෙන නඟා සිටුවන්න බොහෝම අසීරු අවස්ථාවක්. ඒත් අපේ ජනාධිපතිතුමා රට ගැන හිතලා බොහෝ තීන්දු තීරණ ගත්තා. හැබැයි මේ රටේ විපක්ෂයට වත් සමහර ජනකොටස්වලටවත් මේක අවබෝධ වුණේ නෑ. ජනාධිපතිතුමාට විරුද්ධව නොයෙකුත් නොයෙක් අවලාද නැඟෙන්න ගත්තා. ඒ වුණාට ජනාධිපතිතුමා ලෝකෙන්ම නමක් දිනාගෙන මේ රටේ ජනතාවට කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාව ලබා දෙන්න මොන වියදමක් හරි කරලා කලට වෙලාවට එන්නත් ටික ලබා දුන්නා. අපි හැමෝම අද එහි ප්‍රතිඵල භුක්ති විදිනවා. සමහර රටවල් දියුණු වුණාට තවමත් මරණ ප්‍රතිශතය ඉහළයි. අපි අද බයක් සැකක් නැතුව අපි වැඩ කරගන්නවා එන්නතේ ආරක්ෂාව ලැබුණ නිසා. මේක අපි හැමෝම තේරුම් ගන්න ඕන. ජනමාධ්‍ය වලටත් මේ ගැන විශේෂ වගකීමක් තියනවා." කියමින් නියංගොඩ හිමියෝ කරන ලද අනුශාසනාව කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි.
සිවිල් ගුවන් සේවයට 77 යි
එදිනම හවස ජනාධිපතිවරයා කටුනායක පැවති උත්සවයකට ද පිටත්ව ගියේය. එය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවන්ට 77 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අප සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වනු ලැබූ උලෙළක් විය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය ඩී.වී. චානක ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයින් කීපදෙනෙක් ද මේ සඳහා සහභාගි වී සිටි අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ද පැමිණ සිටියේය.
මේ අවස්ථාවට සමගාමීව සිවිල් ගුවන් සේවා විෂය සම්බන්ධයෙන් ඉගෙන ගන්නා විශේෂ ඉංජිනේරු පර්යේෂකයින් විසින් නිර්මාණය කරන ලද නිමවුම් ඇතුළත් ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබිණි.
ප්‍රදර්ශන භාණ්ඩ අතර තිබූ එක්තරා ඩ්‍රෝනර් යන්ත්‍රයක් හා කුඩා මෝටර් සයිකල් එන්ජිමක් ආධාරයෙන් සකසා තිබූ ගුවන් යානයක් ජනාධිපතිවරයා ගේ අවධානයට ලක් විය.
මේ තාක්ෂණය වැඩිදියුණු කරානම් අපට පුළුවන් කෘෂිකාර්මික බිම්වලට අවශ්‍ය දියර පොහොර වර්ග හා කාබනික කෘමිනාශක ඉහළින් ගිහින් ඉහින්න. ලෝකයේ දියුණු රටවල්වල මේ තාක්ෂණය මම දැකලා තියෙනවා.
ඒත් එක්කම මේ පුංචි ගුවන් යානය වුණත් දියුණු කරල ගත්තොත් අපිට ඒක සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට යොදා ගන්න පුළුවන් වේවි."
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියා දුන් පාඩම අගමැති සිහිපත් කරයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිස්සුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් ලෝකයට කියා දුන්නා යැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය මුල්කර ගනිමින් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති 2021 රාජ්‍ය නත්තල් උත්සවය සඳහා අරලියගහ මන්දිරයේ සිට සූම් යෙදුම ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා පසුගිය (20) පෙරවරුවේ මේ බව පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ රාජ්‍ය නත්තල් උත්සවයට සමඟාමීව ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රත්නපුර පදවියේ කෑගල්ල දිසාව වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන බහු මාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය හා තිරය සබරගමු පළාත් කනිටු දෙව්සත්හලේ අදියරු, කෑගල්ල දිසා නායක රංජන්මාල් මොරායස් පූජාප්‍රසාදීන් වහන්සේටත්, රත්නපුර පදවියේ සිංහල, දෙමළ පාසල් සඳහා පුස්තකාල පොත් කට්ටල 20 ක් හා දහම් ගුරුවරු සඳහා ධර්මෝපදේශ ග්‍රන්ථ 100 ක් රත්නපුර පදවි ධර්මෝපදේශ අධ්‍යක්ෂ ජූඩ් අමිල පූජාප්‍රසාදීන් වහන්සේටත් රාජ්‍ය නත්තල් උත්සවයේ දී ප්‍රදානය කළාය.
රාජ්‍ය නත්තල් උත්සවය 2021 අමතමින් අග්‍රාමාත්‍යතුමා සූම් ඔස්සේ මෙසේ ද සඳහන් කළේය.
ආදරණීය කිතුනු බැතිමතුනි, ආගම මඟින් අපට යහපත් පුරවැසියන් සමාජයට බිහිකරන මඟ කියාදෙනවා. හැම ආගමක්ම කියාදෙන්නෙ යහපත් ජීවිතයක් ගතකරන්න. එහෙම නැතිව වෛරය,ක්‍රෝධය පතුරවන්න නෙමෙයි.
"නොදැන පව්කරන මේ මිනිසුන්ට සමාව දෙන්න" කියලයි ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අවසාන මොහොතේදීත් පැවසුවේ. කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිසුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් උන්වහන්සේ ලෝකයට කියා දුන්නා.
ඒ නිසා සාමයේ කුමාරයා ලෙස හැඳින්වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරන මෙවර රාජ්‍ය නත්තල් උත්සවය "මනුෂ්‍යත්වයේ ප්‍රේමයේ සලකුණ නත්තලයි" තේමාවෙන් සැමරීම කාලීන වැදගත්කමක් උසුලන බවයි මා විශ්වාස කරන්නෙ.
බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙමින් එය ආරක්ෂා කරනවා වගේම රටේ අනෙකුත් ආගම්වලට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව ලබාදීමට අපේ රජය නිරතුරුව කැපවී සිටිනවා. වචනයට සීමා නොවී අපි ඒ බව ක්‍රියාවෙන් ඔප්පුකර තිබෙනවා." යනුවෙන් ද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
වජිර, සජබ මන්ත්‍රීවරයකුගේ ගෙදර යයි
රත්නපුර පැවති රැස්වීමකින් අනතුරුව ඇහැළියගොඩ තවත් රැස්වීමකට පැමිණෙමින් සිටි ගමනේදී වජිර ඇතුළු පිරිස ගමන් කළේ තම කුලුපග මිත්‍රයෙකු වූ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංගගේ නිවසටය. දිගු වේලාවක් එහි රැඳී සිටි වජිර දේශපාලන ක්ෂේත්‍රය තුළ මතුව තිබෙන වත්මන් තත්ත්වය හා ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විජේතුංග සමඟ සාකච්ඡා කළේය.
අනතුරුව එළඹෙන මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වන ලෙස විජේතුංගට වජිර ආරාධනා කළේ සමගි ජනබලවේගයේ හා ආණ්ඩුවේ බොහෝ දෙනෙක් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය කරමින්ය.
"මම තවමත් හදවතින්ම ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. අදටත් මගේ ගෙදර ප්‍රදර්ශනය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ ඡායාරූපයක්." යැයි විජේතුංග සිය නිවසේ ප්‍රදර්ශනය කර තිබෙන රනිල්ගේ ඡායාරූපය දෙසට අත දිගු කර පෙන්වමින් පැවසීය.
විජේතුංග , එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වය පිළිබඳව තිබෙන බැඳියාව ගැන අවබෝධ කරගත් වජිර ඒ මොහොතේම සිය නායක රනිල්ට දුරකථන ඇමතුමක් ලබාගෙන පැමිණි ගමන ගැන පැහැදිලි කරමින් අනතුරුව විජේතුංගට හා රනිල්ට දුරකථනයෙන් දිගු වේලාවක් කතා බහ කිරීමට අවස්ථාව සලසා දුන්නේය.
දෙවැනි LPL එකත් සාර්ථව පැවැත්වීම ගැන නාමල්ට පැසසුම්
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) දෙවැනි තරගාවලිය පසුගිය 23 වැනිදා රාත්‍රී හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ දෙවැනිවරටත් එම ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට අත්කර දෙමිණි.
පළමු LPL තරගාවලියේ සිට ම විරුද්ධ පක්ෂය කෙතරම් චෝදනා එල්ල කළත් ඒවායින් සැලෙන්ෙන නොමැතිව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ LPL තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව දෙස් විදෙස් ක්‍රීඩකයින්, විචාරකයන් රැසක්ම නාමල් රාජපක්ෂට සුබ පතා තිබුණි.
කොවිඩ් ලෝක වසංගතය හමුවේ වුව ද LPL තරගාවලිය සංවිධානය කිරීම නිසා ඊට සමගාමීව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීම ගැන ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නාමල් රාජපක්ෂට සුබ පතා තිබුණි.
මේ අතර නාමල් රාජපක්ෂ තම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ ක්‍රිකට් වගේම සෑම ක්‍රීඩාවකට ම දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
"නාමල් අමාත්‍යතුමා ක්‍රීඩා අමාත්‍යධුරය භාරගත් අවස්ථාවේ සිට සෑම ක්‍රීඩාවක් කෙරෙහිම අවධානය යොමු කළා. යෞවන ක්‍රීඩා උලෙළෙහි වාර්තා පිට වාර්තා තැබුවේ ඒ නිසයි." යනුවෙන් විශ්‍රාම ගිය මලල ක්‍රීඩකයෙක් නාමල් රාජපක්ෂ ඇමතිතුමාට ප්‍රකාශ කොට තිබුණි.