වෙනස් නොවන ප්‍රතිපත්තිමය තීන්දුවක් කෘෂිකර්මාන්තයට අවශ්‍යයි | සිළුමිණ

වෙනස් නොවන ප්‍රතිපත්තිමය තීන්දුවක් කෘෂිකර්මාන්තයට අවශ්‍යයි

මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක කිහිපයක් වෙයි. ආහාර ඒ අතුරෙන් එකකි. මිනිසාගේ ජිවත් වීමට උපකාරි වන ආහාර නිෂ්පාදනයට පස වාතය සහ ජලය වඩා අත්‍යවශ්‍ය වෙයි. මිනිසාගේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන මේ සාධකයන් වර්තමානය වන විට විශාල වශයෙන් පරිසර දුෂණයට ලක්වෙමින් පවතී. මෙය ආකාර කිහිපයකින් සිදුවුවත් පරිසරය දුෂණය වීම විශාල වශයෙන් සිදුවන්නේ මානව ක්‍රියාකාරකම් නිසාවෙනි.

මේ මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට විෂ වායු එකතු වීම එමෙන්ම ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය එකතුවීම සිදු වෙයි. බැරලෝහ පෝෂක පමණක් නොව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශූ තවද කාබනික විෂ රසායනික ද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට එකතු වෙයි. රෝහල්වලින් පිටවන අපජලය මඟින් ප්‍රතිජීවක ඖෂධ විශාල ලෙස පසට එකතු වෙයි. එමඟින් ජලය දුෂණය වීම සිදු වෙයි. කොම්පොස්ට් සාදනු ලබන අවස්ථාවලදි පොලිතින් කවරය සමඟ අදාළ සංඝටකයන් පසට එකතු වන අවස්ථා වෙයි. ඇතැම් විට පොලිතින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වෙයි. ඒවා අපි නැවත වගා බිමට යෙදීම සිදු වෙයි. පස දුෂණය විමට මෙයද හේතු වෙයි.

කම්හල් කර්මාන්ත ශාලාවලින් පිටවන විෂවායු සහ පොලිතින් පිලිස්සීමේදි ඩයොක්සින් වැනි පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය වාතයට සහ පසට එකතු වෙයි. එසේම පසට යොදන කාබනික පොහොර සහ රසායනික පොහොර වල්නාශක සහ පළිබෝධනාශකවලින් යම් පරිසර දුෂණයක් සිදුවන වන අවස්ථා වෙයි. එසේ සිදුවීමට හේතුව නිසි ප්‍රමිතියට අනුකුල නොවන රසායනික හෝ කාබනික පොහොර නියමිත මාත්‍රවට, නිර්ණායකට අනුව යෙදීම සිදු නොවන්නේ නම් එය යම් ප්‍රමාණයකින් පසට එකතු වෙයි. මේවා නියමිත ආකාරයට යෙදුවහොත් කිසිදු ආකාරයකින් පරිසර දුෂණයක් සිදු නොවෙයි. එමනිසා කෘෂිකර්මාන්තයේදී පමණක් පස, ජලය, වාතයට විෂ සහිත බැරලෝහ එකතු වීම සිදු නොවෙයි.

ඒ නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රය ඇතුළු කවර ක්ෂේත්‍රයක වුවද යම් වෙනසක් කිරීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් රටක් ලෙස රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය වසර පහෙන් පහට වෙනස් නොවෙන ප්‍රතිපත්තිමය තීන්දුවක් විය යුතුයි. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල ආණ්ඩු මාරුවන පමණින් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනසකට භාජනය නොවෙයි. රජය වෙනස් වීමේදී ප්‍රතිපත්තිය වෙනස් වන්නේ නම් රටක් දියුණු නොවෙයි.

රාජ්‍ය ප්‍රතිපත්තිය ස්ථිරව තබා නොගැනීම සහ වසර පහෙන් පහට ප්‍රතිපත්ති වෙනස් කිරීම රටක් ලෙස ගොඩනැඟීමට විශාල බාධාවකි. කෙසේ වෙතත් රටක කෘෂිකර්ම ක්ෂේත්‍රයේ යම් වෙනසක් කිරීමට පෙර එනම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට පෙර අදාළ විෂය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අධික්ෂණයට ලක්විය යුතුයි.

එසේ නොවීමෙන් විශාල අර්බුදකාරි තත්ත්වයකට යනු ඇත. ගත යුතු ව ඇති පියවර කවරක්ද ඒ පියවරයන්ගේ අවසන් ප්‍රතිඵලය කුමක්ද යන්න පිළිබඳව අපි කලින් සොයා බැලිය යුතුයි. පෙර සුදානමක් ඇති කරගැනීම මඟින් මතුවන ගැටලුවලට යහපත් විසඳුමකට යා හැකියි.

අපේ ශරිරය වර්ධනයට ආහාර අවශ්‍ය වන්නා සේම ශාකයක් වර්ධනයට පෝෂක අවශ්‍ය වෙයි. ඵලදාව ඇති වන්නේ පසට පෝෂක ලැබුණහොත් පමණයි. අපි ජිවත්වීමේදී ලෙඩ රෝගවලට බෙහෙත් හේත් අවශ්‍ය වන්නා සේම ශාඛවලට රෝග වැළදෙන විට බෙහෙත් ලබාදිය යුතුයි.

ශාකයකට යොදන පොහොර යනු පෝෂක වෙයි. නියමිත මාත්‍රාවට ලබාදී ඇති නිර්ණායක අනුව ප්‍රමිතියකින් යුතු පොහොර සහ පළිබෝධ නාශක, කෘෂිනාශක, වල් නාශක පාවිච්චි කරන්නේ නම් ගැටලු උද්ගත නොවෙයි. නිසි ප්‍රමිතියෙන් තොර නිසි අධික්ෂණයෙන් තොර නිසි නිර්ණායකන්ට අනුකූලව පාවිච්චි නොකරන අවස්ථාවලදී යම් යම් ගැටලු මතුවිය හැකියි. නිර්ණායකයන් ප්‍රමිතීන් සහ මාත්‍රා කෘෂි විද්‍යා පර්යේෂකයන් විසින් ඉදිරිපත් කළ තිබියදී ප්‍රමිතියෙන් තොර නිසි නිර්ණායකයන්ට අනුකූල නොවන ලෙස පරිසරයට මුදා හරිනු ලබන විට යම් අහිතකර තත්ත්වයන් ඇති වෙයි.

නිසි ප්‍රමිතිගත ආකාරයට මේ කිනම් පොහොරක් භාවිත කළත් ශාකය හොඳින් වර්ධනය වෙයි. පරිසරයට එයින් වන හානියද අවම වෙයි. වගාව සම්බන්ධයෙන් රජයේ කෘෂි කර්මාන්ත දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන් ඉදිරිපත් වී ඇත.

කෘත්‍රිම පොහොර සහ ස්වභාවික පොහොර පමණක් 100%ක් යෙදීමෙන් වගාවන් කළ හැකිවුවත් අපිට අවශ්‍ය අස්වැන්න ලබා ගැනීම අසීරු වෙයි. එසේ කිරීමෙන් පසේ රසායන ස්වභාවයන් වෙනස් වෙයි. පිටරටින් කොම්පොස්ට් වැනි පොහොර වර්ග ආනයනය කිරීම එතරම් සුබදායි නොවෙයි.

කොම්පොස්ට් සෑදිමේදි ඒ සඳහා යොදා ගන්නා නිර්ණානායකයන් ඉතා වැදගත් වෙයි. උදාහරණයක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය කොම්පොස්ට් පොහොර සෑදීම ගතහොත් එහි අනිවාර්යයෙන් බැර ලෝහ මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය රාශියක් වෙයි. ඌරු කොටුවලින් සහ කුකුළු කොටුවලින් ලබා ගන්නා පොහොරවල ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන (ස්ටෙරොයිඩ) අඩංගු වෙයි.

ඊට අමතරව ආනයනික පොහොර මඟින් ආක්‍රමණකාරි බීජ පැළෑටි වගා භූමිවලට ඇතුළු විය හැකියි. ආක්‍රමණකාරි බැක්ටිරියා වයිරස නැවත ව්‍යාප්තියක් ඇති විය හැකියි; එහිදී ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජිවින් සහ පැළෑටි ව්‍යාප්ත විය හැකියි. කොම්පෝස්ට් හෝ වෙනත් සියලු කෘතිමව නිපදවා ගනු ලබන පොහොරවල රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි. කාබනික පොහොරවල ද රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි. මේ සියලු නිෂ්පාදනය කරන පොහොර වර්ග සියල්ල කෘතිමව නිපදවා ගනු පොහොරය. එහි ගුණාත්මක භාවය පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි.

කාබනික හෝ අකාබනික යන වචන රසායන විද්‍යාව සමඟ සැසදීමේදි එය වෙනස්ව අර්ථ ගැන්වෙයි.

මේ නිර්ණායකයන්ගේ අන්තර්ගත වන කරුණු අනුව කෘත්‍රිම පොහොර වගා බිම්වලට යොදන්නේ ද යන කාරණාවේදි ඒ නිර්ණායකයන් අනුව 100% කෘත්‍රිම පොහොර වගා බිම්වලට නොයෙදිය යුතුයි. ඒවා යෙදිය යුත්තේ කාබනික කොටස් පසට එකතු කිරීමෙන් අනතුරුවයි. අදාළ ක්ෂේත්‍රයේ කෘෂි පර්යේෂකයන් විසින් බෝග සහ පස සමඟ පර්යේෂණය කිරීමෙන් මේ නිර්ණායකයන් ඉදිරිපත් කර ඇත. මේ අනුව අපි වගා සම්බන්ධයෙන් ක්‍රමවේදයන් සැකසිය යුතුයි. ගොවි ජනතාව දැනුම්වත් කිරීම සහ එයට අදාළ ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් වෙයි; අපි කළ යුතු වන්නේ නියමිත මාත්‍රාවන් පිළිපැඳීම සහ ප්‍රමිතියකින් යුතු පොහොර භාවිතයයි.

රජය මේ වනවිට පුද්ගලික අංශයට කෘෂි රසායනික පොහොර ගෙන්වීමට අවසර ලබා දී තිබුණද ඒ ගෙන්වීමේදි නිර්ණ­ායකයන් නිසි අධීක්ෂණයක් පර්යේෂණයන්ට ලක් කිරීමක් තිබිය යුතුයි. පාලනයක් ප්‍රමිතියත් අනුව සියල්ල සිදුවිය යුතුයි.

මේ රටේ නිෂ්පාදනය වෙමින් පවතින කාබනික කොම්පොස්ට් ජෛව අඟුරුවල නිසි ප්‍රමිතියක් අනුව සකස් කළ යුතුයි. කාබනික පොහොර වුවත් ප්‍රමිතිය පිළිබඳව සඳහන් කළ හැකි වන්නේ පර්යේෂණවලට භාජනය කිරීමෙන් පසුවයි. කාබනික පොහොර නිපදවීමේදීද යම් ප්‍රමිතියක් තිබිය යුතුයි. කාබනික පොහොරවල වුවත් ඇමෝනියා, මිතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි විෂ වායු ඇතැම් විට මයික්‍රෝප්ලාස්ටික් ද එකතු වෙයි.

සත්ත්ව කොටස් මේ සඳහා යොදා ඇති අවස්ථාවලදී ඒවා නරක් වීමට මෙන්ම ක්ෂුද්‍ර ජිවීන් ඇතිවීමටද හේතු වේ. අතර නිර්වායු ක්ෂුද්‍ර ජිවීන් ආශ්වාස ප්‍රශ්වාසයෙදි ඇමෝනියා මිතෙන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් පිට වෙයි. මේ වායු ආඝාණය ඉතාමත් භයානකයි. මේ විෂ වායු මිනිස් ශරිර සෞඛ්‍යයට අහිතකර ය. නයිට්‍රජන් වැඩි වශයෙන් ඇතැයි උපකල්පනය කරන ඇතැම් දියර පොහොරවල තත්ත්වය එයයි. එහි ඇති නයිට්‍රජන් ඇමෝනියා ලෙස වාතයට එකතුවීමක් මෙයින් සිදු වෙයි. කෙසේවුවද රසායනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු සිදු කිරීම හෝ කාබනික පොහොර පමණක් භාවිත කර කෘෂිකාර්මික කටයුතු කිරීම නොව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යෝජනා කර ඇත්තේ ‘මැද මාවත’ තිබිය යුතු බවයි.

කාබනික කොටස් අනිවාර්යෙන් පසට යෙදිය යුතුයි. කාබනික කොටස් නොයොදා සිටිය හොත් පරිසරයේ සිටින ක්ෂුද්‍ර ජීවින් සහ අනෙක් ජිවීන් විනාශයට පත්වෙයි. එයට හේතුව පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා නියමිත මාත්‍රව ඉක්මවා යෙදිමයි. පසේ ක්ෂුද්‍ර ජීවින් වෙයි. ඒ ප්‍රමාණය වර්ධනය කර ගැනීමට කාබනික ද්‍රව්‍ය යෙදිය යුතුයි. ලෝකයේ අනෙක් රටවල්වල මෙන් අපේ රටේද වගාව සඳහා මැදමාවතක් එනම් හයිබ්‍රිඩ් ක්‍රමවේදයකට යා යුතුයි.

ශාකයක් වර්ධනය වීමට අත්‍යවශ්‍ය සාධක වෙයි .උදාහරණ ලෙස ශාකයකට නයිට්‍රජන් විවිධ අවස්ථාවලදී අවශ්‍ය වෙයි. ඊට අමතරව පල දරන කාලයේදි නයිට්‍රජන් පොස්පරස් යම් ප්‍රතිශතයක් අවශ්‍ය වෙයි. මේ එකිනෙකට අවශ්‍ය ප්‍රමාණයන් වෙනස් වෙයි. කාබනික ද්‍රව්‍ය ශාකයකට එකතු කළ විට නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් පසේ තිබුණද ඒ නයිට්‍රජන් කාබනික ද්‍රව්‍ය විසින් උරාගෙන හිමින් නිදහස් කරයි. ඒ නිසා එයින් පරිසරයට හානියක් නොවෙයි. කෘෂිකර්මය පිළිබඳව ලංකාවේ විශ්වවිද්‍යාල පීඨ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව සහ වෙනත් පර්යේෂණ ආයතනයන් ගණනාවක් වෙයි. ඒ අදාළ ක්ෂේත්‍රයන් ගේ උපදෙස් මෙවැනි අවස්ථාවල වඩා වැදගත් වෙයි.

මේ සියලු කෘෂිකාර්මික ක්‍රමවේදයන් අනුගමනය කිරිමෙන් සිදුකළ යුතු අවසන් ක්‍රියාව රටේ ජනතාවගේ ආහාර සපයා ගැනීමයි. මේ රටේ විශේෂයෙන් කන්න වගාව සිදු කෙරෙයි. එය සිදුවන්නේ දේශගුණික විපර්යාසයන්ට අනුකූලවයි. කන්නයට නියමිත කාලය අනුව වගා කළ යුතුයි.

තමන් විසින් සකසා ගන්නා පොහොර හෝ වෙනත් විකල්පයන් උපයෝගි කරගනිමින් වගා කළ යුතුය. ඉදිරියේදී සෑම බිම් අඟලකම මඤ්ඤොක්කා හෝ ඉක්මනින් සහ අවම පොහොර යෙදීමෙන් වගා කරන වෙනත් අල වර්ග වගා කිරීම ජනතාව ආරම්භ කළ යුතුයි. කුමනාකාර ක්‍රමවේදයකින් හෝ වගා කිරීම වැදගත් වෙයි.

කාබනික ද්‍රව්‍ය යොදා වගා කරමු යැයි ජනතාවට යම් ස්ථිර ක්‍රමවේදයක් සකස් කර ජනතාව දැනුම්වත් කිරීම එය සන්නිවේදනය නිසියාකාරයෙන් නොකිරිම මෙහි ප්‍රධාන ගැටලුවකි. ජනතාවට නුහුරු මෙවැනි අත්දැකීමක් සඳහා හුරු කිරිමේ දි නිසි සන්නිවේදනයක් කළ යුතුයි.

69 ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළේ රට ගොඩනැඟීමටයි. ඒ සඳහා කැප කිරීම් කර රටේ ඇති වන ඕනෑම ගැටලුවකට මුහුණ දීමට ජනතාව තුළ සූදානමක් තිබිණි. ඒ පිළිබඳව පැහැදිලි කරදී මහජනතාව දැනුම්වත් කිරිමට හොඳ සන්නිවේදන ක්‍රමවේදයක් සකස් කළේ නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයකට යෑමට හැකියාව තිබුණි.

මේ රට දියුණු කළ යුතුයි; මේ රට ගොඩනැඟිය යුතුයි යන තැන ජනතාව සිටියි. ඒ වෙනුවෙන් ජනතාව යම් කැපකිරීමක් කරනු ඇත. ආණ්ඩුව සහ ජනතාව අතර සංවාදයක් සහ සන්නිවේදනයක් තිබිය යුතුයි. ජනතාවට ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත් නිසි ලෙස සන්නිවේදනය නොවීමෙන් කිසිම තීන්දුවක් නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි.

රටක් ලෙස රජය ගනු ලබන තීන්දු, තීරණයන් වෙනුවෙන් වගකීමට සහ වගවීමට අදාළ පාර්ශ්වයන් පෙනී සිටීම අත්‍යවශ්‍ය වෙයි.

තීන්දු තීරණයන් සම්බන්ධයෙන් ජනතාවට නිසි සංවාදයක් හෝ සන්නිවේදනයක් හිමි නොවීමත් වගවීමට හෝ වගකීමට කිසිදු පාර්ශ්වයක් නොවීමත් විශාල ගැටලුවක් වන අතර; ජනතාවට යම් කැපකිරීමක් කිරීමට නම් නිසි සන්නිවේදනය සහ ඒ පිළිබඳව වගවන පාර්ශ්වයන් පැහැදිලිව සිටිය යුතුයි. මේ රටේ උද්ගතව ඇති කෘෂිකර්මාන්තයේ ගැටලුවද පැහැදිලි ලෙස විසදා ගැනීමටත් එය අත්‍යවශ්‍ය සාධකයකි. එමෙන් ම හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ‘නිසිලෙස යායුතු ගමන’ පිළිබඳව අනිවාර්යෙන් ජනතාව දැනුම්වත් විය යුතුයි.

Comments