
• Phd සඳහා එක් අයෙකුට රුපියල් මිලියන 6 ක්
• පසුගිය වසර 10 තුළ ශිෂ්‍යත්ව ලබාදීම් - 350 ක්
• Phd සාර්ථකව අවසන් වූ ප්‍රමාණය - 250 ක්
• Phd අවසන් කරමින් සිටින ප්‍රමාණය - 90 ක්
• බැඳුම්කර ගෙවීම් පැහැර හැරි ප්‍රමාණය - 10 ක්
පර්යේෂණ මුදල් හිතුමතේ වියදම් කරන්න බැහැ. භාවිත නොකළේ නම් අදාළ විශ්වවිද්‍යාලයේම ඉතුරු වී තිබිය යුතුයි
- සරසවි ආචාර්ය සංගමය
ලංකාවේ විශ්වවිද්‍යාලයකින් බිහිවන විද්‍යාර්ථියෙකුට ජාත්‍යන්තරයේ ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එය කොතෙක්ද යත් ඉතා විශාල වැටුප් තලයන්ට ජාත්‍යන්තරයේ සේවය කිරීමේ අවස්ථාවන්ට ඔවුහු හිමිකාරයෝ වෙති. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මල්පල නෙළා ගත් ඔවුහු තමන් ලද ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිය යුතුකම් පැහැර හළ කනගාටුදායක පුවත මුලින්ම දිග හැරුණේ යහපාලන රජය සමයේ උසස් අධ්‍යාපන ඇමැතිව සිටි විජයදාස රාජපක්ෂ විසින් කළ අනාවරණයේදීය.
ඒ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගනිමින් විදෙස් ගත වූ ඇඳුරෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සිය ගිවිසුම් කොන්දේසි කඩ කරමින් රජයට ලැබෙන්නට තිබු රුපියල් මිලියන 850 ක මුදලක්ද ගෙවීම පැහැර හැරීමේ කතාවය. එදා මේ හෙළිදරවුවේදී අදාළ ආචාර්යවරුන්ගේ නම් ගම් සහිතව ඔවුන්ද ගෙවන්නට සිදුවන මුදල් වන්දියද ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ හෙළිදරවු කළ පසු යම් පිරිසක් තමන්ගේ වන්දි මුදල් ගෙවා තිබුණි. මේ හා සමාන තවත් තොරතුරක් පසුගියදා අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා( කෝප් ) අනාවරණයේදීය.
යුතුකම් හා අයිතිවාසිකම් අතර දෝලනය වන වත්මන් ප්‍රශ්නය මෙසේය. පසුගියදා පැවැති කෝප් කමිටුවේදී අනාවරණය වූයේ 2009 වසරේ සිට 2017 කාලය දක්වා පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනකුට රුපියල් මිලියන 25 ක් ලබා දී තිබුණ ද, ඔවුන් මේ වන විට උපාධි පාඨමාලා අතහැර ගොස් ඇති බවකි. එසේම 2017 වසරේදී විශ්වවිද්‍යාල 8 ක කථිකාචාර්යවරු 12 දෙනකු රුපියල් මිලියන 34.3ක මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණ ද එය භාවිතයට ගෙන නැති බවය. මේ අතර ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්වවිද්‍යාලවලින් ඉවත් වී ඇති බව ද අනාවරණය විය. මේ හේතුවෙන් කෝප් කමිටුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවට නියෝග කළේ මේ පිරිසට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවකි.
නිදහස් අධ්‍යාපනයෙන් උගත් බහුතරයක් මේ අපරාධයට දායක වන්නේ නැත. ඔවුන්ගෙන් නිදහස් අධ්‍යාපනයට බරක් නැත. රටේ මුදල් කිසිසේත් සිය පෞද්ගලික ලාබ අපේක්ෂාවන්ට වෙන්කරන්නේ නැත. ඇත්තෙන්ම ඔවුහු ගුරු දෙවිවරුය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ඇඳුරකු සිය අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන්නේ එය සිය තනතුරට අවශ්‍යම සුදුසුකමක් වන නිසාය. එක් අතකින් ඔහු දැනුමින් සපිරි පුද්ගලයකු වුවහොත් ඒ ලාභය රටටත්, රටේ දරුවන්ටත්ය. මේ නිසා සෑම වසරකම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් විවිධ විෂය ක්ෂේත්‍ර උදෙසා අධ්‍යාපන අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමට විවිධ ඇඳුරෝ විදේශගත වෙති. එසේම ඉන් බොහෝමයක් ලංකාවේ මුදලින්ම සිදුවන අතර වැටුප් හා රාජකාරි නිවාඩුද ඒ වෙනුවෙන්ම හිමි වන අතර විශාල බැඳුම්කරයකට යටත් වීමටද සිදු වෙයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි දළ වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් වසරකට 160 දෙනෙකු Phd හා Master උපාධි කටයුතු වෙනුවෙන් විදෙස් ගත වෙති. එසේම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, කථිකාචාර්යවරු මෙන්ම රෙජිස්ටාර් වැනි තනතුරු දරන අය වසරකට 4900 ක් පමණ විදෙස්ගත වෙති. මෙයින් බහුතරයක් යුරෝපා රටවලට යන අතර තවත් පිරිස් ආසියානු රටවල් වන ඉන්දියාව, චීනය මෙන්ම මැලේසියාවට ද යති. එහෙත් මෙසේ පිටත්ව යන සියල්ලෝම අදාළ විශ්වවිද්‍යාලයේ බැඳුම්කරයකට යටත් වූවෝ වෙති.
“සාමාන්‍යයෙන් ආචාර්ය උපාධියක් සඳහා විදෙස්ගත වීමේදි වැටුප් සහිතව අවුරුදු 3 යි මාස 9 කට නිවාඩු හිමි වෙනවා. එසේම ඊට වඩා නිවාඩු අවශ්‍ය නම් වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු වෙනවා. මේ සෑම විටම විදෙස්ගත වීමේදි සාක්ෂිකාරයන් දෙදෙනකු සහිතව බැඳුම්කරයකට යටත් වීමට සිදුවෙනවා. මෙම ගිවිසුමට ආචාර්ය වැටුප, ගුවන් ටිකට් පත් මෙන්ම ශිෂ්‍යත්වය සඳහා යන වියදම එකතු වූ විශාල මුදලක්. යම් හෙයකින් මෙම ශිෂ්‍යත්වය එම රටින්ම වියදම දරන එකක් වුවත්, එම වටිනාකම අපේ රටේ වියදමක් වශයෙන් සලකා මේ ගිවිසුමට ඇතුළත් කෙරෙනවා. ඒ නිසා බොහෝ විට පශ්චාද් උපාධි සඳහා විදෙස්ගතවීමේදි මිලියන ගණනක වටිනාකමින් යුතු බැඳුම්කරයකට යටත් වීමට සිදුවෙනවා. සමහර විට විශාල මුදලක් නිසා සාක්ෂිකාරයන් සොයා ගැනීමේ ගැටලුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන අවස්ථා බොහෝමයි. මේ නිසා අවධාරණයෙන් පැවැසිය යුතු වන්නේ කෙනකු මෙම ගිවිසුම කඩ කළොත් අනිවාර්යයෙන්ම ඔහුගෙන් හෝ ඇපකාරයන්ගෙන් මේ මුදල ලබා ගැනෙනවා. යම් යම් අය විවිධ හේතු මත ගිවිසුම් කඩ කළත්, එය අය කර ගැනීමේ ක්‍රමවේද පවතිනවා. එසේම පර්යේෂණ ප්‍රදාන ( Research grants) සඳහා ඒ ඒ විශ්වවිද්‍යාලවලට ලැබෙන්නේ ඉතා සීමා සහිත මුදල් ප්‍රදානයක්. මෙය ලබා ගැනීමේ අති දුෂ්කර බව නිසා පර්යේෂණ ප්‍රදානයක් ලැබුණු කෙනෙක් එය අහක දමයි කියා විශ්වාස කළ නොහැකියි. එසේම පර්යේෂණ දීමනා නිකරුණේ නාස්ති කිරීමට නොහැකියි. එය අදියරෙන් අදියර ලබා දෙන අතර යමකු එය භාවිත නොකළේ නම් ඒ මුදල නාස්ති නොවී අදාළ විශ්වවිද්‍යාලයේම ඉතුරු වී තිබිය යුතුයි. තුන්වැනි කරුණ ආචාර්ය උපාධි සම්පූර්ණ වූ පිරිස් විශ්වවිද්‍යාලය අත හැර යාම. යම් යම් හේතු මත මීට වඩා වැඩි පිරිසක් වසරකට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වනවා ඇති. පසුගිය කාලයේ ආචාර්ය වැටුප් ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ අය ආකර්ෂණීය වැටුප් සොයා ගෙන විවිධ රැකියා සඳහා ගියා. නමුත් මෙහිදි ගිවිසුම් කඩ කළ නොහැකියි. විවිධ මාධ්‍යවල පළවුණේ රුපියල් කෝටි 25 ක් කාබාසිනියා වුණා කියලා. අපි අවධාරණයෙන් කියන්නේ යම් යම් අය මුදල් සොරා ගන්නාක් වැනි දෙයක් මෙතැන වූවේ නැහැ.......“ ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැකය.
එම සංගමය සඳහන් කරන්නේ බොහෝ විට පශ්චාද් උපාධි සඳහා යන්නේ තරුණ ආචාර්යවරුන් නිසා ගිවිසුම් කඩ කළ විට එම මුදල ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදලින් අය කර ගැනීමට නොහැකි බවකි. නමුත් ඊට ඇපකරුවන් ලෙස සම්බන්ධ වන ජ්‍යෙෂ්ඨ ආචාර්ය මහාචාර්යවරුන්ට මෙහිදි වැඩි වගකීමක් පැවැරෙන අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල ඊට ඇපයට තැබෙයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරු බැඳුම්කරයකට යටත්ව අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වී විවිධ ආකාරයෙන් සිය ගිවිසුම් කඩ කළ ද, එය සුළු පිරිසක් අතින් පමණක් සිදු වන්නක් බව උපකුලපතිවරු පවසති. මෙම කෝප් කමිටු අනාවරණය 2009- 2017 කාල පරාසයට අයත් වුවකි. නමුත් අදටත් එහි බලපැම ඇත්තේ මුදල් සම්බන්ධ කාරණාවේදිය. මෙම ගෙවීම් අයකර ගැනීමේ වගකීම විශ්වවිද්‍යාලය හා බැඳෙන්නෙකි. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පවසන්නේ වර්තමානයේ නිතී පද්ධතිය ශක්තිමත්ව ඇති හෙයින් කිසිවකුටත් මෙම බැඳුම්කරයෙන් පැන යා නොහැකි බවයි. “ඉතා සුළු පිරිසක් තමයි මේ බැඳුම්කර ගෙවීම පැහැර හරින්නේ. සමහර විට ඔවුන් ඉන්න තැන් සොයා ගන්නත් බැහැ. වර්තමානයේ නීතිය තදින්ම ක්‍රියාත්මක වන නිසා මේ සියලුදෙනාගෙන්ම ඒ මුදල අය කර ගැනීම් කරනවා. 2019-2021 දක්වා කාලය තුළ අපේ විශ්වවිද්‍යාලයේ රුපියල් මිලියන 58 ක බැඳුම්කර අයකර ගත්තා.
නඩු දාන පදනම මත මේ මුදල් අය කර ගැනීමට හැකියාව ලැබුණා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වැඩිදුර අධ්‍යාපනය ලැබු පසු ඔහුගේ වටිනාකම කවදාවත් මුදලකට ලඝු කරන්න බැහැ.......“ ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේනය.
මේ පිළිබඳව අදහස් දක්වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසා සිටියේ මෙවැනි බැඳුම්කර උල්ලංඝනය කරන්නේ ඉතා සුළු පිරිසක් බවක්, එසේ වුවත් ඔවුන්ගෙන්ද අදාළ මුදල් අය කර ගැනීමට කටයුතු යොදා ඇති බවත්ය.
“ Phd උපාධිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩ සටහන තුළදී එක් ආචාර්යවරයකුට රුපියල් මිලියන 6 ක් ලබා දෙනවා. නමුත් ඔවුන්ට තමන්ගේ සම්පූර්ණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 30-40 ක් පමණ වියදමක් යාහැකියි. මේ නිසා ඔහුට හෝ ඇයට සිදු වෙනවා, අදාළ අඩුපාඩු මුදල සොයා ගැනීමට හෝ නැතිනම් Phd ය ලංකාවේ අවසන් කිරිමට. පසුගිය වසර 10 තුළ මේ දක්වා අපි මෙවැනි ශිෂ්‍යත්ව 350 ක් ලබා දුන්නා; බැඳුම්කරයකට යටත්ව. එයින් 250 ක් ඉතා සාර්ථක ප්‍රගතියක් සහිතව අවසන් කළා. 90 දෙනෙක් තවමත් තම Phd ය අවසන් කරමින් ඉන්නවා. මේ ප්‍රශ්නය මතුව ඇත්තේ 10 දෙනෙකු පිළිබඳවයි. ඒ 10 දෙනාගෙන් අය කර ගත යුතුව ඇති මුදල් සතයට අය කර ගැනීමට කටයුතු කරනවා. මෙම අය කර ගැනීම ස්වයංක්‍රීයව හෝ සිය EPFහරහා පොී මුදලත් සමඟ ලබා ගැනීමට කටයුතු කරනවා. .................“ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගය.
මේ වගකීම් අයිතිවාසිකම් අතර දෝලනයේදී දෙපැත්තකින් අවධානය යොමු කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි. උගතුන් රට හැර යාම සිදු වන්නේ ඇයි? කන්නන්ගර ප්‍රතිපත්තින්ට අනුව යමකුට තම හෘද සාක්ෂියට අනුව එසේ පිටු පෑ හැකිද?
“අද සමාජයේ බුද්ධිමතුන්ට නිසි තැනක් ලබා දී තිබේද? රටේ සංවර්ධනයට උගතුන්ගේ දායකත්වය කෙබඳු වේද? මේ නිසාවෙන් රට හැර යාමේ මානසිකත්වය ගොඩ නැෙඟන්නේ කෙසේද? අනිත් පැත්තෙන් සෑම අයෙකුටම කන්නන්ගර අධ්‍යපන ප්‍රතිපත්තින් තුළ ඇති වගකීම කෙබඳුද? මේ අවස්ථාවේ කළ යුත්තේ රට හැර යාමද? නැතිනම් රටත් සමඟ ඉදිරියට යාමද? විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වශයෙන් අපි මේ දෙපැත්තම ගැනීම අපේ හෘදය සාක්ෂියට කතා කර විමසිය යුතුව ඇත....“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලින් අබයසේකරය.